“උඹටත් ලැජ්ජ නෑ, ඒකිගෙන් ගුටිකෑව මදිවට තව ඒකිට පේන්න ගේ ඉස්සරහට වෙලා ඉන්නවා” කියා මාග්‍රට් මිලින්දට බැන්නේ වැඩට යන නදීව ඇහැට මුලිච්චි වෙනතුරු ගේ ඉස්සරට වෙලා ඉද්දීය.
“අනේ අම්මෙ මේ යන්නකො කෑගහන්නෙ නැතුව”
“යන්න නෙවෙයි උඹේ මේ වලත්ත වැඩ හන්ද තව ටික දවසකින් අපිට මේ වත්තෙන් තමා යන්න වෙන්නෙ, යකෝ ලැජ්ජ නද්ද යකෝ මේ කොහෙවත් ඉන්න එකියන්ගෙන් ගුටි කන්නෙ උඹට”
“කවුද ගුටි කෑවෙ” මිලින්ද අහන්නේ මූණ හංගගෙනය.
“කවුද? ගිහින් බලපං කණ්ණාඩියෙන් මූණ, පෙනෙයි උඹට එතකොට ගුටි කාපු එකාව, මුලු වත්තෙම එවුන්ට ආරංචි වෙලා උඹ විල්සන්ගෙ කෙල්ලගෙන් ගුටි කෑව විත්තිය. යකෝ අර මිනිහයි මමයි නැහිල නැහිල හම්බ කරපු සේසතම උඹට කඩයක් කරන්න දුන්නා. එහෙම එකේ ඒක කොරන් ඉන්නෙ නැතුව උඹ ගියා මෙතන මේ එක එකියන්ගෙ රෙද්ද අස්සෙ රිංගන්න.
හොඳ වැඩේ උබට. මං කියන්නෙ උඹ එදා ඒකිගෙන් ගුටි කෑව වගේ හෙට ගුටි කන්න ඕන අම්මපා ඒකිගෙ මිනිහගෙන්”
“ඒකිගෙ මිනිහා මං නෙ, මං කොහොමද මට ගහන්නෙ” මොට්ටපාලයා විදියට කියන මිලින්දගේ ඔලුවට පොල්පිත්තකින් ගහන්න මාග්‍රට්ට හිතුනේ ඕන් ඕක අහපු වෙලාවේය.
“එව් එව්, බලං ඉඳපන් ඒකි උඹව කරගහ ගන්නකම්, යකෝ නදී කියන්නෙ මේ හොඳට ඉගෙන ගත්ත, හොඳ රස්සාවක් කරන එකියක් නෙවෙයි. උඹ වගේ නේ ජීවිතෙන් බාගයක් රස්තියාදු ගහන්නයි, ඉතුරු බාගෙ ගෙදරට වෙලා පිං බත් කන්නයි ඉපදිච්ච එකෙක්ට හරියන ගෑණියෙක්ද බං නදී කියන්නෙ?
ඒකි මේ වත්තෙ එකියක් උනේ ඒකිගෙ කරුමෙකට වඩා වසන්තියගෙ කරුමෙට. එහෙම එකේ මේ ඒකි යමක් කමක් කරගෙන ගොඩ යන්න හදන වෙලාවෙ ඕන් උඹ කරුමක්කාරය වෙලා මැද්දට නම් පනින්න හිතන්න එපා. එහෙම කරොත් උඹට ඊලඟ පාර වදින්නෙ මගෙන් පුතේ”
මාග්‍රට් ඔහොම කියාගෙන ගියාට මිලින්ද නම් උන්නේ නදීව එහෙම ලේසියෙන් අතාරින්න හිතාගෙන නොවේ. අනෙක් අතට ඔය කවුරු මොනව කිව්වත් නදී තාම එහෙම කොල්ලෙක් එක්ක යාලු බවක් පේන්නත් නැති එකේ ඕකි ඔය හදන්නේ තමන්ගේ කණෙන් රිංගන්න බව හිතන හිතුවිල්ල පවා මිලින්දට අරහං ය.
වත්තෙ කතාව එහෙම වෙද්දී මියුරුත් නදීත් උන්නේ මියුරු පෙම් වසන්තයේ මිහිරියාව උපරිමේටම විඳගනිමිනි. “මේව කොයි විදියට කෙලවර වේවිද?” කියා බයක් හිත අස්සේ කෙලවරක තිබුනත් “බයවෙන්න එපා, මොන දේ උනත් මම ඉන්නවා” කියා මියුරු විසින් හිත මත තැබූ විශ්වාසයත් පොරොන්දුවත් නදීගේ ඒ බය තුනී කල තිබුණි. කාර්‍යාලය ඇතුලේ හුවමාරු වෙන ඇස් බැලුම් ද, වට්සැප් ඔස්සේ හුවමාරු වන ආදර පණිවිඩ ද, සැඳෑවන්වල තනි වන නිමේශයන්වල ලැබෙන හාදුද ඒ වසන්තය තව තවත් උත්කර්ශවත් කරන්නට හේතු වෙච්ච ඒවාය.
“මං ජීවිතේ වැඩිපුරම සතුටෙන් ඉන්නෙ දැන්’ මියුරු එහෙම කියද්දී ඇත්තටම ඒ වචන කියන්න ඕන තමන් නේද කියා නදීට නොහිතුනා නොවේ. ඇත්තටම වාසනාවන්ත තමන් ය, ඇත්තටම වසර ගණනාවකට පස්සේ අපිරිමිත සන්තෝසයක ගිලී ඉන්නේ තමන් ය.
“ඇයි එහෙම කිව්වේ?”
“ඔබෙ ආදරෙන් මා දැවේ – ඔබෙ ආදරෙන් මා දැවේ”
“දැවෙනවනම් කොහොමද සන්තෝසෙන් ඉන්නෙ? පිච්චෙනවනෙ”
“ආදරෙන් දැවෙන එක සන්තෝසයක් තමයි. ඔයාට ඒක තේරෙන්නෙ නැත්තෙ ඉතින් මං ඔයාට ආදරේ තරම් ඔයා මට ආදරේ නැති හන්දා” කියා මියුරු මූන නොරොක් කරගනිද්දී “මාර හුරතල්” බව නොහිත ඉන්න නදීට බැරිය.
“ඔයා වෙලාවකට හැසිරෙන්නෙ ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් වගේ”
“පොඩි තමයි ඉතින් අපි තාම මේ ලව් කරාට හරිද නංගී”
“හරි හරි, අපෝ මං දන්නව පොඩි එක්කෙනාගෙ තරම”
“තාම දන්නෙ පොඩ්ඩයි” කියා මියුරු කණට කර කියන්නෙ ව්‍යංග්‍යාර්‍ර්තය එක්කහු වෙච්ච වචන පේළියක් බව තේරෙන නිසාම නදීගේ කම්මුල් ලාවට වගේ රතු පාට වේ.ඒක ඉතින් නිහැඬියාවකට තුඩු දෙන්නකි.
“මං අහන්නමයි හිටියෙ”
“මොකද්ද?”
“ඔයා ඇයි අර මිලින්දට කැමති උනේ නැත්තෙ?”
“කවුද අනේ මිලින්දට කැමති වෙන්නෙ?”
“එහෙම නෙවෙයි, මං දැන් ඔන්න මෙහෙම අහනව කියල තරහ වෙන්න බෑ හරි ද? දැන් ඔයා මාත් එක්ක යාලුවෙන්න බය උනේ මම ඔයාට වඩා වෙනස් ලයිෆ්ස්ටයිල් එකක් තියෙන කෙනෙක්, අපේ ෆැමිලි එකෙන් ඔයාට කැමති වෙයිද දන්නෙ නෑ අරක මේක කියලනෙ. ඉතින් එහෙම එකේ මිලින්ද කියන්නෙ ඔයාව හොඳටම දන්න කෙනෙක්නෙ. එහෙම එකේ ඔයාට තිබුනනෙ මිලින්දට කැමතිවෙන්න”
මියුරු එහෙම අහද්දී ඒකට දෙන්න ඕන හරිම උත්තරේ “මිලින්ද කියන්නෙ මට ගොඩයන්න පුලුවන් කෙනෙක් නෙවෙයිනෙ මියුරු, මට උවමනාවක් නෑ මුලු ජිවිත කාලෙම අපෙ අම්මල තාත්තල වගේ ඔය වත්ත අස්සෙම රිංගගෙන ඉන්න” කියා වුනත් ඒ වචන වනාහී ආදරේ කරන හිතකට ලෝදිය වගේ බව නදී දනී. අනික තමන්ට එහෙම අරමුණක් තිබුනත් මියුරුට තමන් ඇත්තටම ආදරේ කරනවා නොවේද?
“මං ඇත්තම කියන්නම්, ඒත් ඔයා මං ගැන වරදක් හිතන්න එපා. මං ඔයාට ආදරෙයි, ඇත්තටම මහ ගොඩක් ආදරෙයි. මට වෙන අෆෙයාර් එකක් තිබිලා නෑ කියල ඔයා දන්නවනෙ. හැබයි මං කවද හරි හිතාගෙන හිටියෙ මං කවදහරි යාලුවෙන්නෙ, කසාද බඳින්නෙ මාව මේ වත්තෙන්, මේ ජීවිතෙන් එලියට අරගෙන යන්න පුලුවන් කෙනෙක්ව කියලා.
ඒකෙ අදහස මම එයාට ආදරේ නෑ කියන එක නෙවෙයි. මට ඕන කවදහරි මට ලස්සන ජීවිතයක් හදාගන්න උදව් කරන්න පුලුවන් කෙනෙක්ව.
ඒකයි මම කිව්වෙ අපි දෙන්න ගැලපෙන්නෙ නැති බව, ඔයාට කොහොමත් තියෙන්නෙ හරිම ලස්සන ජීවිතයක්. එහෙම එකේ මම තාමත් කියන්නෙ ඔයාට පුලුවන් මාව අතෑරල, ඔයාට ගැලපෙන, ඔයා වගේම තැනක ඉපදිච්ච කෙනෙක්ව හොයාගන්න.
මං එක්ක ඉඳියොත් ඔයාට වෙන්නෙත් දුක් විඳින්න. ඔයාට තියෙන්නෙ ලස්සන, පර්ෆෙක්ට් ජීවිතයක්. ඔයාට ඔයාලගෙම ලයිෆ් ස්ටයිල් එක ගෙවන කෙනෙක්ව හොයාගත්තනම් ඔයාට ආදරේ ඇත්තම ලස්සන විඳින්න තිබුනා. මොකද එහෙම උනොත් දෙපැත්තෙම කට්ටිය කැමති වෙන්න හන්දා. ඔයාලට ලස්සනට ආදරේ කරලා ඊටපස්සෙ ලස්සනට කසාද බැඳලා සන්තෝසෙන් ඉන්න පුලුවන්” නදී එහෙම කියද්දී මියුරු හීන් සීරුවේ දෙනෙත් එක එල්ලේම ඇගේ මුහුණ මතම අලවගෙන උන්නේය. නදීගේ මුහුණ මත තැවරී තිබෙන්නේ වේදනාවක සේයාවන් බව දන්නවා උනත් ඒ වනාහී අපරිමිත ආදරයකින් නිවාලන්නට හැකි වේදනා ගිනි දැල් බව මියුරු දනී. ඒත් කෙල්ලෙක්ගෙ හිතේ ආදරය හන්දා ඇතිවෙන ගිනි දැල් එහෙම ලේසියෙන් නිවන්නට හැකි ඒව නොවන බවත් මියුරු දනී. කෙල්ලන්ට නැති කර ගන්න බොහෝ දේ තිබෙන බව දන්න හන්දාම මියුරු නදී මොන දේ කිව්වත් හිත කලබල කරගත්තේවත්, තරහ අරගත්තේවත් නැත.
කියන්නට බොහෝ දේ ඇතත් ඒ කිව යුත්තේ සීරුවෙන් ය සංසුන්වය.
“ඔයා ඒක දුකක් කියල කියනවනම් මම ඒ දුක විඳින්න කැමතියි. ඔයා කියනව වගේ සමහරවිට මට තියෙන්නෙ හොඳ ලස්සන පර්ෆෙක්ට් ලයිෆ් එකක් වෙන්නැති. හැබැයි දැන් මං සෑහෙන කාලයක් ඒ ලස්සන ජීවිතේ ගෙව්වනෙ. මම දැන් කැමතියි ඒකෙ අනිත් පැත්තත් විඳලා බලන්න.
ඒක මොන දුකක් වුනත් ආදරෙන් ඒ දුක වේදනාව අඩු වෙනවා කියල මට විශ්වාසයි”