විහඟ පියාපත් 2

මොණරවිල හොටෙල්ස් හී ඉදිරිපස තොරණ සකසා තිබුණේ ඩැපොග් දමන ලද වී පඳුරු යොදාගෙනය. එක් පසෙක මොණරවිල යුවලද,අනෙක් පස ශයිනි මොණරවිල මෙනෙවියද සිනාසෙමින් සිටිනා පින්තූර දෙකක් සවි කර තිබුණි. 

කොළ පැහැ තොරණේ කහ පැහැති වල් සූරියකාන්තා මල් පොකුරු වලින් අපූරු සැරැසිල්ලක් මවා තිබුණි. සති දෙකක පටන් හෝටල කාර්‍යමණ්ඩලයම වෙහෙසුණේ මේ වෙනුවෙනි.

ශයිනි මොණරවිල වසරේ හොඳම ව්‍යවසායිකාව ලෙස සම්මාන ලැබුවේ මීට සති දෙකකට පෙරය. වෝටර්ස් ඒජ් හෝටල් සංකීර්ණය තුළ පැවති අතිශය වර්ණවත් සම්මාන රාත්‍රියේ වඩා කැපී පෙනුණේ ඇයය. රුවද, දෙසුමද, සම්මානයද අවසානයේ ඇය පරයා යන්නට වෝටර්ස් එජ් සීමාවේ සිටි කිසිවෙකුට හෝ ඉඩ ලැබුණේ නැත. 

සම්මානය ලබා ගෙන පසුදා ඇය විදෙස්ගත වූවාය. ඒ පෙර සිටම සැලසුම් කරගෙන තිබූ සැලසුමකට අනුවයය. පෙරළා පැමිණීමෙන් පසුව ඇයට රූපවාහිනී නාලිකා දෙකක වැඩසටහන් දෙකක් වෙනුවෙන්  ආරාධනාවන් පිළිගැනීමට සිදුවිය.අනතුරුව ඕ දින .දෙකක් නිවසට වී නිදාගත්තා ය.

ඒ සියල්ල පසු කර, ශයිනි සිය හෝටල් සමූහයේ ප්‍රධාන හෝටලය වෙත පැමිණෙන්නේ අදය. පුවත්පත් සහ රූපවාහිනී ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ වෙද්දීත් මොණරවිල හොටෙල්ස් වෙත පැමිණ උන් හ. වෙනදා තමන්ට ළඟා කර ගත නොහැකි සුඛෝපභෝගී ආහාර පාන රස විඳින්නට ලැබෙන අවස්ථාව මඟ හැරගන්නට ඔවුන්ට අවශ්‍ය නොවූවා විය හැකිය. 

මානව සම්පත් කලමණාකාරණ අංශයේ සියලු දෙනා කහ පැහැයට සමීප පැහැයන්ගෙන් සැරසී උන්හ. ගිණුම් අංශය සැරසී උන්නේ කොළ පැහැයට සමීප වර්ණයන්ගෙනි. හෝටල් කාර්‍යමණ්ඩලය ඔවුන්ට නියමිත ඇඳුම් පැළඳුම් වලින් සැරසී උන්හ. 

ශයිනි පිළිගැනීමටම සැකසූ මල් පොකුර බාරව තිබුනේ  ප්‍රධාන සූපවේදිනිය සහ ප්‍රධාන සූපවේදියාටය.එම අංශය එක් වී සැකසූ මල් පොකුර ද රැගෙන තොරණ අසල බලා සිටින්නේ මොණරවිල යුවලය. 

“මැඩම් එනවා….”

පාරේ එහා අන්තයේ මතු වූ සුදු පැහැ බෙන්ස් රිය පමණක් දැක කිසිවෙකු එලෙස කීවේය. පැමිණ සිටි මාධ්‍යවේදීහු වහ වහා කැමරා ඇස් මානාගත් හ. බෙන්ස් රිය ලං වත්ම රතිඤ්ඤා  පුපුරා හැළුණි. වෙනදා වෙහෙසින් වූ සියළු මුහුණු තුල වූයේ සැබෑම සිනහවකි.  ශයිනි ලැබූ ජයග්‍රහණය පසු පස තම තමන් කෙතරම් ප්‍රාමාණික වගකීම් ඉටු කර ඇද්දැයි දන්නා නිසාම ඒ සිනහවන් තුළ වූයේ අව්‍යාජ බවකි.

ශයිනි ද ඇඳ වුන්නේ කහ පැහැ මැක්සි ගවුමකි. කොණ්ඩය සැහැල්ලුවෙන් මුදාහැර තිබුණි. දුර තියාම ඉදිරියේ සවි කර තිබූ තොරණ දුටු ඕ එය අදහා ගන්නා නොහැකිව මෙන් එබෙමින් බැලුවාය. මෙතරම් සති දෙකක් ගෙවී  ගියාටත් පසු මෙතරම් උණුසුම් පිළිගැනීමක් ඇය සිහිනෙකුදු බලාපොරොත්තු නොවූවාය.

“තොරණ හදලා තියෙන්නේ  අලුත් හෙල්පර්ස්ලා සෙට් එක මැඩම්…..”

ශයිනි වඩා විමසිලිමත් ලෙස බලන තොරණට ඌණපූරණ සැපයූ රියැදුරු නිහඬ වූයේ ශයිනි එයට පෙරළා කිසිත් නොපැවසූ නිසාය.

ශයිනි වාහනයෙන් බැස්සේ තොරණට යම් දුරකට මෙපිටිනි . වෙනදාට පෝටිකෝවේම නවතන වාහනයෙන් බසින ශයිනිගේ වෙනස රියැදුරු බලා උන්නේ වැඩිහිටි සෙනෙහසකිනි. ඕ  වාහනයෙන් බැස ඒ අඩි කිහිපය ඇවිද ගියේ පපුව පුම්බා ගත් ආඩම්බරකාර හැඟීමෙනි. ඇයට මුළු පරිසරයම පෙනෙන්නේ කහ පැහැයෙනි. හිරු එළිය පවා කහ වැල් වැස්සක් ලෙසින් එබෙමින් ඉන්නා සෙයක් ඇයට පෙනෙන්නේය. 

අම්මා සහ තාත්තා ගේ දෑතින් හුවමාරු වූ මල් පොකුර ශයිනිට හරි බරට දැනුණි. ඕ අම්මාගේ කම්මුලක් ඉම්බේ අම්මා කම්මුල ඉඹින්නට පෙරය. තාත්තාගේ ගෙල වටා දෑතම යවන්නට බැරි තරමේ බරක් දෑතේ වූ නිසා ඕ තාත්තා ට ගුලි වූවාය .මොණරවිල මහතා ඇගේ හිස් මුදුන ඉම්බේය.  ශයිනි කඳුළු සඟවා ගත්තාය.

ශයිනි සමඟ චායාරූප ගනිමින් සතුට බෙදාගන්නට කාර්‍යමණ්ඩයේ සියළුම දෙනා මඟ බලමින් උන්හ. මාධ්‍යවේදීන්ද ඇගේ හඬ පට සහ චායාරූප වලින් තම කැමරා ඇස් සහ පටිගත කිරීම් පුරවාගත් හ.දවස ගෙවුණේ එහෙමය.  ශයිනි උන්නේ සති දෙකටම වඩා ප්‍රීතියක් දරාගෙනය. 

“අම්මෝ… මෙයා අල්ලගන්න මට මෙච්චර වෙලා ඉන්න වුණා…”

කැබින් එකට කඩාගෙන ආ තිලිණි ශයිනිව ඉතා තදින් වැලඳගත්තාය.චරිත් උන්නේ දොරකඩය. ශයිනි ඔහුට විරිත්තා සිනාසෙමින් හිඳගත්තාය.

“හම්මෝ..මූණේ පැත්තක් නෑ… ඉඹලා ඉඹලා….”

ශයිනි කීවේ කෝපයෙන් නොවේ. සියළුදෙනාගේම අව්‍යාජ බව ඇයට අඩු නැතුවම දැනෙමින් තිබිණි.  හෝටලය පුරාම වෙනදා නොතිබූ නැවුම් බවක් පිරී ඇති බව ඇයට දැනේ. එකම එක  මුහුණකවත් වෙහෙසක් නැත. ඔවුන් සියළු දෙනා නොවූ උද්‍යෝගයකය.

“මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ අවෝර්ඩ් එක මෙච්චර වටීවි කියලා …”

චරිත්ද හිඳගත්තාට පසු ශයිනි එලෙස කීවේ පසෙක වූ සම්මානය දෙස බලමිනි.  සැබැවින්ම ලැබූ පිළිගැනීම සහ කැපකිරීම ඇයව යම් ප්‍රීති උන්මාදයකට හෙලා තිබුණි. 

” ලයිව් එක වෙලේ මෙහෙ හිටපු  කට්ටිය පුදුම  තරම් සතුටු වුණා ශයි…  එදා නම් පිස්සුවක්…වීඩියෝ ඇති.. මං ශෙයාර් කරන්නම් ඈ..”

තිළිණි මැදින් පැන්නාය. පිරිසේ සතුට ඇසින් දුටු සාක්ශි ඇය සතු වූ නිසා ඒ සතුට ගැන ඇයට නොපවසා සිටින්නට තිලිණිට හැකි වූයේ නැත. සැබැවින්ම ඒ ඇය දැන ගත යුතු යමකි. 

” මං හිතුවේ මෙහෙ කට්ටිය මාත් එක්ක නයි මුගටි සීන් එකේ ඉන්නේ කියලා …”

“එහෙම තමා..එහෙම තමා… ඒ වුණාට ඉතින් එදා නම් ආදරේ හිතෙන්නැති.. ගින්දර වගේ හිටියා නේ…’

චරිත් ශයිනි අවුස්සවා ගන්නට මෙන් සැලසුමෙන්ම කීවේය. ශයිනි එයට පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට චරිත් වෙත  බැරෑරුම් බැල්මක් හෙලුවාය. ඔහු මිතුරා ය. ඒ නිසා හැම වෙලාවේම එවන් උසුළු විසිළු වලට ඉඩ දී ඇත. එහෙත්… , 

“මේ…අපි මේ පාර හොටෙල් ස්ටාෆ් එකට බෝනස් එකක් දෙමු…”

ශයිනි කීවේ තිළිණිටද අදහස් දැක්වීමට ඉඩ ඇති බව අඟවමිනි. තිලිණි ශයිනි දෙස බැලුවේ ඇගේ යෝජනාව අදහා ගන්නට නොහැකි බැල්මක්ම මුහුණ පුරා දරාගෙනය. චරිත් වූයේද දෑස් විසල් කරගෙනය. 

“ආහ්… ?”

“ඔව් … අපිට දහයකට , පහළොවකට යන්න පුලුවන් වේවි නේද ?”

“ඔව්..පුලුවන් … ඒත් හොටෙල් එකේ සෙට්කට විතරක් බෝනස් දීලා කේස් එකක් වෙයිද ?”

“මං  මිස්ටර්  සමරසිංහ එක්ක කතා කරලා ඇරේන්ජ් කරන්නම් ඒක… මේක බලන්නකෝ ඔයා නෙක්ස්ට් වීක් නේද සැලරි ?”

“ඕකේ මැඩම්…. එහෙනම් මට කැපෙන්න අවසර… මං රිපෝර්ට් එකක් මේල් කරන්නම්…”

චරිත් පෙර උන්නාට වඩා යම් ප්‍රීතියකින් නැගිට්ටේය. කාර්‍යමණ්ඩලය වෙනුවෙන් යම් ඇගයීමක් කිරීමට ඉඩක් ලැබීමම ඔහුටද සැහැල්ලුවක් සේ දැනෙනවා විය යුතුයැයො ශයිනි ඒ ප්‍රීතියට හේතුව කියවා ගත්තාය.

“ශුවර්…තැන්කූ ….”

ශයිනි ඒ හැඟීමෙන්ම සිනාසී චරිත්ට පිලිතුරු දුන්නා වුවද, චරිත්ගේ සිනහව පෙරළා වැටුණේ තිළිණි වෙතටය. තිළිණි ට දෑසින්ම ඉඟි කෙරූ චරිත් කැබින් එකෙන් පිටතට ගියේ අඩියට දෙකටය. තිළිණි ආපසු හැරී ඔහු යන තුරුම බලා උන්නාය.

“හා හා මේ… ඔය රමණීය ප්‍රේම ජවනිකා  ඔෆිස් එකට ගේන්නෙපා හරිද ?  මෙතන…”

ශයිනි තිලිණිගේ දැහැන බින්දාය.තිළිණි ඇයට නොපහන් බැල්මක් හෙලුවාය. දෙදෙනාම උස් හඬින් සිනාසුණෝය.

| අපේක්ෂා ගුණරත්න | 

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles