“මට සමාවෙන්න” කියමින් ක්ලීටස් දෙපා ලඟ වැඳ වැටුණේ වසන්තාට ආලය කිරීම හන්දා තමන් විසින් දරුවන්ගේ ජීවිතවලට පවා ගෙන ආ ප්‍රශ්න නිසාවෙන් බව ධම්මිකාට හිතන්නට පුලුවන් උනේ මොහොතකට පමණකි. ක්ලීටස් අනතුරුව කියන්න යෙදුන වචන ධම්මිකා අඩි ගාණක් ඉහලට ඔසවා අකුණක වේගයෙන් පහලට අතෑරිය අන්දමේ වදන් පෙළකි.
“මම දැනන් ඉඳියෙ නෑ ධම්මිකා වසන්තට මං හින්දා දරුවෙක් හම්බෙන්න ඉඳියා කියලා. මම අදටත් දන්නෙ නෑ වසන්තා මාව මගෑරල ගියේ ඇයි කියල. සමහරවිට එයා බයවෙන්න ඇති මම ඒ දරුවව නැතිකරන්න කියාවි කියල.
මම කොහොමද ධම්මිකා ඉවසන්නෙ ඔයාගෙයි මගෙයි දරුවා යාලුවෙලා ඉන්නෙ වසන්තගෙයි මගෙයි දරුවා එක්ක කියලා. මම කොහොමද තාත්තා කෙනෙක් විදියට ඒක ඉවසන්නේ? මම මොකද්ද කරන්න ඕන කියලවත් මම දන්නෙ නෑ ධම්මිකා”’ කියමින් ක්ලීටස් හඬා වැටෙද්දී ධම්මිකා උන්නේ හදවත ඇතුළෙත් ඒ හා සමානය නැතිනම් ඒ වගේ දහ ගුණයක් තරමේ කඩා වැටීමකට ලක්වෙමිනි.
මේ පාපතර මිනිහා තමන් ඉද්දීම තව ගෑණියෙක් එක්ක මගුල් නැටුවා මදිවට ඒ ගෑණි එක්ක ළමේකුත් හදන තරම් දුර ගිහින් ය. මේ මිනිහාට දාව ඒ ගැහැණියගේ බඩේ ඉපදුන ජාතියක් ජම්මයක් නැති එකී දැන් වළිකන්නේ තමන්ගේ කුසෙන් බිහිකල දරුවාගේ ජීවිතේ විනාස කරන්නය. මේ සියලුම ප්‍රශ්නවලට දෙන්නට තිබූ හොඳම උත්තරය නම් වසන්තාව මරා දමන එක බව දන්නා නමුත් එය නොකිරීම අතීතයේදි කල වරදකි. ඒ වරද දැන් හදන්නට බැරි එකකි. එහෙත් එහෙමයි කියා තමන්ට පරම්පරාවෙන් ලැබුණ, විවාහයෙන් දෙගුණ තෙගුණ වුණ ගරුත්වය, ජීවිතය ක්ලීටස්ට දාව කොහෙවත් ඉන්න ගෑණියකගේ බඩට ආ ජාතියක් ජම්මයක් හරියට නැති වත්තෙ කෙල්ලෙක්ට ඉඩ දෙන්න බැරිය.
ක්ලීටස් කකුල් දෙක ලඟ වැඳ වැටී අඬද්දී ධම්මිකා හිත ඇතුලෙන් ඒ සියල්ල හිතුවාය. එක කඳුලු බිංදුවක් නොහෙල්ලා, එක සුසුමක් නොහෙල්ලා, ගලක් මෙන් දැඩිව කාමරයේ හිටගෙන ධම්මිකා ඒ සියල්ල හිතුවාය.
ගැහැණුන්ට ජීවිතයේ බොහෝ තැන්වල රඟපාන්න වෙන බව ධම්මිකා ඉගෙන ගත්තේ පුංචි කාලයේදීම. පුංචි කාලයේ පටන්ම පවුලේ නම්බුව ගරුත්වය රකින්න හිතාගෙන ධම්මිකා උස් මහත් වුණේ ඒ සඳහා ගැලපෙන වෙස් මුහුණක් පැළඳගෙන, ඕනම රඟපෑමකට මුහුණ දෙන්නට හිතාගෙනය.
