අනෝරා මල් වැහි 37

ඒ දෛවෝපගත දුරකතන ඇමතුම එද්දී තාරා උන්නේ ඇඳ මත ඇලවී දෙනෙත් පියාගෙන කලපනා කරමිනි.

දුරකතනයේ එහා පස අන්තයෙන් තමාගේ සවන් වෙත ඇදී ආවේ පණිවිඩයක් නොව මුලු ජීවිතයම මොහොතකට දෙදරවා යන පණිවුඩයක් පමණක් බව තාරාට මතක තිබුනි. 

“හෙලෝ මිසිස් කුලතුංග, මිස්ට කුලතුංගව හදිසි හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිටලයිස් කරල තියෙන්නෙ, මැඩම්ට එන්න පුලුවන්ද ඉක්මනින්?”

තමා ඒ පණිවිඩයට කුමක් කීවාද කියාවත් තාරාට මතකයක් තිබුනේ නැත.

අවුරුදු තිස් දෙක්ක් වැනි තරුණ වයසකදී හෘදයාබාදයක් හැදෙන්නට තරම් හේතුවක් චිරායුට තිබුනාද? මේ සියල්ලටම හේතුව තමා විසින් කියන්නට යෙදුණ කාරණාවද යන්න සිත තව තවත් බර නොකලා නොවේ. චිරායුව බලන්නට රෝහල වෙත යද්දී දෑත ස්ටියරින් වීලය මත කෙතරම් වාරයක් ගැහුණාද?

කෘතිම ශ්වසනය ලබා ගනිමින් රෝහල සයනයක් මත නිදිගත්වන්ම උන් චිරායු දුටු මොහොතේ තාරා බොහෝ බියපත් වුනාය.

ඒ “චිරායු මැරේවිද?”යන බිය හොරෙන් හොරෙන් සිතට ආ නිසාවෙනි. එවන් සිතුවිල්ලක් සිතට ඒම ගැන තාරා ඊලඟ මොහොතේ බොහෝ පසුතැවුණාය. එහෙත් රෝහල් සයනයක් මත ඔහු මෙසේ අඩපණව ඉද්දී සිතන්නට හැකි භයානකම අන්තය ගැන නොසිතා ඉන්නට හැටියක් නොමැත.

“ඩෝන්ට් වොරි, අ මයිනර් හාර්ට් අටෑක්. හී ඊස් අවුට් ඔෆ් ඩේන්ජර් නව්. ඒත් මහන්සි වෙන්නෙ නැතුව මිස්ට කුලතුංගට හොඳරෙස්ට් එකක් දෙන්න”

චිරායුව භාරව උන් වෛද්‍යවරාය එසේ පවසා එතනින් නික්ම ගියද තාරා උන්නේ කරකියාගන්නට දෙයක් නොමැතිවය. චිරායු මෙසේ හදිසියේ අසනීප වීම මහා බයානක අනාගතයක පෙරනිමිත්තක් බව තමන්ට සිතෙන්නේ ඇයිද කියා තාරා නොදත්තීය. කෙතරම් සිත එකලස් කරගෙන ඉන්න තැනුවද රෝහලේ ඇති කලබලකාරී තත්ත්වයත් රෝගීන්ගේ මුහුණුවල පෙනෙන වේදනාවත් බිය මුසු හැඟීමක් මිස ධනාත්මක සතුටට බර කාරණාවලට සිතට එන්නට ඉඩක් නුදුන්නාය. 

තාත්තා මිය ගිය පසු අම්මාගේ මුහුණේද මෙවන් අසරණකමකුත් වේදනාවකුත් දකින්නට වූ ආකාරය තාරාගේ මතකයේ යලි යලිත් ඇඳුණාය. ඒ මතක සේයාරූ මේ මොහොතේ හිත  පැලපදියම් වී ඇති වේදනාව දස ගුණයකින් පමණ වැඩි කරන්නට හේතුවක් වුවත් එයින් මිදීමේ හැකියාවක් තාරා දැන උන්නේ නැත.

චිරායුගේ මව් දෙමව්පියන් තබා තමන්ගේ පවුලේ අයවත් තවමත් මේ ගැන නොදන්න බව තාරාට මතක් උනේ සිතුවිලි අතරිනි. කොපමණ මිල මුදල් තිබුනද මෙවන් මොහොතක ලඟින් රැඳෙන විශ්වාසවන්ත හිතක් අත්‍යවශ්‍ය තාරාට සිතුනි.

මෙයට පෙර තමා කිසිම දිනයක මෙවන් මොහොතකට මුහුණ පා නැත. කලයුත්තේ කුමක්ද කියා අදහසක් නැත. තමා මේ සියල්ල තනිවම දරාගන්නා අතරේ තමාව දරාගන්නට කෙනෙකුත්, වාරු වෙන්නට උරහිසකුත් තිබුනා නම් අපූරුය.

තාරා චිරායු නිදා හිඳින ඇඳ අද්දරින් මදක් එහාට වී දුරකතනය අතට ගත්තය. චිරායුගේ අසනීප තත්ත්වය ගැන තමා චිරායුගේ මවට දැනුම් දිය යුතු බව දැන උන්නද එය කියන්නේ කෙසේද කියන කාරණාවට වඩා තාරාව බියපත් කලේ ඔවුන් මෙහි පැමිණ කුමක් කියාවිද කරාවිද යන කාරණාවයි. එහෙත් මේ නොකියා ඉන්නට බැරි දෙයකි. වසං කරන්නට බැරි දෙයකි.

දුරකතනයේ ගබඩා කර තිබූ චිරායුගේ මහගෙදර දුරකතන අංකය තාරා අතින් හැඬවුණේ ෙලෙසිනි.

“හෙලෝ”

වාසනාවට ද ආවාසනාවටද මන්දා දුරකතනය අතට ගත්තේ චිරායුගේ තාත්තාය.

“තාත්තෙ මම තාරා”

“ආහ් දූ කියන්න, හදිසියක්ද?”

“තාත්තේ මේ…

තාත්තෙ චිරායුට හදිසියෙ පොඩි අසනීපයක් වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා. තාත්තට එන්න පුලුවන්ද?”

“අහ්හ්,

මොනවා වෙලාද හදිසියේ?”

කුලතුංග නිවස ඇවිලුනේ ඉන්පසුවය.

ඕනවටත්වඩා සල්ලි හොයන්නටත්, තානාන්තර හොයන්නටත් වෙහෙසන තරුණ කොල්ලන්ට වුවත් හදවත් රෝග හැදෙන්නට ඉඩකඩක් ඇති බව කුලතුංග මහතා කීවද මාධනී කුලතුංග උන්නේ දුම්මල වරම අතට ගත් යක් දෙස්සියක සේ හතර අතේ දොස් දෙවොල් තබමිනි.

“දෙයියනේ මේ හොඳට උන්නු දරුවට එකපාර මෙහෙම දෙයක් උනේ කොහොමද? අරකි අරකි මූසලී තමයි මගෙ කොල්ලව කෑවේ. දැන් බොරුවට මෙතන අඬාගෙන කෝල් දෙනව” කියමින් කෑගසමින්ම ඇඳ පැලඳගත් මාධනීව අමාරුවෙන් කාරයට ඔබාගත් කුලතුංග මහතා යන මග දිගටත් මාධනීගේ සිත අස්වසන්නට කටයුතු නොකලා නොවේ.

“මාධනී මේ නිකන් ඉගෙන ගත්තෙ නැති ගෑනියෙක් වගේ ඉස්පිරිතාලෙදි නම් හැසිරෙන්න තියාගන්න එපා. මේ වෙලාවෙ අපි බලන්න ඕන පුතාව සනීප කරගන්න මිසක් ඔය තේරුමක් නැති එව්ව ගාන කතාකරන්න නෙවෙයි”

“තේරුමක් නැති ඒව වෙන්නෙ කොහොමද? තාරාගෙ තමයි සහමුලින්ම වැරැද්ද? මේ හොඳට ඉඳල එකපාර මෙහෙම අසනීප වෙන්න පුලුවන්ද නැත්තම්?”

“අනේ මේ දැන් ඔයා කියන්නෙ මේ තාරා චිරායුගෙ පපුව ගලවල අතට අරන් මිරිකුව කියලද? අනෙ මේ විකාර කියන්නෙ නැතුව ඉන්නව මාධනී”

කුලතුංග කොපමණ දේ කියා එක්කගෙන ආවද තාරා දුටු හැටියේ ඇයට බැන වදින්නට මාධනී අමතක කලේ නැත. මේ සියල්ලටම හේතුව තාරා බව පවසමින් ඇයගේ අවාසනාවත් මූසලකමත් චිරායුගේ අගතියට හේතුවක් වූ බව පවසමින් මාධනී බැන වදිද්දී පසුගිය දිනවල මෙන් මාධනීට එරෙහිව වදනක්වත් එක්‍ රැස් කරගන්නට හැටියක් තාරාට තිබුනේ නැත. 

තමා මොන දේ කීවද චිරායු මෙසේ අසනීප වන්නට තමාත් ඔහුත් අතර මෙයට පැය කිහිපයකට කලින් වූ කතාබහ හේතුවක් නොවුන යැයි සිතන්නට හැටියක් තාරාට තිබුනේ නැත. 

හොඳින් හිරු එලියත්, ජලයත් පොහොරත් ලැබුණු මහා ගසක් මෙන් අහස උසට නැගී උන් චිරායු හදිසියේම මුලින් උදුරා බිමට වට්ටවන්නට තරම් තමන්ගේ වදන් හේතුවක්වන්නට හැකිද?

එසේ වන්නට තරම් ආදරයක් තමන් ගැන චිරායුගේ හිතේ තිබුනාද?

එදා මුලු රැයේම තාරා රෝහල් කාමරයට වී චිරායු දෙසම බලාගෙන කල්පනා කරමින් උන්නේ එවන් දේ ගැනය. මොන දේ උනත් කුමනාකාරයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුවත් මේ මෙම රෝහල් සයනයේ දෑස් වසාගෙන නිදා සිටින්නේ තමන්ගේ සැමියාය යන කල්පනාවෙන් මිදෙන්න හැටියක් තාරාට නැත. 

සියල්ල එක පේලීයට පෙරහැරක් මෙන් අපූරුවට පෙලගස්වාගෙන එද්දී හදිසියේ මෙවන් ව්‍යසනයකට මුහුණ දෙන්නට වෙතැයි සිතුවේකවුද? 

චිරායුගේ තත්ත්වය බයානක නැති බව වෛද්‍යවරයා පැවසුවද එය එසේමයි කියා කියන්නට හිතන්නට හැකිද යන කුතුහලය තවමත් නිදා හිඳින චිරායු දෙස බලා ඉන්නා අතරම තාරාට සිතුණි. උකුල මත අලසව වැතිර උන් තම දකුණත ගෙන තාරා හෙමින් සැරේ ඇඳ මෙට්ටය මත ඇලවී තිබුණ චිරායුගේ සිහින් දිගු අතැඟිලි මෘදුව අල්ලා බැලුවාය. ඒ අතැඟිලි වලින් එන්නේ පෙර තමා බොහෝ වර හුරුපුරුදු උණුසුම නොවේ. මරණීය සීතලකි. කෑලි කැපිය හැකි අන්ධකාර දෙසැම්බරයේ රාත්‍රියක හුලං රොද සමග මුසු වී එන කටුක සීතලකි.

එහෙත් හදවත තුල දැල්වෙන්නේ ගින්දරක් නොවේද? මේ මරණීය සීතලට නිවාලිය නොහැකි අන්දමේ ගින්දරකි.

චිරායු උන්නේ නින්දක වුනත් හිත තිබුනේ අවදියෙන් යැයි කියන්නට හැක.ඒ අවදියෙන් උන් හදවත තාරා ගැන සිතමින් උන්නේය. අවසානයට සිදු වූයේ කුමක්ද කියා පැහැදිලි අදහසක් තිබුනේ නැතිනමුත් තාරා විසින් දික්කසාදය ඉල්ලුවයින් පසු තමා බීමත් වූ පසුවත් අනතුරුව වාහනයේ අසුනට හේත්තු වූ අයුරුත් චිරායුට මතක තිබුණි.

තමාගේ කොන්දේ සිට නැගී ඒ මාරාන්තික වේදනාව මෙයට හේතු වන්නට හැකි බව චිරායු සිතුවේ හදවත අඩවන්ව තිබියදීය. දැන් ඒ මරණීය වේදනාව දැන් නොදැනුනද ශරීරය අඩපණ වී ඇති බවක් චිරායුට දැනේ.  ගත සොලවන්නට අපහසුය, එහෙත් ඇඟිලි හෙමින් හෙමින් සොලවන්නට පමණක් හැක. 

තමා අවදියෙන් බව කාට හෝ කියන්නට තිබුනානම් හොඳ බව සිතා චිරායු හෙමින් සැරේ තම අතැඟිලි හෙමින් සැරේ හෙලෙව්වේය.

එහෙත් ඒ සියල්ලටම වඩා කියන්නට අවශ්‍ය දෙයක් චිරායුගේ හිත අස්සේ පෙරලිකරමින් උන්නේය.

තමාට තව අවස්තාවක් දෙන මෙන් තාරාගෙන් ඉල්ලා සිටිය යුතුය. වැඳවැටී හෝ ඉල්ලා සිටිය යුතුය. මොනතරම් හරි හම්බ කරද තාරාවන් ගැහැණියක් මුදල් දී අරගන්නට නොහැකි බව චිරායු දැන උන්නේය. 

ඉතින් එවන් ගැහැණියක් නැති කරගන්නට හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles