නිලැසි -24

” බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න..”

තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ සටහන් වන්නට ඇතැයි සිතූ රසාදරී සැනසුම් සුසුමක් හෙළුවා ය.නමුත් නිලැසි තිගැස්සුණා ය.

“ඕනෑම මනුස්සයෙක්ට අතීතයක් තියනව නිලැසි.අතීතයක් ඇති ගැහැනියට වර්තමානයක් නැත කියලා ප්‍රසිද්ධ කතාවක් තිබ්බට මම ඒකට එච්චර එකඟ වෙන්නේ නෑ.ඇත්තටම වැදගත් අනාගතෙයි වර්තමානෙයි.ඒ නිසා අතීතේ ගැන දුක් වෙන්න එපා..”

නිලැසිට ආදරය කරන්නට තීරණය කළ දවසේ තිසරු ඇයට එසේ පැවසුවේ ඕනෑම කෙනෙකුට වැරදෙන තැන් තිබිය හැකි බව ඔහු දැන සිටි නිසාවෙනි.ඉක්මන් විවාහයක් විවාහ උත්සවයටත් පෙර අවලංගු කරන්නට වූ ශෝකයෙන් පෙළුණු නිලැසි ඒ වේදනාවෙන් විනිර්මුක්ත වී අනාගතය පැහැබර කර ගන්නා බවට ඔහු විශ්වාස කළේ ය.නමුත් සිදුව ඇත්තේ එය නොවේ.

“ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න ගිහින් දරුවෙක් ගැන බලන්න ලොකූ..”

රසාදරී එසේ කියද්දී නිලැසි කිසිත් නොකියා හිස වැනී ය.දික්කසාදය දෙන්නට අකමැති බව පවසන තිසරු සමඟ ඉදිරි ජීවිතය කෙසේ ගෙවන්නේදැයි ඇයට හැඟීමක් නොවේ.නමුත් දැන් එරන්දගේ ප්‍රේමය ද ගිලිහී අවසන් ය.

“මං ඩිවෝස් එක නුදුන්නට තමන් එක්ක ආදරෙන් ජීවත් වෙන් නෑ.ඒක ලෝකෙට පේන්න කරන ඩ්‍රාමා එකක් විතරයි.”

නිවසේ ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම නිලැසිට තිසරුගේ හඬ ඇසිණ.ඇය දෑස් නපුරු කරගෙන ඉවත බලා ගත්තා ය.

“එරන්ද කියන මිනිහගෙ සීනි බෝල වචන වලට අහු උනා,ඒත් ඒ වැරැද්ද ආයේ වෙන්නේ නෑ කියලා මට තේරුණොත් මං බලන්නං තව අවස්ථාවක් දෙන්න.එතකන් අර අම්මා තාත්තට,නංගිට මල්ලිට ලැජ්ජ නොකර ඉන්නවා..”

තිසරු මෙතරම් තද ස්වරයකින් අමතන්නට වීම ගැන නිලැසිට දැනෙන්නේ ශෝකයකි.තිසරු එය ද වටහා ගත්තේ ය.

“මං කවදාවත් ඔයාට බැනලා නෑ නිලැසි.පවුලක් කියන්නේ රණ්ඩු කර කර විකාර කරන තැනක් නෙවෙයි කියල මං ඉගෙන ගත්තේ මගේ අම්මලගෙන්.මං ඔයාට අපහසුවක් වෙන විදියට කවදාවත් වැඩ කරෙත් නෑ.පුලුවන් තරම් ඔයාව සතුටින් තිබ්බා.ආස දේවල් අරන් දුන්නා.මොනතරම් බිස්නස් එක්ක බිසී උනත් ඔයාට කාලේ දුන්නා.ඒත් ඔයා මොකද කරේ? මට නොතේරෙන්නෙත් ඔයා එහෙම කරන්න හේතුව..”

තිසරු සැබෑවටම ශෝකයක් හට ගත්තේ එනිසා ය.බිරිඳ කියන්නේ දාසියක හෝ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නා මෙවලමක් බව සිතන මිනිසුන් තමන්ගේ බිරිඳ සැබෑ ප්‍රේමයක් සොයා ගත් පසු වියරුවෙන් හැසිරෙන ආකාරය ඔහු අනන්ත වාරයක් දැක තිබේ.ආදරය අහිමි ලෝකයක වෙසෙන ඕනෑම ගැහැනියකට ආදරයක් සොයා ගන්නට අයිතියක් ඇතැයි ඔහු පිළි ගත්තේ ය.තිසරු එසැනින් සිහි වූයේ ඔහුගේ මිතුරෙකි.දිල්ෂාන් නම් ඔහුට දොසක් නැති විවාහ ජීවිතයක් තිබිණ.

“මායි කවිතායි ඩිවෝස් වෙනවා මචං..”

එක්තරා දිනක දිල්ෂාන් එසේ පවසද්දී ඒ විහිළු කතාවක් බව තිසරු සිතී ය.එය එසේ නොවන බව වැටහුණේ දිල්ෂාන් හේතු පවසද්දී ය.

“මාව දැනෙන්නේ නෑ කියලා කවී කියනව.එයාට ඇත්තටම ආදරෙන් ඉන්න පුලුවන් ජාතියේ කෙනෙක් ලැබිලා.එතකොට ඉතින් මම ඇණයක් වෙන එක තේරුමක්ම නෑනෙ.මම හිතා ගත්තා අයින් වෙන්න.අනිත් එක වෙන කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනකොටම කවී මට ඒක හංගන්නේ නැතුව කිව්වා..ඊටවඩා මොනවද? අපිට ඉස්සරහටත් යාලුවො වගේ ඉන්න පුලුවන් වෙයි..”

කවිතා එවැනි සාධාරණ ගැහැනියක වුව ද නිලැසි එසේ නොවන බව තිසරුට සිතිණ.ඈ එරන්ද ගැන හැකිතාක් සැඟවූයේ ය.තමන්ගේ කුමන හෝ අඩුපාඩුවක් නිසා ඇයට තමන් ගැන කලකිරුණා නම් එරන්ද ගැන විවෘතව පවසන්නට තිබුණා නොවේදැයි එරන්දට යළි යළිත් සිතිණ.

“මෙතන නිලැසි ඔයා කරේ මාවත් රවට්ටලා එරන්දත් රවට්ටලා ඔයාවත් රවට්ටා ගන්න එක..”

තිසරු එසේ කීව ද නිලැසි ඒ ගැන නොතැකී ය.එරන්ද පවසන්නේ ආදරය සීමා රහිත සිතුවිල්ලක් බව ය.එවැනි විශාල අදහස් මේ ව්‍යාපාරිකයාට දැරිය හැකි වපසරියේ නැතැයි ඇය අවඥා සහගතව සිතුවා ය.එරන්දගේ ප්‍රේමය නැවත ලබා ගන්නා සිතුවිල්ල මිසක මොරවක මහත්මිය ලෙස පැවතීමේ සිතුවිල්ල නිලැසිට අහලකවත් නොතිබිණ.

“ඔයා හැමතිස්සෙම කියනවනෙ කෙනෙකුට ජීවිතේ අනිත් පැත්ත පෙරළන කෙනෙක් මුණ ගැහෙනව කියලා.මට ඒ ඔයා.මං ඔයාව නැති කරගන් නෑ..”

නිලැසි එරන්දට එසේ ලියා යැවී ය.ඔහු එයට කිසිවක් පිළිතුරු නොඑවූ මුත් නිලැසිට දැනුණේ සහනයකි.

“ආදරේ කියන්නේ කසාදෙමයි කියලා හිත හිතා ජීවිතේ පුරා දුක් විඳින්න මට ඕන නෑ.මං මෙතැන ඉඳල නිදහස් ගෑනියක්.”

මොරවක මැදුරේ සිට නිලැසි ඒ තීරණයට එළඹුණා ය.තමන් රඳවා තබා ගැනීම තිසරුගේ තීරණයක් නම් ඔහුට හැකිතාක් පරිභව කරන බරපතල තීරණයකට ඇය එළඹියා ය.ගැඹුරු දිගු කල්පනාවක් අවසානයේ නිලැසි දුරකථනය අංකනය කළා ය.

“මානවී..”

ඒ ඇය දන්නා අපූරුම ආදරවන්තියයි.තමන්ගේ ප්‍රේමය කිසි දිනෙක තමා සතු නොවන බව දැනගෙන තමන්ගේ ප්‍රේමවන්තයාට උතුරා යන ප්‍රේමයක් ලබා දෙන ඒ ගැහැනිය තමන්ට සවන් දෙන බව නිලැසි විශ්වාස කළා ය.ඇය මානවී දුරකථනයට එළඹෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියා ය.

“ලොකු බබා..ඇයි රත්තරං..”

මානවී තමන්ට මේ තරම් ආදරය කරන්නට හේතුව නිලැසි හොඳින්ම දන්නී ය.ඇය මානවීගේ කාරුණික ස්වරයෙන් යළි පණ උපදවා ගන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles