ඒ සුපිරි වෙළඳ සංකීර්ණයක හවස් යාමයක්. අත්තම්මා කෙනෙක් තමන්ගේ පුංචි මුණුබුරා සහ මිණිබිරිය එක්ක අත්‍යවශ්‍ය බඩු මිලදී ගනිමින් ඉන්නවා. ඇත්තටම අත්‍යවශ්‍ය බඩු මිස වෙන කිසිම දෙයක් ගන්න අත්තම්මා ළඟ සල්ලි නෑ. සල්ලි කියන්නේ ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕනෑ දෙයක් බව දරුවන්ට මතක් කරමින් ඇය භාණ්ඩ තෝරනවා.
“අපි සීයට මොනවද ගන්නේ?”
මිනිබිරියට හදිසියේ යමක් සිහිපත් වෙනවා. සුපිරි වෙළඳ සැලේ බේකරියට යන ඇය රසවත් කේක් එකක් සීයා වෙනුවෙන් මිලට ගන්නවා. ඇය ඉන්නේ සන්තෝසෙන්. අද සීයාගේ උපන්දිනය. සීයාට කේක් එකක් අරන් යන සතුට කොතරම් ද?
ඒත් සතුට තියෙන්නේ බොහොම පොඩි වෙලාවක්. අත්තම්මා අතේ ප්‍රමාණවත් මුදලක් භාණ්ඩ මිලට ගන්න නැහැ..
“කේක් එක අයින් කරන්න.”
පුංචි කෙල්ලට ඇඬුම් ආවත් අත්තම්මා කේක් එක කැෂියර් එකේ තියලා පිට වෙනවා. කැෂියර් එකට ඊළඟට එන්නේ තරුණයෙක්. මේ සිදුවීම නිහඬවම බලා සිටිය තරුණයෙක්.
“අර කේක් එක මම ගන්නවා..”
ඔහු කැෂියර් එකට සල්ලි ගෙවලා බොහොම ඉක්මනින් එළියට එනවා. හෙමින් හෙමින් එළියට එන අත්තම්මා සහ මුහුණ නරක් කරගත්තු මිණිබිරියත් මුණුබුරාත් ඔහු දකිනවා.
“මේ කේක් එක ඔයාලට..”
ඔහු පුංචි දැරිය අතින් කේක් එක තිබ්බත් අත්තම්මා වහාම එය ප්‍රතික්ෂේප කරනවා.
“අපිට එහෙම ගන්න බෑ..”
තරුණයා දිගින් දිගටම ඇවිටිලි කරනවා. නමුත් අත්තම්මා එකඟ වෙන්නේ නැහැ.
“මේ නෝනා විස්වාස කරන එකකුත් නෑ. මං මේ දුව තරම් පුංචි කාලේ මමත් මේ සුපර් මාකට් එකේදිම ඔහොම කේක් එකක් දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ අම්මගෙන් ඒ කේක් එක ඉල්ලුවා. අම්මා ළඟ සල්ලි තිබුණේ නෑ. ඒත් අපිට එක මහත්තයෙක් ඒක අරන් දුන්නා. පස්සෙ සල්ලි ගෙනත් දෙන්න ලිපිනය ඉල්ලුවාම ඒ මහත්තයා කොළයක ලියපු යමක් මගේ අතින් තියලා ගියා..
දවසක ඔයත් පොඩි දරුවෙක්ට හිනාවක් දෙන්න..
ඒ කොළේ එහෙම ලියලා තිබ්බා. එයා ඉල්ලපු දේ අවුරුදු ගාණකින් කරන්න ලැබීම ගැන මට සතුටුයි..”
තරුණයා කියන්නේ සතුටින්.
” එහෙනං මේ ළමයා අපිට ඇඩ්‍රස් එක දෙන්න. මං පස්සෙ දවසක සල්ලි ගෙනත් දෙන්නං”
අත්තම්මා එහෙම කියද්දී ඔහු පර්ස් එකෙන් ගත්තු කොළයක් දැරියගේ අතින් තියලා යන්න ගියා.
“අපි සීයගේ උපන්දිනේට කේක් ගෙනාවා..”
ගෙදර ගිය පොඩිත්ති හිටියේ සතුටින්. අහම්බයකින් මුණ ගැහුණු තරුණයා කළ උපකාරය සිහි කරන ගමන් අත්තම්මාට යමක් සිහි වුණා.
” ඒ දරුවගෙ ඇඩ්‍රස් එක ඉල්ලා ගත්තා. සල්ලි තියන වෙලාවක හොයාගෙන ගිහින් දෙන්න ඕන..”
පොඩිත්ති දීපු කොළ කැබැල්ල දිහා බලන්න ගිය සීයා එහි ලිපිනයක් දැක්කේ නෑ.
“දවසක ඔයත් පොඩි දරුවෙක්ට හිනාවක් දෙන්න..” කියලා ලියැවුණු ඒ කඩදාසිය පරණ එකක්. ඒත් සීයාට තමන්ගේම අත් අකුරු අඳුනා ගන්න බැරි වුණේ නෑ.
ඔබ විශ්වාස කරනවද? කාලෙකට කලින් සීයා තමයි ඒ සටහන ලියන්නේ. ඔහු කේක් එකක් අරන් දුන්නු දුප්පත් පුංචි දරුවා තමයි අද ඔහුගේ මිණිබිරියට කේක් එකක් අරන් දෙන්නේ. අහම්බයක් තමයි. හැබැයි හරි ලස්සන අහම්බයක්.
අතීතය ආයේ ආයේම සිද්ධ වෙන්න පුලුවන්. අපි එහි කොටස්කාරයෝ බවට නැවත නැවත පත් වෙන්න පුලුවන්.
අන්න ඒ නිසා හොඳ දේවල් විතරක්ම කරන්න. තව කෙනෙක්ට හිනාවක් විතරක්ම දෙන්න. ඒ හිනාව ඔබට ආයෙම ලැබෙයි. ඔබට හිනා වෙන්න අමතක කාලයක නොහිතන වෙලාවක ලැබෙයි.
ජීවිතේ කියන්නේ එහෙම දේකට!!
අන්තර්ජාලයේ ජනප්‍රිය වූ වීඩියෝවක් ඇසුරිනි.