සොහොයුරියන් දෙදෙනාගේම ජීවිත විනාශ කළ වංචාකර පෙම්වතා..

විහංගාගේ ජීවිතේ අපායක් වෙන්න පටන් ගත්තේ සංජය නිසා. විහංගාගේ ජීවිතේ විතරක් නෙවෙයි විහංගාගේ නංගිගේ ජීවිතෙත් සංජයගේ බිල්ලක් වුණා. අන්තිමේදී විහංගාට සදාකාලික පසුතැවීමක් විතරක් ඉතුරු වුණා. 

විහංගාට සංජයව මුණ ගැහුණේ කොළඹ පොත් ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවක. විහංගා ගේ ජංගම දුරකථනය ප්‍රදර්ශන භූමියේ කොහේ හරි තැනක වැටිලා තිබුණා. එවෙලේ ළඟ තිබුණ නංගිගේ ජංගම දුරකථනයෙන් විහංගා ඉතාම ඉක්මනින් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තා.

” හෙලෝ…”

ඉතාම ගැඹුරු පිරිමි හඬක් ඇහුණා.

“හෙලෝ.. අනේ මගේ ෆෝන් එක ඔය… ඔයා කොහේද ඉන්නේ කියන්නකෝ…”

විහංගා කලබලෙන් කිව්වා.විහංගාට ඇඬෙන්ම වගේ. ඉහළ වටිනාකමකින් යුක්ත වුණ ජංගම දුරකථනය අය්යා එවලා මාස දෙකක් ගියෙත් නැහැ. 

“කලබල වෙන්න එපා.. මම ඉන්නේ කවි පොත් සල්පිල ළඟ.. එතැනට එන්න …”

විහංගා නංගිවත් ඇදගෙන අඩියට දෙකට ප්‍රදර්ශන භූමියේ ඉදිරිපස පැත්තය දිව්වා. 

“අනේ…බොහොම ස්තූතියි ..”

“මේ වගේ තැනක ඉන්නකොට තමන්ගේ දේවල් පරෙස්සමට තියාගන්න ඕනි …”

ඒ ගැඹුරු හඬ විහංගාට කිව්වා. ඒ වචන අස්සේ විහංගා පැටලුණා. හරියට ස්තූති කරන්න තරම්වත් වචන ගැලපෙන්නේ නැති තරමේ කලබලයක් හිතේ තිබුණේ. කොහොම හරි එදා ඒ විදියට අවසන් වුණා.

” හලෝ… විහංගා……”

දවසකට පස්සේ රෑ නන්නාඳුනන අංකයකින් කෙටි පණිවිඩයක් ආවා. 

“කවුද මේ ?”

විහංගා හැරෙන තැපෑලෙන් විමසුවා.

” බුක් ෆෙයාර් වලට ඇවිල්ලා ෆෝන් නැති කරගන්න කෙල්ලන්ට ෆෝන් හොයලා දෙන කොල්ලෙක් …”

එහා පැත්තෙන් එහෙම පණිවිඩයක් ආවා. විහංගාගේ කුස පුරා සමනල්ලු පියාඹන්න ගත්තා. අමුතුම හැඟීමක අතරමං වුණා. 

ඒ කතාබහ මාසයක් විතර යනකොට සෑහෙන්නම දුරට ඇඳුණා. විහංගා හිටියේ සංජයට් ඇබ්බැහි වෙලා. සංජයත් විහංගාට ඉතාම ආදරණීය කෙනෙක් වගේයි උන්නේ. 

සංජය රැකියාව විදියට කලේ චායාරූප ශිල්පය. ඔහුගේ චායාරූපකරණය ඉතාම ඉහළ මට්ටමක තිබුණ නිසා ඔහු ගෙව්වේ යම් කාර්‍යබහුල ජීවිතයක්. සංජයගේ ස්ටුඩියෝවේ තවත් හතර දෙනෙක් සේවය කලා. සංජය විහංගාව ඒ හැමෝමට හඳුන්වලාත් දුන්නා. විහංගා මාසෙකට දවස් දෙක තුනක් ස්ටුඩියෝවට ගිහිල්ලාත් හිටියා. 

ඒ අතරේ දවසක් සංජය විහංගාට රාත්‍රී සාදයකට යන්න කතා කලා. ඒ වෙනකොට සංජය ගැන අම්මලාට කියලා තිබුණේ නැති නිසා විහංගා යාලුවෙක්ගේ ගෙදර යන බව කියලා තමයි සංජය එක්ක සාදයට ගියේ.

“අනේ මට බෑ වගේ…”

සාදය තුළ තිබුණ අන්ධකාර බව නිසාම විහංගාට එහෙම හිතුණා. ඒත් සංජය කලේ විහංගා ව තදින් වැළඳගෙන ඉඹපු එක. විහංගාට ඉන් පවා  දැනුනේ වේදනාවක්. සංජය ඉන්නේ වෙනදා විදියට නෙවෙයි කියලත් ඉතාම ඉක්මනින් විහංගාට දැනුණා. 

“අනේ මට යන්න ඕනි …”

” විකාර නැතුව  එන්ජෝයි කරමු බබා…”

සංජය බලෙන්ම විහංගාගේ මුවට යමක් දැම්මා. ඇයට කිසිවක් කරන්ම නොදීම ඇයව සිප ගනිමින් උන්නා. ඊට පස්සේ සිදුවුම දේවල් ගැන විහංගාට පැහැදිලි මතකයක් නැහැ. 

” අපිව මරාගෙන කෑවා නම් මීට හොඳයි …”

අම්මා එහෙම කියනකොටවත් විහංගාට අගල් මුලක් තේරුනේ නැහැ 

ඒත් පස්සේ තමයි හැමදේම පැහැදිලි උනේ. සංජය මත් පෙති සහ තහනම් මත් උත්තේජක සඟවලා තිබුණේ විහංගාගේ අත් බෑගයේ. ඇය වැරදි කාරියක් වෙලා තිබුණේ එහෙම. සංජයලා ලේසියෙන්ම එලියට ගියා. විහංගාට අවුරුදු තුනක් සිරගත වෙලා ඉන්න වුණා. අම්මලා විහංගාව අත් හැරියා. විහංගාගේ හැමදේම බලන්න හිටියෙ විහංගාගේ හිතවත් මිතුරියක විතරයි.

අවුරුදු තුනකින් විහංගා හිරෙන් එලියට ආවම විහංගාට තිබුණේ සංජයව සොයාගන්න උමවනාවම විතරයි. ඇය කෙලින්ම ගියේ ස්ටුඩියෝවට. ඒත් දැකපු දසුනින් විහංගාට ඇස් අදහ ගන්න බැරි වුණා. 

විහංගා ත්‍රී රෝද රථයෙන් බහිනකොටම සංජය ගේ මෝටර් රිය ට ගොඩ වෙලා එතැනින් ගියේ විහංගාගේ නංගී. ත්‍රී රෝද රියෙන් හඹා ගියත්  විහංගාට මෝටර් රථය නවතා ගන්න හැකි වුනේ නැහැ. 

ඒ නිසා විහංගා ඇවිල්ලා ස්ටුඩියෝව ළඟට වෙලා බලාගෙන හිටියා. ඒත් එදා සංජය ආවේ නැහැ. 

විහංගා ඊළඟ දවසෙත් ආවා. සංජය එදා ආවෙත් නැහැ. ස්ටුඩියෝවට ඇතුළු වෙන්න විහංගාට ඉඩක් ලැබුනෙත් නැහැ.

විහංගා ඊට පස්සේ ගෙදර ගියා. අම්මලා විහංගාට ඇතුලට එන්න ඉඩ දුන්නා. 

ඒ හය්යෙන් විහංගා නංගී සහ සංජය ගැන හැමදේම කිව්වා.

“මොනවද විහංගා මේ කියන කතා..සංජය ළමයා කොච්චර හොඳ කෙනෙක්ද ? මේ අවුරුදු තුනේ අපිට ඔලුව උස්සලා ජීවත් වෙන්න ඒ ළමයා කොච්චර උදව් කලාද ? ඔයා නංගිට ඉරිසියා නොකර දැන් ජීවිතේ හදාගන්න බලන්න …. ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න …”

විහංගාට දැනුනේ හරිම අසරණකමක්. ඒත් සංජය ට ගැලවීමක් නොදෙන්න විහංගා තීරණය කලා. 

දවස් දෙක තුනකට පස්සේ ගෙදරදීම සංජය ව අල්ලගන්න විහංගාට පුළුවන් වුණා. ඒත් සංජය පුදුමාකාර රංගනයක් පෙන්නුවා. මීට කලින් විහංගා ව දන්නේ පොත් ප්‍රදර්ශනයේ සිදුවීම නිසා කියලාම කිව්වා. විහංගා අඬ අඬා කෑ ගැහුවා. නංගී විහංගාට බැන්නා. අම්මලා ගත්තෙත් සංජයගේ පැත්ත. 

විහංගා ට දැනුනේ හරිම අසරණකමක්. නංගිව සංජයගෙන් ගලවගෙන සංජය ව නීතීයේ රැහැනට හසු කරන්න විහංගා සැලසුම් හැදුවා. 

 විහංගා සංජය ගැන පොලිසියට ගිහින් කිව්වා.  පොලි සිය සංජයගේ ස්ටුඩියෝවට අයිති වාහනයක තිබිලා මත් ද්‍රව්‍ය ඉතාම අධික ප්‍රමාණයක් සොයාගත්තා. 

ඒ සිදුවීම නිසා  විහංගාගේ නංගී මානසික ආතති තත්වයකට වැටුණා. අම්මයි තාත්තයි ජීවිතේ බලාපොරොත්තු අතෑරගත්ත තත්වෙකට වැටුණා. 

විහංගාගේ ජීවිතේ එකම තැන නැවතුණා. 

 සිර ගත වෙලා උන්න අවුරුදු තුනෙන් පස්සේ එළියට ආවත් තමන්ගේ ජීවිතේ තවම හිර වෙලා බව විහංගාට දැනෙන්නේ මානසික රෝගීව ඉන්න නංගී දිහා බලාගෙන ඉන්නකොට.

| අපේක්ෂා ගුණරත්න |

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles