සිව් වන නෙත් සේයාව
අයත්මා පසුදින පාසැල් යෑමට සූදානම් වූයේ පිරුණු හදිනි. කලණ සමඟින් මෝටර් බයිසිකලයේ පාසැල් යෑම ඇයට තවම අදහා ගන්නට නොහැකි සිහිනයකි. ඔහු ගේ සිතෙහිද තමා පිළිබඳව යම් විශේෂයක් තියෙනවා විය හැකියැයි යන හැඟීම අයත්මාගේ සිතට එක් කලේ නැවුම් හැඟීමකි.
“මුල ඉඳන්ම මඟාරින්න ඇත්තේ ඒක තමයි ..”
ඕ එලෙස කිව්වේ කණ්ණාඩියටය. පාසැලේ අලුත් ගුරුවරයාගේ විස්තර අවිශ්ක සමඟ කියා තිබූ නිසා ඔහු සමඟම පාසැලට යනවාය යන ආරංචිය අවිශ්කට අලුතින් කීම අයත්මාට අපහසු වූයෙ නැත. අයියාට ඒ ගැන වැඩිපුර පැහැදිලි කරන්නට අයත්මා උත්සාහ නොකලාය.
“හෙල්මට් එකක් අරන් යනවා…”
අවිශ්ක කීවේ එපමණකි. අයත්මා හිස සැලුවාය. නිමලා අම්මාට සමුදුන්නාය. ගේට්ටුව අසලට යන විටම කලණ මෝටර් සයිකලය නැවැත්වූවේය.
“ඕගොල්ලන්ගේ නැන්දා කිව්වා, අයියාටත් කතා කරලාම යන්න කියලා.. කෝ අයියා ඉන්නවද?…”
ඉන් අයත්මාගේ හද පිම්බුණි. ඕ වහා අවිශ්කට කතා කලාය. කලණ සහ අවිශ්ක ඉතා කෙටි, උණුසුම් කතා බහකින් පසුව වෙන් වූහ. අවිශ්ක කලණට සවස් වරුවක මුණ ගැසීමක් සඳහා ආරාධනා කරන විට අයත්මා සිනාසෙමින් ඒ ආරාධනාවේ බර වැඩි කලාය. කලණ ඉතා හිතවත්කමින් ඒ ආරාධනාව පිළිගත්තේය.
මෝටර් සයිකලයට ගොඩ වූ අයත්මාට ලැබුනේ අණකි. එහි යම් දැඩි බවක්ද වූවා යැයි ඇයට සිතුණි. ඒ සාරි පොට උකුලට වන සේ ගෙන සකසා ගන්නටය. ඕ වහා එපරිද්දෙන්ම කලාය. වෙනදාට මේවා නුහුරු දේවල් නොවූවද, අයියාගේ අනතුරින් පසු මෝටර් සයිකල් ගමන් වලට සමුදීමත්, කලන ගැන දැනෙන කිතිමය හැඟීමත් නිසා අයත්මා ඉන්නේ කලබලයෙන් සහ අසිහියෙනි.
” ඉස්කෝලේ ටීචර්ලා අයත්මා ටීචර්ට කේස් දාන එකක් එහෙම නෑ නේද? .. උදේ නැන්දා නම් කිව්වා එහෙ ඉස්කෝලේට එහෙම ප්‍රශ්න නෑ .. හැමෝම එන්නේ කාගේ හරි බයික් එකක කියලා….”
“ඔව් එහෙම අවුලක් නෑ ..”
අයත්මා ඉතා කෙටි පිළිතුරක් දුන්නාය. සුලගේ ගැටෙමින් ඇසෙන කලණගේ හඬ වඩා දැඩිව ඇසෙයි. එය ඇගේ හදවත ප්‍රීතියෙන් පුරවාලන්නට තරම් ය. සුළඟ කපාගෙන ප්‍රධාන මාර්ගය දිගේ වේගයෙන් ඇදෙන මෝටර් සයිකලයේ හඬ ට අයත්මා අවධානය යොමු කලාය. අවට පසු වන කඩ වීදි, මං සලකුණු තියන ගස් දෙස අවධානය යොමු කලාය. සතියක් ඇතුලත හිත තුළ මෙතරම් විපර්‍යාසයක් වූ වග ඇයටම අදහා ගන්නට නොහැකිය.
මෝටර් සයිකලය ගුරු පාරට ඇතුළු කරන තුරුම දෙදනා අතර කතා බහක් වූයේ නැත.
“බස් එක නැති වුන දවසට මෙතන ඉඳන් පයින්මද යන්නේ?…”
“නෑ .. මම වීල් එකකනේ එන්නේ.. ඒ වීල් එකේ ඉස්කෝලේ ළැඟටම යනවා ඉතින් මම …”
ඉන් පසුව කලණ කිසිත් විමසුවේ නැත. අයත්මා පාසැලේ ගේට්ටුව අසලින් මෝටර් සයිකලයෙන් බැස්සාය. කලණගේ ඉදිරිපසට වන සේ ඇවිද ආවාය. කලණ ඇය මෝටර් සයිකලය ඉදිරියට එනතුරු මෝටර් සයිකලය ක්‍රියාත්මක තත්වයේම තියා උන්නේය,
“හවසටත් යන්න පුලුවන් … ආෆ්ටර් ස්කූල් නවතින්නේ නෑනේ …”
“අද නෑ …”
” ඇයි වෙනදාට මොකද ?..”
“මම ඩ්‍රාමා ටීම් එකක් ප්‍රැක්ටිස් කරවනවා … අපි අඟහරුවාදා, සිකුරාදා පැක්ටිස් …”
“ඩ්‍රාමා ?…”
“ඔව් … ඊලඟ දවසේ කලන සර්ටත් කියන්න හිටියේ …. මම එහෙම ඉගෙනගෙන කරන දෙයක් නෙවෙයි … ළමයින්ගේ ආසාවටයි, මගේ ආසාවටයි කරන්නේ…”
කලණ සිනාසුනේය. එසේ නම් ඇය පෙනෙන තරමෙම කටකාර , දඟකාර යුවතියකි. අයත්මා කලණට ස්තූතිවන්ත වෙමින් ගේට්ටුවෙන් අතුලු වූයේ මුර සේවයේ සිටින සරත් අංකල් සමඟද වචන දෙක තුනක් දොඬමිනි. කලණද ගේට්ටුවෙන් ඇතුළු වූයේය.
“එලියෙන් බැහැලා අයත්මා මිස් විතරක් ඇතුලට එනකොට මං ඒත් බැලුවා කවුද කියලා…..”
සරත් කලණ සමඟද දොඬමලු වූයේය. ගුරු විවේකාගාරය පිරි තිබුණි. සියලු දෙනා අයත්මාගේ අලුත් ප්‍රවාහන සේවාව පිළිබඳව කියවමින් උන්හ. අයත්මා උන්නේ ඒ කතා බස් වලට ප්‍රති පිළිතුරු දෙමින් සිනාසෙමිනි.
” ඉස්සෙල්ලා බයික් එකේ එක්කන් ඇවිල්ල පස්සේ නුවරටම කැන්දන් යාවිද කවුද දන්නේ..”
ගුරු මණ්ඩලයේ වැඩිමහල්ම ගුරුවරිය වූ මදනායක ටීචර් කීවාය. අයත්මාගේ කුස තුල නිදා උන් සමනල්ලු තටු සලන්නට වූහ. එහෙත් අයත්මා එවැන්නක් නැතිවා සේ ඒ කතාව කැපෙන්නද යමක් කියමින් සිනාසුනාය.
විවේකාගාරයට පැමිණි කලණද ඒ පද වලින් බේරෙන්නට ඉඩක් ලැබුනේ නැත. ඔහු පැමිණි පසු අයත්මාගේ හැසිරීමේ සියුම් වෙනස්කම් හඳුනාගත් සිහිනි අයියාගේ බලාපොරොත්තු සිදී යන වේදනාවෙන් මොහොතකට ගැස්සුණාය. අයියා අයත්මා ගැන බලාපොරොත්තු තියා සිටින්නේ පාසැල් කාලයේ සිටම බව සිහිනි දනී. පාසැල් කාලයේ අයියා සහ අයත්මා අතර යම් විශේෂ මිතුරුකමක් වූ බවද ඇය දනී.
එහෙත් උසස්පෙළ අවසන් වූ පසු අයියා විදෙස්ගත වීමත්, අයත්මා විශ්ව විද්‍යාලයට යෑමත් සිදු වූ පසු ඔවුන් දෙදෙනා අතර වූ කිසිවක් සිහිනි දන්නේ නැත. අයියා විදෙස් විශ්ව විද්‍යාලයේදී මුණ ගැසුණු ශ්‍රී ලාංකික යුවතියක් සමඟ වසර දෙකක් පමණ එක්ව ජීවත් වූ බවත්, පසුව ඇය ලංකාවට පැමිණ අන් විවාහයක් කර ගත් බවත් සිහිනි දනී. ඉන් පසු ලංකාවට පැමිණි අයියා දේශපාලනය ඇරඹුවාට පසු යළි අයත්මා මුණ ගැසුණු බවත්, මිතුරෙකු ලවා අයත්මාගෙන් විමසීමක් කල බවත්, දේශපාලනය කරන අයෙකු සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තියා ගන්නට අකමැති වග ඇය පවසා ඇති බවත් සිහිනි දනී. ඒ කොහොම වුනත් අයියාගේ බලාපොරොත්තු වසර දෙකක් තිස්සේ අයත්ම මතම ඇදෙමින් ආ වගද ඕ දනී.
කලණ අයත්මා පිළිබඳව සිතන්නේ කෙලෙසදැයි නොදන්නවා වුනත්, අයත්මා කලණ ගැන උනන්දු වග දැන් හොඳටම පැහ්දිලි නිසා අයියාට මෙ පිළිබඳව පහදා දිය යුතුයැයිද සිහිනි වහ වහා අවධාරණය කර ගත්තාය.
උදෑසන දවසේ සියළු රාජකාරි වලට පලමුව මෝටර් සයිකලයේ නැගී පාසැල අසලට පැමිණි චත්‍රට දකින්න ලැබුනේ ඔහු මෙතරම් ඉක්මනින් දකින්නට බලාපොරොත්තු වූ දර්ශනයක් නම් නොවේය, ඔහු නිසොල්මනේ ඒ දෙස බලා උන්නේය. අයත්මා තමා දැක දැකම ඒ ගැන වගක් නැතිව ගේට්ටූවෙන් ඇතුළු වි පාසැල තුළට ඇතුළු වූ ආකාරය චත්‍ර බලා උන්නේ වේදනාව ඉක්මවන කෝපයකිනි. ඉන් පසුව මුරකරු සමඟ සිනාසී කතා කරමින් පාසැල තුලට ගිය අයත්මාගේ දර්ශනය නිසා වෙනදා මෙන් චත්‍රා සිත නිවුනේ නැත. ඇය පසු පසින් මෝටර් සයිකලය ඇතුළු කල කලණ ගේ දසුන උදෑසනම චත්‍රගේ සිතට මානසික වදයක් ගෙන එමින් තිබුණි.
කලන කිසිඳු අමුතු හැඟීමක් නැතිවද, අයත්මා ඉතිරෙමින් තිබූ නැවුම් හැඟීම් කප්පරක් සමඟද දවසේ වැඩ කටයුතු කරමින් උන් හ. චත්‍ර උන්නේ කිසිවකට සිත යොමු කර ගත නොහැකිව ඔහේ කාමරය තුලට වැදීගෙනය. මිතුරාගේ නඩු කටයුත්ත වෙනුවෙන් පවා කිසිවක් කරන්නට යොමු වෙන්නට ඔහුට සිතක් වූයේ නැත.
ජංගම දුරකතනයට එන එක් ඇමතුමකටවත් ඔහු පිළිතුරු දුන්නේද නැත.
” පොඩි සර් … අද එලියට යනවද? ..උදේ වරුවේ මම වාහනේ හෝදන්න බැලුවේ..”
” හා..”
චත්‍ර තනි වචනයෙන් පිළිතුරු දුන්නේය. කල යුත්තේ කුමක්දැයි තීරනය කරගන්නට තරමේ නිරවුල් සිහියක් නොවූ නිසා චත්‍ර සිගරට්ටුවක්දල්වාගත්තේය. කාමරයේ පිරෙන දුමෙන් මිදෙන්නට ජනේලයක් හැර දැමුවේ පසුවය.
” මේකි මාව මෙච්චර අවුල් කරලා කොහොමද එහෙම ඉන්නේ.. අවිශ්කයා එක්ක මේක කතා කරලා වැඩක් වෙන්නේත් නෑ.. එහෙමයි කියලා මේකිව උස්සන් එන්නත් බෑ… ශිට්…”
චත්‍ර තමාටම කියවා ගත්තේය.
| අපේක්ෂා ගුණරත්න |