හොඳම නත්තල

“නත්තල් සීයට ලියුමක් ලියමු..”

ෆේස්බුක් කාන්තා සමූහයක පළ වූ තරගයට ලියූ ලිපිය හිමාලිට තාම මතකයි.ගිය අවුරුද්දේ තිබුණු ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ හිමාලි වුණත් තමන් ඇත්තටම ජයග්‍රහණය නොකළ බව හිමාලි තාමත් හිතනවා.

ආදරණීය නත්තල් සීයේ,

එකම එක වතාවක් ඇවිත් එයා අම්මගේ බව කියලා යන්න ගිය එයා ආයේ එනතුරු අම්මා තාමත් බලන් ඉන්නවා.අම්මා එයාට මොනතරම් ආදරේ කරනවද කියලා දැනගන්න එයාට එන්නම වෙනවා.ආයේ කවදාවත් ආපහු යන්න නම් එයාව එවන්න එපා.අම්මායි අප්පච්චියි එක්ක සතුට පිරුණු ලෝකෙක ජීවත් වෙන්න එයාට ආපහු එන්න කියලා නත්තල් සීයේ එයාට කියන්න.පිණි මුවොත් එක්ක කරත්තෙන් මීදුම පිරුණු අහස මැද්දෙන් ඇවිදන් යනකොට නත්තල් සීයාට එයාව මුණ ගැහෙයි.දැන් එයා සුර බිළිඳෙක් වෙලා ජීවත් වුණා ඇති.අනේ එයාට එන්න කියන්න.

ඒ ලියුම කියවපු බොහොමයක් ආදරණීය හදවත් හිමාලි වෙනුවෙන් යාඥා කළ බව ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා එකතු කළ බව හිමාලි දන්නවා.ඒත් ඒ එකම යැදුමක්වත් නත්තල් සීයා පුංචි සුර බිළිඳා ලඟට අරන් නොගිය බව හිතනකොට හිමාලිට දැනෙන දුක දරා ගන්න බෑ.

“හිමා..නත්තල් ගහයි ගවලෙනයි හදන්න බඩු ගෙනාවා..”

තරිඳුගේ කටහඬ ඇහෙනකොට හිමාලි නෑහුනා වගේ හිටියෙ හැමදෙයකටම ආසාව නැති වී යන බව ඇයටම දැනෙන නිසා.දැන් හැම දෙයක්ම ඇයට එපා වෙලා.බලන් ඉන්නවා කියලා කොච්චර කාලයක් බලන් ඉන්නද?

“මට ඔය කිසිම දෙයක් කරන්න හිතක් නෑ තරිඳු.අනේ මට මෙහෙම ඉන්න ඕන..”

හිමාලි එහෙම කියනකොට තරිඳු කිසිවක්ම නොකියා ඇයව තුරුළු කරගෙන මඳ වෙලාවක් ගෙවා දැම්මා.

“හැමදෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙන්නේ හිමා..අනේ දුකින් ඉන්න එපා.අපේ සුරංගනා පැටියා ආයේ එනවමයි..”

තරිඳු කියද්දී හිමාලි ඉකි බිඳුමක් එක්කම දුක දිය කරා.මේ බලා හිඳීම ජීවිතයේ කිසිම දෙයකට වඩා අසීරු බව ඇය දන්නවා.තාම වෙනසක් නැද්ද කියලා අහන අහන හැම කෙනෙක් එක්කම තරහ වෙන්න තරම් හිමාලිගේ හිත දැන් දරුණු වෙලා.ඒත් ඇයට දැන් හැමදෙයක්ම එපා වෙලා ගිහින්.

sad christmas

“නත්තලට ඇඳුම් ගන්න යං..”

තරිඳු එහෙම කියද්දිත් හිමාලි හිටියේ නෑහුණු ගානට.පුංචි කාලේ වගේ නත්තල් සීයාගෙන් බෝනික්කෙක් ඉල්ලන්න යැ.පණ තියෙන බෝනික්කෙක් ඉල්ලලා ලියපු ලියුමත් නත්තල් සීයා ගණන් ගත්තු එකක් යැ.

“ගවලෙන් හදන්න මට බෑ..”

නත්තල් ගහ හදන එකත් ප්‍රතික්ෂේප කරපු හිමාලි ගවලෙනත් තරිඳුට පැවරුවා.පුංචි කාලේ ඉඳන් ආසාවෙන් ගවලෙන නත්තල් ගහ හදපු හිමාලි මේ පාර මොකුත්ම නොකර ඉන්න තීරණය කළා.කිසිම දෙයක් ඕන නෑ.බලාපොරොත්තු හීන විතරක්ම වෙනකොට හිමාලි එහෙම නොහිතා කොහොම හිතන්නද?

“මට පල්ලි යන්නත් බෑ වගේ..”

විසි හතර වෙනිදා මධ්‍යම රාත්‍රී දේව මෙහෙයට නොයා ඉන්න හිමාලි හේතු හෙව්වා.ඇත්තටම ඇඟට දැනෙන මහන්සිය ගැන මොනතරම් කීවත් තරිඳු ඒ ගැන වැඩිය හිතුවේ නෑ.

“නත්තල් දවසේ පල්ලි නොයා ඉන්න බෑනෙ හිමා..”

හිමාලි ඉන්නේ හැමදෙයක්ම එපාවෙලා.තව දුරටත් හිමාලි මෙහෙම මානසිකව ඇද වැටිලා බැරි බව හිතෙනකොට තරිඳු කළ යුතු දේවල් හිතුවා.කෙළවරක් නැතුව නාරිවේද වෛද්‍යවරුන් විතරක් මුණ ගැහිලා මදි.හිමාලිගේ හිත හැදෙන්න උපදේශනයට එක්ක යන්නවත් වෙයි.තරිඳු හිතුවේ වේදනාවෙන්.

නත්තල් දේව මෙහෙයට සහභාගී වෙනකොටත් හිමාලි එක දිගටම කල්පනාවට වැටිලා ඉන්න බව තරිඳු දැක්කා.දෙවියන් වහන්සේට කියන්න මොනතරම් දේවල් හිමාලිගේ හිතේ ඇති ද කියලා තරිඳු හිතන්න පටන් ගත්තා.

“තාම වෙනසක් නැද්ද?”

“දරුවෙක් අරන් හදා ගත්තොත් මොකද?”

“පල්ලියේ ළමා නිවාසෙට දාන මාන දෙන්න..එතකොටවත් දරුවෙක් ලැබෙයි..”

ඔය වගේ නානාප්‍රකාර කතා කෙළවරක් නැතුව අහගෙන පල්ලියේ මංගල්ලයත් ගෙවා දැම්ම හිමාලි ගෙදරට ආවේ කලකිරුණු මුහුණකින්.

“ජේසුබබාව ගවලෙනේ තියන්න එන්න හිමා..”

හොඳටම මහන්සියි කියලා ඇඳට වැටුණු හිමාලිට තරිඳු කතා කළත් වෙහෙසත් ඇඟට තෙහෙට්ටුවත් ගැන කියමින් හිමාලි නාන කාමරයට වැදුණා.නත්තල් ගහේ දීප්තිමත් විදුලි බුබුළු දිහා බලාගෙන තරිඳු හිටියේ හිමාලි ආපහු එනකම්.ඒත් හිමාලිගේ මහා හයියෙන් කෑගැහිල්ල ඇහෙනකොට තරිඳුට උන් හිටි තැන් අමතක වුණු තරම්.

“අනේ තරිඳු මේ..”

නාන කාමරයේ දොරකඩට වෙලා හිමාලි හොඳටෝම අඬනවා.හිමාලිගේ ඒ හැඬීම තරිඳුට නුපුරුදු නෑ.ඒත් මේ නත්තල් රෑම මෙහෙම අඬන්න හිමාලිට සිදු වුණු එක ගැන තරිඳුට දැනුණේ මහා වේදනාවක්.

“අනේ තරිඳු..මට හොඳම නත්තල් තෑග්ගක් ලැබිලා..”

Happy family celebration a christmas

හිමාලි එහෙම කියන්නේ ඉකි ගහන ගමන්.රතු ඉරි දෙකක් සහිතව පෙන්වන නත්තල් තෑග්ග දිහා තරිඳුත් බලාගෙන හිටියේ කඳුළු පිරුණු ඇස් දෙකකින්.

“අපි දැන් ජේසු බිලින්දව ගවලෙනෙන් තියමු.”

ප්‍රේමයේ පණිවිඩය ලැබුණු මේ නත්තල තරම් කිසිම නත්තලක් ලස්සන නොවන බව විශ්වාසයෙන් තරිඳු කිව්වේ හිමාලිව තුරුළු කරගන්න ගමන්.ගවලෙන දිහා බලාගෙන ඉඳලා නත්තල් ගහ යටින් ඉඳගත්තු හිමාලි තරිඳුගේ තෑග්ග අතට ගත්තා.

“මං කොච්චර නරකද කියනවනම් ඔයාට තෑග්ගක්වත් ගත්තේ නෑ..”

හිමාලි එහෙම කියනකොට තරිඳු ලස්සනම හිනාවකින් හිමාලි දිහා බලාගෙන හිටියා

“ඔයා මේ නත්තලට දුන්නා තරම් ලස්සන තෑග්ගක් ආයේ මට කවදාවත්ම දෙන එකක් නෑ..”

පුංචි කාලේ නත්තල් සීයා හිමාලි ඉල්ලපු හැම ඉල්ලීමම ඉෂ්ට කරා.ඒත් අවුරුදු ගාණක් තිස්සේ හිතේ සැනසීම නත්තල් සීයාගෙන් ඉල්ලුවත් නත්තල් සීයා නෑහෙන ගාණට ඉන්නවා කියලයි හිමාලි හිතුවේ.එහෙම වෙලා නෑ.ඉවසීමෙන් බලාගෙන හිඳීම ම සතුට අරගෙන එන බව මේ නත්තලේ ඉගෙන ගන්න ලැබුණු බව හිමාලි හිතන්න පටන් ගත්තා.

“ලබන නත්තල් කීපයකම නත්තල් ගහක් හදන්න විතරයි වෙන්නේ..ඒ වේගෙන්ම එයා කඩලා දායි..”

තරිඳු එහෙම කියලා හිනා වෙනකොට හිමාලිත් ඒ හිනාවට එකතු වුණේ සතුටින්.

මේ තමයි හොඳම නත්තල!

More Stories

Don't Miss


Latest Articles