චන්දුල හා ශාරුක් අතරින් ඉදිරියට පැමිණි පාරුල් ගෙයි පඩිය බැස්සා ය. ඇගේ හදවතෙහි කුණාටුවක් හමමින් තිබිණ. ඇය කිසිදු වරදක් කොට නැත. නමුත් ගඟුල් එක්ක පෙර දා කතා කරමින් සිටි එක ගැන ද අයියා පහන් හැඟීමකින් කතා නො කළේ ය. එහෙව් එකේ නැවත වරක් ගඟුල් මේ විදිහට ගෙදරට ම පැමිණීම ඔහු කවරාකාරයෙන් දකිනු ඇත්ද? කෙලෙස සිතනු ඇත්ද? ගඟුල් පිළිබඳව ද ඈ තුළ නො රිස්සුමක් ඇති වී නැති වී ගියේ ය. මේ විදිහට ඔහු නැවත මෙහි පැමිණෙන්නට ඕනේ ම නැත. ඔහු නිසා අයියා ඇය ගැන වැරදියට හිතනවාට ඇය කැමති ම නැත. මේ ලෝකයේ ඇයට වැඩිපුර ම වටින පිරිමියා අයියා නම් වේ!
ඔහු ආවේ පැමිණිය යුතු නැති ගමනක් බව ගඟුල් විජයවීර මැනැවින් දනී. නමුත් මොකක්දෝ හේතුවකට ඔහු ට එහෙම නො කර සිටිය නො හැකි විය. නැවත නැවත ද පාරුල් හමුවීමට සාධාරණ හේතුවක් නැත. වත්තේ දරුවන් වෙනුවෙන් ආධාර කිරීමේ ව්‍යාපෘතියට තවම අනුග්‍රාහකයන් ගේ ප්‍රතිපාදන ලැබී ද නැත. නමුත් ඔහු ට නෑවිත් සිටිය නො හැකි විය. එහෙම ළතැවෙමින් හා නො ඉවසිල්ලෙන් සිටියදී එන්නට හේතුවක් අහම්බෙන් ඇස ගැටිණ.
“මේ… අපේ ගෙදර මෙඩිකල් බුක්ස් වගයක් තිබුණ. නිකං අපරාදෙනෙ නිකං තියෙන්නෙ… කාට හරි යූස් කරන්න පුළුවන්නෙ. මට හිතුනා ඔයාට වැඩක් ගන්න පුළුවන්ද කියල බලන්න… ගෙනත් දෙන්න කියල”
වෛද්‍ය විද්‍යාවට අදාල පත පොත සියල්ල ම වාගේ විදේශ වලින් ආනයනය කරන ඒවා ය. එහෙයින් ඒවා මිලාධික ය. දවස පුරාම වතුර ටැංකියට දිය වී යන අයියා දුක් විඳ උපයනා සොච්චම එහෙව් වියදමක් දරන්නට සෑහෙන්නේ නැත. දන්නවා නම් චන්දුල කවරක් කොට හෝ පාරුල් ගේ අවශ්‍යතා සපයා නොදී ඉන්නවා නොවේ. නමුත් ඔහු ගේ හිස මත තව තවත් බර පටවන්නට පාරුල් ට හිත් දෙන්නේ නැත. එහෙයින් අවශ්‍ය පොත් පත් සියල්ල ම වාගේ ඇය පුස්තකාලයෙන් පිරිමසා ගනී. නැත්නම් වෛද්‍ය පීඨයේ මිතුරියකගෙන් අවශ්‍යතාව සපුරා ගනී. නමුත් තමන් සතුව පොත් කිහිපයක් හෝ තිබෙනවා නම් එය ලොකු පහසුවකි. ගඟුල් විසින් පොත් ගැන කියත්දී පාරුල් ගේ මුහුණට සිනහවක් ආවේ එබැවිනි.
“මෙඩිකල් බුක්ස්නං කොච්චර වටිනවද… තෑන්ක් යූ සෝ මච්”
“බොක්ස් එකක දාං ආවෙ. ඔයාටනං ගන්න බැරිවෙයි”
“ඉන්න ඉන්න මං ගන්නං”
කියමින් ශාරුක් ඉදිරියට ආවේ ය. පාරුල් ගෙතුළට හැරුණේ චන්දුල ව ගඟුල් ට හඳුන්වා දෙන්නටයි. තවමත් ඇගේ සිත අවිනිශ්චිත බියකින් සැලේ. චන්දුල ගඟුල් ගේ මූණට ම වුව කුමක් කියනු ඇත්දැයි සිතාගත නො හැකි ය.
“අයියෙ මේ මිනිස්ටර් සුරත් විජයවීරගෙ පුතා ගඟුල් විජයවීර. මේ මගෙ අයිය…චන්දුල”
“කොහොමද චන්දුල…”
රියෙහි ඩිකි දොර විවර කරනා ගමන් ගඟුල් සිනහ වූයේ ය. ඇමති පුතුන් ගේ සිනහවන් විශ්වාස කරනා තත්වයක නොවේ චන්දුල සිටියේ. එබැවින් ඔහු නැගූ සිනහව හදවතින් උපන්නක් නොවේ.
“කවුද කවුද පැංචියෙ කතා කරනව ඇහෙන්නෙ… සන්තානම් මෑණියණේ… මේ අර එදා ආපු මන්තිරිතුමා නේද…”
කටහඬවල් නිසා නින්දෙන් පිබිද පැමිණි ජුලී, ගඟුල් දැක කලබල වූවා ය.
“මට පොත් වගයක් දෙන්න ඇවිත් අත්තම්මෙ”
“ඉතිං බං විගහට මහත්තයට බොන්න දෙයක් ලැහැත්ති කරහංකො. ඔය ශාරුකාට කියහං කඩේට දුවල ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් අරං එන්නයි කියල”
ඒ හඬ ගඟුල් ට හොඳට ම ඇසිණ. ඔහු සිනහ වී ගෙන ජුලී දෙස බලා,
“ඕන නෑ ආච්චි. ඕනමනං අපි ප්ලේන්ටී එකක් බොමුකො”
කියා කීවේ ය. යුවතියන් දෙදෙන උනුන් ගේ මුහුණු බැලූහ.
“මං වතුර ලිපේ තියන්නං”
කියාගෙන උමා මුළුතැන්ගෙට වැදුණා ය. ජුලී ද කලබලෙන් හිසකේ රොද එකට එකතු කරමින් කුඩා මුරුච්චියක් ගැට ගසාගත්තා ය. ඇය කලබලයට පත් ව සිටියා ය. චන්දුල නම් ඇමති පුත්‍රයා ගේ පැමිණීම කෙසේ වී ද ලෝකය පෙරළුණත් කමක් නැතැයි හඟවමින් පාඩුවේ ප්ලාස්ටික් පුටුව මත්තට වී පූරි කැබලි කඩා කටට දමාගෙන හැපුවේ ය.
“මට කිව්වනං මං පාරෝට පොත් ගෙනත් දෙනව සර්”
එක පොත් මිටියක් ගෙනැවිත් ඉස්තෝප්පුවෙන් තබා ඊළඟ ටික ගන්නට රිය ළඟට යමින් ශාරුක් උජාරුවට කීවේ ය. ගඟුල් ඔහු දෙස බැලුවේ ඇස් කුඩා කොටගෙනයි.
“චන්දුලනෙ පාරුල්ගෙ අයිය කිව්වෙ. එතකොට ඔයා කවුද…”
ශාරුක් තරමක් හඬ නැගෙන සේ සිනහ වී හෙමිහිට හඬ අවදි කළේ ය.
“පාරෝ මගෙ කෙල්ලනෙ සර්. අපි බඳින්නනෙ ඉන්නෙ”
ගඟුල් ගේ දෑස් ශාරුක් විනිවිද බැලුවේ එවිටයි.
“දැනුත් මං මේ පළතුරු ටිකක් අරං ආව කෙල්ලට කන්න. මහන්සි වෙනවනෙ සර් ඕනවටත් වැඩිය. නිදි මරාගෙන පාඩං කරනවනෙ. ඔය කරදර ඔක්කෝම තව ටික කාලයයිනෙ සර්. එතකං කොහොමහරි මේ කට්ට කනව”
ගඟුල් හිස සැලුවේ ය. ඔහු වෙතින් දැකිය හැකි වූයේ කල්පනාබර බවකි. ශාරුක් විසින් ඒ පොත් අට්ටිය ගැනීමෙන් පසු ඩිකි දොර වසා දැමූ හෙතෙම තවත් කල්පනාවේ කිමිදගෙන ම චන්දුල දෙස බැලුවේ ය.
“මං යන්නං චන්දුල”
චන්දුල ට යමක් සිතාගත හැකි වූයේ නැත.
“අ… මේ… මං නංගිට කතා කරන්නං”
“නෑ ඕන නෑ කමක් නෑ”
කියමින් ගඟුල් රියට ගොඩ වෙන විට චන්දුල “නංගී” කියා අවසන් ය. පාරුල් ඉක්මන් කොට කුඩා මැද සාලය හරහා ඉස්තෝප්පුවට එන විටත් රිය පණ ගැන්වී තිබිණ. ගඟුල් ගේ ඇස් කොනට, පඩිය බසිනා යුවතිය නො පෙනුණා නොවේ. නමුත් ඔහු හිස හරවා ඇයට යනවා කියන්නට තරම් හෝ උනන්දු නො වුණේ ය.
“ඇයි ඒ ගියේ… තේ එක බිව්වෙ නෑනෙ”
පාරුල් තමන්ගෙන් ම ප්‍රශ්න කළා ය. ශාරුක් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.
“ඔයා හිතනවද ඔය සර්ල මේ වගේ ගේකිං තේ එකක් බොයි කියල. ඔය ටිකක් වැඩිපුර පෙනිල යන්න වත්තට එන්නෙ පබ්ලිසිටි එකට. ඕව තමා පාරෝ අලුත්ම පබ්ලිසිටි කැම්පේන්. නැද්ද චන්දුල… දැං පාරෝට මේ විසිකරන්න හරි කඩල කරත්තෙකට දෙන්න හරි තිබුණ පොත් ටික ගෙනත් දීපු නිසා මේ ගෙදර ඡන්ද ටික ඔක්කොම ඔය ගඟුලයට දෙනවනෙ. නැද්ද… ආ නැද්ද… තව මේ වත්තෙ උනුත් දෙයි… අපේ වත්තෙන් දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉන්න පාරෝට පොත් ගෙනත් දීල උදව් කළා කියල. හා නැද්ද උමා… උඹත් දෙනව නේද…”
ශාරුක් අත පය විසි කරමින් අධි රංගනයක යෙදෙන්නට පටන් ගත්තේ ය. පාරුල් ඔහු ට ඔරවා ඉවත බලා ගත්තා ය.
“මට මනාප පහක් දෙන්න පුළුවන්නං මං ඒ පහම ගඟුල්ට දෙනව. පහම…”
“අන්න දැක්ක නේද…දැක්ක නේද…ඕව තනිකරම මාකටිං. පාරෝ දොස්තර නෝනෙක් වෙන්න ඉන්න ඇහැට කනට පේන කෙල්ලනෙ. ඒකෙනුත් උං වාසියක් ගන්නයි බලන්නෙ. අහු වෙනව නෙවෙයි ඕවට පාරෝ… ඔය මන්ත්‍රී අයියල ඇවිත් රඟපාල කෙල්ලොංගෙන් තියන දේවලුත් අරං තමයි මාරුවෙන්නෙ. උඩදාගෙන ගිහින් අන්න එතකොට එන්නෙපා අඬාගෙන ශාරුක් අයියේ ගාගෙන”
“මොනාද උඹ කියන්නෙ…”
හඬ නැගෙන සේ බෙලෙක් පිඟාන පුටුව මතින් දමා චන්දුල පුටුවෙන් නැගිටගත්තේ ය. ඔහු ගේ දෑස් හි වූයේ ගිනි පුළිඟුවකි. පාරුල් ට වත්තේ එකෙකු වේවා පිට කෙනෙකු වේවා නොහොබිනා වචනයක් කියනවා අසන්නට දකින්නට ඔහු ගේ සූදානමක් නැත. මේ වෙලාවේ ඒ අවසරයෙන් පාරුල් ඉක්මන් වූවා ය.
“ඔව් අයියෙ. මේ ශාරුක් හරි ඕනවට වැඩියි. පාරෙදි දැක්කත් අනං මනං කියං එනව. වදේ…”
ඒ පිට කරන්නට සිටි කේන්තියක් නොවේ. කොහේ කොතැනක තිබී කුමක් නිසා එය පිටතට පැන්නේ දැයි පාරුල් නො දැන සිටියා ය.
“මං අර පංචිකාවත්ත හෝල්ට් එකෙන් බස් එකෙං බැහැල පයින් එන්නෙ මෙයා නිසා. මට අනං මනං කියාගෙන එන්න එපා කියන්න”
“චීචී පාරෝ. එහෙම කතා කරන එක හරිනෑ හොඳේ. චන්දුල උඹ දන්නවනෙ මං පාරෝට කොච්චර ළෙංගතුද කියල…”
“හරි හරි මේ. උඹ දැං පලයංකො”
චන්දුල ශාරුක් ගේ කරට අතක් දමාගෙන ලී ගේට්ටුව වෙත ඔහු කැටිව ආවේ ය.
“මං දන්නවනෙ අපේ එකීට මළ පැන්නහම වෙන දේ. ඒක නිසා උඹ දැං පලයං. පළතුරු කරත්තෙ බලාගන්න වෙන එකෙක්ට දීලයි කිව්වනෙ ආවෙ”
ශාරුක් නික්ම ගියේ සිය ගමන ගැන සෑහීමකට පත් වන්නේ නැතිව ය. ඔහු ගෙනා අලුත් ම පළතුරු වලට තඹ සතේක වටිනාකමක් නොදුන් පාරුල්, ගඟුල් ගෙනා පරණ පොත් වලට ඉංග්‍රීසියෙන් ම ස්තූති කළා ය. ගඟුල් මොන අදහසකින් මෙහි පැමිණී ද පාරුල් බලාගෙන නම් නැවත නො එනු ඇතැයි සිතෙත්දී ශාරුක් ට දැනුණේ වියරු සතුටකි.
චන්දුල ට යම් සැනසීමක් දැනිණ. ඒ පාරුල් ට කතා නො කර ම ගඟුල් නික්ම ගිය එක ගැන ය. ඔහු ගේ අරමුණ නංගී නොව මනාප දිනා ගැනීම කියා සිතන එක චන්දුල ට පහසුවකි. ශාරුක් වගේ කෙනෙකුට පාරුල් දිය නො හැකි ය. නමුත් ගඟුල් වගේ කෙනෙකුට ඇය රවටාගන්නට ද දිය නො හැකි ය.
චන්දුල ගේ තේ කෝප්පය ඔහු ට දුන්නේ උමා යි. ඒ කුඩා කෝප්ප අණ්ඩ අල්වාගන්නට යත්දී ඔහු ගේ අතැඟිලි ඇගේ අතැඟිල්ලක වැදෙනා එක වැළකිය නො හැකි විය. උමා ආරාධනා දෑසකින් සිනහවකට ඉඩ දීගෙන සිටියා ය. චන්දුල ඇගේ දෑස් ග්‍රහණයෙන් අසීරුවෙන් මිදුණේ ය.
කහට කෝප්පයක් අතැතිව පාරුල් බිත්තියට ලංව බිම හිඳගත්තා ය. අයියා අසලක සිටින නිසා ගවුම් සාය සකසාගන්නට සැලකිලිමත් වූවා ය. කුඩා කාලේ පවා ඈ ගවුම් සාය ගැන නො සැලකිලිමත් වුණොත් සැර කරන්නේ චන්දුලයි. දැන් එසේ නොකළ ද පාරුල් ගේ මතකයෙන් ඒ කිසිවක් මැකී යන්නේ නැත. බෙලෙක් කෝප්පය බිමින් තබා ඕ පොතක් ගෙන උකුල මතින් තබාගත්තා ය. අතින් එහි කවරය පිරිමැද්දේ අසීමිත භක්ත්‍යාදරයකිනි. පොත් වූ කලී ලෝකයට විවර වන කවුළු බව ඇය දනී. ගඟුල් මේ ඇගේ පාද පාමුලින් තබා ගියේ මිල කළ නො හැකි වස්තු සම්භාරයකි. විශ්ව දොරටුවක යතුර ය. ඔහු නොකියා ම ගියේ ඇයි?
“රත්තරං මහත්තයෙක්. වැඩි වැඩියෙන් ලැබෙන්නෝනෙ ඒ දරුවට”
කහට කෝප්පය බොමින් පාරුල් ඉතා උනන්දුවෙන් පොත් ගෙන බලනු දැක ජුලී දොහොත් මුදුන් දී වැන්දා ය. උමා බිත්තියකට හේත්තු වී ගෙන, බිම බලාන තේ එක තොල ගානා චන්දුල දෙසට බැලුම් හෙළමින් සිටියා ය. ඔහු උගුරට දෙකට තේ බී පුටුවෙන් නැගිටගත් ගමන් උමා හිස් කෝප්පය ලබා ගත්තා ය.
“දැං පාරුත් ඔය ගඟුල් විජයවීරට පුළුවන්නං මනාප පහක් හරි දෙන්නද ඉන්නෙ…”
පාරුල් හිස හරවා නෙතු විදා බැලුවා ය. චන්දුල ගේ තොල් කොනක අවඥා සහගත සිනහ රැල්ලක් නලියෑවේ ය. ගෑනු ළමයින් දෙදෙනා මුහුණෙන් මුහුණ බලාගත්හ. ඔවුන් ගේ සිනහවන් පුපුරා ගියේ චන්දුල ලී ගේට්ටුවෙන් පිටතට පියනැගි ඉක්බිතියි.
“රිදිල වගේ නේ එයාට ඒකට…”
“රිදෙන්නහරි හිතක් පපුවක් තියනවද මන්ද පාරෝ උඹගෙ අයියට”
යුවතියන් දෙදෙන අත්තලින් අත්තලට ගසාගෙන සිනහ වූහ.
“මගෙ නෑනා පොඩ්ඩ. ඔන්න ඔහොම හිනා වෙලා හිටාං. ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා”
පාරුල් උමා ගේ අතකින් ඇද ඇයව ද පොත් ගොඩ ළඟ බිමින් හිඳුවා ගත්තා ය.
🩵ඔබ කියවූ බවට සලකුණක් ඉතිරි කර යන්නේ නම් සතුටකි. කතාව ගැන ඔබේ හැඟීම් ලියා යනවා නම් ඊටත් වඩා සතුටකි.