සුහදිනී -51

සකී දුරකථනය අතට ගත්තේ අහස් අවදියෙන්දැයි බලන්නට ය.නැත! ඔහු අවදියෙන් වගක් පෙනෙන්නට නොවේ.ඇය මඳ වෙලාවක් කල්පනා කළා ය.මිතුලි අවදියෙන් බව ඇය දුටුවේ ඒ මොහොතේ ය.මිතුලි සමහර කාරණා ගැන සිතන පුළුල් ස්වභාවය ගැන ඇයට තිබුණේ හොඳ හැඟීමකි.කතාබහ ඇරඹිණ.කතා කිරීම වෙනුවට මිතුලි අසා සිටියා ය.

“ඔයාල ඉන්නේ ට්වින් ෆ්ලේම් එකක.”

බොහෝ දේ අසා හිඳීමෙන් පසු මිතුලි එසේ කීවේ ගැඹුරු හඬකිනි.

“අහස් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන හිටිය ඔයා කොහෙටවත් නැති මං හින්දාත් අවුල් වුණේ ඒකයි.”

ආත්මීය සහකාරයන් ආදර ජීවිතය තුළ අදියර කිහිපයක් පසු කරන බව ඇය පැවසුවේ ඉන් අනතුරුව ය.

“ට්වින් ෆ්ලේම් එකක ඉන්න දෙන්නෙක්ට අවස්ථා අටක් පහු කරන්න වෙනවා කියලා ඔයා දන්නවද නංගි?”

මුණ ගැසීමට ඇති දැඩි ආශාව ද මුණ ගැසීම ද ප්‍රේමයෙන් ඉතිරී යන කාලය ද දරා ගත් බව සකී තේරුම් ගත්තා ය.ඒ මිහිරැති වසන්ත සමය ඇය සොම්නසින් විඳ ගත්තා ය.

“චැලේන්ජස් වගේම ආදරේ පරීක්ෂා කරන කාලෙකුත් එනවා.මම හිතනවා ඔයා මේ පහු කරන්නේ ඒ කාලේ.කොච්චරක් ආදරෙන් ඉන්න දෙන්නෙක්ට වුණත් මේ පරීක්ෂා කරන කාලෙට මූණ දෙන දෛවය සිද්ධ කරනව.ඒව තමයි ජීවිතේ අභියෝග කියන්නෙ.මේ සකීද කියලා හිතන තරමට ඔයා අවුල් වෙන්නේ ඒ නිසා.”

සකී ඒ කතාව අසා සිටියේ හැඟීම්බරව ය.දරා ගත යුතු කාලය එහෙමම ඉතිරිදැයි ඇය සිතුවා ය.

“කාලේ ඉක්මනින් ගෙවෙනව නංගි.පුදුම ඉක්මනින් ගෙවෙනවා.ඔයාට මොනව නැතත් ආදරේ ඉතුරුයි.ජනප්‍රිය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න බෑ ආදරයක් නැතුව.ඒක අපායක්.මං ඒක දැක්කෙ මගේ අම්මාගෙන්.”

කිසිම ආදරයක් නොමැතිව වෙනත් අරමුණු උදෙසා විවාහ කරවූ මිතුලිගේ අම්මා හිරිකඩුව ඇමති නම් නිහීන මිනිසෙකු කෙසේ දරා ගත්තාදැයි සකී සිතුවා ය.ඇය හිරිකඩුවගෙන් සහමුලින්ම ඉවත් වී මිතුලි දරාගෙන ජීවත් වීම ම සකීට පුදුමයකි.නමුත් තමන්ගේ අනාගතය එවැන්නක් බව සිතන්නට සකී අකමැති ය.

“තමන්ගෙ බලයෙනුයි ජනප්‍රියකමිනුයි අන්ධ වෙලා පිස්සො වගේ හැසිරෙන මිනිස්සු අස්සෙ අහස්ලා වගේ ආදරේට පණ දෙන මිනිස්සු ඉන්නවා නංගි.ඔයාට ඒ ආදරේ වෙනුවෙන් දරාගෙන ඉන්න පුලුවන් කියලා මටනම් විශ්වාසයි.”

මිතුලි කියන්නේ විශ්වාසයෙනි.සකී අසා සිටියා ය.

“මට හිතෙනවා ඔයාලා දෙන්නා එකතු වෙලා අභියෝග දිනාගත්තට පස්සෙ ඔයාලගෙ සතුට ඔයාලා ළඟම තියනව කියලයි හීනෙන් කියන්නෙ.ලෝකෙම ඔයාලට ආශිර්වාද කරන්න ඕන නෑ.ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නට ආශිර්වාදයක් වෙන්න ඕන.මල් දාහක් පිපෙන එකක් නෑ.පිපෙන එක මලක් වුණත් ඔයාලට ඇති.”

