ආකාස මෝස්තර – 16

ගඟුල් විජයවීර ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කැපී පෙනුණේ ය. ඒ ඔහු වෙනත් ඡන්ද අපේක්ෂකයන් සේ නොව හදවතින් ම ඔහු ගේ කාර්යය කරන්නට පේ වූ නිසා ය. විශේෂයෙන් ම තදාසන්න පෙදෙස්හි අඩු ආදායම් හා අඩු පහසුකම් ලාභී සාක්ෂරතාවයෙන් අඩු ප්‍රජාව කෙරේ ඔහු ගේ වැඩි අවධානය යොමු වීම ඊට හේතුව වන්නට ඇත. ඒ ප්‍රදේශ ආශ්‍රිතව සැරිසරමින් ඔහු මුලින් ම අධ්‍යයනයක් කළේ ය. ඔවුන් වෙනුවෙන් ඉදිරියේ දී, ඔහු ට බලයක් ලැබුණහොත් කළ යුතු කාර්යභාරය සැලැස්මකට ගොනු කොට ගත්තේ ය. දිගට ම බලයේ රැඳී හිඳින්නට නොව සීමිත කාලයකට බලයට පත් වී ඒ කාලය තුළ මේ ප්‍රජාව ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ඔහු ගේ අවධානයට ලක් විය. විශේෂයෙන් ම ඉපයීමකින් තොරව අපතේ යන ශ්‍රමය විධිමත්ව රැකියා සඳහා යොමු කිරීම ඔහු ගේ ප්‍රධාන ම මැතිවරණ පොරොන්දුව වූයේ ය. ඒ අනුව ඒ ඒ අයගේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් මත ඒ ඒ ස්ථර වල ලබා දිය හැකි රැකියා අවස්ථා ගැන ඔහු සොයා බැලුවේ ය. රජයේ පමණකුදු නොව පෞද්ගලික අංශයේ පවා සේවා යෝජකයන් හා සාකච්ඡා කරමින් නාගරික ශ්‍රම බලකාය ඉහළ අගයකට ගෙන ඒම සඳහා සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කළේ ය. සැබවින් මනාපය දෙන ලෙස ඉල්ලමින් ගඟුල් ට ගෙවල් ගානේ යන්නට පවා ඒ හැටි කාලයක් ඉතිරි වී නො තිබිණ. නමුත් ඔහු ගැන බලාපොරොත්තු සහගත කටකතා මුව මුව පැතිර ගියේ ය. ගඟුල් විජයවීර යනු සුරත් විජයවීර වාගේ ව්‍යාජයක් නොව සැබෑ මිනිසෙකු බව මිනිසුන් ගේ පපු වලට දැනෙමින් තිබිණ.

“එයාටත් දීල බලමුකො”

වැනි නිශ්චිත බලාපොරොත්තුවක් නොවන සීමාවක ගඟුල් ඉහළින් සිටියේ ය. දහසකුත් එකක් කාර්ය බහුලත්වයන් අතරේ ද ඔහු ගේ හදවතේ ඉහළ ම මළුවක පාරුල් දෙව්රූ ඇල්ලගේ සිටිනා බව ගඟුල් දැන සිටියේ ය. දැනටමත් ඇය ඔහු වෙතට මිත්‍රත්වයේ සුරත දිගු කොට සිටියෙන් ගඟුල් ට යම් බලාපොරොත්තුවක් නොතිබුණාමත් නොවේ. නමුත් ප්‍රේමය කියනා මාතෘකාව ඉස්සරහාට දමාගෙන ඇය වෙත යන්නට තරම් පාරුල් තවමත් ඔහු විශ්වාස නො කරන බව ද ගඟුල් නිසැක ලෙස දැන සිටියේ ය.

“ඔයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට මං කැමතියි”

අඩ අඳුරේ, ගඟුල් මිදුලේ බංකුව මතට වී සිටියදී ඔහු වෙතට පැමිණි නිර්ධා සිනහවකින් එසේ පවසා ගඟුල් සමීපයේ අසුන් ගත්තා ය.

“චූටි දොස්තර නෝනාගෙ කන්ඩිශන්ස් ඒකෙ තියෙනව කියල මට හිතෙනව”

අම්මා අඩ ඇස් බැල්මක් හෙළුවා ය. ගඟුල් මඳහසකින් බිම බැලුවේ ය.

“මගෙ මුළු දේශපාලන ගමනටම ඇති වෙන්න තරං අයිඩියාස් දැං මට එයාගෙන් ලැබිලයි තියෙන්නෙ අම්ම. එයාට වගේම මටත් දැන් ඕනෙ දුක් විඳින මිනිස්සුන්ට මොනා හරි දෙයක් කරල දෙන්නයි. ඇත්තටම මේ දේශපාලකයො මෙච්චර කල් මිනිස්සුන්ටයි රටටයි මොනාද කරල තියෙන්නෙ කියල හිතෙනව ඒ මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිල බැලුවහම”

“පුතා. මං ඔයාට දෙයක් කියන්නං. මිනිස්සුන්ට අවංකව වැඩක් කරන එක ලේසි නෑ අමාරුයි. එහෙම කරන්න ගිය බුදු හාමුදුරුවන්ට ජේසුස් ක්‍රිස්තුස්ට වගේ අයටත් බලය තියන මිනිස්සුන්ගෙන් එකපාරට හොඳ ප්‍රතිචාරයක් ලැබුන්නෑ. සමහර විට තමන්ගෙ ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවපු මිනිස්සු ඉන්නව. ඒක නිසා පරිස්සමෙන් ඔයාගෙ ගමන යන්න. කරන්න අමාරුයි කියල හිතෙන කිසිම දෙයක් කරන්න බැරි නෑ පුතා”

“මට තේරෙනව අම්ම”

“ගෑනු ළමයෙක් නිසා හරි ඔයා මේ පොලිටික්ස් කියන නරා වළේ හරි ට්‍රැක් එකට වැටිල යනවනං එච්චරයි”

නැවත ද වරක් ගඟුල් මඳහසක් අහසට පා කොට හැරියේ ය. විශාල කොළපාට තණ පළසක් වන මිදුල මැද ඉදි කොට ඇති වතුර මල අහසට දියරැල් ඉසිමින් තිබිණ. ආලෝක බුබුළු නිසා ඒ මල් වැහි වෛවර්ණ ය. මිදුලේ ඈත කොන් කිහිපයක වන්නේ පැරණි අරලිය ගස් කිහිපයක් පමණකි. ඒවායේ විවිධ වර්ණ වල මල් පිපේ.

“චූටි දොස්තර නෝනා ලස්සනද…”

ගඟුල් අම්මා ගේ මූණ දෙස බලා ලස්සනට සිනහ වූයේ ය.

“හ්ම්. දේවතා රූපයක් වගේ”

“හරි දේ තෝරගත්තොත් හොඳම රිසල්ට්ස් ගන්න පුළුවන් පුතා”

කියමින් ගඟුල් ගේ හිස පිරිමැදගෙන නිර්ධා නැගී සිට ගෙතුළට ගියා ය. ගඟුල් නැවත ද පාරුල් ගේ දුරකතනය අංකනය කොට එය සවනට ගත්තේ ය. තවමත් ඇය වෙනත් දුරකතන ඇමතුමක රැඳී සිටී. මීට පෙර කිහිප විටක් ම ඔහු මිදුලේ බංකුවට වී කළේ පාරුල් ට කතා කරන්නට උත්සාහ කරනා එකයි. ඇගේ දුරකතනය කාර්ය බහුල ය!

පාරුල් ඇමතුමේ සිටියේ පසන් ඉරුගල්බණ්ඩාර සමඟයි. දැන් ඒ කතාබහ අඩ හෝරාවකටත් වඩා දිගු වී තිබේ. තව තවත් කල් ගත කරන්නේ නැතිව දෙව්රූ ට සිය කැමැත්ත ප්‍රකාශ කොට ඒ සම්බන්ධය තහවුරු කරගන්නට පසන් තීරණය කළේ ය.

“අපි පොඩි ළමයි නෙවෙයිනෙ දෙව්. දැං ඉතිං කොහොමත් අපේ ගෙදරින් බඳින්න කියල කරදර කරන කාලෙ තමයි එන්නෙ. මං කැමති කෙනෙක් ඉන්නව කියල කියන එක ලේසිනෙ”

ඔහු කල්පනාවෙන් වචන තෝරා බේරාගෙන ය කතා කළේ. පාරුල් ඒ වචන වලට වඩාත් පරිස්සමෙන් සවන් දුන්නා ය.

“ඇයි ඉතිං ඔයා මට කැමතියි කියල හිතන්නෙ…”

කුඩා මිදුල ආලෝකවත් ව තිබුණේ අඩු වොට් ගණනක මළානික කහ එළියක් දෙන කුඩා විදුලි බුබුළකිනි. ඒ බල්බය සෑහෙන කාලයක් තිස්සේ එල්ලෙමින් එළිය දෙන නිසා ඉස්සරටත් වැඩිය ආලෝකය පඬු පැහැ ගෙන ඇතැයි පාරුල් ට සිතිණ. වත්තේ තැන් තැන් වලින් දමිළ චිත්‍රපට ගී හඬක් හෝ රූපවාහිනී ටෙලි නාට්‍යයක දෙබස් ඛණ්ඩයක් නැගී එයි. මග වැරදුණු වවුලෙකු අමුතු හඬක් නිකුත් කරමින් අඹ ගස ළඟින් ඉගිලී ගියේ ය. කාගේ හෝ කුස්සියක අල කිරි හොද්දක් පිසෙනා සුවඳ, රස නහර පිනවමින් හමා එයි.

“කැමැත්ත කියන්නෙ දැනෙන දෙයක්නෙ දෙව්. මට දැනෙනව මං ඔයාට කැමතියි කියල. ඒ වගේම ඔයා මට කැමතියි කියලත්”

“අනේ පසන් අයියෙ”

“අනේ කිව්වෙ…”

“ඔයා එහෙම කිව්වට… මන්නං දන්නෑ මං ඔයාට එහෙම කැමැත්තක් තියනවද කියල”

“පිස්සු කෙල්ල. මීට පස්සෙ මං ගැන එහෙම හිතන්නකො. ම්… අපි මේකට මූණ දෙමු. ෆැකල්ටි එකේ බුවෙක් වචනෙ දාන්න කලින් මේක ඔයාට කියල තියන එක හොඳයි කියල මට හිතුණා. එහෙනං ඔන්න මං අපේ අම්මලටත් මේ ගැන කියනව”

පාරුල් ට කිසිත් කිව හැකි වූයේ නැත. එපමණට ම උගුර හිර වී තිබිණ. ඇයට කිසිත් සිතිය හැකි වූයේ ද නැත. සිතිවිලි අවහිර ව තිබුණේ ය.

“ඔයත් ගෙදරට කිව්වට කමක් නෑ. ඕනනං මං දවසක ඕගොල්ලංගෙ ගෙදර ඇවිත් මේ ගැන කතාකරන්නං”

“පසන් අයියෙ. අපේ ගෙවල් තියන හරියෙ පරිසරය එච්චර හරි නෑ. ඒක නිසා මට හිතෙන්නෙම මේක කෙරෙන දෙයක් නෙවෙයි කියලයි”

“හරි හරි ළමයො. ඔයා හැමදාම ඔතන ඉන්නව නෙවෙයිනෙ. අපි ඉක්මනටම හොඳ තැනකින් ගෙයක් හදන්න පටංගමු. ඒ කෝක කරන්නත් ඉස්සල්ලම අපි දෙන්න එකඟතාවයකට ඇවිත් ඉන්න ඕනනෙ. ඒකයි මං අද මේ ගැන කතාකළේ”

මොනවා කරන්න දැයි පාරුල් ට වැටහුණේ ම නැත. නමුත් පසන් තීරණය ගෙන අවසාන ය. ටික දිනක සිට ඔහු ඈ කෙරේ හැසිරෙන ආකාරයෙහි වෙනසක් ඇති බව පාරුල්ට නො දැනුණා නොවේ. ඇගේ හැසිරීමෙන්  ඔහු ට අනුබලයක් ලැබුණා ද කියන්නට ඇය දන්නේ නැත. පසන්ගේ හිතේ යමක් තිබුණත් ඔහු වෙතින් පැන දුවන්නට තරම් සාධාරණ හේතුවක් පාරුල් ට පෙනුණේ ද නැත. ඇය යම් කිසි අතීරණාත්මක තත්වයක ඔහේ පා වෙවී සිටියා ය. නමුත් දැන් ඒ පා වීම අවසාන කොට ස්ථාවර පිහිටීමකට පත් වන්නට සිදුව තිබේ.

ගඟුල් ගෙන් පැමිණි දුරකතනය ඇමතුම් ගණනාව ඇය දුටුවා ය. ඔහු ට කතා කළ යුතු යයි සිතුණ ද එසැනෙන් ඒ සිතිවිල්ල අමතක ව ගියේ ය. පාරුල් මිදුලේ බංකුව මතට වී ඔහේ බලා සිටියා ය. ඇය විශේෂයෙන් කිසිවක් ම දුටුවේ නැත. පසන් ට කැමැත්ත දිය යුතු ද? ඔහු කැමැත්තක් බලාපොරොත්තු වන්නේත් නැති තරමි. ඇය ඔහුට කැමතියි කියා ඔහු තීරණය කොට තිබේ. නැතහොත් පසන් ට අකමැති විය යුතු ද? ඔහු ට අකමැති වීමට තරම් හේතුවක් ඇයට පෙනෙන්නේ ද නැත. එකෙනෙහි ගඟුල් සිතේ මතු වී රන් රුවක් සේ පෙනී සිටියේ ය. පාරුල් සුසුමක් හෙළුවා ය. හිතේ කොහේ කොතැනක හෝ ඔහු ඉන්නා බවක් ඇයට දැනේ. නමුත් එතැන ප්‍රේමයකට ආසන්න හැඟීමක් ඇතැයි සිතන්නටවත් ඈ කැමති නැත. ඔහු ඇය වෙත මිත්‍රත්වයේ සුරත පෑවේ ය. ඔහු ට හොඳ ම මිතුරියක වී වැරදි අඩුපාඩු පෙන්වමින් ළඟින් සිටිනා ලෙස ඉල්ලීමක් කළේ ය. ඉතින් ඒ ප්‍රේමයක් විය හැකි ද? ඊටත් වැඩිය ගඟුල් වන් දේශපාලකයෙකුගෙන් ප්‍රේමයක් බලාපොරොත්තු වීමට තරම් තමන් උමතු වී ගෙන එනවා දැයි පාරුල් ඇගෙන් ම විමසුවා ය. ඔවුන් දන්නා ඇති ප්‍රේමයක් නැත. එවැන්නක් පෙන්වාගෙන ආවත් ඒ වත්තේ ඡන්ද ප්‍රතිශතය වෙනුවෙන් මිසක හෘද සංවේදී හැඟීමක් මත වන්නට කොහෙත් ම බැරි ය. එබැවින් පසන් ගේ යෝජනාවට ගඟුල් කිසි සේත් පරහට හිටිනා හේතුවක් විය යුතු නැත.

ගඟුල් ගේ නමින් දුරකතන තිරය එළිය වී හැඬවෙන්නට ගති. පාරුල් වහා ඊට පිළිතුරු දුන්නා ය. කිසියම් කලබලයක් ඈ ‘හෙලෝ’ කී ආකාරයේ ද විය.

“මං ගත්ත. ඔයා දිග… කෝල් එකක හිටියෙ”

පපුව පිච්චී යන සෙයක් දැනුණේ ඇයිදැයි පාරුල් නො දත්තා ය.

“අ… ඔව්. හොස්පිට්ල් එකේ අයිය කෙනෙක් කතා කළා”

“හොස්පිට්ල් එකේ අයිය කෙනෙක්…”

ඔහු ‘අයිය කෙනෙක්’ යන්න බර කොට කීවේ ය.

“අයිය කෙනෙක් කිව්වෙ… ඩොක්ට කෙනෙක්”

එක මොහොතකට ගඟුල් මුළුමනින් හිර වූයේ ය. ලෝකය එක නිමේශයකට නතර වූවා සේ ඔහු ට දැනිණ. හුස්ම හෝ ගත්තා ද කියා සැක සහිත ය. ඒ ‘දොස්තර අයියා’ ගැන මනස් රූපයක් හැඳ ගන්නට හදවත දැරූ උත්සාහයකින් පසු ඔහු සුසුමක් හෙළා “ඉතිං”  කීවේ ය. ඒ ඉතිං යන්නෙහි අරුත ඊට පෙර ඔවුන් අතරේ සිදු වූ කතා බහ මුළුමනින් කපා හැර අලුත් තැනකින් අලුතෙන් ම කතාව ආරම්භ කරමු කියනා එක ය. වෙන කිසිවෙකු ගැන නොව ඔවුන් දෙදෙනා ගැන කතා කරන්නට ගඟුල් ට ඕනෑ වී තිබිණ.

“කැම්පේන් එක හොඳට යනෝ නේ…මං ලීෆ්ලට් එකක් දැක්ක. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මරු. ඒව ඒ විදිහට සිද්ද වෙනවනං ඊටත් වඩා මරු”

එතෙක් දැනෙමින් තිබුණා වූ හෝන්දු මාන්දු අලස බව මරාගෙන අලුත් උද්‍යෝගයක් ද හුරතලයක් ද පාරුල් වෙතින් කලඑළි බැස්සේ ය. ඇය සිනහවකින් විකසිත වෙමින් සිටියා ය.

💙🩵කතාව කෙරේ ඔබේ ආදරය ද අදහස් ද ඉතිරිකොට යනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles