චන්දුල ඇල්ලගේ ගායන තරු තරඟයේ මූලික පරීක්ෂණයට යන දා උදයේ, ලස්සන රිදී ඉරක් ලොන්ඩරිවත්ත සුදු ආලෝකයෙන් නහවමින් පායා ආවේ ය. අළුයම පිබිදුණු රිදී කිරිබතක් පිසින්නට සූදානම් වූවා ය. පාරුල් පොල් ගෙඩියක් බින්දා ය. එය හරි මැදින් දෙපලු වී ගියේ ය. පාරුල් ගේ මුව මත මඳහස් මලක් පිපිණි.
“මට පොල් ටික ගාගන්න පුළුවන්. නැගිට්ට එකේ පාරු පාඩං කරන්න”
පාරුල් අම්මා ට පිළිතුරු දෙන්නට නොයා පොල් ගාන්නට පටන් ගත්තා ය. ජුලී පොල් අතු රටා තබා කුඩා මිදුල අතුගෑවා ය. ඊළඟට පිරිසිදු වී පිරුවට හැඳ වැටෙන් සුදු මල් කඩා බුදුන් ට පූජා කොට මැටි පහන් දැල්වූවා ය.
ලොන්ඩරිවත්ත අවදි වන්නට පටන් ගෙන තිබේ. රෙදි ඇපිල්ලීම් ඇරඹෙන්නේ පාන්දර පහ වන විට ය. උමා කෝවිලට ගොස් චන්දුල ගේ අලුත් ආරම්භය වෙනුවෙන් පූජා පවත්වා හදවතින් ආශිර්වාද ලබාගත්තා ය. එහෙම ම චන්දුල ගේ ගෙදර ඇවිත් ජුලී ඒදා දුන් උම්බලකඩ රතුලූණු කට්ටසම්බලය කෙටුවා ය. චන්දුල සොල්දරයෙන් බැස්සේ ඒ සියල්ල නිම වූ පසු අන්තිමට ය. නමුත් ඔහු නින්දේ සිටියා නොවේ. ගෙදර කාන්තාවන් නින්දෙන් පිබිද හඬ නොනැගෙන සේ වැඩ කටයුතු ආරම්භ කරත්දී ම ඔහු අවදි වූයේ ය. නමුත් කොට්ටය බදාගෙන මුණින් අතට පෙරළී ඔහු දිගට ම කල්පනා කරමින් සිටියේ ය.
පොඩි කාලේ ඉඳන් ඔහු සිංදු කිව් බව ඇත්ත ය. අතට අහු වෙන ඕනෑ ම භාණ්ඩයකට මිහිරි හඬක් නැගෙන සේ තට්ටු කිරීමේ හැකියාව ද ඔහු ට තිබිණි. ඒ සිය පියාගෙන් උරුම වූ හැකියාවක් බව සිසිර ව දන්නා අය කියන්නට පටන් ගත්තෙන් චන්දුල ගී ගැයීම නවතා දැමුවේ ය. නමුත් ඔහුටත් නො දැනී ඔහු ගේ මුවින් ගීයක් මිමිණෙන අවස්ථා නැතිවා නොවේ. ඇතැම් විට එය බලහත්කාරයෙන් දිය යට ඔබාගෙන සිටිනා රබර් බෝලයක් වාගේ වන්නට ඇත.
උමා ආවාට පස්සේ ගෙතුළ සිනහවන් වැඩි විය. ඊටත් වඩා පිච්ච මල් සුවඳින් ඇය ආ බව ඔහු හැඳින්නේ ය. උමාත් නංගීත් එකතු වූ විට අතොරක් නැතිව නැගෙනා සිරිච්චියට, කිසි දා නො කියා සිටියාට චන්දුල කැමති ය. ගෑනු ළමයින් සිනහ වෙන තැන විශ්වයෙහි ජීවය දෝරෙ ගලයි!
අපුල්ලා මදින ලද සුදු කපු කමිසය හා වැඩිය හැඳ නැති පිටකොටුවෙන් ගත් තද නිල් ඩෙනිම් කලිසම හැඳ ජේත්තුවට හිස කේ පීරූ කල චන්දුල ලොන්ඩරිවත්තේ කොල්ලෙකැයි කිව නො හැකි තරම ය. උස මහත පෞරුෂය ඉස්සර සනත් ගුණතිලක ගේ මෙනි. සිසිර වත්තට ආ ගිය කාලේ පෙනුණේත් එහෙම ය. උමා ඇස් පිරෙන්නට චන්දුල දෙස බැලුවා ය. නමුත් ඒ බැල්ම ඔහු දුටු බවක්වත් ඇයට නො හඟවන්නට ඔහු වගබලා ගත්තේ ය.
“දැං ඉතිං ලස්සන කෙල්ලො පෝලිමට පස්සෙං එන්න ගනී. එහෙම දවසක මග තොටකදි හම්බ වුණත් මේ අපිව අඳුරන්න පුළුවන් වෙයිද දන්නෑ”
කිරිබත් කන චන්දුල වෙත වතුර වීදුරුවක් ගෙන ගිය උමා, එහෙම නො කියා ඉන්නට නම් අපොහොසත් වූවා ය. චන්දුල ඇදෙස බැලුවේ යටැසිනි.
“දැං මං මේ ගමන නොයා ඉන්නද ඕනෙ…”
“දෙයියම්ප නෑ. ඔයා ඉස්සරහටම යන්නයි ඕනෙ. දිනන්නයි ඕනෙ. මුළු ජීවිතේම දිනන්නයි ඕනෙ”
“මගෙ ජීවිතේ ගැන මට එහෙම ලොකු බලාපොරොත්තු නෑ”
“ඒත් මට තියෙනවනෙ”
එවර චන්දුල එක ඍජු බැල්මක් ඇය වෙත හෙළුවේ ය. උමා පිච්ච මලක් වාගේ ලස්සනට සිනහ වූවා ය. එදා මූලික පරීක්ෂණ වටයේ දී ප්‍රවීණ ගායක ගායිකා පෙළක් විනිසුරු මඬුල්ල කොට ගෙන ගීයක් ගයත්දීත් උමාගේ ඒ සිනහව චන්දුල ගේ හිතේ දිස්න දිදී තිබිණි.
“හරිම ෆ්ලෙක්සිබල් මිහිරි හඬක් ඔයාට තියනවනෙ. මං හිතන්නෙ හොඳට ප්‍රැක්ටිස් කළානං චන්දුල කියන්නෙ අපිට මේ සීසන් එකේ අන්තිමටත් දකින්න පුළුවන් ගායකයෙක් වෙයි”
මූලික පරීක්ෂණයෙන් ඔහු ව තරගයේ ඉදිරියට ගමන් කිරීම සඳහා තෝරා ගැනුණේ එබඳු ඇගයීමකිනි. චන්දුල මූලික පරීක්ෂණය දිනා ගෙදර එන තුරු උමා නො ඉවසිල්ලේ බලා සිටියා ය.
“ඒකනෙ මං කිව්වෙ පාස් වෙනව කියල”
ඇයට සිය සතුට සඟවාලන්නට ඕන වුණේ නැත. රිදී වචනයක්වත් කතා නොකොට කඳුළු වැගිරවූවා ය.
එදා සායනික පුහුණුවීම් නො තිබුණි. අයියා මූලික පරීක්ෂණයෙන් සමත් ය කියා කියන්නට පාරුල් කිහිප විටක් ම පසන් ට ඇමතුම් ගත්තා ය. නමුත් ඔහු පිළිතුරු නො දුන්නෙන් යනවා කියන්නට හෝ ඇයට අවස්ථාවක් ලැබුණේ නැත. අයියා ගේ ජයග්‍රහණය ගැන සතුට සමීපතමයෙකු හා බෙදා ගැනීමේ දැඩි නො ඉවසිල්ලකින් සිටි පාරුල්, එහෙම ම ගඟුල් ට කතා කළා ය. ඔහු පක්ෂ සාමාජික රැස්වීමක සිටියේ වී ද දුරකතන තිරයෙහි පාරුල් ගේ නම දකිත්දී සාමාජිකයන්ගෙන් අවසර ගෙන අසුනෙන් නැගී සිටියේ ය.
“කියන්න පාරුල්”
“මීටින් එකකද…”
ඔහු ගේ ස්වර තානය අනුව පාරුල් ට ඒ නිශ්චය කළ හැකි වූයේ ය. ගඟුල් ගේ මුවට සිනහ පොදක් කාන්දු විය.
“ඔව්. ඒකට කමක්නෑ කියන්න”
“කියල තප්පරෙං තියන්නං හොඳේ. අයිය ඔඩිශන් පාස් වෙලා”
“ශා… නියමයිනෙ”
සමත් වූයේ ඇය වන් ලොකු සිනහවක් පාරුල් ගේ මුහුණට ආවේ ය.
