අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත් එහි වෙනසක් වූයේ නැහැ. ඇය හොඳින් ඉගෙන ගෙන විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගන්නේ උපාධි කිහිපයක්ම සම්පූර්ණ කරමින්. ඒ ඉගෙනුම් අතරම ඇය ඇගේ සරසවි ප්‍රේමවන්තයා වූ චාරුක සමඟ විවාහ වන්නට තීරණය කරනවා. ඒ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයකට පසුවයි.

“match made in heaven” 

හැම කෙනෙක්ම ඔවුන්ව හැඳින්වූයේ ඒ ආකාරයට. ඔවුන් එතරමට ගැලපෙන ආදරණීය යුවලක් වුණා. ආර්ථික මට්ටමින් හොඳ තැනක සිටි නිසා ඔවුන් විවාහයෙන් මාස හයකට පමණ පසු දරුවෙක් සම්බන්ධයෙන් සිහින දකින්නට පටන් ගත්තා. වැඩිකල් නොගොස් එය ඉටු වුණේ ඔවුන්ව සතුටු සාගරයක ගිල්වමින්. දිලානිගේ ගර්භනී කාලය පුරා ඇයට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. දරුවා ලැබීමට සුදුසු කාලය පැමිණෙන තෙක්ම ඇය රැකියාවේ නිරත වුණා. හොඳ ආහාර පුරුදු ද පවත්වා ගත්තා. චාරුක සෙවනැල්ල සේ ඇය ළඟ රැඳෙන්නට වුණා. ඉහළ පෞද්ගලික මාතෘ රෝහලක දිලානි දියණියක බිහි කළා. 

“රෝස මලක් වගේ දුවෙක්.”

චාරුක සිටියේ පුදුමාකාර සතුටකින්. දිලානිට සංකූලතා නොපැමිණීම සහ සියලු හොඳින් ඉටු වීම නිසා ඔහුට සැබෑවටම සතුටක් සහ සැනසීමක් තිබුණා.

ජීවිතයේ සියල්ල සෑම විටම යහපත් ව පවතින්නේ නැහැ. දියණිය බිහි වී සති දෙක තුනක් යද්දී මෙතුවක් කාලයක් දැනසිටි දිලානිව අහිමි වී යන බවක් චාරුකට සිතෙන්නට වුණා.

“අලුත් අම්මා කෙනෙක්නේ එයාට තාම තත්වෙට හුරු වෙන්න අමාරු වෙලා ඇති.”

ඔහු මුලදී එසේ සිතුවා.

දිලානිට සේවිකාවක් සිටියේ නෑ. ඇය සේවිකාවක් එසේ තබා ගැනීමට අකමැති වූ තරුණියක්. උදව් පිණිස ඇය සමඟ සිටියේ ඇගේ අම්මා පමණයි. දිලානි පුදුමාකාරව දරුවා වෙනුවෙන් කැප වී සිටියා. ඇය ඇගේ නින්ද, සනීපාරක්ෂාව සියල්ලටම වඩා දරුවා ගැනම සිතන්නට ගත්තා.

“මේ කෙල්ල හැමවෙලේම නිදි. ඇහැරවලා කිරි පොවන්න ඕන.”

ඇය කුඩා බිළිඳියට එසේ සැර වෙන අන්දම චාරුකව පුදුමයට පත් කළා. සාමාන්‍යයෙන් දිලානි කිසිවෙකුටත් එසේ නපුරු වන්නේ නෑ. ඉන්පසු හැඬීම ගැන, කිරි නොබීම ආදිය ගැන දිලානි දියණියට සැර වෙද්දී යම් වැරැද්දක් සිදු වී ඇති බව චාරුක වැටහෙන්නට පටන් ගත්තා.

මේ වෙද්දී ඇය චාරුක සමඟ ද ගැටුම් ඇති කරගන්නට පටන් ගත්තා.

“ඔයා ගෙදර එන්නේ දුව කෝ කියාගෙන.ඇයි ඔයාට මම කියලා කෙනෙක් ගෙදර ඉන්නවා පේන්නෙ නැද්ද?”

එවැනි කාරණා කියමින් ඇය ගැටුම් ඇති කරගන්නට පටන් ගත්තා.  ඇයට ආදරය නැති බව කියමින් නිතරම පැමිණිලි කරද්දී චාරුක මහත් වියවුලට පත් වුණා. ඔහුට ඇති සීමිත කාලය ඔහු දියණියටත් දිලානිටත් සමව බෙදාදෙන්නට නිරතුරුවම උත්සාහ කළා. නමුත් ඇය ඒ වග පිළිගත්තෙම නැහැ. නිරන්තරයෙන් හඬාවැටෙන්නට දිලානි නිතරම පුරුදු වුණා.

මේ වෙනස්කම් තවදුරටත් බලා සිටීමට චාරුක ට හැකියාවක් තිබුණේ නැහැ. ඔහු අන්තර්ජාලය මගින් ඇගේ රෝග ලක්ෂණ පිරික්සා බලා ඇය යම් මානසික ගැටලුවක සිටින බව අවබෝධ කරගත්තා. ඒ නිසා ඇයව මනෝ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්නට චාරුක බුද්ධිමත් වුණා.

පසු ප්‍රසව විශාදය.

දිලානි පීඩා විඳිමින් සිටියේ ඒ තත්ත්වයෙන්. ඒ නිසා ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලැබී ඇයව ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වුණා.

ඔබ දරුවෙකු බිහි කල පසු ඔබේ මානසික තත්ත්වය අඩාල වී ඇති බව අවබෝධ වුව වුවහොත් වහාම මානසික ප්‍රතිකාර ගන්නට අමතක කරන්නට එපා. ඔබේ සමීපතමයෙකු ඒ තත්ත්වය සිටිනවා නම් ඇයව මඟ හරින්නටත් එපා. මේ තත්ත්ව පහසුවෙන් සුව කළ හැකි තත්ත්වයක්. නමුත් නොසලකා හැරීම බොහෝ නරක ප්‍රතිඵල ඇති කරන්නට පුළුවන්.රෝගය දිගින් දිගටම පැවතීම සහ සියදිවි නසා ගැනීම් වැනි තත්ත්වවලට යොමු වීම සිදු වීමේ ඉඩකඩ පවතිනවා.

පසු ප්‍රසව විශාදය ඇති අයෙක් කරන කියන දේ ඔබ නුහුරට ගන්නට එපා. ඒ වෙනුවට ඇයට ආදරයෙන් උදව් කරන්න.

(ඔබට සේවා ගාස්තු සහිතව මනෝ උපදේශනය ලබා ගන්නට 074 0377539 අංකයෙන් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කර ගන්න පුලුවන්. Rashmie Rajapaksha ෆේස්බුක් පිටුව හරහා ද ඇය හා සම්බන්ධ වෙන්න පුලුවන්)

Related Articles

Don't Miss


Latest Articles