මිලින්දට තේජානිව හම්බුනේ ඕන් ඔය අස්සේය. තේජානි ජීවත්වුනේ ගල්කිස්සේය. තේජානි යාලුවෙලා උන්නු කස්තුරි කියන්නේ මිලින්දට එහා ගිය ටැටූ පිස්සෙකි. කස්තුරිට මිලින්දව සෙට් උනේ මිලින්දගේ ටැටූ ශොප් එකේ හිඳ ගායකයෙක් දැමූ ටික්ටොක් එකක් වයිරල් ගිය එකත් එක්කය. කස්තුරිගේ ඇඟේ තව ටැටූ එකක් කොටන්න ඉඩක් තිබුණ තැනක් නැති උනත් කොහොමහරි ඉඩක් හදාගෙන ටැටූ එකක් කොටන්න මිලින්දට පුලුවන්කම ලැබුණේය.
කස්තුරි එදා ටැටූ ශොප් එකට එද්දී තේජානිත් කස්තුරි එක්ක ආවේ පෙම්වතාගේ දුක බෙදාගන්නා සංසාර ආදරයක හිමිකාරිය ලෙස නමුත් කොණ්ඩෙත් කපා පිලිවෙලකට ශොප් එක කරගෙන ඉන්න මිලින්දගේ බැල්ම ලඟ තේජානිගේ හිතත් ඇහැත් නතර වුනේ කස්තුරි එක්ක තිබ්බ සංසාර බැම්මේ කොණකින් මිලින්දවත් අමුණාගනිමිනි.
“මාත් ආසයි අයියා ටැටූ එකක් කොටන්න, ඒත් බයයිත් අප්පා” කියමින් පුටුවේ හාන්සි වී ඉන්න කස්තුරිගේ මුහුණට ඉහලින් තිබෙන මිලින්දගේ දෙනෙත් දෙසම බලා වඩා හුරතල් විදියට කියන්න තේජානිට පුලුවන් වුණාය.
“බයවෙන්න එපා නංගි, රිදෙන්නෙ නෑ” කියා කියන ගමන්ම නදීව පොඩ්ඩකට විතර හිතෙන් එහාට කර තේජානිගේ ඇස් වෙතට මල් හී සැර විදින්නත් මිලින්ද ඔය අස්සේම අමතක කරේ නැත. හැබැයි මේ ඔක්කොම උනේ කස්තුරියා වැටිච්ච ඇතා වගේ පුටුවේ වැටී ඉද්දීය. ඔය යකා ඔය ඇස් බැල්මෙන් හුවමාරු වෙච්ච කතාවන් දැක්කා නම් තේජානිට කෙසේ වෙතත් තමන්ට ගෙදර යන්න වෙන්නේ ටැටූ එකක් වී බව මිලින්ද දැන උන්නේය.
“රෑට කෑවද?” කියා තේජානි මුලින්ම මිලින්දට මැසේජ් එක එව්වේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට එවන මැසේජ් එකක් විදියටය. මුලින්ම “මේ කවුද?: කියා අඳුරගන්න පුලුවන්කමක් තිබ්බේ නැත්ත් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරයින් පස්සේ ප්‍රොෆයිල් පික්චරයේ හිනාවෙමින් උන් කෙල්ල අඳුරගන්න මිලින්දට බැරි උනේ නැත.
කතාව දුර ගියේ ඒ විදියටය. මෙච්චර දවසක් නදීට පේන්නට විල්සන්ගේ ගේ ඉස්සරහින් ඇවිද ඇවිද ගිය මිලින්දගේ ගමන් කඩෙන් ගෙදරටත් ගෙදරින් කඩේටත් හුවමාරු උනේ ඔය චැට් කිරිල්ල හන්දාය.
“වෙලාවකට ඉතින් ජීවිතේම එපා වෙනවා අයියේ” කියා තේජානි දුක කියන්න ගත්තම මිලින්ද නිකන්ම දුක අහන අයියා වුණේය.
“ඇයි නංගා එහෙම කිව්වේ?”
“කස්තුරි එක්ක ඉන්න බෑ අයියා, මමම හින්දා අවුරුද්දක් ඉඳියට වෙන කෙනෙක් නම් මෙයා එක්ක ඉන්නෙ නෑ අයියා. මෙයා සිගරට් ගහනවා, බොනවා ඒ විතරක් නෙවෙයි අනේ සමහර වෙලාවට කුඩුත් ගහනවා. පිස්සෙක් වගේ ඉන්නෙ. එදා ආවට අයියා එක්ක ලොකුවට කතා කරේ නෑනේ. කතාකරන්න ගත්තම තමා එයා එක්ක ඔලුව රිදෙන්න ගන්නෙ. එයාම දන්නෙ නෑ සමහර වෙලාවට එයා කියන කරන ඒව”
“ඕන වෙලාවකට කතා කරන්න නංගි, මට පුලුවන් ඔයාගෙ කතාව අහගෙන ඉන්න” කියා මිලින්දයා දෙපාරක් හිතුවේ නැත. නදීට පේන්නට තේජානිව සෙට් කරගන්න පුලුවන් උනා නම් අපූරු බව ඇත්ත උනත් කස්තුරියා මැද්දෑවෙ ගල් පර්වතේ වගේ හිටන් ඉන්න එක නිසාම ඒක හීනයක් විතරක් බව දන්න නමුත් එහෙන් මෙහෙම් තේජානි දාන ලයින් පාරවල් දැක්කෙ නෑ වගේ ඉන්න පුලුවන්කමකුත් මිලින්දට නැත.
“ඕන වෙලාවකට කතා කරන්න” කියූ නංගි ඉන්පස්සේ දිගටම කතාකරේ මේ ටැටූ ශොප් එකේ අයියාට පමණකි. අයියා උන්නේත් නංගී කතා කරන තුරුය.
“උඹ මොකද දැන් නිකන් අපිව නොදැක්කා වගේ යන්නේ?” කියාගෙන විල්සන් දවසක් මිලින්දගෙන් ඇහුවෙ මිලින්ද ඕන ඔහොම ෆෝන් එකෙන් චැට් කරගෙන විල්සන් ගේ ගේ ඉස්සරහින් ගිය වෙලාවකය. මිලින්ද නතර වුනේ අර වත්තෙ මිනිහෙක්ට ලොකු සීන් දාන්න බැරි හන්දා මිසක් දැන් මිලින්දට නදී ගැන එහෙම ලොකු ෆීලින් එකක් නැත.
“අපි ඔයාලව දැක්කෙ නැත්තෙ නෙවෙයිනෙ අයියා, ඔයාලනෙ ඉතින් අපිට කෝචෝක් දාන්නෙ”
“අනෙ පලයං බං යන්න, මං උඹට කෝචෝක් දාලා මොනව ඉල්ලගන්නද? කොහොමද ඉතින් උඹේ බිස්නස්?”
“බිස්නස් හොඳයි” කියා මිලින්ද වචනෙන් දෙකෙන් ශේප් වෙන්න හැදුවට විල්සන් උන්නේ මිලින්දව ශේප් කරගෙන බොන්න කීයක් හරි ඉල්ලගන්න අදහසකය. ඒකට ඉතින් හොඳම ඇම නදී ගැන කතාවක් ඇද ගන්න එක බව විල්සන් දනී.
“උඹ දැන් නිකන් හැසිරෙන්නෙ අපෙන් නිකන් ලෙඩක් බෝවෙයි කියල වගේනේ. වෙනදට උඹ මේ නදියව බලාගෙන මේක අස්සෙම රිංගන එක නේද කරේ? මොකද දැන් නිකන් රෝන් ටර්න් ගහන්නේ?”
“මං ගහපු රෝන් ටර්න් එකක් නැ විල්සන් අයියා. කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ගෙ පස්සෙන් එන්න පුලුවන් කාලයක් තියෙනවනෙ. අනික මේ නදී නංගි හිතන් ඉන්නෙ එයා රාජ කුමාරි කියලනෙ. ඔය ලොකු සීන් මට දිරවන්නෙ නෑ අයියෙ. අපි ඉතින් පොඩි මිනිස්සුනෙ. අපිට හොඳයි මෙහෙම පැත්තකට වෙලා ඉන්න එක”
“අනේ බං, ඔහොම මේ හිත රිද්දගෙන පුලුවන්ද යකෝ කෙල්ලො දාගන්න. නදී ඔය මොන ලොකු සීන් එක දැම්මත් උඹට පුලුවන් වෙන්න ඕන ඒකිගෙ පස්සෙන් ඉස්සර වගේම එන්න. එතකොට තමා ඒකිට උනත් තේරෙන්නෙ මිලින්ද මං ගැන හොයනවනෙ කියලා”
“නෑ ඕන නෑ විල්සන් අයියා, මට නිකන් මේ එහෙම එක එකා ලඟ පීචං වෙන්න බෑ. මම කවදහරි හොයාගන්නම් කො මට ගැලපෙන කෙනෙක්. එදාට නදී නංගිට අඬන්න වෙන්නෙ පස්ස පැත්තෙන්”
“පස්ස පැත්තෙන් කොහොමද බං අඬන්නෙ? උඹ දැකල තියෙනවද පස්සවල් අඬනවා”
“මේ විල්සන් අයියා, මෙන්න මේක හොඳට මතක තියාගන්න, අපිත් ඉන්නෙ මේ වත්තෙ, අයියල ඉන්නෙත් මේ වත්තෙ. අපි බලමුකො ඔය ලොකු අතු අල්ලන්න ගිහින් අන්තිමේ කට්ටියගෙ හොම්බ බින ඇණුනම අන්තිමේ අපිව මතක් වෙන විදිය. එදාට සමහර විට මේ මිලින්ද මේ වත්තෙත් නැතිවෙන්න පුලුවන් හරිද?” කියා මිලින්ද කිව්වේ බෙල්ල නිකන් තාලෙට දෙපැත්තට වනමින් නැටුමකට සූදානම් වෙන විදියටය.
“එකක් හරියට කියහංකො බං” කියා විල්සන් කියන්නේ කහට බැඳිච්ච දත් දෙපෙල ඈත් මෑත් කර නියවමිනි.
“මොකද්ද ඒ කතාවෙ තේරුමෙ?”
“ඇයි දැන් උඹ කලින් කිව්වා අපිත් ඉන්නෙ මේ වත්තෙ කියල අන්තිමට කියනවා එදාට සමහරවිට උබ මේ වත්තෙත් නැතිවෙන්න පුලුවන් කියලා. මොකද්ද දැන් හරි එක ඉන්නවද නැද්ද?” කියා විල්සන් අහද්දී මිලින්ද ගස්සගෙන ගෙදර යන්න ගියේය.
ධම්මිකා දකීවිද නැද්ද කියා බියක් හිතේ තිබ්බත් මියුරු නදීව අල්විස් වත්ත අද්දරින් ගෙනත් බස්සවන රාජකාරිය නම් අමතක කරේම නැත. අම්මා කොහොමත් කවදහරි මේ ගැන දැනගන්න බව දන්න හන්දා ඒක අද දැනගත්තත් හෙට දැනගත්තත් එකමනෙ කියා මියුරු සිතුවේය.
“ඔයාට හිතෙන්නෙ නැද්ද අපි මෙහෙම එහෙ මෙහෙ යන එක ඔයා මාව ඩ්‍රොප් කරන්න එන එක අඩු කරානම් හොඳයි කියල? අපි ඔෆිස් එකේදි හම්බෙනවනෙ හැමදාම?” කියා නදී කිව්වේ මියුරුගේ වාහනයේ නැගී ගෙදර යන අතරවාරයේය.
“ඔයාට ඒක විතරක් ඇතිද?” නදී අහපු ප්‍රශ්නයට මියුරු දුන්නේ උත්තරයක් නොවේ තවත් ප්‍රශ්නයකි.
“අපිට ඒක විතරක් ඇතිද මදිද කියල නෙවෙයිනේද අපි මේ වෙලාවෙ බලන්න ඕන? මේ ලැබෙන ටිකවත් නැතිවෙන විදියෙ දෙයක් නොකර ඉන්න එක තමයි හොඳ කියල මම හිතන්නෙ”
“ඔයා හිතන්නෙ අපේ අම්මා අපි දෙන්නා ගැන දන්න එක පරක්කු වෙන තරමට අම්මගෙ රියැක්ශන් එක හොඳ වෙයි කියලද?”
මියුරුගේ අම්ම ගැන හොඳටම දන්නේ මියුරුය. මියුරු එහෙම කිව්වේ අම්මා කවදා තමන් සහ නදී ගැන දැනගත්තත් ඇගේ ප්‍රතිචාරය කුමක් වනවාද කියා දැනටමත් හොඳාකාරවම දන්න හන්දාය.
දෙයක් අද උනත් හෙට උනත් එයින් ලැබෙන ප්‍රතිඵලය එකම නම් ඒ දේ වීම නිකන් බොරුවට කල් දමන එකෙන් වෙන්නෙ බොරු බලාපොරොත්තු කන්දක් ගොඩ ගැහෙන එකය. කන්ද ලොකු වන තරමට දුක වැඩිය.
ඉතින් ඒ දුකට දැන්ම තියා මුහුණ දීම වඩා යහපත් නොවේද?