“හ්ම්. මට හරි සතුටුයි”
“ඉතිං අපි සෙලිබ්‍රේට් කරමු ඔයා ෆ්‍රීනං”
“සෙලිබ්‍රේට් කරන්නනං ඕන. මං ෆ්‍රී වුණත් ඔයා බිසීනෙ”
“හරි අවුලක් නෑ ඉතිං… මං රිලීස් වෙන්නං”
ඒ සියල්ල සිදු වූයේ ඇසිල්ලකිනි. මැතිවරණයට තිබුණේ දින කිහිපයක් නිසාවෙන් මිතුරු ඇසුරක් වෙනුවෙන් වැය කරන්නට ගඟුල් ට එක විනාඩියක තරම් කාලයක් ඉතිරි වී නො තිබිණ. මැතිවරණ උණුසුම රට පුරා ම පැතිර තිබුණේ ය. නමුත් පාරුල් වෙනුවෙන් විශේෂයක් නොකර හිඳිනට ගඟුල් ට නො හැකි විණි.
ඔවුන් ට පුරුදු අවන්හලේ අසුන් ගන්නා විට ම පාරුල් ට පසන් ගෙන් ඇමතුම ආවේ ය. ඔහු ඇගේ දුරකතනයට පිළිතුරු නොදී සිටියේ වැඩ බහුල වූ නිසා ම නොවේ. ඔහු කතා නොකරත්දී ඇය රෝහල තුළට විත් ඔහු ට ගෙදර යන බව දැනුම් දී යාවියි පසන් බලාපොරොත්තු වූයේ ය. මෙතෙක් ඒ බලාපොරොත්තුව ඉටු නොවූ තැන ඔහු කතා කළේ ඇඟට කඩා පනිනා සූදානමෙනි.
“කොහෙද ඉන්නෙ…”
“මං ගෙදර යන ගමන්”
පාරුල් සැහැල්ලුවෙන් කීවා ය. ඈ කෙරේ පසන් ගේ නො රිස්සුම වඩාත් උත්සන්න විණි.
“මට කියලද ගියේ…”
“මං ඔයාට කීප සැරයක් කෝල්ස් ගත්තනෙ. ඔයා ආන්සර් කළේ නෑ”
“ඉතිං හොස්පිට්ල් එකට ඇවිත් කියල යන්න බැරිද…”
“ආයෙ හොස්පිට්ල් එකට එන්නෙ මොකටද පසන් අයියෙ… ඒ ආවත් කියන්න තියෙන්නෙ යනව කියලනෙ. මං ඔයාට මෙසේජ් එකකුත් දාලයි ආවෙ”
පසන් දෙහි කපන්නට පටන් ගත්තේ ය. එය අසා සිටීම කන්දොස්කිරියාවක් වූ තැන පාරුල් දුරකතන සම්බන්ධය බිඳ දමා දුරකතනය මේසය මතට අත්හැරියා ය. ඇගේ මූණේ හොඳක් වූයේ නැත.
“අවුලක්ද…”
ගඟුල් විමසූයේ දෙගිඩියාවෙනි. පාරුල් මුවින් සියුම් ශබ්ධයක් කොට අත් දෙක පපුවෙහි බැඳ ඉවත බලාගත්තා ය.
“පිස්සු”
එක මොහොතකින් ඒ ඉරියව්ව වෙනස් කළ ඕ ක්ෂණික උද්‍යෝගයකින් ගඟුල් දෙසට හැරුණා ය.
” ඉතිං… සමහර විට මේ ඉලෙක්ශන් එකට කලින් අපි හම්බවෙන අන්තිම දවස වෙයි නේද…”
“ඔව් ඉස්සරහ දවස් ටික බිසීනං වෙයි”
“ඔයා දිනනව”
ඇය ගඟුල් දෙස බලාගෙන විශ්වාසයෙන් කීවා ය. ඔහු ඇදෙස ම බලා සිටියේ ය.
“කොහොමද කියන්නෙ…”
“මට දැනෙනව. එහෙම වෙන්න ඕනෙ. ඔයා වගේ තව දහ දොළොස් දෙනෙක් මේ දේශපාලන මඩ ගොහොරට එනවනං මං ආසයි. චූටි බලාපොරොත්තුවක් අපේ හිත් වලත් පත්තු වෙන්න… බලය ලැබුණට පස්සෙත් ඔයාව ඔය විදිහට ම දකින්න ලැබෙන්නයි ඕනෙ. ගඟුල් විජයවීර කියන්නෙ මං හුඟක් දන්න මනුස්සයෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නයි ඕනෙ”
ගඟුල් මුණිවත රැක්කේ ය. නමුත් ඔහු ගේ මුහුණෙහි කතා සරිත් සාගරයක් ලියවී තිබෙනු පාරුල් දුටුවා ය.
ගඟුල් සිටියේ ඒ හිත් බිඳීම තුළ කිසි සේත් යථා තත්වයට පත් වී නොවේ. බිඳීම් සමගින් ම ඔහු ව තදින් අල්වාගෙන ය. පාරුල් ගෙන් ඈත් වන්නට හෝ ඇයව අමතක කරන්නට තිබුණා නම් එක අතකට පහසුවකි. දැන් ඇය වැඩි වැඩියෙන් හිතෙහි පැටලෙමින් හිඳී. නෙතෙහි දැවටෙමින් හිඳී. ඈ වූ කලී ඔහු ට රසඳුණකි. නමුත් පාරුල් දෙව්රූ ඇල්ලගේ වූ කලී අනුන්ට අයිති වස්තුවකි. අනුන්ගේ බව දන්නා වස්තුවක් තමන්ගේ දෙයක් වාගේ බැතින් රැකගන්නට පහසු නැත. ඊට ලොකු හදවතක් තිබිය යුතු වේ. ඔහු ට එහෙම හදවතක් තිබෙනවා ද කියා ගඟුල් දන්නේ නැත. එහෙම ය කියා විශ්වාසයක් ද නැත. විටෙක පසන් ඉරුගල්බණ්ඩාර දුෂ්ඨයෙකු කොට මේ කතාවෙන් සම්පූර්ණයෙන් අතු ගා දමන්නට පවා ඔහු ට සිතේ. නමුත් ගඟුල් හිත සන්සුන් කරගනී. ඇය ඔහු ළඟ සිනහ වෙවී හිඳී. ඇය ඔහු ළඟ සතුටෙන් හිඳී. ඇය ඔහු ගැන සොයා බලයි. ඔහු ගේ ජයග්‍රහණය පතයි. ඔහු ට ආශීර්වාද කරයි. නිදි වරා පාඩම් කරන රැයේ අන්තිම කෙළවරකත් ඇයට ඔහු සිහිපත් වේ. ඒ පාරුල් ව ඔහු ට අවැසි ය. ඒ පාරුල් අහිමි කර ගන්නට ඔහු ට සිත් දෙන්නේ නැත. ඉතින් හිමි අහිමිකම් කෙසේ වූවත් ඔහු ඇය දෙස බලාගෙන හිඳී. ඇයව හදවතින් දැඩිව වැළඳගෙන සිටී.
ඒ රාත්‍රියේ පාරුල් ගේ ගෙදරට වත්තේ කොලු කුරුට්ටෝ එක්කාසු වී සිටියහ. ඔවුන් වෙනුවෙන් චන්දුල ගීත කිහිපයක් ගැයිය යුතු විය. රිදී ගේ කුස්සියෙන් පහේ බැද සැමන් උයන සුවඳ හමා ආවේ ය. චන්දුල අඳුර කපාගෙන මුළු වත්ත නින්නාද වන සේ ගැයුවේ ය. කොල්ලෝ තාල ඇල්ලූහ.
“ඇහිදාර පවා ඔබ සෙව්ව නිසා සංසාරෙ පුරා මට ඉන්න වුණා…නොලැබේවි කියා හිත කීව නිසා මා එක්ක පවා මම තරහා වුණා…
සිහින වල මිස සිනාවක හැඩ නොදුටු මගෙ රෝස කුමරී…රහස් මුමුණන දෑස් අද හෙට එයිද ඉඟියක් ඇහැරී…එහෙම හිත හිත ඉන්නකොට මට දෑස මානයෙ නැවතී…දුන්නු හසරැල් පොදක් ගානේ මගේ හදවත නවතී…
ඇහිදාර ඔබ සෙව්ව නිසා සංසාරෙ පුරා මට ඉන්න වුණා…නොලැබේවි කියා හිත කීව නිසා මා එක්ක පවා මම තරහා වුණා…”
පාරුල් හිටියේ උළුවස්සට පිට දී ගෙන ය. උමා ඇගේ වැලමිටෙහි එල්ලී සිටියා ය. අඩ අඳුර දෙබෑ කරගෙන සුඛෝපභෝගී මෝටර් රථය පැමිණියේ ඒ වෙලාවේ ය. පාරුල් ගේ හෘද ස්ඵන්දනය මොහොතකට නතර විය. කළු අත් කොට කමිසයක් සැහැල්ලුවට හැඳි ගඟුල් විජයවීර රියෙන් බැස ලී ගේට්ටුවෙන් ඇතුළට ආවේ ය. පාරුල් පඩියෙන් බිමට අඩිය තැබුවා ය. ඇගේ දෑස් රවුම් වී මුව මඳක් විවර වී තිබිණ. කලිසම් සාක්කු වල දෑත් ඔබාගත් යෞවනයා පෙරට අඩියක් තැබුවේ මුවෙහි රැඳි සිනහවක් සමගයි.