පරිත්‍යාග..

” අනුෂ්ක , කෑම හදලා තියෙන්නේ බෙදාගෙන යන්න හොඳේ. මට පරක්කු වෙනවා මම යනවා ” 

විද්‍යා එහෙම කියලා මේසය උඩ තිබුණ අත් බෑගය අරගෙන කඩිමුඩියේ ගෙදරින් පිට වුණේ අනුෂ්ක රැකියාවට යන්න ලෑස්ති වෙමින් ඉන්නකොට. 

ඒ වෙලාවේ අනුෂ්කට මතක් උනේ විවාහ වුණ මුල් කාලයේ අනුෂ්ක ආසම කෑම වලින් පුරවපු කෑම පෙට්ටියයි , ඒකෙ උඩ හැමදාම අලවන එක එක විදියෙ පුංචි ආදර වදන් ටිකයි. 

” විද්‍යා , අපි සෙනසුරාදාට ලන්ච් බුෆේ එකකට යමුද ? ” 

අනුෂ්ක අහන්නේ facebook එකේ දාලා තිබුන බුෆේ එකක විස්තර බලන ගමන් 

” අයියෝ ඔයාට පිස්සුද අනුෂ්ක ? ඔය තැන් තැන් වලින් ජරාව කාලා ලෙඩක් එහෙම හැදුනොත් රස්සාවල් කරගන්නෙ කොහොමද ? ” 

විද්‍යාගේ උත්තරයට පිළිතුරක් දෙනවා වෙනුවට අනුෂ්ක කළේ සුසුමක් හෙලපු එක. මතක ඇති කාලයකින් ආසාවටවත් ගෙදරින් එළියට ගිහින් කෑම කාපු , චිත්‍රපටයක් බලපු ,විනෝද චාරිකාවක් ගියපු මතකයක් අනුෂ්කටවත් විද්‍යා ටවත් තිබුණෙ නෑ. වගකීම් වලින් විතරක්ම ඔලුව පුරව ගත්ත විද්‍යා රැකියාවේ වැඩ ටිකයි , ගෙදර වැඩ ටිකයි ගානට මිම්මට කරන්න වෙහෙසෙද්දී ඇයට සමහර වෙලාවට දවසේ පැය විසි හතර මදි වුණා 

“බලන්නකෝ මම මේ කර්ට්න් ටික හෝදන්න හිටියෙ මේ වීකෙන්ඩ් එකේ “

විද්‍යා එහෙම කියන්නේ සති දෙකකට කලින් ගලවලා හෝදපු තිර රෙදි ටික ආයෙමත් ගලවන ගමන් 

” ඔය ටික හේදුවනේ ළමයෝ සති දෙකකට කලිනුත්. කිලුටු වෙලා නැහැනේ ” 

අනුෂ්ක එහෙම කිව්වත් විද්‍යාට තිර රෙදි ටික ගලවන්න උදව් කරා. ඊළඟට විද්‍යා ලෑස්ති වෙන්නේ මිදුලට බහින්න කියලා දැනගත්ත නිසා අනුෂ්ක ඇයට කෑම උයන්න ඉඩ ඇරලා මිදුලේ පුංචි වෙනස්කම් ටිකක් කරලා සුද්ද කරලා දැම්මා.

” netflix එකේ අලුත් ෆිල්ම් ටිකක් ඇවිල්ලා.අද රෑට බලමුද ?” 

අනුෂ්ක අළුත්ම චිත්‍රපට ටික දිහා බැලුවේ බලාපොරොත්තු සහගතව

” නිවාඩු දවසෙත් මැරිලා මැරිලා මම චුට්ටක් නිදාගන්න කියලා හැදුවේ. හෙට ඉරිදා උනාට මට කරන්න ගොඩක් වැඩ තියෙනවා ” 

විද්‍යා එහෙම කියන්නේ නිදාගන්න ලෑස්ති වෙලා කොන්ඩෙ පීරන ගමන්.

සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන යද්දී අනුෂ්ක වෙනදාට වඩා නිහඬයි කියලා විද්‍යාට දැනෙන්න පටන් ගත්තෙ තවත් සති කීපයකට පස්සේ. රැකියාවට ගිහිල්ල ගෙදර ආවත් වෙනදා වගේ රැකියාවේ විස්තර කියන්නේ නැති , නිහඬවම රෑ කෑම අරගෙන නිහඬවම නින්දට යන අනුෂ්ක ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක කියලයි විද්‍යාට හිතුණේ 

” ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද අනුෂ්ක? office එකේ හරි ? ” 

අනුෂ්ක ඇඳුම් ගොඩක් අයන් කරන අතරේ ඔලුව උස්සලා විද්‍යා දිහා බැලුවා 

” ඇයි ? ” 

අනුෂ්ක අහන්නේ කලබලයක් නැතුව 

” නෑ මම නිකං ඇහුවේ. ඔයා වෙනදට වඩා සයිලන්ට් කියලා මට හිතුනා ” 

විද්‍යා උත්තර දුන්නේ අනුෂ්කගේ ඇස් මඟ අරින ගමන් 

” එහෙමද ? ” 

අනුෂ්ක වෙනසක් නැතුව තමන්ගේ කාර්යය කරගෙන ගියා. තවත් දවස් කීපයක් ගත වීගෙන යනකොට අනුෂ්කගේ සමහර වෙනස්කම් විද්‍යාගේ හිතට එකතු කළේ අමුත්තක් වගේම ලොකු බරක්. 

” මිනිහට වෙන ගෑනියෙක්වත් සෙට් වෙලාද දන්නේ නෑ ” 

මේනකා හවස කාර්යාලයෙන් එළියට එන අතරේ කිව්ව කතාව විද්‍යාට මතක් වුණා. අනුෂ්ක නාන කාමරයට යනකං ඉඳලා විද්‍යා අනුෂ්කාගේ දුරකථනය අරගෙන පරීක්ෂා කළා.කාර්යාලයෙන් සහ විද්‍යාගෙන් ඉඳහිට ලැබුණු ඇමතුමක් කෙටි පණිවිඩයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් අනුෂ්කගේ දුරකථනය සටහන් වෙලා තිබුණේ නැහැ.

” ඔයා ඔය මගේ ෆෝන් එක බලනවද විද්‍යා ? ” 

විද්‍යා අනුෂ්කගේ දුරකථනය අතේ තියාගෙන කල්පනා කරමින් ඉන්න අතරේ අනුශ්ක ඇවිත් ඇහුවා

” අ.. මං ඔයා එනවාවත් දැක්කේ නෑ ” 

විද්‍යා කිව්වේ දුරකථනය ආපහු ඇඳ උඩින් තියන ගමන් 

” ඔයා මොනවා හරි හෙව්වනං ඒක ඔයාට හම්බ උනාද? “

අනුෂ්ක ඇහුවේ හිස් හැඟීමකින් 

” නැහැ මම නිකං බැලුවේ ” 

විද්‍යා වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න උත්සාහ කළා 

” ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ අනුෂ්ක ?” 

විද්‍යා ආයෙම ඇහුවේ සාලය පැත්තට යන අනුෂ්කගේ පස්සෙන් යන ගමන් 

” මං උත්සාහ කරන එක නතර කරා විද්‍යා ” 

අනුෂ්ක සෝෆා එකෙන් වාඩි වෙනකොට විද්‍යාත් ඔහු ළඟින්ම වාඩි වුනේ අනුෂ්ක කියපු දේ වැටහුනේ නැති ගානට

” මොනවද ? “

” ඔයාගේ ජීවිතෙන් මට ඉඩක් හොයන එක ” 

අනුෂ්ක ලොකු සුසුමක් මුදා හැරියා 

” මට තේරුන්නෑ. මං මොනවද කලේ ? ” 

” රස්සාවයි ගෙදර වැඩයි ඇරුනම ඔයා මේ වගේ මාත් එක්ක කතා කරන්න හරි ලඟින් වාඩි උනේ කොච්චර කාලෙකින්ද කියල ඔයාට මතකද ? ” 

අනුෂ්ක එක එල්ලේම විද්‍යා දිහා බලාගෙන ඉන්නකොට විද්‍යාට ඔහුට කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුණා

” ඉස්සර ඔයා වීකෙන්ඩ් එකක් එනකන් බලාගෙන ඉන්නේ , කොහේ හරි යන්න. අඩුම ගානෙ ගෙදරට වෙලා මූවි එකක් හරි බලන්න. ඔයාට මතකද අපි දෙන්නා එකට වාඩිවෙලා අන්තිමට මූවි එකක් බැලුවේ කවද්ද කියලා ? ” 

අනුෂ්කගේ කටහඬින් තැවරිලා තියෙන කලකිරීම අඳුර ගන්න විද්‍යාට අපහසු වුණේ නැහැ 

” රස්සාවත් හරියට කරලා , ගෙදර වැඩ ටිකත් තිතටම කරලා ඉවර කරනකොට ඔයාට මේ ගෙදර තව මනුස්සයෙක් ජීවත් වෙනවා කියලා අමතක වුණා විද්‍යා ” 

විද්‍යා අනුෂ්කගේ අතක් තද කරලා අල්ල ගත්තේ අනුෂ්කගේ කටහඬ බිඳීගෙන යන බව දැනුන නිසා 

” ආදරේ කියන්නේ වැඩ වැඩි වෙනකොට අමතක වෙන්න ඕන , මග ඇරෙන්න ඕන දෙයක්ද විද්‍යා ? ” 

” අනුශ්ක මං.. මං එහෙම හිතුවේ නැහැ. ” 

” මං මේ ගෙදර හැම වැඩේම ඔයාගේ පිට පටවලා බලාගෙන හිටියේ නෑ විද්‍යා. එහෙම වෙලත් ඔයාට මාව මග ඇරුනේ කොහොමද ? ” 

මොහොතකට ඇති වෙච්ච නිහඬියාව මහා මූසලකමකින් විද්‍යාගේ හිත පිරෙව්වා 

” මං හැම වෙලාවෙම උත්සාහ කරා ඔයා එක්ක ඉන්න වෙලාවක් හදා ගන්න. ඒ හැම වෙලාවෙම ඔයාට වෙන මොකක් හරි වැඩක් තිබුණ විද්‍යා. එක්කෝ ඔයාට මං ඉන්නවා කියලා අමතක උනා නැත්තං ඔයාට මට වඩා ඒ අනිත් හැමදේම ලොකු උනා. ඒ නිසා මම හිතා ගත්තා මම තවත් උත්සාහ කරන එකෙන් වෙන්නේ මම හති වැටෙන එක විතරයි කියලා ” 

අනුෂ්ක පිටකරන සුසුම් මොනතරම් බරද  කියලා විද්‍යාට දැනෙන්න පටන් ගත්තා

” මැරේජ් එකක් ඇතුලෙදි අපි අනිත් මනුස්සයාගේ හිත එක්ක ගනුදෙනු කරන්න ඕන හරි පරිස්සමට විද්‍යා. ඒක ඉක්මනට ගෙදර වැඩ ටික කරලා ඉවර කරනවා වගේ ලේසි දෙයක් නෙමෙයි. අපිට අනිත් කෙනා වෙනුවෙන් පොඩි පොඩි දේවල් පරිත්‍යාග කරන්න වෙනවා . අනිත් එක , බලාගෙන ඉන්න එකත් වැඩක් නෑ කියල තේරුණාම මිනිස්සු තෝර ගන්නේ අත්හරින එක විද්‍යා ” 

” ඔයා මොකක්ද කියන්න හදන්නේ අනුෂ්ක ? ” 

” මම උත්සාහ කරන එකයි බලාගෙන ඉන්න එකයි නතර කරා කියලා ” 

” මං පිළිගන්නවා මගේ අතින් වැරැද්දක් උනා කියලා. එහෙම වෙන්නේ නැහැ ආපහු. මං පොරොන්දු වෙනවා. ඒත් මගේ අතින් වැරැද්දක් වුණොත් සද්ද නොකර ඉන්නෙ නැතුව ඒක මට කියනවද ? ” 

විද්‍යා අනුෂ්කගේ ඇස් වලට එබිලා ඇහුවේ වෙච්ච වැරැද්ද හදා ගන්න බලාපොරොත්තුව හිතේ දල්වගන්න ගමන්.

More Stories

Don't Miss


Latest Articles