වසන්තාව ක්ලීටස්ගේ මෙන්ම තමන්ගේ ජීවිතවලින් ද අයින් කරන්නට ඕන පිඹුරුපත් රොඩ්‍රිගු සමග එක් වී හදද්දී පවා ධම්මිකා ක්ලීටස් ඉස්සරහ රඟපෑවේ “වෙන සම්බන්ධයක සිරවුණු සැමියා නිසාවෙන් දුකට පත් ගැහැණියගේ” චරිතයයි. මුලින් කඳුලෙන් ද අනතුරුව සුසුමෙන්ද ඇරඹි ඒ චරිතය, කාලයත් සමග “ඉවසීමෙන් සැනසීම ලැබෙන බව හිතූ, එයා මට කොහොම සැලකුවත් මම එයාට ආදරෙයි” කියන ගැහැණියගේ චරිතයක් දක්වා රැගෙන යමින් චරිතාංග නිළියගේ භූමිකාව විවාහ ජීවිතය නම් වේදිකාව මත රඟපාන එක පවුලේ නම්බුව ගැනම හිතූ ධම්මිකාට ලොකු කජ්ජක් උනෙ නැත.
තමන්ට ආයෙම වරක් ඒ චරිතය රඟපාන්න කාලය ඇවිත් තිබෙන බව ධම්මිකා හිතට කිව්වේ ඒ හන්දාමය. ඒ චරිතය මුලින්ම රඟපාන්න උනේ තුරුණු වියේදීය. ආයෙම එකම නිළියකට තමන්ගේ ජීවිතයේ අත්දැකීම් බහුල වයසකදී තුරුණු වියේ රඟපාන්න වූ චරිතයක් එහෙමම රඟපාන්න වෙන එක අපාසුවක් නොවන බව ධම්මිකා හිතට ඒත්තු ගැන්වුවාය.
“ඇයි ක්ලීටස් ඔයා මට මෙහෙම කරේ?” ඒ කතා කලේ ධම්මිකා නොවන බවත් ධම්මිකාගේ ඇඟට වැහී උන් චරිතාංග නිළියක බවත් දැන උන්නේ ධම්මිකාම පමණකි. ක්ලීටස්ට දැනුණේ හිත පසාරු කරගෙන මුවහත් කිණිස්සක් බසින ආකාරයේ වේදනාවකි. මේ හඬ මෙයට වසර ගණනාවකට කලින් මේ වගේම ඇසුණු බව ක්ලීටස්ට මතකය. එදා ධම්මිකා “ඇයි ක්ලීටස් ඔයා මට මෙහෙම කරේ?” කියා අහද්දී “මම මේ කසාදෙට කැමති උනේ අම්මලගෙ උවමනාවට ධම්මිකා. මට ආදරේ දැනුනෙ හම්බුණේ වසන්තගෙන්, මට සමාවෙන්න, ඒත් මට කරන්න දෙයක් නෑ” කියා කියන්නට තරම් එදා උන් ක්ලීටස් හයිය හත්තිය තියෙන ආදරේ වෙනුවෙන් කතාකල මිනිහෙක් උනත් අද ඉන්න ක්ලීටස්ට ඒ කරන්නට බැරිය.
එදා තමන්ගේ ආදරේ වෙනුවෙන් කතා කල මිනිහා නිහඬ වී ඉන්නේ දරුවන්ට තියෙන ආදරය හන්දාය.
“ඔයා වසන්තා එක්ක යාලුවෙලා ඉද්දි මම ඔයාට සමාව දුන්නෙ ඔයා එහෙම හරි ඔයා කියන ආදරේ ඔයා හොයාගත්තනම් ඒක මට සන්තෝස වෙන්න කාරණාවක් හන්දා.
ඒත් මං කොහොමද ක්ලීටස් ඔයා අතීතෙ කරපු වැරදි හන්දා අද මගේ දරුවො දුක් විඳිද්දි ඔයාට සමාව දෙන්නෙ? මම කොහොමද කළින් වතාවෙ වගේ මේ වතාවෙත් ඔයාට ඕන දෙයක් කරගන්න කියල සද්ද නැතුව ඉන්නෙ.
මම අම්මා කෙනෙක් ක්ලීටස්. මට මාවයි මගෙ සන්තෝසෙයි ජීවිතෙයි විනාස කරගන්න පුළුවන් උනාට මට බෑ මගෙ දරුවන්ගෙ ජිවිතේ විනාශ වෙනව දකින්න. ඔයාට තාත්තා කෙනෙක් විදියට ඒක ගැන ගාණක් නැතුව ඇති. ඒ උනාට මට අම්මා කෙනෙක් විදියට ඒක දරාගන්න බෑ”
ධම්මිකා එසේ කියා කාමරයෙන් එලියට යද්දීත් ක්ලීටස් කරේ බිම වාඩිවී ගෙනම කඳුලු හලපු එකය. පිරිමි එහෙම ලේසියෙන් අඬන්නේ නැති බව ඇත්තක් උනත් පිරිමින්ට අඬන්න කාරණා යෙදෙන්නෙ එහෙමත් ලේසියෙන් නොවේ. ක්ලීටස් උන්නේ පිරිමියෙකු වී, පිරිමියෙකු කරන වැරැද්දක් කිරීම හන්දා හිතට දැනිච්ච වේදනාවෙන් අන්තෙටම කලකිරී කරකියාගන්න දෙයක් නැතිම තැනකය.
ධම්මිකා හරිනම් තමන්ව මරාදමන්න ඕන බවත්, ඒ ගෑණි එහෙම ඉවසන්නේ ඒ ගෑණිගේ හොඳකම හන්දා බවත් ක්ලීටස් හිතුවේය. එහෙත් ඇත්තටම ධම්මිකා උන්නේ රොඩ්‍රිගුට කතා කර ක්ලීටසුත්, වසන්තා වගේ ක්ලීටස් ගෑවිච්ච තව ගෑණු මිනිස්සු ඉන්නවා නම් උන්වත් මරාදමන්න කියා ඕඩර් එකක් දෙන අන්දමේ තරහවකින් පුපුරමිනි.
“මේ මිනිහා හතර අතේ ගන්දස්සාර ජරාව ගාගෙන දැන් මගෙයි මාගෙ දරුවන්ගෙයි මූණුවලත් ඒ දහජරාව ගාන්නයි හදන්නේ?
පර බල්ලෙක් මූ නම් මහ. මගෙ වැරැද්ද. ඒ කාලෙම මූටයි අර ගෑණිටයි දෙන්නවම ඉවරයක් කරන්නෙ නැතුව මනුස්සකමෙන් ප්‍රශ්න විසඳන්න ගියාට” කියා ධම්මිකා හිතමින් උන්නේ එලියේ ඕපන් ටෙරසයේ එහෙට මෙහෙට ඇවිදිමින් දරාගන්න අමාරු කෝපයකිනි. රාත්‍රිය වනාහී සිසිලස දනවන මොහොතක් වුනත් ධම්මිකා ඒ මොහොතේ උන්නේ දරාගන්න අමාරු කෝපාග්නියක දැවෙමිනි. ඒ කෝපාග්නියෙන් හිතත් ගතත් ආත්මයත් දූලිවන්නට දැවෙමින් තිබුණි.
ක්ලීටස් ධම්මිකා සොයා ආවේ ඒ මොහොතේය. තමන් විසින් කරන්නට යෙදුන වරද හදාගන්න පුලුවන් තමන්ගේම වරදින් බව ක්ලීටස් දනී. තමන් හන්දා ධම්මිකා තරුණ කාලයේ අනන්ත දුක් වින්දා වෙන්න හැක. ධම්මිකා ඒවට සමාව දුන්නත් තමන්ගේ මේ වරද ගැන දැනගත් දවසට දරුවන් ඒකට සමාව දෙන්නේ නැති බව ක්ලීටස් දනී. ඒ උනත් කමක් නැත. වරදක් කල මිනිසා එයට වන්දි ගෙවන්නම ඕනය. දරුවන් සමාව නුදුන්නත් දරුවන්ගේ ජීවිත විනාස නොවන තාක්කල් තමන් සතුටෙන් ය සැනසීමෙන් ය. ක්ලීටස් ධම්මිකා සොයා ආවේ ඒ කතාව කියන්නය.
“ධම්මි” කියා තමන්ව ඇමතූ ක්ලීටස්ගේ මූන හරහා අතුල් පාරක් දෙන්න තිබුණනම් වඩා හොඳ බව හිතුවත් ධම්මිකා ආයෙම වරක් අගතියට පත් පාර්ශ්වයට අයත් වෙස් මුහුණ පැළඳගත්තේ කෝපයට වඩා වේදනාවට ගැහණියකට සාධාරණයක් කරන්න පුලුවන් බව දන්න හන්දාමය. බොහෝ තැන්වල විසඝෝර සර්පයින් මෙන් හැසිරෙනවාට වඩා පහසුවෙන් සුන්දර බාඳුරා මලක් වී දඩයම සාර්තකව කරගන්න හැකි බව ධම්මිකා අත්දැකීමෙන් තේරුම් ගෙන උන්නාය.
“වරද පටන්ගත්තෙ මම නම් ඒ වරද හරිගස්සන එක කරන්න ඕනත් මම බව මම දන්නවා. වරද සම්පූර්ණයෙන්ම හරිගස්සන්න බැරිබවත් මම දන්නවා. මගෙ වැරදි හන්දා ඔයාගෙ ජීවිතේ විනාස උනා. මට ඒක ආයෙ හදන්න ආපස්සට යන්න බෑ. ඒත් මට පුලුවන් ධම්මි දරුවො වෙනුවෙන් ඕනම දෙයක් කරන්න
ඔයා මට කියන්න මම මොකද්ද කරන්න ඕන කියලා, මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්”