දහ අට වැනි නෙතු සැරිය
” පොඩි සර් … ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා….”
පෙරලා පැමිණෙන ගමනේදී ගීතයක් උරුවම් කරමින් වෙනදා නොවූ සැහැල්ලුවක සිටින චත්‍රට පලමු අනතුරු ඇඟවීම නිකුත් කරන්නට කපිල දෙවතාවක් සිතුවේ නැත. චත්‍ර එයට හිනැහුනා පමණි. ඔහුට මේ දැනෙන හැඟීමේ සුවය ප්‍රමාණවත් ය.
” හිනාවෙන්න නෙවෙයි පොඩි සර් .. ඔහොම කතා කරලා , හිනා වෙලා උන්නට මොන සැලසුම් හිතේ තියෙනවද කවුද දන්නේ…? අපි දන්නේ නෑනේ ඒ කෙල්ල ඉන්නේ කොහොම මානසිකත්වෙකද කියලා… ඒ හින්දා ඒ කෙල්ල ආයේ කොහොම කතාවට ආවත් මඟ ඇරලා යන එක තමා හොඳ..”
අයත්මා නිසා චත්‍ර කෙතරම් විඳවනවාදැයි දැන උන් නිසාම කපිල කීවේය. ඇය මෙහෙම බුරුල් හැසිරීම් පෙන්වූ පසු ඔහු යළි ඇයටම බැඳෙන්නේය. ඉන් පසුව ඇය චත්‍රව අත් හැර යෑම අනිවාර්‍යෙන්ම සිදු වන බව කපිල දනී. යළි විඳවන්නට වන්නේ චත්‍රටය. චත්‍ර නිසාවෙන් ඇයට විඳින්නට වී ඇති පීඩාවේ ප්‍රමාණය කෙතරම් වුවද, මෙවෙලෙහි චත්‍ර ගේ පසින් සිට ගැනීම හැර අන් යමක් කපිලද කල හැකිව තිබුනේ නැත.
චත්‍ර නිහඬව තමා දෙස බලා සිටින වග එක් පසෙකින් පෙනෙද්දී කපිල ඔහු දෙස බලා කුමක්දැයි විමසුවේය.
“උඹ කෙල්ල කෙල්ල ගාන්නේ ඒකි උබේ කෙල්ලද?..”
චත්‍ර උන්නේ සැහැල්ලුව දෝරෙ ගලා යන මවා ගත් ව්‍යාජයකට මාරු වෙමිනි. කපිල ඔහුට රැව්වේය. විටෙක චත්‍රගේ සැහැල්ලු හැසිරීම් කපිලට හිතට වදයකි. ඔහු චත්‍රට සෙනෙහස පාන්නේ සැබැවින්ම බාල සහෝදරයෙකුට මෙන් ය.
“මං කිව්ව දේ ඔලුවට දාගන්න පොඩි සර් …”
“මං දන්නවා බං ..”
“එහෙනම් ඔය රිලැක්ස් එක අඩු කරගන්න … කිසිම දෙයක් පොඩි සර්ට ඕනෑ විදියට වෙන්නේ නෑ කියලා මතක තියාගන්න …”
“ඇයි බං උඹ ඔහොම කියන්නේ කියහංකෝ ….”
“පොඩි සර් නොදකින ඇත්ත මම දැක්ක නිසා පොඩි සර් .. අයත්මා මිස් පොඩි සර්ට කැමති නොවුනේ එහෙම අකමැති වෙන්න එකම එක හේතුවක්වත් නැති කාලේ….. ඒත් දැන් තත්වේ වෙනස් … …..”
කපිල ඉන් පසුව කිසිවක් කීවේ නැත. චත්‍ර හෙමි හෙමින් ගොඩ නංවමින් තිබූ මාලිගාවද පොළවටම ඇද වැටුණි. ඔහු කැබ් රියෙන් පිටත බැලුවේය.
කපිල සමඟ කෝපයක් දැනෙනවා වුවද ඔහු පවසන්නේ සත්‍යක් බව චත්‍රටද වැටහේ. අයත්මා මෙවෙලෙහි තමාට සැහැල්ලුවෙන් මුහුණ දුන් පලියට තමා මෙතරම් සැහැල්ලුවක් තනා ගන්නේ කෙලෙසද? එතරම් සැහැල්ලුවකින් ඇය හා ගෙවෙන තත්පර යළි උදා නොවන වග දැන දැනම තමා ගෙවි අවසන් වූ තත්පර මත මෙහෙම මාලිගාවක් ගොඩ නැංවීම යහපත් නොවන වග තමාට නොවැටහුනේ මන්දැයි චත්‍ර කල්පනා කලේය.
” ඔහොමම කෝමාරිකා වත්තට යමං …”
චත්‍ර සැලසුම් වෙනස් කලේය. අක්කර තුනක් පුරා ව්සිරි ඇති කෝමාරිකා වත්ත තුළ චත්‍රට අවශ්‍ය වන හුදෙකලාව ඉතා අපහසුවෙන් සොයා ගැනීමට හැකිය. තැනින් තැන ඉදි කර ඇති කුඩා අට්ටාල නිවෙසකට වී ඔහුට කල්පනා කරන්නට කාරණා කප්පරක් ඇත.
කපිලද ඒ බව දැණ උන්නේය. ඔහු කිසිත් නොවිමසාම වාහනය ධාවනය කලේය.
නාට්‍යය අවසන් වූ පසු සිසුන් සියල්ලන් වෙනුවෙන්ම සංග්‍රහය පිරිනැමුණි. චත්‍රගේ මිතුරෙක් කිරි පැකට් ගෙනැවිත් දී තිබුනේ සිහිනි ටය. ප්‍රතිපල පවසන්නට නියමිතව තිබුනේ සවස තුන පසුවි වුවද, සියලු දෙනාම එම ස්ථානයේ රැඳී සිටින්නට තීරනය කලහ.
අවසාන ප්‍රතිපලය වූයේ අයත්මා සහ කලණගේ කැපවීම වෙනුවෙන් උපරිම ප්‍රතිපලය ලැබීමය. පාසැල වෙනුවෙන් ඉදිරිපත් කල නාට්‍ය පලමු ස්තානයට තේරි තිබුණි. එයට අමතරරව හොඳම නළුවා සහ නිළිය, හොඳම පසුතල නිර්මාණය, හොඳම වේෂ නිරූපනය, හොඳම පිටපත යන සම්මාන වෙනුවෙන්ද හිමිකම් කියන්නට ඔවුනට හැකි වූහ. පෙරලා පැමිනෙද්දී අයත්මා සහ සිහිනි අනෙක් සිසුන් සමඟ බස් රථයේම පැමිණියහ. පාසැළට පැමිණීමෙන් පසු විදුහල්පතිතුමා සියලු දෙනා අමතා කෙටි කතාවක් කලේය. අනතුරුව සියල්ලෝ විසිර ගියේ සඳුදා දින ඊළඟ සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන අරමුණිනි.
කලණ අයත්මාව කැටුව ගියේය. කපිල වෙනුවට සිහිනි කැටුව යන්නට මිතුරෙකුගේ මෝටර් රියෙන් පැමිණ සිටි චත්‍ර ඒ දසුනෙන් දිනය පුරාම වූ ප්‍රහර්ෂය කුඩු පට්ටම් කරගත්තේය. නිවෙසට සිහිනි ඇරවලන තුරුම චත්‍ර කිසිත් කීවෙ නැත. ඒ තියා ඔහු සිහිනිට කිසිවක් පවසන්නට දුන්නේද නැත. සිහිනි බස්සවා චත්‍ර එහෙමම ආපසු හැරුනේය.
මිතුරන් ඉදිරියේ මවාගත් කතන්දර සමඟින් සිටින්නට වීමද අමතර වෙහෙසක් නිසා චත්‍රගේ මිතුරු සමාගම ක්‍රමයෙන් අඩුවී ගොස් ඇත. ඔහු නිතරම උත්සාහ කලේ කාර්‍යබහුල වීමට සහ තනිවී සිටීමටය.
අයත්මා නිවෙසට ගොස් ගත දොවාගෙන අයියාගේ දියණිය සමඟ සෙල්ලම් කරමින් උන්නාය. ඇය නින්දට යනතුරුම අයත්මාට අන් යමක් වෙනුවෙන් හිතක් තිබුනේ නැත. එහෙත් ඇයට යම් කල්පනාවක හුදෙකලා වීමක් අවැසිව තිබුනි. ඕ යහනේ වැතිරුනාය.
යහනේ ඒ මේ අත පෙරලෙමින් කල්පනා කලාය. මෙවෙලෙහි යම් දෙයක් කල යුතුද , නැතිද කියා ඇයට වැටහුනේ නැත.
හිත යමකට අවසරද ඉල්ලමින් තිබුණි.
ඕ ජංගම දුරකතනය අතට ගත්තාය. කෙටි පණිවිඩයක් සඳහන් කලේ චත්‍රගේ නමට ඉදිරියෙන් ය.
“බොහෝම ස්තූතියි මන්ත්‍රීතුමා උදේ වරුව වෙනුවෙන් …. ළමයින්ට ඒ කෑම ටික බොහොම ප්‍රයෝජනවත් වුණා….”
ඇය එය ආපස්සට මකා දැම්මාය.
” උදේ අපිව ඇරලෙව්වාට ස්තූතියි … කෑම වෙනුවෙන් පින් …”
එයද ආපස්සට මකා දැම්මාය.
” ඔයා නොහිටින්න අපි දෙන්නට සෑහෙන්න රස්තියාදු වෙන්න වෙනවා.. අනෙක ළමයි හවස් වෙනකල් බඩගින්නේ ඉන්න වෙන්නත් තිබුණා… පින්..”
ඕ ඒ දෙස බලා හිඳ එයද මකා දැම්මාය. හැඟීමක් පණිවිඩයක තවරන එක එහෙමට පහසු නැත. හුස්මක්, නැවතීමක්, එක්ක හැඟීමක් පණිවිඩයක තවරන ආකාරයෙන්ම එය අනෙක් පසින් කියවෙන්නේ නැත්නම් ඒ හැඟීම නාස්ති වී යන්නේය.
රාත්‍රී අට පසුවී තිබුණි. චත්‍ර උන්නේ බියර් කෑනයක් හිස් කරමිනි. චත්‍ර ගේ හිස රිදුම් දෙන්නට ගෙන තිබුණි. බියර් සහ එවෙලෙහි වූ සීතල ඉක්මවන විඩාවක් ඔහුට වද දෙමින් තිබුණි.
තිස්ස වැව පේන මානයේ කපිල කැබ් රිය නවත්වා කිසිවෙකු සමඟ ඇමතුමක උන්නේය. චත්‍රට ජංගම දුරකතනය නාද වන බව ඇසෙද්දී ඔහු එයට පිළිතුරු නොදෙන්නෙමි මයි සිතා එය අතට ගත්තේය. ඇමතුම කාගෙන්දැයි දුටු පසු ඔහු අතින් බියර් කෑනය ගිලිහී ගියේය. කපිලට කතා කලද ඔහුට ඇසුනේ නැත.
“හෙලෝ …”
චත්‍රට පෙර නිහැඬියාව බිඳුණි. චත්‍ර උගුර පාදා ගත්තේය.
” හෙලෝ ….”
” ආහ් … මේ … මම .. අයත්මා කතා කලේ … මන්ත්‍රීතුමා…”
අයත්මා චත්‍රගේ ප්‍රතිචාරයෙන් කලබලව මෙන් හඳුන්වා දුන්නාය. වෙනදා චත්‍රගේ ඇමතුමක වූ ස්වරය එහි නැති බව දැණුන වහාම අයත්මාටද කලබල නොවී සිටිය හැකි වූයේ නැත.
“ඔව් .. කියන්න අයත්මා ටීචර් …”
වෙනදා වූ සියළු නාම ආමන්ත්‍රණ පාගා දමා චත්‍ර එවෙලෙහි සුදුසුම ආමන්ත්‍රණය මතු කලේය. ඉන් රිදුනේ අයත්මාටය. ඕ දෑස් වසා යළි විවර කර සන්සුන් වූවාය.
” උදේ අපි දෙන්නා ඇරලුවට බොහොම ස්තූතියි .. ඒකෙන් මන්ත්‍රීතුමාගේ වැඩ පාඩු වෙන්නත් ඇති …ඒ උනාට ඒක ලොකු උදව්වක් … ඒ වගේම ළමයි වෙනුවෙන් එවපු කෑම බීම වෙනුවෙන් බොහොම පින් .. අපි ආයේ ඉස්කෝලෙය්ට එනකොට හයටත් කිට්ටු වෙලා… ඉතින් ළමයින්ට ඒ කෑම ටික හරියට ප්‍රයෝජනවත් වුනා….”
අයත්මා එක දිගට කියාගෙන ගියාය.
” ඒක සුළු දෙයක්…”
” අපි ෆර්ස්ට් ප්ලේස් … ඒක මන්ත්‍රීතුමට කිව්වද දන්නේ නෑ සිහිනි ටීචර් …”
සැබැවින්ම චත්‍ර එවැන්නක් දැන උන්නේ නැත. සිහිනි කීවේද නැත. චත්‍රට විමසන්නට මතක් වූයේද නැත.
” ශා … මගේ සුබ පැතුම් ..”
” ස්තූතියි මන්ත්‍රීතුමා…”
“ආයේ මගෙන් කෙරෙන්න දෙයක් තිබුනොත් නංගි අතේ කියලා එවන්න … පුලුවන් උපරිමෙන් කරලා දෙන්නම් …..”
චත්‍ර සිතා බැලීමකින් තොරව එලෙස කීවේය. ඔහු ඒ අදහස් කලේ යළි ඇමතුම් නොගන්න අලෙස නොවේද? අයත්මා යලි රිදවා ගත්තාය. රිදෙන්නේ ඇයිදැයි වැටහුනේ නැත. එහෙත් රිදුණි. ඇතැම් විට තම ඇසුර ඔහුට වඩා අපහසු හැඟීමක් ඇති කරනවා විය හැකියයි ඕ සිතුවාය.
” හරි …”
ඇමතුම විසන්ධි විය. දෙදෙනාම උන්නේ කිසිවක් සිතා ගන්නට නොහැකිවය. අයත්මා ට ඕ පවසන්නට සිතා උන් සියල්ල පවසාගන්නට හැකි වූයේද නැත
| අපේක්ෂා ගුණරත්න |