මියුරු පෙම් වසන්තේ – 17

නිදාගත්තේ ඇනිවසරි පාටි එක පැවැත්වුණ හෝටල් කාමරයේ උනත් ඇහැරුණේ ගෙදර නිදන කාමරයෙනි. ඒද හොඳටම දවල් වෙලාය. අද සෙනසුරාදා දවසක් හන්දාත්, වැඩට යන්නට නැති හන්දාත් හිතට අස්වැසිල්ලක් උනත් ඊයේ වෙච්ච දේවල් යාන්තමට වගේ මතක හන්දා ඒ අස්වැසිල්ලට දීර්ඝ කාලීනව හිත අස්සේ පැළපදියම් වෙලා ඉන්න පුලුවන් කමක් නැත. තමන් ඊයේ නැටුවේ එසේ මෙසේ නාඩගමක් නොවන බව හොඳවෙලාවට යාන්තමට හෝ නදීට මතක තිබ්බාය. ඒකත් ලොකු දෙයකි. නැත්තන් වෙන්නේ ඊයේ හෝටලයට ගිය ගමන අද ගෙදරින් අවසන් උනේ කොහොමද කියල හිතාගන්න බැරුව ඔලුව කොලොප්පන් වෙන එකය.

තමන් ඊයේ මියුරුගෙන් කියා හිතා බීපු බීම එක ඔහු විසින් එවන ලද්දක් නොවන බව නදීට තේරුණේ තමන් මත්වෙලා ඉන්න බව තේරුම් අරගෙන මියුරු තමන්ව හෝටලයේ කාමරයකට අරගෙන ගිය එක ලාවට මතක තිබ්බ හන්දාය. මියුරුට එහෙම තමන්ට කරදරයක් කරන්න උවමනා නම් ඔහුට මේ බීම වීදුරුවකට මත්පැන් එක්කහු කර තමන්ට පොවන්න උවමනාවක් නැත. ඊට වඩා පහසුවෙන් තමන්ව ඇප්‍රෝච් කරන්න ඔහුට හැක.

“එහෙනම් කවුද ඒකට අරක්කු දැම්මේ?” ආන් ප්‍රශ්නෙ තියෙන්නෙ එතනය. හොයාගන්න ඕන මේ තමන්ව මත් කරන්න උවමනාව තිබ්බා පාහරයා කවුද කියන එකය.

“මාව මත් කරන්න උවමනාව තියෙන අය කවුද ඉන්නෙ ඔෆිස් එකේ?” කියා හිතුවාට එහෙම කෙනෙක් ගැන අදහසක් නදීගේ ඔලුවට එන්නේ නැත. මොකෝ එහෙම හතුරන් මිතුරන් කියා වෙන් කරන්න කොටසක් නැත. හැමෝම තමන්ව ගණන් ගන්නේ නැති එකේ ඔහොම නාඩගමක් නටන තැනකට තමන්ව මත් කරන්න උවමනා තරම් තමාව මතක තිබ්බ, ගණන් ගත්ත එකා හෝ එකී කවුරුන් වෙන්න පුලුවන් ද?

ඒක කොහොමහරි හොයාගත්තත් ඊට වඩා ප්‍රශ්නෙ මියුරු තමන් ගැන මොනවා හිතාගෙන ඉන්නවද කියන එකය.

“මහ වනචර ගෑණියෙක් කියල හිතන්න ඇති, මම මොනවද දන්නෙ නෑ ඒ මනුස්සයට කිව්වෙ, අයියෝ ආයෙ නම් යන්නේ නෑ පාටි වලට” කියා හීන් සීරුවේ කියාගත්තේ තමන්ට ඇසෙන්නට විතරක් උනත් ඒ කතාව තව කණක් අස්සේ රිංගා ඇති බව නදීට වැටහුනේ දොරට පිටුවා ඇඳේ රෙද්ද ගසමින් ඉද්දී දොර දෙසින් ආ සද්දෙ නිසා ය.

“ආහ් නෝනා, දැන් බීල රෑ දෙගොඩ හරියෙලු නේද ගෙදර එන්නේ?” කෝචෝක් එකට වගේ කියමින් කාමරයට ඇතුලුවෙන තැන දොර අද්දර හිටගෙන උන්නේ කාවින්දිය. මේකි ඕක දැනගත්තා කියන්නෙ ඉතින් ආයෙ හත් අවුරුද්දක් යනකම් කතා අහන්න වෙන එක බව ස්තිරය.

“හ්ම්ම්ම්”

“මොකද හ්ම්ම් කියන්නෙ නිකන් බකමූණෙක් වගේ? කතාව ඇත්තනෙ”

“එව් එව් ඇත්ත ඇත්ත”
“උඹ ඔෆිස් ගියේ මාස කීයද ඒ ඩිංගට බලහන්කො තාත්තට හපන් නෙ දැන් දෝණියැන්ද. විල්සන් මාමගෙත් වෙරි හිඳුනලු උඹ ඊයේ රෑ ආව හැටියට” කාවින්දි කියන්නේ වෙනදා වගේ කාමරයට ඇවිත් ඇඳේ පත බෑ නොවී දොර අද්දරම හිටගෙනය.

“උඹට කවුද කිව්වේ? ආච්චි ද?”

“ආච්චි? ඇයි ආච්චි තාම උඹව ඇමතුවෙ නැද්ද? මට කිව්වෙ වස්තු. ඌ හොඳටම බයවෙලා උඹට මොකක් හරි කරදරයක් වෙලා කියල. මං මේ තකහනියෙ ආවෙ මොකද්ද උඹ කරගත්ත කරදරේ කියල බලන්න”

“මොන කරදරයක් වෙන්නද?”

“වෙයි වෙයි වෙන්නෝන ඒව ඔහොම යද්දි. මොකද්ද ඇත්තටම උනේ කියහංකො” කාවින්දි දොර ලඟ ඉඳ ඇඳ උඩට ආවේ ආන් ඒ ඕපදූපෙ අහගන්න හිතාගෙනය.

“අනේ මන්දා බං” නදී කියන්නේ ගසන්න අතට ගත්ත කොට්ටය නිකටට තුරුලු කරගෙන කාවින්දි අද්දරින්ම ඇඳේ වාඩිවෙමිනි.

“අනේ මන්ද බං කියන්නේ යකෝ උඹ බිව්වෙ මගෙ කටෙන්ද?”

“නෑ බං මං ඇත්තටම බිව්වේ නෑ. මටත් හිතාගන්න බෑ බං මොකද උනේ කියල. උඹ දන්නවනෙ මම බොන්නෙ නෑ කියල. කොටින්ම නත්තල් පාටිවලදිවත් මම මොකවත් කටේ තියන එකෙක් නෙවෙයිනෙ. එහෙම එකේ බං මේ මලාට යාලුවෙක් කියල එකෙක් නැති පාටියකද මම ඔහොම බේබද්දා වගේ බොයි කියල උඹ හිතනවද?”

“එහෙනම් කොහොමද උඹ වෙරි උනේ?”

“මම අඳුරනවත් කතාකරන්නවත් කෙනෙක් නැති හන්දා මේසෙට වාඩිවෙලා හිටියා. කොහොමහරි කට්ටියම ඒ වෙද්දිත් හිටියෙ ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නට නට. මං ඉතින් ඔහේ අහිකුණ්ඩකයා වගේ වාඩිවෙලා ඉඳියා පැත්තකට වෙලා. කොහොමහරි ඒ වෙලාවෙ තමයි වේටර් කෙනෙක් ඇවිල්ලා මට බීම වීදුරුවක් දුන්නෙ අර සර් කෙනෙක් දුන්නා කියල. මං හිතුවෙ මගේ බොස් කියල. ඒ මනුස්සය එවෙලෙ ඈත හිටියෙ හැබැයි මං දිහා බලල හිනා උනා. මං ඉතින් තව හිතුවා ඒ මනුස්සයම තමා එවන්න ඇත්තෙ කියල”

“ඉතින්?”

“ඒ බීම එකට මං හිතන්නෙ කවුරුහරි මොනව හරි දාලා තියෙනවා”

“උඹ හිතන්නේ ඒ උඹේ බොස් කියලද?” කාවින්දි එහෙම අහපු එක ගැන නදීට පුදුම හිතුවේ වෙන වෙලාවක උනානම් ඕකි කරන්නේ “යකෝ ඌ පුදුම බොසෙක්නෙ, දෙන්න ඕන ඕකට” කියල මල පන්නගන්න බව දන්න හන්දාය.

“උඹ ඇයි එහෙම ඇහුවෙ?” කියා නදී කාවින්දිගේ මූණ දිහාව බැලුවේ පොඩ්ඩක් විතර කුතුහලයෙනි. ඒ “උඹ මොනවහරි මේ ගැන දන්නවද?” කියන ප්‍රශ්නය මූණ පුරා වපුරාගෙනය.

“ඊයේ රෑ වස්තු හොඳටම බයවෙලා උඹ දොලහ විතර වෙද්දිත් ඌට එන්න කියල කෝල් කරේ නැති හන්දා. කොහොමහරි ඌ උඹට කෝල් කරාම ආන්ස්වර් කරල තියෙන්නෙ කවුද කොල්ලෙක්?”

“කවුද?”

“උඹේ බොස්”

“අම්මටසිරි ඉතින්?”

“කොහොමහරි බොස් කියල තියනව උඹ පොඩ්ඩක් අවුට්ගොයින් වගේ, ඌ උඹව එක්කරගෙන එන්නම් වස්තුට එන්න කියලා”

“ඊටපස්සේ?”

“කොහොමහරි වස්තු ටුක් එක අරගෙන හෝටලේ ලඟට යද්දි උඹව වත්තං කරගෙන ඉඳල තියෙන්නෙත් කොල්ලෙක්?”

“කවුද?” නදී ඒ කතාව ඇහුවම නම් උන්නේ අඬන්න ඔන්න මෙන්න වගේය. ඔය සිද්දි එකක්වත් මතක නැද්දේ ඒ වෙද්දී තමන් හොඳටම නස්පුක් වෙන්න වැදිල උන්නු හන්දා බව නදීට දැන් ස්තිරය. ඔය කියන විදියට මේ ඉන්නේ ඊයේ හවස ගෙදරින් ගිය නදී පහණ්‍යා ගුණවීරමද කියා නදීටත් දැන් සැකය.

“අනේ බං මට මේක කියන්න ඇරල ඉඳහන්කො. නැත්තම් උඹව මතක් කරගනින් උනේ මොනාද කියල?” කියන කෝපයෙන් නැගිටින්න ගිය කාවින්දිව නතර කරගන්නට තව තප්පර ගාණක් වැය කර නදී සම්පූර්ණ කතාව අහගන්න හරි බරි ගැහුණාය.

“කොහොමහරි ඒ උඹේ බොස් තමා උඹව කරේ තියන් ඇවිල්ලා තියෙන්නෙ එතනට. ඌ තමයි වෙච්ච සීන් ඔක්කොම කියල තියෙන්නෙ. ඌ ඉඳල තියෙන්නෙත් හොඳටම බය වෙලා. ඌ කියල තියෙනවා ඌ ආයෙ ඔෆිස් ගියාම උඹේ බීම එකට අරක්කු දැම්මෙ මොකාද කියල ඩෙෆා හොයනව කියලා. ඌ වස්තුගෙනුත් අහල පරිස්සමෙන් එක්කරගෙන යන්න පුලුවන් ද කියල. ආතල්ම වැඩේ කියන්නේ උඹ ටුක් එක යන්න හදද්දිත් උඹේ බොස්ට චුට්ටො මං යනවා කියල පණ දාගෙන අත වැනුවලු. කොහොමහරි ඉන්පස්සෙ වස්තු උඹව දාගෙන ගෙදර ඇවිල්ල තියෙන්නෙ හිතාගන්න බැරුව. ඌ මගෙන් ඇවිල්ලා අහනවා මෙහෙ බොන්නෙ විල්සන් මාමා විතරයි කියල මට ශුවර් ද කියලා.

ගෙදර එද්දි නම් උඹ හොඳටම නිදාගෙනලු ඉඳියෙ. හැබැයි නින්දෙනුත් මොන මොනවද කියව කියව තමා ඇවිල්ලෙ තියෙන්නෙ. මාර ආතල්නෙ බං උඹ ගන්නේ”

“අයියෝ බං, මට රස්සාව නැතිකරාවිද බං? මොකද්ද බං මේ කරගත්ත විනාසෙ?” නදී හඬා වැටුණේ මේ කතාව අහගෙන අවසානයේ විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරිම තැනය. ඔය කියන විදියට දැන් ඉතින් ඔෆිස් එකේ හැම එකාම හිතාගෙන ඉන්නවා ඇත්තේ තමන් මහ බඩුවක් කියා වෙන්න ඇතිය කියා නොහිතා ඉන්න පුලුවන්ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles