බයගුල්ලි

“මේ..ඔයා දැක්කද මේක?”

මල්මි එහෙම ඇහුවේ අනුපමාගෙන්.අනුපමා පෙන්නන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එක සහ කමෙන්ට් තීරුවක්.”වැඩියෙන්ම බය මොකටද” කියලා අහපු පෝස්ට් එකේ එක එක අය තමතමන්ගේ ජීවිතේ වැඩියෙන්ම බය දේ ලියලා තිබ්බා.

“නෙතුකිගේ කමෙන්ට් එක.”

මල්මි හිනා වෙන්න පටන් ගත්තා.නෙතුකි සර්පයන්ට පුදුමාකාර බයක් දක්වන බවක් ඇය ලියලා තියෙනවා.නෙතුකි කාර්යාලයට ඇවිත් තාම වැඩි දවසක් නෑ.තමන්ගේ පාඩුවේ වැඩ කරන,මල්මිගෙයි අනුපමාගෙයි ඕපාදූප සංගමේට හවුල් නොවන නෙතුකිව මල්මිලාට පෙන්නන්න බෑ

“හැම වැඩක්ම ඇදකුද නැතුව කරලා ලකුණු ගන්නමයි හදන්නෙ.මහ සමයමක්..”

මල්මි එහෙම කියලා රසික එක්කත් නෙතුකිට බැන්නා.මල්මිලා අවුල් කරන වැඩ නිවැරදි කරන්න ගියාම හුස්මක් කටක් නොගෙන වැඩ කරන්න වෙන හින්දා රසික නම් මල්මි දිහා බැලුවේ සමච්චලෙන්.

“ගන්න පඩියට ණයක් නැති අය කියන්නේ ඒ ළමය වගේ අයට..”

එහෙම කිව්ව රසික එතැනින් යන්න ගියා.රසිකත් නෙතුකිගේ ගුණ ගායනා කරන්නේ නෙතුකි තැඹිලි ගෙඩිය වගේ ඉන්න නිසා කියලා මල්මි පුපුරා හැලෙනකොට අනුපමා ඒකට පැට්‍රෝල් ගැලුම් ගණන් හලන්න අමතක කරේ නෑ.

“මේ අහන්නකෝ..ඔයාට මේක දැක්කම මොකුත් හිතෙන් නැද්ද?”

Woman gossiping

වැඩියෙන්ම බය දේ ගැන ෆේස්බුක් පෝස්ට් එක පෙන්නලා අනුපමා එහෙම අහනකොට මල්මි හිනා වුණේ කපටි තාලෙට.නෙතුකිගේ ලොකුම බය දැන ගත්තු එක බලාගෙන ගියාම ලොකු ජයග්‍රහණයක්.

හැමදාම ඔෆිස් එකේ රතු ඉර වැදෙන්න කලින් දුවගෙන එන මල්මිත් අනුපමාත් ඊළඟ දවසේ පාන්දරම කාර්යාලයට ආවා.”ගෙනාවද?” මල්මි එහෙම අහනකොට අනුපමා කරේ හෙමින් සීරුවේ ඔලුව වනන එක.එහෙට මෙහෙට කැරකි කැරකි ඉඳලා නෙතුකිගේ ලොකර් එක විපරම් කරපු අනුපමා එතැනින් ෆයිල් එකකුත් අරගෙන ආපහු තමන්ගේ මේසෙට ගියා.

“අනේ හර්ෂනී, ඔයා නෙතුකිගේ කම්පියුටර් පාස්වර්ඩ් දන්නවද? හර්ෂනී කාර්යාලයට එනකොටම මල්මි එහෙම ඇහුවේ ලොකු හදිස්සියකින්.ඉතාම හදිසි රාජකාරියක් ගැන කිව්ව නිසා හර්ෂනී ඒ ඉල්ලීම අහිතක් නැතුව ඉෂ්ට කරලා සේදුම් කාමරයට ගියේ රාජකාරි කරන්න මල්මිට හදිසියේ ආපු උනන්දුව ගැන හිත හිතා.

“අර ජෝඩුව උදෙන්ම වැඩ..”

රසිකට එහෙම කියන්න හර්ෂනීට හිතුණේ ආපහු ඔෆිස් කාමරයට එන කොරිඩෝවේ රසික මුණ ගැහුණාම.

“නෙතුකි එක්ක තරගෙටනෙ..”

රසිකත් හිනා වෙන්න පටන් ගත්තා.කාර්යාලයට ඇවිත් හිටිය නෙතුකි හැමෝටම ගුඩ්මෝනිං කියලා තමන්ගේ පරිගණකය ක්‍රියාත්මක කරනකොට මල්මිත් අනුපමාත් ඇස් යටින් බලලා හිනා වෙනවා හර්ෂනී දැක්කා.

“ඒ ළමයගෙ ඔෆිස් ඩොකියුමන්ට්වත් මැකුවද?”

හර්ෂනී එහෙම හිතාගෙන නෙතුකි පැත්තට හැරෙනකොට නෙතුකි මහා හයියෙන් බෙරිහන් දීගෙන පුටුවෙන් නැගිට්ටා.ඒ දිහා බලන්න ගියාම හර්ෂනිටත් බයක් නොහිතුණා නෙවෙයි.පෙණ ගොබය පුම්බාගත්තු නාගයෙක්ගේ ඡායාරූපයක් නෙතුකිගේ පරිගණක තිරයේ.නෙතුකි බයේ වෙව්ලන ගමන් ලොකර් එක ඇරියේ මොනවහරි හොයන්න වෙන්න ඇති.අසිහියෙන් වගේ ඒකට අත දැම්මත් නෙතුකි ආයේ කෑගගෙන බිම ඇද වැටුණා.නෙතුකි අතේ පැටලිලා විසි වුණු දේ වැටුණු රසිකගේ ඇඟට.

Stressed woman

“රබර් සර්පයෙක්..”

බිම වැටුණු නෙතුකි ළඟට ආව හර්ෂනී එයාට වතුර ඉහිනකොට අනිත් ඔෆිස් කාමරවල අයත් එතනට ආවේ නෙතුකිගේ කෑගැහිල්ල ඒ තරම් වේගෙකට පැතිරුණු නිසා.මුහුණ බිමට හරවගෙන හිනා වෙන මල්මිත් අනුපමාත් දිහා රවලා බලපු රසික පරිගණකය ක්‍රියා විරහිත කළා.

නෙතුකිගේ සිහිය එන්න ප්‍රමාද නිසා එයාව වහාම රෝහල්ගත කරන්න හර්ෂනි සහ කිහිප දෙනෙක් ක්‍රියා කරනකොට නම් මල්මිත් අනුපමාත් බයෙන් ගැහෙන්න පටන් අරන් ඉවරයි.ඒත් නෙතුකිගේ අමන බය ගැන දෙන්නා එක්ක කොඳුරමින් බැන ගන්න ජෝඩුව අමතක කළේ නෑ.

“මිනිස්සු එක එක දේවල්වලට බයයි.ඒක බොරු ෂෝ එකක්වත් රඟපෑමක්වත් නෙවෙයි.මං වුණත් බය දේවල් තියනවා.මගේ යාලුවෙක් ඉන්නව ලොකු ගස් යට ඉන්න බය..ඒවා රඟපෑම් නෙවෙයි.”

රසික කළකිරීමෙන් කතා කරනකොට හර්ෂනීත් මල්මි දිහා බැලුවේ අප්‍රසාදයෙන්.

“මං ඕනෑම ඔපරේෂන් එකකට බයක් නෑ.ඒත් ලේ ගන්න එකේ ඉඳන් ඕනෑම ඉන්ජෙක්ෂන් එකකට බයයි.මම ඒ වෙලාවට අඬන්නේ තොඳොල්මකට නෙවෙයි.ඒ මගේ විදිය..”

හර්ෂනිත් එහෙම කිව්වේ මල්මිටත් අනුමපාටත් හොඳ පාරක් ගහන තරම් තරහකින්.

නෙතුකි දවස් කීපයක්ම රැකියාවට ආවේ නෑ.එයාට තාමත් සනීප නැති බවත් කම්පනය සඳහා ප්‍රතිකාර ගන්න බවත් මල්මිගේ ඕපාදූප රේඩාර්වලට ආරංචි වුණා.තමන් කරපු දේ ගැන සියුම් ලැජ්ජාවකින් අනුපමාත් මල්මිත් දැවෙන්න පටන් ගත්තේ ඊට පස්සේ.

“නෙතුකි වෙන ඩිපාට්මන්ට් එකකට මාරුවක් ඉල්ලල රසික..”

හර්ෂනි මහ සද්දෙට එහෙම කීවේ රසිකට ඇහෙන්න විතරක් නෙවේ.මල්මිලාටත් ඇහෙන්න.

“නෙතුකි නැතුව ආයේ වැඩ නම් වැඩිවෙයි.ඒත් සර්පයන්ට බය ඒ ළමයා සර්පයන්ගෙන් ඈත් වෙන එකත් හොඳයි.”

රසික එහෙම කියද්දී මල්මිටත් අනුපමාටත් පොළොවට කිඳා බහින තරමේ ලැජ්ජාවක් දැනුණා.

More Stories

Don't Miss


Latest Articles