මිතුලි සිතන අන්දමට සකී කැමති වූවා ය.ඇය කියන්නේ සිහිනයට තවදුරටත් ජීවිතය තීරණය කරන්නට ඉඩ නොදිය යුතු බව ය.

“අහස් එයා ගැන විස්වාසයක් ඇති කරගන්න ඕන.ඔයා හීනෙ ගැන කියන එක නවත්තලා දාන්න.ඔයාට හීන දිගටම දිගටම පේන්න ගත්තොත් කරන දේ තනියම තීරණය කරන්න.”

ආත්ම එක්ව ගමනක් යන බැවින් ඔහු පීඩාවට පත්වන සෑම මොහොතකම ඇයට එය දැනෙන්නට ඉඩ තිබේ.නමුත් ඇය ඒ බව ඔහුට පැවසීම ම ඔහුගේ ධෛර්යය අඩපණ කරන බව සකී තේරුම් ගත්තා ය.

“මං කියන්නේ නෑ එයා වරද්දා ගන්න වෙලාවට පවා මේක වෙන්න තිබ්බ දෙයක් කියලා එයාව ෂේප් කරන එක හොඳයි කියල සකී.”

ජීවිතය පමණක් නොවේ,ඔහුගේ රැකියාව ද තරගයකි.ඔහු වඩා හොඳ මානසිකත්වයක් ද ශාරීරික යෝග්‍යතාවයක් ද දක්ෂතාවයක් ද සහිතව එයට මුහුණ දිය යුතු වේ.

“ඔයාගේ වචනවලින් මිසක් හීනවලින් අහස්ට බලපෑමක් වෙන්න දෙන්න එපා සකී.”

මිතුලි ඇගේ අවංක අදහස ප්‍රකාශ කළා ය.කොහොමටත් බියකරු බව හැඟෙන සිහිනයකට පසු පසුදා අපහසුවෙන් ජීවත් වීමට වඩා සිහිනය සමඟ පවා සටන් කිරීම පහසු බව සකී සිතුවා ය.විල්ලුව දැන් පෙනෙන්නට නොවේ.ඇතැම්විට එහි අදහස අහස් සදහටම ආරක්ෂිත බව විය හැකි ය.ඇතැම්විට හෙට සිට විල්ලුව නැවත පෙනෙන්නට ද ඉඩ තිබේ.එහෙත් ඔහුට විල්ලුවේ ගිලා බැස්ස ද ජීවිතයේ ගිලා බසින්නට ඉඩ දිය යුතු නොවේ.

“ඔයාලට කිට්ටු වුණාට පස්සෙ තමා නංගි මම ක්‍රිකට් ගැන උනන්දු වුණේ.මට තේරෙන දේ මේ වෙලාව අහස්ට හරිම නරක වෙලාවක්.”

ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියදී පවා ඔහුව පහතට ඇද දැමීමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.සිහිනය මොනතරමට මිහිරි වුවත් අහස්ට මේ මොහොත පවා හොඳ මොහොතක් නොවේ.

“මං දන්නව නංගි තමන්ගෙ පාට්නර් හිරේ විලංගුවෙ ඉන්නකොට බෝදියක් පන්සලක් දේවාලයක් ගානේ බාර හාර වුණු ගෑනු ගැන.අපේ තාත්තා හින්දම සමහර අය අමාරුවෙ වැටෙනකොට තාත්තා ඒ මිනිස්සු බේරා ගත්තෙ නෑ.එයාලගෙ නෝනලාගෙ හිතේ හයියටම බේරුණ මිසක්.ගෑනියෙක්ගෙ හිතේ හයියට කරන්න බැරි දෙයක් නෑ.ඒකට ආදරෙත් එකතු වුණාම ඇත්තටම පුදුම බලයක් තියෙන්නෙ.ඔය පත්තිනි දේවිගෙ කතාව වුණත් කියන්නෙ අවංක ආදරෙන් තමන්ගෙ පාට්නර් වෙනුවෙන් ඉන්න ගෑනියෙක්ට රටක් ගිනි තියන තරම් හයියක් තියනව කියලනෙ.”

තව දුරටත් සිහිනයට සියල්ල පාලනය කරන්නට ඉඩ දිය යුතු නොවේ.සකී ඇගේ වචන සහ ශක්තිය අහස්ට දෙන්නට තීරණය කළා ය.මිතුරියන්ට අනුව ඇය අහස්ගේ “ලොකුම රසිකාවිය” ය.ප්‍රේමය හන්දා එය වෙනස් විය යුතු නොවේ.අසීරු මොහොතක පවා ඔහුට ඉතිරි වන එකම රසිකයා වන්නට සකී තීරණය කළා ය.

ඒ වෙනදාට වඩා ප්‍රේමයෙනි! විශ්වාසයෙනි!

(කොටස් පනහක් තුළ සකී සහ අහස් ඔබට දුන් ආදරය ගැන කමෙන්ටුවක් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles