මවගේ මිතුරිය නිසා අකාලයේ සිය ජීවිතය විනාශ කරගත් තරුණිය – (තටු සිදුණ සමනලියෝ -6)

චාපා, අපි ඇයට චාපා යැයි කියමු. චාපා බටහිර පන්නයට හැඩ ගැසුණු පවුලක එකම දියණිය. චාපාගේ අධ්‍යාපනය උසස් පෙළ පන්තියට පස්සේ නැවතුණා. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය හදාරපි චාපාට ඊළඟට ඕනි වුනේ රැකියාවක් කරන්න. අම්මලාගෙන් ලැබෙන පොකට්මනි වලින් ආස කරන දේවල් වලට ලඟා වෙන්න බැරි බව අවුරුදු දාසය දාහත කාලේ ඉඳන්ම චාපට වැටහුණා.

ඒත් චාපාගේ අම්මා චාපාගේ යෝජනාවට එකඟ වුණේ නැහැ.

” රස්සා කරන්න ඕනි නෑ…. ඉගෙන ගෙන ඉවරනම් කසාදයක් බ‍‍ඳිනකල් ගෙදර ට වෙලා ඉන්න …”

චාපාගේ අයියා විදෙස් ගත වෙලා හිටපු නිසා චාපාගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් හිටියෙත් නෑ. ඉතින් චාපාට සිද්ද වුනා   අම්මගෙ තීරණය එක්ක අවනත  වෙලා ගෙදර ට වෙලා ඉන්න. 

ඒ අතරේදී තමයි චාපාගේ අම්මගේ නෑදෑ දියණියක් සැලෝන් එකක් විවෘත කලේ. ඒ විවෘත කිරීම් කටයුතු වලට චාපාටත් , අම්මටත් ආරාධනා ලැබුණා.

” චාපා ගෙදර ට වෙලා නිකන් ඉන්න එකේ අත හුරු වෙන්නත් එක්ක මෙහෙ ආවානම් ඉවරනේ.. ගෙදර ඉඳන් පැය භාගයක් යන්නේ නෑනේ…”

අම්මට ඒ යෝජනාව ආවේ අම්මගේ අක්කගෙන්. චාපාගේ අම්මටත් ඒ යෝජනාවට එකඟ නොවී බැරි වුණා.

” මුලදී නම් ලොකු පඩි නැති වෙයි.. වැඩ එන විදියට නේ ඉතින් ගෙවන්න වෙන්නේ.  එත් කමක් නෑ.. නංගී එන්නකෝ..අපි ගේමක් ගහමු…”

වත්සලා, චාපාගේ අම්මගේ නෑදෑ දියණියත් චාපාව ආදරෙන් පිළිගත්තා. 

ඊට පස්සෙන්දා ඉඳගෙනම චාපා සැලෝන් එකේ වැඩට ගියා. මේ ගමන රස්සාවකට යනවා කියන හැඟීමටත් වඩා චාපාට නිදහසක් විදියට දැනුනේ. 

වත්සලා චාපාට මුලදී පැවරුවේ බිලක් නිකුත් කරලා මුදල් ලබා ගැනීමේ කටයුතු. ඒක චාපාට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් වුන.

සැලෝන් එකට සේවා සපයගන්න කිසිවෙක් නැති වෙලාවට වත්සලා චාපාට පොඩි පොඩි දේවල් කියලා දෙන්නත් පටන් ගත්තා. ඇහි බැම හදන්න, පෙඩිකියු එකක් කරන්න, කොන්ඩයක් අගින් කපන්න වගේ දේවල් අල්ලගන්න එක චාපාට අමාරු වුනෙත් නැහැ. 

ඔය අතරේ වත්සලා සැලෝන් එකට උඩ තට්ටුවත් බදු පදනම යටතේ මිලයට ගත්තා. ඇගේ අරමුණ වුනේ එතැන යම් සැලසුම් සහගත දෙයකට යොදවන්න. ඒත් ඒක හොර රහසේ කරන එක තමයි සැලසුමේ දිගුව වුණේ.

” ඔයාට තියෙන්නේ කස්ටර්මර් කියන විදියට එයාට පොඩ්ඩක් සපෝර්ට් කරන එක විතරයි නංගී .. මේකෙන් අපිට සෑහෙන හම්බ කරන්න පුළුවන් ..”

වත්සලා චාපාට පැහැදිලි කලා.

” අම්මා එහෙම දැනගත්තොත්…?”

“කවුරුත් දැනගන්නේ කොහොමද ළමයෝ …. අපි මෙතනට ගෙන්නගන්නේ විශ්වාසවන්තම කස්ටර්මලා විතරයි .. ..ඔයාට හානියක් වෙන්නේ නෑ.. ඔයා ලිමිට් එකේ ඉන්නකෝ… අනෙක සංජීවනිත් ඉන්නවනේ….”

වත්සලා චාපාගේ පලමු සේවා සපයන්නාව හඳුන්වලා දුන්නා. වෙන් වන කාලය ගැන දැනුවත් කලා.

පලවෙනි දවස අවසානේ චාපට තිස්දාහක් ලැබුණා. ඒ ගාන චාපා හීනෙකින්වත් බලාපොරොත්තු වුන ගානක් නෙවෙයි.

ඒ නිසාම තමන් කරන්නේ තමන්ගේ අනාගතය විනාශ කරගන්න යමක් කියලා චාපාට හිතුනේ නැහැ. අනෙක් පැත්තෙන් ඒ ලැබෙන  අත්දැකීමට යොවුන් වියේ එලිපත්තේ උන්න චාපා ඇබ්බැහි වුනා. 

සතිය දෙක යනකොට චාපාගේ අත්දැකීම් වැඩි වුනා. සැපයෙන සේවාව ගැන සතුටූ වෙන සේවා දායකයෝ ආයේ ආයෙම එතැනට එන්න ගත්තා. වත්සලා චාපාට හිත ඇදගන්න සුලු ගෙවීම් කලා. 

ඒත් හැමදේම අවසාන වන දවසක් උදාවුනා. 

නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සහ සේවා සැපයීම යටතේ චාපයි, වත්සලයි, සංජීවනියි තුන්දෙනාම්  අත් අඩංගුවට ගත්තා. හිතාගන්නවත් ඉඩක් නැතිව  හැමදේම සිදු වුනා. 

චාපාගේ අම්මට මුදල් තිබුනත් චාපාව නිදහස් කරගන්න එක ලේසි වුණේ නැහැ. සෝදිසි කිරීම් වලදී නීති විරෝධී මත් ද්‍රව්‍ය සැලෝන් එකේ තිබිලා අහු වෙලා තිබුණ නිසා ඔවුන්ට එරෙහිව ගොනු වුන චෝදනා බරපතළ වුනා. 

කාලෙකින් චාපා නිදහස් වුණා. ඒත් ඒ ඉස්සර හිටපු නිදහස් කෙල්ල විදියට නෙවෙයි. දැඩි මානසික පීඩනයකින් පීඩා විඳින , සමාජයට , මිනිසුන්ට බියෙන් සැඟවෙන කෙල්ලෙක් විදියට. 

ජීවිතේ අපි කොයි තරමට විශ්වාස කරන කෙනෙක් වුනත්, අපිට නොදැනිම අපිව වැරදි පාරකට ඇදලා දාන්න පුළුවන් බව දැන් වැටහෙනවා නේද ? 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles