විසි තුන් වැනි නෙත් සැරිය
අයත්මා උන්නේ වෙවුලමිනි. තමා අසිහියෙන් සිදු කර ඇත්තේ කුමක්දැයි ඇයට වැටහෙන්නට ගත්තේ සිහිනිගේ ඇමතුමට පසුවය. ඒ ඇමතුම ගත්තේ චත්‍රගෙන් ඔහු සමඟ උන් යුවතිය කවුරුන්දැයි විමසන්නටදැයි අයත්මාට විශ්වාසයක් තිබුනේ නැත.
එවැන්නක් විමසන්නට තරම් තමා සතු වන අයිතිය කුමක්දැයි අයත්මා කෝපයෙන් විමසා ගත්තාය. එලෙසින් විමසුවත් චත්‍ර එයට පිළිතුරු නොදී, තමා ප්‍රශ්න කරන්නට තිබුනා නොවේදැයි අයත්මාට සිතුණි.
එලෙස විමසුවා නම් තමා චත්‍රට කුමක් පවසන්නේදැයි ඕ කල්පනා කලාය.
” මම ඔයාට ආදරෙයි චත්‍ර ..”
එලෙසින් පවසන්නද?..
” ඔයා මට ආදරේ නැද්ද චත්‍ර ?..”
එලෙසින් විමසන්දයැයි කියා ඇයට වැටහුනේ නැත. එහෙත් හිතට දැනෙන රිදුමෙහි අඩුවක් වූයේද නැත. තමා ඉක්මවා යන සුන්දරත්වයක් දැරූ යුවතිය සහ චත්‍ර දෙදෙනාට දෙදෙනා මනා ලෙසින් ගැලපෙන යුවලක් බවට අයත්මාට සිතෙන්නේ ඒ රිදුම වඩා දැඩි කරවමින් ය.
සිහිනි සමඟ කතා බහකට හෝ නොනැවතී චත්‍ර කාමරය තුළට වැදුනේය. අයත්මා එලෙසින් කීවද ඒ ඇමතුම වැරදීමක් විය නොහැකි බව ඔහුට විශ්වාසය. එලෙසින් වැරදීමක් වූවා නම් දෙවන වතාවටද ඕ ඇමතීම සිදු නොවිය යුතුය.
එහෙත් ඕ දෙවන වරද ඇමතුවාය. එතෙකින් නොනැවතී හඬා වැටුනාය. සිහිනිට ගත් ඇමතුමේදී ඇගේ හඬෙහි වූ වෙවිලිල්ල සහ දෙදරීමත් , හැඬුම් බර ගතියත් චත්‍රට අමතක කල හැකි නොවේය.
ඔහු සිගැරට්ටු කිහිපයක්ම අවසන් කලේය. කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැත. එහෙත් හිත යම් නොවැටහෙන හැඟීමකින් පීඩා විඳින වගද චත්‍රට වැටහේ.
” ඇයි ඇඬුවේ?…….. ඇයි ඇඬුවේ?. ..”
චත්‍ර කිහිප වතාවක්ම එලෙස විමසමින් බැල්කනියේ ඒ මේ අත ඇවිද්දේ ය. ඇයට එතරමේ වන හැඬුමක් සඳහා විය හැකි හේතු එකින් එක ගැලපුවේය. අවසානයේ ඔහු යමක් සමඟින් තිගැස්සී එක් තැනක නැවතුනේය.
” ඒකිට පරණ සිද්දිය නිසා මොකක් හරි ස්ට්‍රෙස් එකක්වත් ආවාද?..”
දින දෙකකට පෙර මිතුරෙකුගේ නිවසකට යාබද නිවසක තරුණියක් විශාදය නිසා සිය දිවි නසා ගැනීමේ සිද්දිය එක්වරම චත්‍රගේ හිතට ආවේය. ඇතැම්විට අයත්මාද එවැනි තත්වයකින් පීඩා විඳිනවා විය නොහැකිදැයි ඔහු කල්පනා කලේ නැවතීමකින් තොරවය. පිටතට පෙනෙන්නට සිනාසී සාමාන්‍ය ජීවිතයක් ගෙවුවද, ඇය ඇතුලතින් කෙතරමට නම් බිඳ වැටී තිබිය හැකිදැයි චත්‍ර කල්පනා කලේ අල්මාරියේ තිබූ ඇගේ රාත්‍රි ඇඳුමේ උඩ කොටස ඉතා තදින් මිරිකා ගනිමිනි.
ඇය එවන් තත්වයක සිටිනවා නම් ඇතැම්විට ඇයට අවිශ්ක සමඟවත් ඒ තත්වය බෙදා ගැනීමට හැකියාවක් නැහැ නොවේදැයි ඔහු කල්පනා කලේ දැවෙන සිතුවිලි සමඟය. ඔහු වහා ඇමතුමක් ගත්තේය. අයත්මාගේ ජංගම දුරකතනය නාද වනු ඔහු අසා උන්නේ නොසන්සුන්කමිනි.
චත්‍රගේ ඇමතුම එන විට අයත්මා උන්නේ පෙර උන් ඉරියව්වෙන්මය. ඇය ජංගම දුරකතනය දෙස බලා උන්නාය. එවෙලෙහි චත්‍ර ඇමතීම සේම, ඔහුගේ ඇමතුමකට පිළිතුරු දිමද යුතු නොවන්නේ නොවේදැයි ඕ තනිව කල්පනා කලාය.
එනිසා ඇමතුම අවසන් වන තුරු ඕ බලා උන්නාය. එහෙත් දේවන වරටද ඇමතුම එපරිද්දෙන්ම විය. ඕ ඒ ඇමතුමද මඟ හැරියාය. තුන් වෙනි අමතුමට පෙර කෙටි පණිවිඩයක් ආවේය.
” මේ කෝල් එක ආන්සර් නොකරොත් මම අවිශ්කයාට ගන්නවා..”
එ සැනින් තුන්වෙනි ඇමතුමද අයත්මාගේ ජංගගම දුරකතන තිරය මතට වැටුනේය. අයත්මා එයට පිළිතුරු දුන්නේ පෙර කෙටි පණිවිඩයේ වූ තර්ජනය වැටහුණ නිසාය.
” හෙලෝ ..”
චත්‍රට ඉඩදී ඕ නිහඬව උන්නාය. චත්‍ර කිහිප වතාවක්ම තීමෙන් පසු ඕ කෙටි හඬක් ඔහු වෙත යැව්වේය.
” මොකද්ද ප්‍රශ්නේ අයත්මා ?…”
ඔහුගේ ආමන්ත්‍රණයේ වූ වියළි බවින් අයත්මා රිදවා ගත්තාය. එලෙසම අයත්මාගේ හිතට දැණුන ඒ රිදවීම ගුණාකාර කිහිපයකින් වැඩි වෙමින් දැනෙන්නට එක් වරම සිතට නැඟි ආගන්තුක යුවතියකට හැකි විය. ඕ සන්සුන් වන්නට උත්සාහ කලාය.
” කතා කරන්නේ නැත්නම් මම එනවා..”
චත්‍ර යම් දැඩි බවක් පෙන්වූයේය.
” ඒ මොකටද?..”
අයත්මා ආවේණික ගැහැණු කමකට මාරු වූයේය.
” ඒක ඇවිල්ලා පෙන්නන්නම් මම … මොකද ඒ ඇඬුවේ?…”
චත්‍ර කිසිඳු බුරුලක් පෙන්වූයේ නැත.
” රෑ දොළහට කිට්ටු කරලා කෙල්ලෝ බලන්න යනවට ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැමති වෙන එකක් නෑ .. ඒ නිසා ප්ලීස්, මට තියෙන ප්‍රශ්න විසඳගන්න දීලා මන්ත්‍රීතුමා ඔබතුමාගේ වැඩක් බලාගන්නවද?… “
චත්‍රට එහි අගක් මුලක් වැටහුනේ නැත. එහෙත් ඔහු එය නොතකා හැර අයත්මා ප්‍රශ්න කිරීමේම නියැලුනේය.
” ප්‍රශ්නයක් නෑ …”
අයත්මා හිතුවක්කාර වූවාය. ඇය උන්නේ තමාට තමා පාලනය කර ගැනීමට නොහැකි වූවාය යන කෝපයෙනි.
” අහන්න අයත්මා … මං දන්නවා මට ඔයාට මෙහෙම කතා කරන්නවත් අයිතියක් නෑ… මම පිස්සෙක් වගේ වැඩ කරපු මිනිහෙක් …එදා මොකක්ම හරි හේතුවක් නිසා ඔයා අවිශ්කට ඒ බොරුව නොකියන්න මේ වෙද්දී අපේ ජීවිත මහ නරා වලක් වෙන්නත් තිබුණා….. මං දන්නවා ඔයාට එදා සිද්දිය අමතක කරන එක ලේසි නැහැ ….එහෙමයි කියලා ඔයාට ඒ සිද්දිය කරේ තියගෙන යන එක ඔයාට හොඳක් කරන්නේ නෑ අයත්මා…මට හිතෙන්නේ ඔයා ඒ අඬාගෙන මට කෝල් කරන්න ඇත්තේ ඒ සිද්දිය බෙදාගන්න ඔයාට වෙන කවුරුත් නැති හින්දා කියලා…. මොකද වුනේ ?….”
අයත්මා චත්‍රගේ හඬෙහි ඇලී උන්නාය. ඇයට කොසිත් පවසා ගත හැකි වූයේ නැත. සැබැවින්ම සිදු වූ දේ ඔහු හා සමඟ පැවසිය නොහැක. වඩා ගැලපෙන්නේ ඔහු පෙන්වන චිත්‍රයට පාට දැමීම බව ඕ තීරණය කලාය.
” අවුලක් නෑ දැන් ….”
ඕ කීවේ පහත් හඬිනි.
” සෝ?.. වට් හැපන් ..?..”
” මං නාලා එනකොට කාමරේ කවුරු හරි ඉන්නවා කියලා හිතුනා.. ඒත් එක්කම පවර් කට් එකක් වුනා…. අයියාට කතා කලාට එයාට ඇහුනෙත් නෑ … මට .. මට එදා මතක් වුනා….”
කියන්නේ මුසාවක් වුනාට අයත්මාගේ හඬ මොනවට බිඳී තිබුණි. චත්‍ර ගැඹුරු සුසුමක් හෙලුවේය.
” තවම පවර් කට් ද?..”
“නෑ ….”
” දැන් කොහෙද ඉන්නේ?..”
“කාමරේ ..”
“යන්න.. අයියයි බබයි ඉන්න හරියකින් ඉන්න ….”
චත්‍ර කීවේය.
” හරි …”
” ඕකේ ..”
චත්‍ර ඇමතුම විසන්ධි කලේය. ඇය තවම ගෙවුනු ඒ දිනයේ සෙවණැළි වලින් බියපත් වෙමින් සිටී. එක් අතකට එතරම් ඉක්මනින් සියල්ල අමතක නොවන්නේ නොවේදැයි චත්‍ර කල්පනා කලේය. ඔහුට ඊළඟට කල යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත.
පසු දින සැන්ඩ්‍රාගේ ව්‍යාපෘතිය තිය වෙනුවෙන් කිසිවක් කරන්නට පවා නොසිතෙන උදාසීන හැඟීමක් චත්‍රට දැනෙමින් තිබුණි. ඔහු කපිල අමතා සැන්ඩ්‍රා ට පසු දිනයේ වැඩකටයුතු කර ගැනීමට සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලුවේය. අන්තර්ජාලයෙන් ආරෝපණය කල හැකි විදුලි බල්බ දෙකක් ඇණවුම් කර එය අයත්මාගේ නමට, පාසැලට යන සේ සැකසුවේය.
” මං තව එක පාරක් උත්සාහ කලොත්, අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයිද අයූ ?…”
චත්‍ර විමසුවේ තරු පන්ති රැසක් වට කරගෙන අහසේ උන් සඳ අයත්මාට සමාන කරගෙනය.
” අයත්මා මිස් ලේසියෙන් මේ හැමදේම අමතක කරන්නේ නෑ පොඩි සර් .. ඒ හින්දා ආයෙම පරන සිද්දි වෙනුවෙන් ඉස්සර වෙන්න නම් හිතන්න එපා….අනෙක, හැමදේම හොඳ විදියට විසඳිලා තියෙන වෙලාවේ පොඩි සර් කරන්න ඕනි අයත්මා මිස්ගෙන් ඈතටම වෙලා ඉන්න එක….”
චත්‍රට එක්වරම කපිලගේ හඬ ඇසුනේය.
” මල්ලී පෙනුමෙන් සිතුවිලි වලින්වත් ඒ ගෑණු ළමයට බාධාවක් නොවී ඉන්න ඕනි … ඒ ළමයා දැන් ඉන්නේ ජීවිතේ ලොකු අහිමිවීමක් එක්ක… ඒ නිසා මෙවෙලේ ඔයාගේ සිතුවිලි පවා ඒ ළමයාට බාධාවක් නොවෙන්න ඕනි ….”
චත්‍ර බැල්කනියේ වූ අසුනකට වැටුණේය. ඇය මේ තරම් කාලයකට තමා කෙරෙහි කිසිඳු ආකාරයක කැමැත්තක් පෙන්වූයේ නත. එනිසාම මෙවැන්නක් කෙලෙසකවත් සිදුවිය නොහැක.
| අපේක්ෂා ගුණරත්න |