දෙවැනි අම්මා.

පාරමී ඔරලෝසුව දිහා බැලුවේ එලාම් සද්දෙට අවදි වෙලා.පාන්දර පහට එලාම් තිබ්බට ඒ වෙලාවට නැගිටින්න අමතක වෙලා.දැන් වෙලාව උදේ හයයි.දඩිබිඩියේ ඇඳෙන් බැස්ස පාරමී එළියට යාගන්න බැරුව තාවර වෙන්න ගත්තේ හිතට ආව දෙගිඩියාවෙන්.

සහන්ගේ අම්මාට කේන්ති ගිහින් තියෙයිද?

“අපෝ නැන්දම්මලා කියන්නේ ගිනි බෝම්බ.ඔයාලා වෙනම ඉන්න යන්නකො අනේ.නැන්දම්මා එක්ක ජීවත් වෙන්නේ කොහොමද?”

ඔෆිස් එකේ යාලුවෝ හැමෝම වගේ කිව්වේ එහෙම.කසාද බඳින්න හිතලාවත් නැති මිතුරියෝ පවා එහෙම කියනකොට පාරමීට ආවේ බයක්.

“සහන් පවුලේ එකම ළමයා වුණු එකේ ගෙවල් කුලියට ගන්නෙ පිස්සුද දෝණි.ඒ අම්මා මනුස්සකම පිරුණු මනුස්සයෙක්.ඔයාට නපුරු නැන්දම්මෙක් වෙන එකක් නෑ.”

ඒ අනාවැකිය පළ කරේ පාරමීගෙම අම්මා.දැන් ඉතින් මොනවා කරන්නද කියලා පාරමීත් ඒ අදහසට එකඟ වුණා.අනිත් කාරණාව සහන්ගේ මනාපෙත් ගෙදරම ඉන්න.ඒකට නම් පස්සෙ හරි රණ්ඩුවක් අල්ලන්න බැරියැ.

“දැන්ද ඇහැරුණේ දූ.”

කුස්සියේ වැඩ අස්සෙම නැන්දම්මා එහෙම අහනකොට පාරමී සීතල වෙලා ගියා.පරක්කු වුණාට දැන් දෝස්මුර තියාවි.ඒත් සහන්ලගෙ අම්මාගේ මූණේ හිනාව පිරිලා.

“මං හිතුවා දූට මහන්සි ඇති කියලා.ඒකයි කතා නොකරේ.පහුගිය දවස් ටිකේම වෙඩින් එකේ වැඩ එක්ක මහන්සි ඇතිනෙ.දුව ගිහින් තව ටිකක් නිදාගන්න.”

පාරමීට පුදුමෙනුත් පුදුමයි.සමහර වෙලාවට එහෙම නිදාගන්න කියලා සහන්ගේ අම්මා සහන් එක්ක පාරමීට දෝස්මුර තියන්න බැරි නෑ.

“දුව තේ බොනවද?මං හදලා දෙන්නං? උදේ තේ එක අම්මා අතින් නොබීවොත් දූට දවස සම්පූර්ණ නෑ කියලා කතාවක් මට දූලගෙ නංගි කිව්වා.”

නංගි මොකටද ඒ කතාව සහන්ගෙ අම්මාට කියන්න ගියේ.ඒත් නංගිව,අම්මව,තාත්‍තාව මතක් වෙලා පාරමීගේ මුහුණ දුකින් රතු වෙන්න පටන් ගත්තා.අම්මාත් දැන් තේ හදනවා ඇති.

“ඔහොම තමයි දුවේ.ගෑනු දරුවෝ කවදා නමුත් ගෙදරින් පිට වෙන්න එපැයි.”

සහන්ගේ අම්මා තේ කෝප්පේ අතට දීල පාරමීගේ ඔලුවත් අත ගාගෙනම යන්න ගියා.නැන්දම්මා කියන්නේ යකින්නියක් කියන කතාව ඔලුවේ ඇදගෙන ආව හන්දා පාරමීට මේ හැම දේම ගැන හරිම පුදුමයි.

“උදේට මං ඉඳි ආප්ප හැදුවා.”

සහන්ගේ අම්මා එහෙම කියාගෙන ආපහු මුළුතැන්ගෙයට ආවේ පාරමී තේ බීලා ඉවර වෙනකොටම.ඒ කියන්නේ එච්චර පාන්දර නිවාඩු දවසටත් ඇහැරෙන්න වෙනවා කියන එක කියලා පාරමීට හිතුණා.ඒක වෙන්නැති සහන්ගේ අම්මා නොකියා කියන්න ඇත්තේ.

“එහෙමයි කියලා හැමදාම නිවාඩු දාට මොනවා හරි හදන්න ඕන නෑ දුවේ.පාන් ගන්නත් බැරියැ.පාන් ත්‍රීවිල් එක මෙතනින් යන්නෙ උදේ හතත් පහුවෙලා.”

අම්මා ආයෙම එහෙම කියාගෙන සම්බෝලෙකට පොල් ගාන්න පටන් ගත්තා.

“දෙන්න අම්මේ මං ගාන්නම්.”

පොල් ටිකක් වත් ගෑවේ නෑ කියලා දෝස්මුර අහන්න වෙයි කියලා පාරමීට බය හිතුණට සහන්ගේ අම්මා පොල් බෑය අතින් තිබ්බේ ලස්සනට හිනා වෙන ගමන්.

“දුවට වැඩක් ඕනමනම් කරන්න.”

ඒ දුන්නෙත් එහෙම කියාගෙන.

පළමුවැනි දවස එහෙම ගෙවිලා ගියා.දෙවැනි තුන්වැනි දවස් ගෙවුණෙත් අම්මාගේ හොඳ හිත හොඳටම රැකගෙන.

“නැන්දම්මා තාම පැටලුණේ නැද්ද පාරෝ?”

යාලුවෝ එහෙම අහනකොටත් පාරමී එහෙම නැති බව කියන්නේ ආඩම්බරෙන්.ඒ වුණාට හිත යට පුංචි බයක් තිබුණා.මොන වෙලාවක සහන්ලගේ අම්මා වෙනස් වෙයිද කියලා කියන්න බෑනෙ.

“අනේ සහන්ගේ අම්මා හරි සීදේවි මනුස්සයා.ඔයා මං ගාව නෑ කියලා මට වේදනාවක් නැත්තේ ඒකමයි.”

අම්මා එහෙම කියනකොටනම් පාරමීගේ හිත පිරෙනවා.ඒ වුණාට අම්මට තව කෙනෙක් සමාන කරන්න බෑ.මේ මුල් කාලේ හින්දා වෙන්න ඇති සහන්ගේ අම්මා මෙහෙම හොඳට ඉන්නේ කියලා පාරමී තීරණය කළා.

“අම්මගෙ අවුරුදු පහේ දානෙට බඩු ගන්න වෙයි නේද?”

සහන්ගේ අම්මා සහන්ගේ අප්පච්චිට ඒ කතාව මතක් කළේ රෑ කෑම මේසෙදි.සහන් නම් මුහුණ අමුතු කරගෙන අම්මා දිහා බැලුවා.ඒත් අම්මා ඒ ගැන සැලකුවේ නැති බව පාරමීට තේරුම් ගියා.

“නැන්දලාටත් කියනවද?”

සහන් අහනකොට නැන්දලා ඕනෑනම් එයාලගේ ගෙවල් වල දානමය පිංකමක් කරයි කියලා අම්මා කිව්වේ සහන්ගේ අප්පච්චි දිහා නොබලමයි.

“අපේ අත්තම්මා හිටියෙ මෙහෙනෙ පාරමී.අම්මා තමයි අත්තම්මාට අසනීප වුණාම එයා බලාගත්තෙ”

සහන් විස්තර කළා.

“ඒවා ඉතිං යුතුකම්නෙ පුතේ..”

සහන්ලගෙ අම්මා එහෙම කිව්වෙ හිනා වෙලා.පාරමී අම්මා දිහා බලලා හිනා වුණා.

සමහරවිට සහන්ගේ අත්තම්මා,අම්මට හරි ආදරෙන් ඉන්න ඇති.ඒක තමයි අම්මා පාරමීටත් මෙච්චර ආදරේ.

පාරමී එහෙම හිතුවා.

ඒත් හිතන හැමදේමත් ඇත්ත වෙන්නේ නෑ.

පාරමීට එහෙම හිතුණේ ඉරිදා දවසේ මල් පාත්ති හදන වෙලාවෙදි.

“ඔයාලානෙ දැන් අලුත් තාලේ දේවල් දන්නේ..”

සහන්ගේ අම්මා එහෙම කියාගෙන පාරමීගෙන් අදහස් විමසන්නේ මිදුල තව ලස්සන කරගන්න. මිදුලේ මල් ගස්වලට අතක්වත් තියන්න නොදෙන නැන්දම්මා කෙනෙක් ගැන මිතුරියක් කිව්ව හැටි පාරමීට මතක් වුණා.

“අත්තම්මා අම්මට හරි ආදරේ ඇති නේද? ඒකනෙ අසනීප වුණාමත් මෙහෙ ඉන්න ඇත්තේ”

පාරමී එහෙම අහනකොට සහන්ගේ අම්මා මොකුත් නොකියා රතු රෝස ගහ එක්ක හිනා වුණා.ඊටත් පස්සෙ දිරච්ච අතු කපන ගමන් කතාවට වැටුණා.

“නැන්දලට වැඩ වැඩි වුණානෙ පුතේ.අම්මට දූලා තුන් දෙනෙක්ම හිටියට අන්තිමට මට තමා අත්තම්මා බලා ගන්න වුණේ.අත්තම්මා දිගටම හිටියෙත් මෙහෙනෙ..”

ඊළඟට සහන්ගේ අම්මා කිව්වේ පාරමී බලාපොරොත්තු වුණු කතාව.

“සහන් පුංචිම කාලෙදි තමයි මං හිතාගත්තේ කවදාමහරි සහන් බඳින ගෑනු ළමයට මගේ දුවෙක්ට වගේ සලකන්න.ඒකට හේතුවත් ඔය අත්තම්මා තමයි පුතේ.”

සහන්ගේ අම්මා එහෙම කියනකොට පාරමී ලස්සනට හිනාවෙලා අම්මා දිහා බැලුවා.

“අත්තම්මා අම්මට ආදරෙයිද? අම්මා දැන් මට ආදරේ කරනවා වගේ.”

අත්තම්මගෙ වෙනස්කම් නිසා ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්ත වග සහන්ගේ අම්මා කියනකොට පාරමී අහගෙන හිටියේ ඇස් නළලේ තියාගෙන.හැම වැඩකම ඇද පලුදු දැක්ක අත්‍තම්මා මිය යන්න පැය ගාණකට කලින් අන්තිම බැනුමෙන් සංග්‍රහ කළා කියලා සහන්ගේ අම්මා කියන්නේ හිනා වෙන ගමන්.

“ඒ අම්මාගෙ සැලකුම් නිසා මං හිතාගත්තා කවදාහරි මගේ පුතාව බඳින දුවට ආදරෙන් සලකන්න.අම්මා තාත්තා ගාව ආදරෙන් හැදුණු දරුවෙක්ට ජීවිතේ එපා කරනවට වඩා පවක් නෑ පුතේ”

අම්මා එහෙම කියලා පිච්ච වැලට පෝර දාන්න පටන් ගත්තා.පාරමී බේබි රෝස මල් පාත්තිය ගාව ඉඳගත්තේ අම්මා එක්ක ලස්සනට හිනා වෙන ගමන්.

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...