සය වැනි නෙත් සේයාව
සිහිනි කෙලෙසින් පැවසූවද චත්‍රට අයත්මා අතැර සිත හදා ගැනීමට නොහැකි විය. ඔහු වේල් තුනක්ම පසු කලේ නිරාහාරවය. පසු දින පැවැත්වෙන සම්බණ්ධීකරන කමිටුවට යෑමටද චත්‍ර සූදානම් වූයේ කල හැකි දෙයක් නොවූ නිසාය.
පෙර කමිටු වාර්තා අධ්‍යයනය කිරීමටවත් ඔහුට කල්පනාවක් තිබුනේ නැත. අම්මා සහ අප්පච්චීවද මඟ හැර ඔහු කැබ් රියට ගොඩ විය. එහෙත් කපිල කැබ් රිය වෙත පැමිණියේ නැත. චත්‍ර උන්නේ නොසන්සුන් කමිනි. තමා සතු යමක් අහිමි වීමේ බිය මින් පෙර මෙතරම් තදින් චත්‍ර දැනී තිබුණේ නැත. එහෙත් අයත්මාගේ අහිමිවීම ඔහුව ඉතා තද සිරවීමක හෙලමින් තිබුණි.
සිහිනි කැබ් රියට ගොඩවූවාය.
” මට පරක්කු වෙලා … තමුසේ වෙන විදියකට යනවා….”
චත්‍ර සිහිනිට ගෙරෙව්වේය. සිහිනි අයියා දෙස බැලුවේ නොරිස්සුමෙනි.
” මාව දාන්න ආයේ අමුතුවෙන් යන්න ඕනි නෑ.. යන ගමන් බස්සන්න විතරයි ඕනි ..”
” නවත්තගෙන හිටියම ඔතන හිර වෙනවා ..”
” අනේ මේ..”
චත්‍ර නිහඬ වූවේය. දෙවෙන වතාවට අයත්මා සහ කලණ එක්ව දකින්නට තමාට ඇති බියේ ප්‍රමානය ඔහු වටහා ගත්තේය. ඒ දසුනෙන් තමා කෙතරම් නම් විපරීත තත්වයකට පත් වී ඇතිද?. ඒ දසුන පවා මෙතරම් රිදවන්නේ නම්, අයත්මා කලණ හා හාද වුවහොත් …
චත්‍ර අසුනේ පිටුපසට හිස වේගයෙන් තද කලේය.
“අයියේ .. සිහි කල්පනාවෙන් වැඩ කරන්න .. තේරුනාද…? …. අයත්මා ඔයාට කැමති නෑ නම් ඒක ඒමම තමයි .. අනෙක අම්මාගෙන් ඔයාට කීයටවත් ඕක කරගන්න අවසර ලැබෙන්නේත් නෑ .. ඒ නිසා මේක තේරුම් අරගෙන උන් දෙන්නට උන්ගේ වැඩක් බලාගන්න දීලා ඔයා පැත්තකට වෙන්න දැන් …. මොකද්ද හලෝ .. අයත්මාගේ ඇති ලස්සනකුත් නෑ..බලනවකෝ තමුසේ නිකන් නළුවා වගේ ඉන්නවනේ…. ලස්සන කෙල්ලෙක් බලලා සෙට් කරගන්නවකෝ අනේ….”
සිහිනි ට අවැසි වූයේ අයියාට ඒත්තු ගැන්වෙන්නටය. අයත්මා පිළිබඳව වන සිහින එලෙසින්ම වල දැමිය යුතු වග අයියා වටහා ගන්නටය.
“කට වහගෙන ඉන්නවා .. කෝ මේ කපිල ……”
චත්‍ර නලාව නාද කලේ නොනවත්වමිනි. කපිල ආහාර ගැනීමද අතර මැද නවත්වා දිව ආයේය. ඒ ගැන අනුමානයෙන් සිතූ සිහිනි චත්‍රට බැණ වැදුණාය. එහෙත් චත්‍රට ඒ ගැන වගක් වූයේ නැත.
පාසැලට සමීප වන විත චත්‍රගේ නොසන්සුන්කම උපරිම වෙමින් තිබුනි. සිහිනි කබ් රියෙන් බැස ගන්නා විට ඔහු කවුලුවෙන් එබුණේය. එහෙත් කිසිවෙකු ඇස ගැටුනේ නැත. සැබැවින්ම එහි පාසැල් සිසුන් කිහිප දෙනෙකු වුවද, චත්‍රට ඔවුන් පෙනුනේද නැත.
කපිල කැබ් රිය පණ ගන්වා ගත්තේය. චත්‍ර පසුවන මාර්ගය දෙස දෑස් අයා උන්නේය. එක් වරම මෝටර් සයිකලය මතු විය. කපිලද අනුමානයට මෙන් එය හඳුනා ගත්තේය.
“ස්ලෝ කරපං..”
මෝටර් සයිකලය කැබ් රිය පසු කලේය. අයත්මා හැඳිනීම චත්‍රට අපහසු වූයේ නැත. අයත්මා කැබ් රිය දෙස බැල්මක් හෝ නොහෙලාම ඉදිරිය බලාගෙනම උන්නා වුවද කපිලදා ඇය හැදින්නේය. චත්‍ර කැබ් රියෙන් හිස පිටතට දමා පසුවී නොපෙනී යන මෝටර් සයිකලය දෙස බැලුවේය. ඔහු කෑ ගැසුවේය. කපිල කැබ් රිය නොනවත්වාම ධාවනය කලේය.
“මං අරූව මරනවා … මං අනිවාර්‍යෙන් මරනවා…. උබ මාව සභාවෙන් දාලා , ගෙදර ගිහින් තාත්තාගේ ගන් එක අරන් වරෙන්… මම හවසට අරූට වෙඩි තියනවා .. අනිවාර්‍යෙන් මරනවා මම ..”
චත්‍ර තමාට අවධාරණය කරගනිමින් කෑ ගැසුවේය. පසුව කපිලට ද කල යුතු පවාමින් කෑ ගැසුවේය. කපිල චත්‍ර දෙස බලා උන්නේ අදහා ගන්නට නොහැකි ලෙසකිනි.
චත්‍ර වෙනුවෙන් සේවය කරන්නට ඇරඹුවාට පසු චත්‍රගෙන් මෙවන් හැසිරීමක් දුටුවේ පලවෙනිම වතාවට වග කපිලට විශ්වාසය. මෙතරම් කෝපයක් නම් ඔහු කෙරෙන් දැක නැත. චත්‍ර සිටින කෝපය කෙතරම්ද යත්, ඔහුට ඔහුව පාලනය කරගන්නටවත් නොහැකි තරමේ බව කපිල දුටුවේය. ඔහුගේ දෑත් මිට මෙලවී නහර ඉලිප්පී ඇත. මුහුණේ ඇත්තේ විරූපීව ගල් ගැසුණු ස්වරූපයකි.
” අපි ගෙදර යමුද පොඩි සර් ?…”
“ඕන් නෑ .. උඹ මාව දාලා ගිහින් කියපු එක කරපං …”
” මොනවද මේ කියන කතා පොඩි සර් .. එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද? .. අනෙක එකට ආවා ගියා කියලා අපි හරියටම කියන්නේ කොහොමද අයත්මා මිස් අලුතෙන් ආව සර් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා … මිනිස්සු ඉතින් එකට යනවා එනවා තමා අවස්තාවේ හැටියට ..”
” කපිල මේ .. උඹේ බණ මට මෙවෙලේ අහන්න ඕනි නෑ.. උඹට බැරි නම් මට කැබ් එක තියලා උබ යන දීපංකරේක පලයං .. මට ඔය වැදි බණ කාරයෝ එකෙක්වත් ඕනි නෑ … එකෙක්වත් එපා.. හැම එකාටම මාව නිකන් රූකඩයක් … හැම එකාගෙම වැඩ කරලා දීලා මම ඉන්න ඕනි උන්ට කඹුර කඹුර .. අම්මත් එකයි, අප්පච්චිත් එකයි, චූටිත් එකයි ,අරකි අයත්මාගෙත් වෙනසක් නෑ …. මං පෙන්නන්නම් හැම එකාටම මම කවුද කියලා…”
කපිල ඉන් පසුව චත්‍රට කිසිවක් පැහැදිලි කරන්නට උත්සාහ කලේ නැත.
“උඹ දන්නේ නෑනෙ සිහිනි මට කිව්ව බණ.. ආදරය කියන්නේ අයිති කරගන්න එක නෙවෙයිලු .. ඉතින් ආදරේ කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි නම් අරූටත් පුලුවන් නේ අයත්මාගෙන් ඈතට වෙලා ඉන්න මඟුල… ඌ මොකටද ඒකි අස්සේම ලගින්නේ….
හරි.. අවුලක් නෑ .. අද විතරයිනේ.. අද විතරයි .. මම මරනවා ඕකව..”
චත්‍ර අවධාරණය කලේය. කල යුත්තේ කුමක්දැයි කපිලටහ පැහැදිළි වූයේ නැත.
අයත්මා ගුරු විවේකාගාරයේ සිට පන්තිය කරා ගියේ කලණ උගන්වන්නට නියමිත බව සඳහන් කර තිබු පන්තිය පසු කරමිනි. අත් බෑගය ගුරු විවේකාගාරයේ තබා විෂයට අදාල පොත් සහ වතුර බෝතලය පමණක් ඕ අතට ගෙන තිබුණාය. කලණ උගන්වන පන්තිය පසු කන්නට සමීප වනවිට තම දෙපා ඇඟිලි අග්ගිසි සීතලව ගොස් ඇති වග ඕ අත් වින්දාය.
” ඉංග්‍රීසි සාහිත්‍ය කියන්නේ ඉංග්‍රීසියෙන් හිතලා ඉගෙනගන්න ඕනි විෂයක් .. පන්තියේ ඉන්නේ හතර දෙනෙක් නිසා අපිට මේක ගොඩ දාන්න ලේසියි..”
කලණගේ බර හඬ දිගේ අයත්මා ඔහු වෙතටම ඇඳුණාය. ඕ හිස ඔසවා බැලුවේ ආයාසයෙන් වගේය. කිසිවෙකු හෝ දැකීමෙන් නපුරක් වේය යන හැඟීම දරාගෙන මෙන් ඕ පෙන්වමින් උන්නේ හොර පූසියක වන් වූ හැසිරීමකි.
කලණ හිස පසෙකට සලා ඇය දුටු වග පෙන්වූයේය. අයත්මා ඔහුට පෙරලා සිනාසුනය. ඒ සිනහව ඇයට එවෙලෙහි නැඟුණු සිනහවේ සාන්ද්‍රණය සිය ගුණයකින් පමන අඩු කර පෙන්වූවකි.
හදවත මෙතරම් වේගයෙන් ගැහෙන්නේ ඇයිදැයි අයත්මාට සිතා ගන්නට නොහැක. ඕ පන්තිය පසු කලාය.
” මට මේ මොනවා වෙලාද?…”
හඬ නොනැගෙන්නට දෙතොල් පමණක් සොලවා ඇය එලෙස විමසා ගත්තාය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත. ඒ වෙනුවට කලණ ගේ සිනහබර වත හදෙහි ඇඳී නොපෙනී ගියේය. අයත්මා පන්තිකාමරයට ගොඩ වූයේ බරවූ හිතිනි. සියලු වැඩ පසෙකලා මේ දැනෙන හැඟීම සමඟ පසෙකට වී සිටින්නට තිබේ නම් කියා සිතෙයි.
අයත්මා පන්තියට පිවිසෙත්ම ළමුන් අසුන් වලින් නැගිට ආචාර කලෝය. අයත්මාට සියල්ල පෙනෙන්නේ දෑස් මානයෙන් යම් ඈත ඉසව්වක සිටින සේය. දෙතොල් වියලී ගොස් ඇත. උගුරේ යමක් සිරවී ඇත.දෑස් මානයේ මැවෙන රුව ඔහුය. කලණය. අවැසි යලි ඒ දසුනින් සිත පුරවා ගැනීමය.
අයත්මා දෑස් ඇඟිලි තුඩු වලින් මිරිකාගෙන පුටුවේ හිඳගත්තාය. මේ කිසිවකින් දරුවන්ට පාඩුවක් විය යුතු නැත. ඕ සැහැල්ලු වීම සඳහා වන ගැඹුරු හුස්මද හෙලුවාය.
“ඇයි ටීචර්..?..”
කටකාර සිසුවියක විමසනු ඇසුණි.
“උදේ ඉඳන්ම ඔලුව කැක්කුමක් තිබුනා අයේශා… එකපාරටම කලුවරක් ආවා..”
අයත්මා කොහෙදෝ තිබූ මුසාවක් දරුවන්ට කීවාය. සිසුවියන් කිහිප දෙනෙකුම ඇය වටා වට විය. සිසුවෙකු පන්තියෙන් පිටටට් යනු දුටුවද අයත්මාට කිසිත් පවසන්නට වෙලාවක් වූයේ නැත.
“දැන් හරි පුතේ… අපි පාඩම කරමු ..”
එහෙත් සිසුවියන් ඇය වටාම උන්හ. එක්වරම ඇසුණු හඬින් අයත්මාගේ හදවත තත්පරයක නැවතීමකට නතුව, ඉනික්බිති වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
| අපේක්ෂා ගුණරත්න |