පිරිමියෙක්ව නම්මගන්න ඕන එහෙම බව ධම්මිකා හිතෙන් ඉපිලුණත් ඒ ඉපිලීම ඉතාම තාවකාලික බව ධම්මිකාම දනී. ක්ලීටස්ව නම්මගන්න පුළුවන් උනාට මියුරුව ඒ කෙල්ලගෙන් බේරගන්න විදියක් ගැන ධම්මිකාට හිතාගන්න බැරිය. බේරගන්නවානම් බේරගන්න පුලුවන් එකම විදිය ක්ලීටස් ගැන ඇත්ත මියුරුට කියන එකය.
“ඒත් එහෙම කියන්නෙ කොහොමද? මොන විලි ලැජ්ජාවක්ද?” කියා ධම්මිකා හිතුවාය. දුරකතනය අතට ගෙන රොඩ්‍රිගුව අමතන්න ධම්මිකාව පෙළඹෙව්වේ ආන් ඒ සිතුවිල්ලය.
“හෙලෝ මැඩම්, මොකෝ සීන් එක” කියා රොඩ්‍රිගු කෝල් එක ගත්තේම කොහොමත් මිනිහට පුරුදු විලාසයෙන් මය. සරල බසින් සැහැල්ලුවෙන් කතාකරාට රොඩ්‍රිගු කියන්නේ ඕන වැඩකට ජගතෙක් බව ධම්මිකා දනී.
“මම ක්ලීටස් එක්ක කතාකලා වසන්තාගෙ කෙල්ල ගැන. අපි නොදන්න ලොකු කතාවක් එතන තිබිල තියෙනව. මට තමුන්ගෙ උදව්ව ඕන මේ ප්‍රශ්නෙ මටයි මාගෙ පවුලටයි ප්‍රශ්නයක් නොවෙන විදියට විසඳගන්න”
අවුරුදු ගාණක් පුරාවට ධම්මිකා කවුරුන්දැයි ක්ලීටස්ටත් වඩා හොඳින් හැඳිනගෙන උන් රොඩ්‍රිගුට දුරකතනය ඔස්සේ ඇහෙන හඬ හරහා පවා ධම්මිකා ඉන්නේ ප්‍රශ්නයක බව තේරුම්ගන්න අපහසු උනේ නැත.
“කියන්න මැඩම්, මොකද්ද කේස් එක?”
“මගෙ පුතා යාලුවෙලා ඉන්න කෙල්ල වසන්තගෙ දරුවෙක්ම නෙවෙයි” බිඳිච්ච හඬින් ධම්මිකා කිව්ව ඒ අප්‍රබංසය රොඩ්‍රිගුට ඇත්තටම තේරුණේ නැත.
“ඒ කිව්වෙ මැඩම්?”
“ඒ කෙල්ලගෙත් තාත්තා ක්ලීටස්මලු”
“හුටා, මලලසේකර කිව්වා, කවුද මැඩම්ට කිව්වේ?”
“ක්ලීටස්මයි”
“මල කෙළියයි. ඔය කියන විදියට දැන් මැඩම්ගෙ පුතයි වසන්තගෙ දුවයි කියන්නෙ අයියයි නංගියි නේද?” කියා රොඩ්‍රිගු ඇහුවේ තමන්ගෙන්ද එහෙම නැත්තම් මිනිහා ඒක කියාගත්තේ තමන්ටමද කියා හිතාගන්න බැරිනිසාම ධම්මිකා උන්නේ සද්ද නැතුවය.
“දැන් මැඩම්ට මොකද්ද වෙන්න ඕන?”
“මට වෙන්න ඕන එක දෙයයි, කොහොමහරි මගෙ දරුවව ඔය වසංගතෙන් බේරගන්න එක. ඒක කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. හැබැයි ඒක ඉක්මනටම වෙන්න ඕන. මගෙ දරුවට ප්‍රශ්නයක් නොවී වෙන ඕන විදියකට ඒක වෙන්නයි මට ඕන”
රොඩ්‍රිගු ධම්මිකාගේ ඕඩර් එක භාරගත්තේ තමන්ට දවසක් දෙකක් දෙන මෙන් ඉල්ලමිනි. ඒ කලින් වගේම සුපිරි ප්ලෑනක් එක්ක තමන්වත් පවුලේ නම්බුවත් ගලවාගැනීමේ මෙහෙයුමකට සූදානම් වෙන්නට බව දන්න හන්දාම ධම්මිකා මොහොතකට තමන්ගේ හිතේ තිබිච්ච බරෙන් කොටසක් සුසුමක පා කර හැරියාය.
මිලින්ද උන්නේ මූණ එළියට දාගන්නෙ කොහොමද කියා හිතාගන්න බැරුවය. වත්තෙ හැම එකාම දැන් ඉන්නේ “මාග්‍රට්ගෙ කොල්ලා මොකද්ද ගෑණු කේස් එකකට ඊයේ රෑ ගුටි කෑවනෙ” කියා කතාකරමින් බව දන්න හන්දාම මිලින්දට ටැටූ ශොප් එකට යන්නවත් එලියට බැහැගන්න පුලුවන්කමක් තිබ්බේ නැත. අනෙක් අතට අර යස්සයා තමන්ට ඔහොම නම් සැලකුවේ තේජානිට මොනවා කරන්න ඇතිද කියා මිලින්දට හිතාගන්නවත් බැරිය. ගේ අස්සටම වෙලා ඉන්න එකෙන් වෙන්නෙ ඔලුව තව පිස්සු වැටෙන හන්දා මිලින්දට ඕන උනේ කොහොමහරි කඩේ පැත්තට යාගන්නය. අනෙක් අතට අරූ කඩේ කුඩු කරලද කියාත් මිලින්දට බයය.
මිලින්ද ගෙයින් එලියට බහින්න හිතුවේ ඩිංගක් දවල් වෙලා ගේ ඉස්සරහ පාරෙන් මොකෙක්වත් යන්නේ නැති වෙලාවක් අල්ලාය. එලියට යන්න සූදානම් වෙච්ච වෙලාවෙ ඉඳ ගේ ඉස්සරහින් මොකෙක්වත් යන්නෙ නැති වෙලාවක් බලා එලියට යන්න මිලින්දට විනාඩි විස්සක් විතර ඔහේ නිකන් ඉන්න උනේය. හැබැයි නැකත් බලා එලියට බැස්සාට මොකෝ හම්බෙන්න ඕන ලොකුම හෙනහුරාව හම්බුනේ ගෙයින් එලියට බැස අඩි දහයක් ඉස්සරහට යන්න කලියෙන් විස්සෙ කණුව අද්දර දිය. වෙනදට මේ වෙලාවට වෙරි හිඳෙන්න ඔන්න මෙන්න හන්දා නිදියන් ඉන්න විල්සන් කාරයා අද උදෙන්ම එලියට බැහැල තියෙන්නෙ මොන මරාලයක් හන්දාද කියා හිතාගන්නට බැරි උනත් මිලින්ද විල්සන්ව නොදැක්ක විදියට එතනින් යන්න තැනුවේය. ඒ උනාට ඉතින් විල්සන්ගේ සීසීටිවි ඇස් දෙකට මිලින්දයව සුපිරියටම පෙනුණේය.
“අම්මටසිටි මිලින්ද පුතේ උඹ කොහෙද යන්නේ?” කියා විල්සන් පස්සෙන් එද්දීත් මිලින්ද කරේ දන්න එවුන් ඉන්න අහින් ඉක්මනට මාරුවෙන්න අඩිය ඉක්මන් කර ඇවිද ගිය එකය.
“මිලින්ද පුතේ, කොහෙද මේ උඹ උදේම යන්නේ? උඹේ තුවාල මොකෝ? රිදෙනවද?” කියා විල්සන් කාරයා පස්සෙන් එද්දී කස්තුරිට කියා විල්සන්ට ශොට් එක දෙන්න තිබ්බනම් කොච්චර ශෝක්ද කියාත් මිලින්ද හිතුවේය. මූ නං ඒ තරම් මල වාතයකි.
“කඩේට යනවා” කියාගෙනම මිලින්ද පියාඹන්න තැනුවට මොකෝ විල්සන් ගේම අතෑරියේ නැත. මිලින්ද යන්නෙ කඩේටනම් මිලින්දය එක්ක මාත් යනවා කියල හිතාගෙනම විල්සන් මිලින්දයා පස්සේම කඩේ ළඟට වෙනකම්ම ගියේය.
“දැන් ඇයි මගෙ පස්සෙන් එන්නේ?” කියා මිලින්ද ඇහුවේ කෝපයෙන් කඩේ උඩ තට්ටුවට යන පඩිපෙල නගින ගමන් ය.
“උඹ ඉස්සරහින් යන හන්දනෙ බං, උඩින් එන්නද කියන්නෙ උඹ” කියා විල්සන් කියද්දී “මේ මල බූතයා එක්ක කතාකරන මටයි ගහන්න ඕන” කියල හිත හිත මිලින්ද කොරිඩෝව දිගෙ කඩේ පැත්තට ගියේ පැත්ත පලාතෙ ඉන්න බැරි ගන්දස්සාරයක් මැද්දේය.
“මොකද්ද බං ඒ ගඳ? උඹට පඩයක්වත් ගියාද?” කියා විල්සන් අහන්නේ නාහෙ වහගෙනය.
“පඩ යනවද ඔච්චර ගඳට?” කියා අහන්න හිතුනත් මිලින්ද උන්නේත් මෙච්චර මේ ගඳක් එන්නෙ කොහෙන්ද කියා හිතාගන්න බැරුවය.
ගඳ එන්නේ කොහෙන්ද කියා තේරුම්ගියේ කඩේ දොරටුව ඉස්සරහට ගිය වෙලාවේය. කඩේ දොර ඉස්සරහා මොකෙක් හෝ බල්ලෙක් කක්කා ලොට් එකක් හලා ගොස් තිබෙන බවත් මේ ගඳ එන්නේ ඒකෙන් බවත් දැක්කම නම් මිලින්දට අඬන්න හිතුනේය. ඇත්තටම ඒක දැක්කම නම් විල්සන්ට උනත් මේක පව් කියා හිතිච්ච එක සාධාරණය.
“කවුද ජරා කරලා නේද? ඒ උනාට බං මෙච්චර බෙට්ටක් දාන්න ඌ පතරංග එකෙක් වෙන්න එපාය නේද?” කියා විල්සන් ඇහුවේ නාහෙ වහගෙන මුක්කං කට හඬකිනි.
“අරූගෙ බලු වැඩක් වෙන්නැති ශුවර් එකට මේක. මං ඌට ඊයෙ ඉඳුල් අතෙන් ගෙ ගැහුවෙත්. ඌ ඒකට මට ශොට් එක දුන්නෙ මෙහෙම වෙන්නැති”
“අරූ කිව්වෙ අලියද? යකෝ අලි දානවද මෙහෙම බෙටි? හැබැයි මේකෙ සයිස් එකේ හැටියට නං ඌ දාපු එකක් වෙන්නෝන”
“අර අල්ලපු බිල්ඩිමේ කැමරාව තියෙනවනෙ. උන්ගෙ කැමරාවෙන් බැලුවනම් බලාගන්න තිබ්බා නේද?” කියා මිලින්ද විල්සන් එක්ක තිබිච්ච ඔක්කොම තරහ මරහ අමතක කර ඇහුවේ අසරණකම හන්දාමය.
“උඹ කැමරාවෙන් බලන්න යන්නෙ ඌ බෙට්ට දාන හැටිද? මං නං කියන්නෙ එපා බං”
“ඇයි එපා කියන්නේ?”
“කවුරු උනත් ලැට් එකට යන එක වීඩියෝ කරල බලන එක කැත වැඩේනෙ බං” කියා විල්සන් කිව්වාට අලියට ශොට් එක දෙන්න ඕන අලි වංසෙන් බව විල්සන් උනත් හිත ඇතුලෙන් හිතපු බව ඇත්තකි.
“කැත වැඩේ කරේ ඌද මන්ද? ඌනෙ, ඌට ලැට් එකට යන්න ඕන නම් ඌ ඒකට ලැට් එකක් නේද හොයාගන්න ඕන? මේක ලැට් එකක් නෙවෙයිනෙ” කියා මිලින්දයා කියන්නෙ දුකයි තරහයි දෙකම එක්කහුවෙච්ච පට්ට කැත වොයිස් එකකින් ය.
විල්සන් උන්නේ මේකට කරන්න ඕන මොකද්ද කියා හිතන ගමන් ය.
“හැබැයි මං කියන්නෙ එකාතකින් අපි ඕක බලමු. බලල හැබැයි නතරවෙන්න නරකයි”
“ඇයි උගෙ පස්ස හෝදන්න මට යන්න කියලද කියන්නේ?”
“උඹ හිතන්නෙ ඌ බෙට්ට දාලා පස්ස හෝදන්නෙ නැතුව ඉන්නව කියලද මෙච්චර වෙලා උඹ එනකං. අනේ ගොං කතා කියන්නෙ නැතුව ඉඳහන්. මං කියන්නෙ අපි ඔය සීසීටීවි වීඩියෝ එක අරගෙන ඕකට වැඩක් දෙමු”
“මොකද්ද වැඩේ?”
“දෙකක් තියෙනව කරනවනම්”
“මොකද්ද දෙක?”
“එක්කො අපි උගෙ බෙට්ට පාර්සල් කරල උගෙ ගෙදරට යවමු, එහෙම නැත්තම් ඔය වීඩියෝ එක අරගෙන උඹ අර පේස්බුක් ද මොකද්ද එකේ දාපං, කට්ටියම උගෙ මූණ දැක්කම අඳුරගනීවිනෙ”
“මුණ පෙනේවිද ඒකෙ?”
“පස්ස හරි පේන්නෙ නැතෑ, මූණ පෙනුනෙ නැත්තං අපි වීඩියෝ එකත් දාලා ඌට බෙට්ටත් යවමු මං කියන්නෙ”