සුහදිනි – 48

“අපි දෙන්නගෙ කතාව කාටත් වඩා දන්නෙ අපි දෙන්නා”

ජීවිතය එක්ව ඉදිරියට යාම ගැන සකී ළතැවුලෙන් දේ කියද්දී අහස් පැවසුවේ සිහින් හඬිනි.අඩුම තරමට කොහේ හෝ අවන්හලකට වී කතාබහ කරන්නටවත් ඉඩක් නොවීම ගැන ඇයට සියුම් නොරිස්සුමක් නොදැනෙනවා නොවේ.ඔහු සමඟ ගන්නා ඡායාරූප බොහෝ වේ.ඒවා එකක්වත් සමාජ මාධ්‍යයට එක් කරන්නට ඈට ඉඩ නොලැබේ.අඩුම තරමේ දුරකථනය අතට ගන්නා මිතුරියකට  පවා ඇස නොගැටෙන සේ ඒ ඡායාරූප රහස් අංක යොදා ගබඩා කරන්නට සකී ප්‍රවේසම් ය.

“ඔයා දන්නවද මෙයාව?”

අහස් සකීට පෙන්වූයේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ හිඳින තරුණ නළුවෙකි.අහස්ටත් වඩා ඔහුට යුවතියන්ගේ ආකර්ෂණය ඇති බව සකීට සිහි විණ.

“කවදහරි ඔයාගේ බෙස්ට්මන්ලට ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ද?”

ඇය ඇසුවේ සරදමට ම නොවේ.ඔහු වැඩසටහනකදී හමු වූ බව අහස් හෙළි කළේ ය.

“එහෙම ගන්න තිබ්බ.හැබැයි මිනිහා කසාද බැඳපු කෙනෙක්.”

සකී පුදුමයෙන් නෙත් විසල් කරගත්තා ය.ජීවිතය තුළ ඉටුකරගන්නට අරමුණු බොහෝ ඇති බැවින් ප්‍රේමය සම්බන්ධයෙන් දැනට උනන්දුවක් නැති බව තරුණ නළුවා පුන පුනා කියන අන්දම සකීට මතක ය.ඇය අහස්ට දිය සිටි තරමටම ඔහු වෙනුවෙන් බැඳී සිටින මිතුරියන් අනන්ත බව ඇය දනී.

“මූ ඉස්කෝලෙ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මැරි කරල ඉන්නෙ.”

එය හෙළි නොකරන්නේ මන්දැයි සකී ඇසුවේ පුදුමයෙනි.

“මට තේරුන විදිහට මිනිහ කැමති නෑ ජනප්‍රියකම අඩුවෙනවාට.අපිට සමහර වෙලාවට ඒක හිසරදයක් උනාට ඒක පවත්වාගෙන යන කැමති මිනිස්සුත් ඉන්නව.අපිට වඩා එයාලට ඒක අත්‍යවශ්‍ය හින්දා එයාගෙ පැත්තෙන් එයා සාධාරණත් ඇති.”

ඒ අමුතු කතාව ගැන සකී සිතා බැලුවා ය.ඔහු ප්‍රේමය ගැන තවම සිතා බලා නොමැති බව කියද්දී ඔහුගේ බිරිඳ එය දරා ගන්නේ කෙසේ දැයි ඇයට සිතා ගන්නට නොහැකි ය.

“කොහොම වුණත් මැරි කරා කියලා ආදරේ කරා කියලා ඔයාලට ගෑනු ළමයි කැමති වෙන එක නවතින් නෑ.”

සකී කියන්නේ නොකැමැත්තෙන්දැයි අහස්ට සිතේ.  

“මට මේ වෙලාවේ හිතෙන ඇත්තම දේ කියන්නද?”

අහස් ඇසුවේ සකීගේ සසැලෙන මුහුණ දෙස බලමිනි.ඇයට ආදරය ප්‍රකාශ කළ දවසේ ඈ මෝටර් රථයට ගොඩ වූයේ කිසිම දෙගිඩියාවක් ඇතිව නොවේ.සකී ඒ මොහොතේ සිටියේ හිමි නොවූ ප්‍රේමයක් විශ්වාස කරමිනි.

“මට නැෂනල් ටීම් එකට එනකම්ම හිතුණා මට සේරම දේවල් කිසිම අවුලක් නැතුව කරන්න පුලුවන් කියලා.මං මම ගැන ඕනෑවටත් වඩා විශ්වාස කරා.ඒ වුණාට දැන් මම මං ගැනම සැක කරන අවස්ථා වැඩී.”

සකී ඔහු කියන්නේ කුමක්දැයි තේරුම් ගත්තා ය.

“අපි ළඟ නැතුවම අපිට විශ්වාසය දැනෙන දේවල් ළඟට ගත්තම අපිට කිසිම විශ්වාසයක් නෑ.හැම වෙලාවෙම ජීවත් වෙන්නෙ ඒ දේ නැති වෙයි කියන බයෙන්.ඒක ඕනෑම දේකට පොදුයි.අපි මිනිස්සුනෙ.අපේ විදිය වෙන්නත් ඇති.”

ඒ පොදු මිනිස් ස්වභාවයෙන් තමන්ට ද ගැලවීමක් නැති බව සකී සිතුවා ය.නමුත් සිතට එන සෑම දෙයකට ම ක්‍රියාත්මක වන්නට ඉඩ දිය යුතු නොවේ.

“මං හිතන්නේ මම කලබල වුණා වැඩී.”

සකී ඇයට ම මුමුණා ගත්තා ය.අනෙක් කාරණා සම්බන්ධයෙන් කෙසේ වුවත් ප්‍රේමය සම්බන්ධයෙන් තරුණියන් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්නේ ඉතාම අනුවණ ආකාරයකින් බව සකීට නොසිතෙනවාද නොවේ.

“අපි ෆිල්ම් එකක් පොතක් කියෝනකොට,ටීවී සීරිස් එකක් බලනකොට ඒවගෙ කැරැක්ටර්ස් ටිකක් විකාර විදියට හැසිරෙනකොට කොච්චර බනිනවද? ආදරේ කරන්න ඕන හැටි ගැන එයාලට කොච්චර උපදෙස් දෙනවද? ඒ වුණාට ඒ ගැටලු අපේ පර්සනල් ජීවිතේට ආවම අපි හැසිරෙන්නේ අන්තිම මෝඩ විදියට.”

අහස් කියන්නේ නැවතිල්ලේ ය.අඳුරු වළාකුළු සියල්ල පහව යන්නට සකීට සරදමක් කරන්නට සිතිණ.

“හරියට මුළු රටේම ඉන්න අපි ඔක්කොම එකතු වෙලා ඔයාලට ක්‍රිකට් ගහන හැටි කියල දෙනව වගේ.ඒ මොහොතේ වුණේ මොකක්ද ඒ වෙලාවෙ කරන්න තිබ්බෙ මොකක්ද කියලා ඔයාලයි කැප්ටනුයි දැනන් ඉන්නකොට අපි පණ යනකම් උපදෙස් දෙනවා.ඊටපස්සෙ බනිනවා.”

අහස් ඒ විහිළුව පහසුවෙන් පිළි ගත්තේ ය.ඔහුගේ උස්ව නැඟෙන සිනාව දකින්නට සකී කොහොමටත් ලෝබ ය.

“රවුමකින් පිට ඉන්න මිනිස්සු කාටත් රවුම ඇතුළේ කරන්න ඕන දේවල් කියන්න ලේසි සකී.ඔයා දන්නවද? ඊළඟ මැච් වලින් ටීම් එකෙන් විසි වෙන්න ඕන කෙනත් මිනිස්සු දැන්මම තීරණය කරලා ඉවරයි.”

ඒ කවුරුන් විය හැකිදැයි සකී සිතුවා ය.ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙකු වූ යොවුන් ක්‍රීඩකයා පසුගිය කාලයේ අසාර්ථක වූ තැන් ද තිබිණ.ඊළඟ වෛරීය අදහස් ඔහු කෙරෙහි පැතිරෙමින් තිබෙනවා විය හැකි ය 

“කාවද?”

ඇය ඇසුවේ එතරම් උනන්දුවකින් නොවේ.එහෙත් අහස් පිළිතුරු දුන්නේ තැන්පත් මඳහසිනි.

“මාව”

පසුගිය සංචාරයේදී අහස් එක් තරගයකට පෙනී සිටියාට ඒ ජයග්‍රාහී තැන් ඔහු කළ යුතුවම තිබූ බවත් ඔහුගේ සමස්ත ක්‍රියාවලිය එතරම් හොඳ තැනක නැති බවත් දේශපාලනික උදව්වකින් කණ්ඩායම තුළට රිංගාගත් ඔහුට දැන් අවස්ථා ලබා දුන්නා ඕනෑවටත් වැඩි බවත් සමාජ මාධ්‍ය දිගු සටහන් අතර කියැවේ.

“ඉතිං මේ කතාව බොරු කියලා මිතුලි අක්කා ඔප්පු කරානෙ.”

සකී කියන්නේ වේදනාවෙනි.අසත්‍ය මත පහසුවෙන් තුරන් කර දැමිය නොහැකි බවත් ඒවා අසත්‍යයක් බව පැවසෙද්දී ඒවා ප්‍රචාරය කරන්නට බොහෝ අය කැමති බවත් අහස් කියන්නේ සැහැල්ලුවෙනි.සැබෑවටම මේ ඔහුට සැහැල්ලුවෙන් සිටින්නට වේලාවක් දැයි සකී කණගාටුවෙන් සිතුවා ය.

“මෙච්චර හේට් කමෙන්ට්ස් තියාගෙන ඔයා කොහොමද ප්ලේ කරන්නේ?”

ඇගේ හඬ බිඳී යන්නට විය.

“මේ වෙලාවේ ඔයාගේ ලොකු අවුලකුත් නෑ නේ.එහෙම තියාගෙන මේ වගේ කතා අහන්න ගියාම නිකම්ම ෆේල් වෙලා යයි කියලා මට බයයි.”

නැත! එවැන්නක් සිදුවීමට ඉඩ දිය යුතු නොවේ.අහස් සැබෑවටම අදක්ෂයෙක් නම් ඔහුගේ තැන වෙනත් දක්ෂයෙකුට පිරිනැමිය යුතුව තිබේ.නමුත් අදක්ෂයෙක් නොවන තාක් ඔහුගේ තැන ආරක්ෂා විය යුතු බව සකී සිතන්නට වූවා ය.ඇයට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත.නමුත් හදවතේ ධෛර්යය වඩවා ගැනීම වෙනුවෙන් අහස් ට අත්වැල සපයන්නට සකි තරයේ ම සිතා ගත්තා ය.

(සකී ඇරඹුණු කාලයේ තරමටම ප්‍රතිචාර ලැබේනම් එය ලියන්නට ධෛර්යයක්.ඔබේ අදහස් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles