සිහිලාර සිත නයනා..

හුරු පුරුදු තැනකදි දැනෙන නුහුරු හැඟීම කෙතරම් වේදනාත්මකදැයි දැනෙන්නට එවන් මොහොතකට මුහුන දිය යුතුමය. මහිල් සමඟ වසර පහකටත් වැඩියෙන් ජීවිතය බෙදා ගත් නිවස්න තුළ මට දැන් දැනෙන්නේ මූසල පාලුවක් සහ නුහුරු බවක් පමණි. අප දෙදෙනා නිවසේ සිටින දවල් වරුවක වැතිර උන් සෙටිය මත බියර් කෑන් දෙකක් ඉහිරී ගොස් තිබුණි. මම ඒ කෑන් දෙක ගෙන  සෙටිය අසල ටයිල් පොළවේ තැබුවෙමි. එහයින් පෙනෙන අප දෙදෙනාගේ මංගල සේයාරූ ඇතුලු සේයාරුවන් තබා තිබූ කොටසේ කිසිවක් පෙනෙන්නට නැත. මම අපේ කාර්‍යාල කාමරය තුළට එබුණෙමි. එහි වූයේද පුස් ගඳකි. මහිල්ගේ මේසය මත සහ මේසය වටා ගුලි කර දමා තිබූ කඩාදාසි රැසක් විය. මේසය මත වූ පිඟන් මැටි බඳුන අලු වලින් පිරී ගොස් තිබුණි. කාර්‍යාල කාමරය තුල මහිල් දුම් වැටි දල්වා නොගන්නා බව දන්නා නිසාම මට ඒ අලු වල ප්‍රස්තූත කතාව වැටහුනේ නැත. අඩියට දෙකට නිදන කාමරයට එබෙන්නට මට තත්පර කිහිපයක්වත් වැයවූයේ නැත. දොරෙන් ඇතුළු වන්නට ඉඩක් වූයේ නැත. දොර අසල වැටී තිබූ පිලුණු වී ගිය ආහාර වූ බඳුනක් මගේ පයේ ගැටුණි. මම වහා ආපසු හැරුනෙමි.

අපේ දික්කසාද නඩුව අවසන් වී ගෙවී තිබූ සති දෙකට මේ ගෙදර තුළ සිදුව ඇති විපර්‍යාස මට විශ්වාස කර ගත නොහැක. මහිල්ට මෙතරම් අපිළිවෙල වන්නට තරම් මේ සති දෙකෙහි වූයේ කුමක්දැයි මට සිතා ගන්නටද නොහැක. ඔහු කීවේ මා නිසාවෙන් ඔහුගේ ජීවිතය හැඩි වූ බවය. ඒ නිසාවෙන්ම ඔහුට මගෙන් වෙන්වීමට අවස්ශ්‍ය බවය. එය එසේ තිබියදී මේ සිදුව ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැක.

මම යළි නිවසින් පිටතට පැමිණියෙමි. මිහිල්ගේ මිතුරෙකුට ඇමතුමක් ගත්තෙමි. ඔහු පැවසූයේ මහිල් ඉතා බීමතින් තම නිවෙසට පැමිණි නිසා නිවසේම රඳවා ගත් බවය.

මම යළි නිවෙසට ඇතුළු වූයෙමි. කාමරයෙන් අරඹා මුලු නිවෙසම පිරිසිදු කලෙමි. හිස් බියර් කෑන් කළු පැහැ බෑගයකට දමා මිදුලේ පසෙක තැබුවෙමි. අනෙක් කුණු කන්දල්ද එලෙසම පිටතින් තැබුවෙමි.

පැය පහක් පමණ නොනැවතී දහඩිය වගුරවාගෙන වැඩ කිරීමෙන් පසුව මම හුරු පුරුදු නිවෙස්නේ නාන කාමරය තුලට වැදී ස්නානය කර ගත්තෙමි. මිහිල්ගේ අල්මාරිය තුළ වූ කොට කලිසමක් සහ ටී ශර්ට් එකක් හැඳ ගත්තෙමි.

මිහිල්ද කැටුව නිවෙසට එන බව පවසා මිතුරා කෙටි පණිවිඩයක් එවා තිබුණේ මා ස්නානය කරමින් ඉන්නා අතරේය. ජංගම දුරකතනය පසෙකින් තැබීමටද පෙර මෝටර් රතයක් මිදුලේ නවතන හඬ ඇසුණි.

” කවුද බං ගෙදර ඇවිල්ලා ඉන්නේ ?…”

මහිල්ගේ හඬ ඇසුනේ සති දෙකකට පසු වීම තුළම මගේ හදවත තුල යම් තිගැස්මක් ඇරඹෙන්නට පටන් ගෙන තිබුණි. මම නිවස තුලම රැඳී උන්නෙමි.

“උඹම ගිහින් බලාගනින් ඉතින්.. හැබැයි පුතෝ මේ මරාගන්නේ නැතුව කතා බහ කරලා විසඳගනින් ඈ..”

“කවුද බං …”

” උඹ ගිහින් බලාගනින් … මං කැපුණා… ආයේ එහෙම තෝ කණමදයා වගේ බීඝෙන ඒ පැත්ත පලාතේ ආවොත් බලාගනින් කරන දේ…”

එයට පිළිතුරු ලෙස කුමක් පැවසුවේදැයි මට ඇසුණේ නැත.

මහිල් ඉදිරිපස දිරෙන් ඇතුළු විය. මම උන්නේ ඔහු පියවර තබන්නට නියමිත දෙසම බලාගෙනය. මහිල් උන් තරමින් අඩකට ම ඇද වැටී තිබුණි.

මා දුටු වනම ඔහු උන් තැනම නැවතුණේය. ඉන් පසුව නිවස පුරා විමතියෙන් දෑස් ගෙන ගියේය.  මමද එලෙසම උන්නෙමි. අප දෙදෙනාම උන්නේ දෙදෙනාට ආවේණික වූ යම් කෝල බවක් එක්කය. කිසිවෙකු හෝ කිසිවක් විමසන්නට ඉස්සර නොවෙමින්ම එකිනෙකා කෙරෙහී වූ දෑස් ගලවා ගන්නට නොහැකිව බලා උන්නෝය.

“ඔයා කොයි වෙලේද ආවේ?’

අවසානයේ මහිල් පියවි සිහියට පිවිසියේය.

“උදේ ..”

” මේවා අස් කරන්න මහන්සි වුනේ මොකටද? මං ක්ලීන් කරවගන්නවනේ…. ඔයා ආවේ පොත් අරන් යන්නද?”

මම කිසිත් නොපවසා ආපස්සට හැරුනෙමි.  මගේ නෙතට මතුවූ තෙත මහිල් දැක ගන්නට මට අවැසි වූයේ නැත. අප අතර වූ වෛවාහික බන්ධනය ලෙහී ගියාට මා මහිල්ට ආදරය කල තරම අංශුමාත්‍ර යකින්වත් වෙනස්ව ගොස් නැති වග තහවුරුව වටහා ගන්නට මීට වඩා දැනීම් අවැසි නැත.

” දැන් රෑ වෙලා විමන්සා …. ඔයා මෙහෙ ඉඳලා යන්න …”

මම එතැනම නැවතී හිස සැලුවෙමි. තෙත වියකෙමින් තිබුණි.

මම දෙදෙනාටම තරමේ වන කෝපි කෝප්පයක් සැකසුවෙමි. අප දෙදෙනා සවස කෝපි පානය කෙරූ සෑහෙන්නම තරමක කෝප්පය නොදැක්කා සේ පසෙකින් වූ කෝප්ප දෙකට කෝපි වත් කලෙමි.  කුකීස් පැකැට්ටුවක්ද රැගෙන සාලයට ආවෙමි. මහිල් වූයේ බිම් මට්ටමටම තරමේ වන සෙටියේ හිඳගෙනය. ඔහු අසල වූ මේසය මත කුකීස් පැකැට්ටුව සහ කෝපි කෝප්පය තැබූ මම පසෙක වූ පුටුවක හිඳ ගත්තෙමි. මහිල් කෝපි කෝප්පය දෙස බැලුවේ හෝ නැති අතර මමද කුකීස් බිස්කැට්ටුවක් සපමින් ඔහේ බලා උන්නෙමි.

මහිල් එක්වරම නැගිට කුස්සිය දෙසට ගියේය.  කිසිවක් සිතා ගැනීමට තරම්වත් කාලයක් නැතිවම ඔහු පෙරලා පැමිණියේ අපේ පැරණි කෝපි කෝප්පයද රැගෙනය. ඔහු ඉදිරියේ වූ මේසය මත තිබූ කෝපි කෝඔපයෙන් කෝපි එයට වත් කරගත් ඔහු, මගේ අතේ වූ කෝපි කෝප්පයෙන්ද කෝපි එයටම වත් කලේය. අනතුර එක් අතකින් ඇදගෙන මා ඔහු උන් සෙටියටම වට්ටවා ගත්තේය. මගේ හද ගැස්ම වූයේ අසාමාන්‍ය ලෙස ඉහළ යමිනි. කුලුඳුලේ මුණ ගැසුණු ප්‍රේමවන්තයන් සේ වෙමිනි.

පසුව මහිල් රූපවාහිනියේ වූ විදෙස්  නාලිකාවක්ද ක්‍රියාත්මක කලේය. කිසිවක් වෙනස් ව තිබුනේ නැත. මගේ කුස වටා එතී තිබූ ඔහුගේ සුරත ලෙහිල් වූයේම නැත. මම උන්නේ මහිල්ගෙ ලැමට වන සේ වාරු වෙමිනි.

” ඔයා හොඳින්ද විමන්සා ..”

පලමු කෝපි උගුර මා වෙත පාමින් ඔහු ඇසුවේය. එයට දිය යුතු පිළිතුර මට වැටහුනේ නැත. මේ සති  දෙකම මම වැය කලේ මහිල්ගෙන් අත් හැරුණු ජීවිතයට සවියක් මම විසින්ම සකසා ගන්නට උත්සාහ කරමිනි. මගේ ස්වයං රැකියාව අඩපණව ගොස් තිබුණි. නෑනා වදෙන් පොරෙන් තුන් වේලටම කවන පොවන නිසා ගත දුර්වලා වීමෙන් මිදුණෙමි. මහිල් වෙත පැමිණ යළි අවස්තාවක් ඉල්ලා සිටීමට වූ සිතුවිල්ල පාලනය කර උන්නේ මහිල් මා උසාවියේ තනි කර හැරී බලා හෝ නොබලාම ගිය නිසාය.

“ඔව් ..”

මම උගුර පිළිස්සෙමින් පහලට වැටුණු කෝපි උගුර අතරින් පවසා ගත්තෙමි.

” ඔයා ශොප් එක ඇරලා තිබ්බේ නෑනේ…”

මහිල් දෙස බලන්නට මා දැරූ උත්සාහයට ඉඩක් ලැබුනේ නැත.

“ඔව් අරින්නෝනා … මං අය්‍යලාගේ ගෙදර හිටියේ … එහෙ ඉඳන් ශොප් එකට දුරනේ .. ඒ නිසා නවතින්න තැණක් බලන්න ඕනි …. තවම තනියෙන් තැනක ඉන්න තරම් හිතක් නෑ …”

මම කියා දැම්මෙමි. මහිල් දෙවෙනි හෝ තුන් වෙනි කෝපි උගුර වෙනුවෙන් කෝප්පය මට පෑවේය.

“ඔයා කැමති නම් අප්ස්ටෙයාර් එකේ ඉන්න …. ඔයාට නිදහසේ ඉන්න පුලුවන් …”

මහිල් එලෙස පැවසූවේය. ඔහු කුමක් අදහස් කරන්නේදැයි මට වැටහුනේ නැත.

මම බලෙන්ම ඔහුගේ අතින් මිදී ඔහු දෙස බලා හිඳ ගත්තෙමි.

“මොකද්ද ?”

“ආයේ රෙන්ට් ගෙව ගෙවා අලුත් ඇනෙක්ස් බලන්නෝනෑනේ … මම පහල ඉන්නම්.. ඔයා උඩ ඉන්න …. ඔයාට ඕනි නම් එළියේ ස්ටෙයාර්කේස් එක පාවිච්චි කරන්නත් පුලුවන් නේ …. මගෙන් ඩිස්ටර්බ් වෙන්නේ නෑ ..”

මහිල් අදහස් කරන්නේ කුමක්දැයි වැටහුනත්, ඔහු එලෙස පවසන්නේ ඇයිදැයි මට වැටහුණේ නැත.

” මොකද්ද ඔයා දැන් කියන්නේ මහිල් .. ඔයා හිතන්නේ මට රිදෙන්නේ නෑ කියලද? උදේ හවස ඔයාව බල බලා. ඔයාව ඇහි ඇහි ,.. ඒත් ඔයාව දන්නේ ණෑ වගේ උඩට වෙලා ඉන්නෙක මට හරි පහසුයි කියලද? .. ඔයා ට වෙන්නෝනි මොකක්ද මහිල් … මගෙන් තව පළි ගන්න ඕනිද? “

මට හැඬුණි. අය්‍ යාට හොරෙන් මෙහි පැමිනීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමි.

” නෑ…විමන්සා ප්ලීස් …. මට සමාවෙන්න ..ඔයා යන්න …යං ..මං ඇරලවන්නම් … ඔයාගේ ජීවිතේ ඔයා කැමති විදියකට හදාගන්න … ප්ලීස් … එන්න …”

මහිල් නැගිටින්නට උත්සාහ කලේය.

” ඇයි ඔයාට ඉන්න කියන්න බැරි … ඇයි පහල තට්ටුවේ ඔයා එක්කම ඉන්න කියන්න බැරි? ඇයි ඔච්චර උද්දච්ච .. ඔයාට මගෙන් ඩිවෝස් වෙන්න ඕනි වුනේ ඇයි කියලා ඔයාටවත් හිතගන්න බෑ කියලා ඇයි නොකියන්නේ මහිල් ..ඇයි ? ඔටාගේ ජීවිතේම එක තැනක හිරවෙලා කියලා ඇයි නොකියන්නේ … ඩිවෝස් එකට කැමති වෙල එකපාරටම යන්න ගියේ ඇයි කියලා අහන්නේ නැත්තේ ඇයි මිහිල් .. ඔයා අර ගුලි කරපු කොළ කෑලි වල ලියලා තිබුණ හැම දේම ඇයි කියන්නේ නැත්තේ,….? මට යන්න ඕනි නෑ මිහිල් …. මම ආවේ අරමුනක් නැතුව වුනත්, දැන් මට යන්න ඕනි නෑ…. ඒත් ඔයා කියන්නේ නැත්නම් මං ඉන්නේත් ණෑ….”

මිහිල්ගේ දෑස් විසල්ව ගොස් තෙත් වෙන්නට පටන් ගත්තේය. ඔහු මා ඔහු වෙතට ඇදගෙන ඉතා තදින් ගුලි කර ගත්තේය. මගේ හුස්ම හිර වෙන තරමට ගුලි කර ගත්තේය.

” කවුරු කොහොම මොක කිව්වත්, අපි එකට ඉමුද ආයේම විමන්සා ..”

සිහිලාර සිත නයනා …. හෘ දේ සිඹිනා … කෝල නීල වදනා … සවන පිනනා …

මේ චණ්ඩ සූර්‍ය නගරේ… දාහය නිවනා….. සෙවණැල්ල වෙන්න ප්‍රේමි … දාහය නිවනා….

කොහෙන්දෝ එහෙම ඇසුණි .

වසර දෙකකට පසු.

“හොඳම කාව්‍ය සංග්‍රහය – දික්කසාද බිරිඳට ලීවෙමි “

අපේක්ෂා ගුණරත්න 

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles