ආකාස මෝස්තර – 15

සිසිර ඇල්ලගේ ත්‍රීරෝද රථය තුළට වී කල්පනාවක ගිලී සිටියේ ය. කකුලක් අසුන මතට ගෙන, අතක් ඒ මත දිගු කරගෙන, අසුනට බර වී හිස ඇලවෙන්නට හැර, අතීතය නම් පොකුණේ කිමිදෙන අතරේ ඇතැම් තැන් වල දී ඔහු ට රිදිණ. ඇතැම් විට පපුව හිර විණි. ඔහු ගේ මුහුණ තනිකර ශෝක කලාපයක් වූයේ ය.

ජීවත් වූ කාලය පුරා ම සහෝදරයෙකු සේ ළඟින් උන් ජයතිස්ස අභාවප්‍රාප්ත වී අවසන් කටයුතු සිදුකරන්නට යෙදුණේ පෙර දා සැඳෑවේ ය. ඔහු ගේ දරුවෝ සත් දින දානමය පිංකම් කටයුතු සඳහා සූදානම් වෙති. සිසිර ට මහත් ශෝකාකූල හැඟීමක් දැනේ. ජීවිතය පිළිබඳව මෙතෙක් කිසි දා නො දැනුණ කළකිරීමක් දැනේ.

ජයතිස්ස ගේ බිරිඳ රංජනී මිය ගොස් තවම වසරක් සම්පූර්ණ වූයේවත් නැත. ඇයගේ තුන් මාසේ පිංකමෙන් පසු ජයතිස්ස සිසිර ට ඔවුන් ගේ හේන් ඉඩම් කැබැල්ලේ ඔප්පුව පවරා දුන්නේ ය.

“මාත් නැති කාලෙක කවුද දන්නෙ අපේ ළමයි ඕව විකුණගනීද කියල… අපේ රංජනී කිය කියමයි හිටියෙ… ඔය ඉඩං කෑල්ල සිසිරගෙ නමට ලියල දෙන්න ඕන කියල”

ජයතිස්ස සිය මිත්‍රයා වෙනුවෙන් යුතුකම් ඉටුකොට ගියේ ය. සිසිර කාලයක් තිස්සේ ම හිටියේ කුළී ගෙවල් වලයි. රංජනී ගේ දෙමාපියන් මිය ගොස් රෙදි ඇපිල්ලීම නතර කිරීමෙන් පස්සේ ඒ ඉඩම් කැබැල්ල වල් වැදී තිබිණ. රංජනී එහි ගෙයක් හදාගෙන පදිංචි වන්නයි සිසිර ට කීවේ ඔහු නිස්කාරණේ ගෙවල් කුළී ගෙවන එක නතර කරන්නටයි. එතකොටත් සිසිර විවාහ වී සිටියේ ය. රිදී සිංගප්පුලිගේ සමගින් ඔහු ගේ නීති ප්‍රකාර විවාහයක් වූයේ නැත. රිදී ඔහු ට දාව දරුවන් දෙදෙනෙකු ම බිහි කළේ ප්‍රේමය කියනා කටවචනය මතයි. සිසිර ට ඒ පවුල බිඳගෙන රිදී අතහැර එන්නට කිසිදු ඕනෑකමක් තිබුණා නොවේ. ඔවුන්ට පවුල් කන්නට නො දුන්නේ සිසිර ගේ අම්මා වන බිසෝ ය. පුත්‍රයා රෙදි අපුල්ලන පවුලකට බැඳී රෙදි හෝදන වත්තක පදිංචි වී සිටීම ඇයට උහුලා ගන්නට බැරි ලැජ්ජාවක් වූයේ ය. සිසිර ට ජාතක ව දරු දෙදෙනෙකු බිහි වූවාට පස්සේ ද බිසෝ කළේ ඔහු ව මේ පැත්තට ඇද ගන්නට උත්සාහ කරන එකයි. ඇය කිහිප විටක් ම ලොන්ඩරි වත්තට ගොස් රිදී ට අහන් ඉන්න බැරි තරමට දොස් කියා දෙස් තබා ආවා ය. ලොන්ඩරි වත්තේ රෙදි මදිනා පුතු නිසා ඇගේ ඇඟේ ලේ උණු විය. පපුව දැවී පිච්චිණි.

“රදවෙක් වගේ රෙදි අපුල්ලන්නෙ උඹට ලැජ්ජ නැද්ද ගොං වහන්සෙ… දැංවත් ඔය කුණ්ඩවාලෙ දමල ගහල වරෙං. මං උඹට හොඳ ගෑනියෙක් කසාද බන්දෝල දෙන්නං”

වසර ගණනාවක් ම අම්මා ගේ මන්තරය නෑසූ කන්ව සිටියත් අන්තිමට සිසිරටත් මොකක්දෝ විය. ගිනි කකා රෙදි මැද මැද ගෙවනා මේ ජීවිතය කුමක්දැයි ඔහු ට සිතෙන්නට ගත්තේ බිසෝ විසින් එන්නත් කොට යනු ලබන අදහස් හින්දා ය. කොහොමටත් සැහැල්ලු සෙල්ලක්කාර ජීවියෙකු වූ සිසිර අන්තිමට අම්මා ගේ වචනයට නැවුණා ය. මුලින් රිදී හා දරුවන් වත්තේ සිටියදී දවස දෙක අම්මාගේ ගෙදර නතර වී පැමිණි සිසිර, පසුව වත්තේ රැඳෙන කාලය අඩු ම කොට දැමුවේ ය. වදෙන් පොරෙන් හෝ බලයෙන් ඔහු තමන් වෙත නවතා ගන්නට තරම් පොහොසත් වූ ගැහැනියක නොවේ රිදී. අවසන සිසිර ලොන්ඩරි වත්තටත් සිය දරු පවුලටත් ආයුබෝවන් කීවේ ය. එසේ කොට බිසෝ ගේ තෝරා දීම මත විවාහයක් ද කරගත්තේ ය. විවාහයට කල් ගතවෙත්දී ඔවුන්ට දරුවන් ලැබුණේ නැත. සිසිර ජයතිස්සලා ගේ ලොන්ඩරියට කාලය වැය කළේ ය. එහි රෙදි මැද්දේ ය. අන්තිමට ඔවුන් ගේ හේන ඉඩමේ පොඩි ගෙයක් හදාගෙන බිරිඳ හා අම්මා සමගින් පදිංචි වූයේ ය.

“රෙදි අපුල්ලපු වත්තක අපි කොහොම පදිංචි වෙන්නද සිසිරයො… අපි වැදගත් කුළවත් මිනිස්සු”

මුල දී බිසෝ කණු කුණු ගෑවා ය.

“අනේ මේ මගුලක් කතා කරන්නෙපා. එහෙනං අම්ම ගෙවල් කුළී ගෙවාගෙන ඉන්න. මං එතනට යනව. මේ නිකං හම්බෙච්ච අස්සයගෙ දත් ගණින්න හදනව”

ඒ වතාවේ නම් සිසිර දැඩි වූයේ ය. කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වෙනවා යන කියමන ප්‍රකාරව අන්තිමට බිසෝ ද හේන ඉඩමේ හැදූ කුඩා ගෙයි පදිංචියට ආවා ය. ඒ ඉඩමේ ඔප්පුව සිසිර නමට ම පවරා දෙන්නට රංජනී ට ලොකුවට උවමනාව තිබුණේ සිසිර ඔවුන්ට කළ උදව් පදව් නිසාවෙනි. නමුත් ඊට පෙර ඇය මිය ගියා ය. මියෙන්නට පෙර ජයතිස්ස ඒ යුතුකම ඉටු කළේ ය.

සිසිර ගේ හිතට වද දෙන කාරණා කිහිපයක් වේ. පළමු වැන්න ඔහු ගේ දරුවන් දෙදෙනා ය. රෙදි හෝදන අහිංසක අසරණ ගැහැනියකට ඔහු කළේ අන්ත කුළ හීනයෙකු කරනා දෙයකි. ඒ දරු දෙදෙනාට ඔහු කළේ අහස පොළොව නූහුලන අපරාධයකි.  නෛතික විවාහයේදී ඔහු ට දරුවන් නැතිව ගියේ ඒ පාපකර්මය විපාක ගැන්වීමෙන් යයි සිසිර ට නිතර සිතේ.

ඉඳහිට සින්දුවක් කීවාට දැන් ඔහු තුළ පරණ සැහැල්ලු ප්‍රීතිමත් සිසිර ජීවත් වෙනවා නොවේ. සමහර වෙලාවට දරුවන් දෙදෙනා දකින ආශාවක් ඔහු තුළ දැල්වී නිවී යයි. නිවී යනවා ම නොව ඔහු ඒ නිවා ගන්නට කාලයක් තිස්සේ පුරුදු වූයේ ය. ආයේ වතාවක් වත්තට ගියෝතින් වත්තේ උන් එක්ව ගල් ගසා ඔහු ව එලවාගනු ඇතැයි මුල දී සිසිර සිතුවේ ය. දැන් නම් සිතන්නේ සිය පුත්‍රයා ම එලෙස කරනු ඇති බවයි.

චන්දුල… පොඩි කාලේ ඔහු තමන් වගේ බව සිසිර ට මතක ය. ඒ වගේ ම පැහැපත් ය. කොණ්ඩය රැලි සහිත ය. බෙලෙක්කයකට තඩිබාමින් කටට අහුවෙන හැටියට සිංදු කීවේ ය. පුංචි ඇඟිලි වලින් වෙර යොදා ඩොල්කියට ගැසුවේ ය. දැන්නම් මග තොටකදී දුටුවත් ඔහු ට චන්දුල හැඳිනිය නො හැකි වනු ඇත.

“සිසිර අයියෙ… තේ එකක් බොන්න එන්න”

ජයතිස්ස ගේ පුතා ගේ හඬින් සිසිර සිය මනස් ලෝකයෙන් පිටතට ආවේ සුසුමක් හෙළාගෙන ය. මේ තැවීමෙන් මරණ මංචකයේදීවත් නිදහස් විය නො හැකි වනු ඇතැයි ඔහු සිතුවේ කම්පාවෙනි.

චන්දුල ඇල්ලගේ, සිය ජීව විද්‍යාත්මක පියා වන සිසිර ඇල්ලගේ ගේ මිහිරි හඬ උපතින් ම ගෙනැවිත් තිබිණ. පොඩි කාලේ ඔහු තාත්තා ඉදිරියෙහි හිඳ තාත්තා සමග ම ගීත ගැයුවේ ය. සිසිර ගේ සරම් පොට මත හිඳගෙන ඔහු ගේ ඇඟිලි ඩොල්කිය මත සෙල්ලම් පාන හැටි ඇස් පිය නො සලා බලා සිටියේ ය. යෞවනයෙකු වෙත්දී මේසයට ගසා තාල අල්ලමින් වුව ඔහු වත්තට ම ඇහෙන්නට ගී ගැයුවේ ය. පුංචි කෙල්ල උමා, ලෝකයට ම රහසේ ඒ ගී හඬට කන් දීගෙන සිටියා ය. චන්දුල ට වන්නේ ගැඹුරු හඬක් ම නොවේ. එය එඩ්වඩ් ජයකොඩි ගේ වාගේ සුමධුර හඬකි. ඔහු වැඩිපුර ගැයුවේත් එඩ්වඩ් ජයකොඩි ගේ ගීත ය. මිල්ටන් පෙරේරා ගේ හෝ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීත ය.

“ඈතට මට ඇහුණෙ අපේ සිසිරයගෙ හඬමයි බං. මං හිතුවෙ සිසිර ආයෙ ඇවිත් කියලයි”

දවසක් වත්තේ පිරිමියෙකු රිදී ට එසේ කීවේ ය. ඉනික්බිති චන්දුල ගේ මධුර හඬ ගොළු විය. සිය හඬ තුලින්වත් තාත්තා සිහිපත් වෙනවාට ඔහු කැමති වූයේ නැත. චන්දුල ට ඕනෑ වූයේ සිසිර ඇල්ලගේ නමැති මිනිසාව සිය ජීවිත වලින් මුළුමනින් කටු ගා දමන්නටයි. එදා සිට ඔහු ගේ ගී හඬක් කිසිවෙකුට ඇසිය හැකි නොවිණ.

රූපවාහිනියේ ගී තරු තරඟාවලියක් සඳහා ආධුනික ගායකයන්ගේ ඉල්ලුම්පත් කැඳවනු දුටු උමා ට චන්දුල ව ක්ෂණික ව සිහි විය. පාරුල් ට විතරක් ඒ බව කියා ඕ චන්දුල නමින් ඉල්ලුම් පත්‍රයක් තැපැල් කළා ය.

“හැබැයි අපේ පෝරිසාද් ඕකට යයි කියලනං මට කිසිම විශ්වාසයක් නෑ”

පාරුල් කීවේ අවංකව ම ය. නමුත් බලාපොරොත්තු අත්හැරගන්නට උමා සූදානම් වූයේ නැත.

“හරි හරි අපි ට්‍රයි කරමුකො. ඔයා ඉල්ලුවොත් රාජා මේකට බෑ කියන එකක් නෑ පාරු. මුලදි බෑ කිව්වත් පස්සෙහරි කැමති වෙයි. අනේ ප්ලීස් අපි රාජාව කොහොමහරි මේකට යවමු”

පාරුල් උමා දෙස බලා සිටියේ සානුකම්පාව තැවරීගත් ඇස් බැල්මකිනි.

“බැරිවෙලාවත් අයිය මේකට යනව කියන්නෙ උමා… ඔයාට එයාව කොහොමත් නැති වෙනව කියන එක”

උමා ට හීල්ලිණි. නමුත් ඇය සිය අරමුණ වෙනස් නොකළා ය.

“කොහොමත් මට එයාව ලැබෙන්න තියෙන්නෙ අල්පෙනෙති තුඩක තරං චූටි චාන්ස් එකක් විතරයි පාරු. ඒ වුණත් මං මහමෙරක් තරං එයා ගැන හිතං ඉන්නව. එයා මේකට යන නිසා මට එයා නැති වෙනවනං… කමක් නෑ පාරු ඒකට. මට නැතිවුණත් එයාට එයාව හොයල දෙන්න ඕන පාරු.  ඉන්න තැනක ඉඳං මට අඩුගානෙ සතුටු වෙන්න හරි පුළුවන් එතකොට…”

පපුවේ කොහේදෝ තැනක කීරි ගැහීමක් ඇතිවනු පාරුල් ට දැනිණ. ආදරය යනු මහ පුදුම දෙයකි. එය හැම විට ම අධි මාත්‍රාවක් ලෙස පවතිනුයේ හිමි කරගත නොහැකි හිතක ද? චන්දුල, උමා සේ ම ශාරුක් ද එහෙම හිත් ඇත්තන් ද? පාරුල් ට ගඟුල් ද පසන් ද සිහියට නැඟිණ. ඇය මඳහසකින් ඒ මතකය ඈතට පළවා හැරියා ය.

“මාත් ආසයි ආදරේ කරන්න…ඔයා වගේ… පිස්සුවෙන්…”

“කාටද… ගඟුල්ටද…නැත්තං ඩොක්ට පසන්ටද…”

උමා ඇසක් ඉඟිමැරුවා ය.

“එයා කොහේහරි ඉපදිලා ඉන්නවනං දවසක මට හම්බවෙයි. එදාට මාත් ආදරේ කරයි පැලෙන්නම”

“මං කාලි මෑණිට කියනව… ඔයාට එයාව ඉක්මනින් තෝරල බේරල දෙන්න කියල”

උමා යැවූ අයදුම්පත වෙනුවෙන් හඬ පරීක්ෂණයකට පැමිණෙන ලෙස දන්වා චන්දුල ගේ නමට ලිපියක් ආවේ ය. අකුරු නොදන්නා ජුලී, ඒ ලියුම පැමිණ ඇත්තේ රූපවාහිනී නාලිකාවකින් බව දැනගත්තේ තැපැල්කරු ගෙනි.

“ටෙලිවිශන් චැනල් වලිනුත් දැං මෙහෙට ලියුං එනව නේ…”

ඔහු සමච්චල් සරකින් කියා බයිසිකලය පාගාගෙන යන්නට ගියේ ය. ජුලී ලියුමත් ගෙන වතුර ටැංකි දෙසට පය ඉක්මන් කළා ය. චන්දුල ලියුම කියවා වතුර ටැංකියෙන් පිටතට ආවේ කුහුලකිනි. එහෙම කැඳවීමක් කරන්නට හේතුවක් ඔහු ට සිතා ගත නො හැකි ය.

“හරි ඉතිං කොහොම හරි කමක්නෑ එන්න කියල තියන එකේ යන්න අයියෙ. මං කියන්නෙ ඔයා ඒකෙ කප් එක ගන්න ඕන නෑ. ඒත් කොච්චර දුර යන්න පුළුවන්ද කියල බලන්නවත් එක දවසක් ගිහින් එන්නකො”

හැන්දෑවේ පාරුල් ඒ කැඳවීමේ ලිපිය බලා චන්දුල ගේ හිත හැදෙන සේ කතා කළා ය. ඒ වෙලාවේ උමා ද ලෑලි බංකුව මත හිඳ බිම බලාගෙන සිටියා ය.

“තමුසෙද ඇප්ලිකේශන් එක දැම්මෙ…”

චන්දුල පාරුල් වෙතට වචන වලින් දමා ගැසුවේ ය.

“මං නෙවේ. හැබැයි මටත් වැඩිය ඔයා ගැන හිතන…ඔයාගෙ අනාගතේ ගැන වදවෙන… ඔයාට හුඟක් ආදරේ කෙනෙක්”

එක මොහොතකට චන්දුල ගේ ඇස් උමා ගේ ඇස් මත හැපිණ. ඔහු ලියුම් කඩදාසිය පුටුව මත දමා නැගිට ගෙයින් පිටවූයේ ය. උළුවස්ස උඩට පැමිණි රිදී ඇස් වල කඳුළු පුරවාගෙන බලා සිටියා ය. ඒ කාලේ මේ ගෙදර මේ පුංචි ඉස්තෝප්පුවේ ඩොල්කි සාජ්ජයක් හිඟ වූයේ නැත. සිසිර ඩොල්කි ගසමින් “මේ… සීත සුව දෙන රැයේ…පිපුණ සුවඳ මලේ” ගීතය ගයනවා මේ දැනුත් ඇගේ සවන් ළඟ ඇහෙනවා ඇහෙනවා සේ විය.

“මං මැරෙන්න කලින් රාජා ටීවී එකේ සින්දුවක් කියනව දකින්න මට පිණක් තියෙයිද පාරුල්…”

රිදී උගුර යටින් අසාගත්තා ය. පාරුල් බංකුව මතින් නැගිට අම්මා වෙත ගොස් ඇයව තුරුලු කොට ගත්තා ය.

“ආදරේ වෙනුවෙන් ඕගොල්ලො කොච්චර දේවල් කරනවද… කොච්චර දේවල් කරල තියනවද… මට ඕගොල්ලො ගැන හරි ආඩම්බරයි අම්මෙ… උමා… ඕගොල්ලොන්ට වඩා මං ගොඩාක් පිටිපස්සෙං ඉන්නෙ. ඒත් ඔය දෙන්න ඉන්නවනෙ මට…”

ඇගේ හඬ බිඳිණි. ඇස් කෙවෙනි දැවී උණු කඳුළක් උනා ආවේ ය. උමා වහා නැගිට ගොස් අම්මාවත් දූවත් දෑතින් තුරුළුකොට ගත්තා ය.

💙🩵ආදරය වෙනුවෙන් යමක් කියා යන්නට, තියා යන්නට තිබෙනවා නම් එහෙම කරන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles