පාරුල් උදයෙන් ම දිය නෑවා ය. නැවුම් ප්‍රබෝධයක් ගතට දැනිණ. කොහොමටත් සිත්හි වූයේ චමත්කාරයකි. ඊට හේතු විශ්ලේෂණය කරන්නට ඇය වෙහෙස වූයේ නැත. පිට මැදට දිග හිස කේ වල තෙත පෙරමින් ගෙවල් පෙළ පසු කොට යත්දී උමා ගේ තර්ජනය සිහි වී සිනහවක් පිපී ආවේ ය. නිසැක වශයෙන් ම ඇයට විමසන්නට තිබෙන කාරණය හා ගඟුල් විජයවීර අතරේ සම්බන්ධයක් තිබිය යුතු ය!
කෝවිලට එන ශාරුක් පාරුල් ට පෙරමගට හමු විය. ඔහු මගහැර යන විදිහක් වූයේ ම නැත්තෙන් පාරුල් ගමන් වේගය බාල කළා ය.
“මං යනව කෝවිල්. ගිහිං කාලි මෑණිට කන්නලව් කරනව. ඔය දොස්තරයත් එක්ක තියන සම්බන්දෙ සුන්නද්දූලි වෙලා යන්නයි කියල පොල් ගහනව. බැරි වුණොත් කොඩිවිනයක් හරි කරනව”
ඔහු සතර අතේ පලි ගැහුවේ ය. පාරුල් මඳහසකින් නික්ම ආවා ය. සායනික පුහුණුවට රෝහලට ගිය විට පසන් හමු වනු ඇත. ඊයේ වූ දේ නිසා ඔහු ගේ මූණට අඹ දැම්මත් පුපුරන්නේ නැති වනු ඇති බව පාරුල් මේ ටික දවසක අත්දැකීම් අනුව දනී. ඇගේ මුවග දිගට ම වූයේ මඳහසකි.
පෙර දා අමනාපකම් ගැන කිසිදු මතකයක් නැතිවා සේ පාරුල් සිනහ වී පසන් ට කතා කළා ය. මේ තරම් ඈ ඔහු ට යටහත් ව සිටිනුයේ කිම දැයි පාරුල් ම දන්නේ නැත. ඇතැම් විට එය දැන උගත් ගෑනු ළමයෙකු ගේ පංචේන්ද්‍රිය ඉක්මවූ ඉවකට දැනෙන්නා වූ සංවේදනයක් නිසා වන දෙයක් විය හැක. ඇය ඉදිරියෙහි වන ලෝකය පාරුල් දනී. සාමාන්‍ය වෛද්‍ය උපාධිය ලැබීමෙන් පස්සේ ඊළඟට විශේෂඥ වෛද්‍ය උපාධිය කරා යොමු වීම ඇතැම් විට ඇගේ අනාගත අපේක්ෂාව විය හැක. පසන් යනු අඩු තරමින් සිය වෘත්තියෙහි ම නියැළෙනා තැනැත්තෙකි. එවන් පුරුෂයෙකු සමග ජීවිතය බෙදාගන්නා එක පහසුවක් විය හැකියයි සිතන්නට ඇය උත්සාහ කළා ය. දැනට පසන් ගේ වන දැඩි මතධාරී ගතිගුණ හෙමිහිට තුනී වී යනු ඇතැයි සිතන්නට ඇය කැමති වූවා ය. ඊටත් වඩා දුවන දුවන තැන් වල නතර වන්නට හිතට ඉඩ දිය යුතු නැතැයි ඇය විශ්වාස කළා ය. කවර හේතුවක් මත හෝ පසන් ඇයව තෝරා ගත් එකේ, මේ ගමන යාමේ උත්සාහයක් දරන්නට ඇය තමන්ට ම ප්‍රතිඥා දී ගත්තා ය.
“අපේ අයිය ඔඩිශන් එකෙන් පාස් වෙලා. මං ඒක කියන්නත් එක්ක ඊයෙ හවස ඔයාට කෝල් කළේ”
පාරුල් ගේ මුහුණේ වූයේ කිසිදු අමනාපයකින් තොර පැහැදිලි සිනහවකි. ඇය පොඩි ළමයෙකු ගේ වන් සතුටක් පෙන්වූවා ය. අයියා ගේ ජයග්‍රහණය ඇයට ඇගේ ද ජයග්‍රහණයකි. ඔවුන් අතරේ ඒ තරම් බැඳීමක් වේ. ඇය අද යම් තැනක හිඳිනවා නම් එතැනට ඈ තල්ලු කිරීමේ මුළු වෙර දැරුවේ චන්දුල ය.
පසන් නළල රැලි නැංවූයේ ය.
“ඒ කියන්නෙ දිගටම ඕකෙ සිංදු කියන්න යනවද දෙව්…”
“ඔව් ඉතිං… අවුට් වෙනකල් යයි. මන්නං හිතන්නෙ අයිය ලේසියෙං අවුට් වෙන එකක් නෑ. එයාට ලස්සනට සිං කරන්න පුළුවන්. අපි ඊයෙ කිව්වෙ එයාට හොඳ ගුරුවරයෙක් ළඟට ගිහිං මුල ඉඳං ප්‍රැක්ටිස් වෙන්න කියල”
“සිංදු කියන්න…”
“ඔව් ඉතිං… තමං දක්ෂ දේකින් කෙනෙක් ඉස්සරහට යන එකනෙ වැදගත්”
“හැබැයි මේ… ඔයා එයාගෙ කවුරුවත් කියල කොහෙවත් කියන්න එපා කියන්න. හරිද…”
“ඒ කිව්වෙ…”
“ඒ කිව්වෙ ඔය විකාර ප්‍රෝග්‍රෑම්ස් වල අහනවනෙ පර්සනල් දේවල්… පවුලෙ විස්තර අරව මේව. එයාගෙ නංගි කියල ඔයාගෙ නමනං කියන්න එපා කියන්න”
“ඇයි ඒ…”
පාරුල් තරමක් වික්ෂිප්ත ව සිටියා ය. සැබවින් පසන් කියන්නට යන දේ ගැන අගක් මුලක් ගලපා ගන්නට ඇයට හැකි වූයේ ම නැත.
“ඇයි ඒ කියන්නෙ මං ඔයාව මැරිකරන්න ඉන්න නිසා. ඔය බහුබූතකාරයෙක් ඔයාගෙ අයිය කියල මගෙ මිනිස්සු දැනගන්න එක මට ලැජ්ජාවක් නිසා. ඒක නිසා ඔයාගෙ නෑකං ගැන එයාට කට හොල්ලන්න එපා කියන්න”
පාරුල් ගේ ඇස් දෑවේ ය. කම්මුල් වල පේශි තද වී කතා කරගත නො හැකි සේ දැනිණ. ඇය වෙව්ලුවේ ය. දුෂ්කර ව්‍යායාමයකින් ඕ හඬ අවදි කරගත්තා ය.
“ඔයා කියන්නෙ මගෙ අයියට මං එයාගෙ නංගි කියල කාටවත් අඳුන්නල දෙන්න එපා කියලද…”
“අන්න හරි. ඒක වුණහම ඇති. ඒ සිංදු කියන කෙනා ඔයාගෙ කවුරුවත් නෙවෙයි. අපේ කවුරුවත් නෙවෙයි. හොස්පිට්ල් එකේ අයත් ඒ නෑකං දැනගන්න ඕන නෑ”
රුධිර නාලයක් පුපුරා යාවි ද කියා සිතෙන තරමේ පීඩනයක් පාරුල් ට දැනිණ. ඇගේ දත් ඇඳි ‘ටකස්’ ගා එක මත එක හැපුණේ ය. කම්මුල් පුපුරු ගැහුවේ ය. ඇස් වලින් ගින්දර පිටවෙන්නට හැදුවේ ය. වේදනාව, දුක, කේන්තිය යන සියල් හැඟුමන් එක සිනහවකට ගොනු කොටගන්නට අවසන ඇයට හැකි විය.
“මොනාද ආ ඔයා මේ කියන්නෙ… ඒ මගෙ අයිය. මට තාත්ත වෙච්ච අයිය. මාව එයාට ආඩම්බරයක්නං… මං එයාගෙ නංගි කියල එයා මුළු ලෝකෙටම කියපුදෙං. ඒ වගේම මං එයා ගැන ආඩම්බර නිසා කාටවත් ඒ මගෙ අයිය කියල කියන්න ලැජජාවක් මට නෑ”
“ආ එහෙමද…”
“මොකද්ද පසන් අයියෙ ඔයා මේ හිතන විදිහ… ඔය විදිහට අපේ ගෙදරට එහෙම ගොඩවුණොත්… ඒ දුප්පත් ගේ දැක්කහම…ඒ පරිසරය දැක්කහම ඔයා මාව දාල දුවයිනෙ”
“දෙව්රූ මේක තේරුං ගන්න..ඔයාගෙ පවුලෙ දුප්පත්කං මට වැඩක් නෑ. මොකද ඔයාව එතනිං අරං ගියාට පස්සෙ ඒක එච්චරයි. ඒත් අලුත් ලැජ්ජාවල් පස්සෙං එලවනවට මං කැමති නෑ දෙව්. ඔයා තේරුං ගන්න අපේ සොසයිටි එක මොකද්ද කියන එක”
හිසට කුළුගෙඩියකින් පහර දුන්නා වාගේ ය ඇය ඒ හෝරා කිහිපය ගත කරගත්තේ. සිතිවිලි තෝන්තු වී තිබිණි. තීරණයක් ගත යුතු බවට මොළය විසින් රතු එළි දල්වනු ලැබිණ. නමුත් පාරුල් හේබා ගොස් සිටියා ය. ඇය එනතුරු මග බලා සිටි උමා ගෙට ගොඩවන විටත් පාරුල් හිටියේ ඇඳ බදාගෙනයි.
“මේ මොකද මේ… “
“ආ වෙලාවෙ හිට හිසරදේ කිව්වෙ… බලෙං වගෙයි බත් කටක් කවාගත්තෙත්”
පිළිතුරු දුන්නේ ජුලී ය.
“මං මේ කෙලීව දාල යන්න හිත නැතුව හිටියෙ. එහෙනං උමා උඹ ඉන්නවනෙ පැටික්කි. මං රෙදි වැලක් දාගන්න රිදීට උදව්වක් වෙලා එන්නං”
ජුලී ගෙන් පිට වූ පසු පාරුල් නැගී යහන මත හිඳගත්තා ය. උමා ඇගේ මුහුණට එබී බැලුවා ය.
“ගතේ ලෙඩක්ද නැත්තං හිතේ ලෙඩක්ද…”
“පිස්සු. මට මේ ඔළුව කැක්කුම”
“ඔළුව කොච්චර කැක්කුම වුණත් මට මේක අහන එකනං කල්දාන්න බෑ ගොයියො. මට ඇත්ත කියනවද… ඇත්තටම මොකද්ද වෙන්නෙ ගඟුල් එක්ක… කොල්ලො දෙන්නෙක්ට ලව් කරනව කියන්නෙ මිණී වළවල් තුනක් කපන්න වෙන වැඩක් පාරෝ…”
“මොනාද අනේ කියන්නෙ… ගඟුල් එක්ක එහෙම දෙයක් මගෙ හිතකවත් නෑ”
උමා මොහොතක් යෙහෙළිය විනිවිද බලා සිටියා ය. ඔවුන් කුඩා කල පටන් එක ගොඩේ එකට වැටී හැදුණ සහෝදරියන් ය. ඔවුන්ට කතා කරන්නට බැරි දෙයක් නැත.
“එහෙම කිසිදෙයක් නැත්තං ඇයි බං අර විදිහට ගිලින්න වගේ ඒ කොල්ල දිහා බලං ඉන්නෙ… ඒ වෙලාවෙ ඔයාගෙ ඇස් දැක්කහම මට හිතුණෙ එකම එක දෙයයි. ඒ ඔයා ගඟුල්ට ආදරෙයි කියල. ඉතිං පිට ඉඳං මට හිතෙන දේ… උඹ ඔහොම බලනකොට ඔහොම හුරතල් වෙනකොට ඒ කොල්ලට දැනෙන එකක් නැද්ද…”
උමා ගේ ඇස් තියුණු ය. ගිජු ලිහිනියක ගේ වාගේ ය. කාගෙන් මුවහ වුණත් ඇගේ ඇස් වලින් මුවහ විය නො හැකි බව පාරුල් දනී. ඒ වුණත් ඇය පිළිගන්නට අකමැති සත්‍යයක් තිබේ. ඒ ඇය ගඟුල් ගැන පෙම් සිතක් දරාගෙන ඉන්නවා කියන එකයි.
“ඔයාට පිස්සු අප්ප”
“පාරු… ඔයාගෙ හිත රවට්ටගන්නව ඔයා. ඒ විතරක්නං බැරියෑ… මේකෙං වෙන්නෙ අර පැත්තක ඉන්න අහිංසකයෙක්ගෙත් හිත රිදෙන එක”
ඒ වෙලාවේ පාරුල් ගේ කට කොනක් ඇද වී සිනහවක් නලියෑවේ ය.
“කවුද අහිංසක… ඔයා අහිංසක කියල හිතං ඉන්නෙ අංගුලිමාල ගැන”
කියා කියන්නට ඇගේ මුව නළියෑවේ ය. නමුත් ඇය තව දුරටත් තමන් පාලනය කරගත්තා ය.
“මං උඹට හරි ආදරෙයි කියල පාරු දන්නවනෙ. මට ඕනෙ ඔයාට හොඳක් වෙනව දකින්න. සමහර විට මේ අපි එකට ඉන්න අන්තිම දවස් වෙයි. තව ටික කාලෙකින් මං කොහේ හිටියත් ඔයා මට දකින්නවත් බැරි තැනක ඉඳියි. අනේ මට කිසි ඊරිසියාවක් නෑ පාරු”
“මො…නාද අනේ කියන්නෙ…”
කියමින් පාරුල් උමා ගේ අතක් තද කළා ය. උමා ගේ සිත්කළු දෑස් වල කඳුළු පටලයක් බැඳී දිළිසිණ.
“ඒ වුණත්… අපි අපෙන් කොයි තරං ඈතක හිටියත් ඔයා සතුටෙන් ඉන්නයි ඕනෙ. ඒත් පිරිමි දෙන්නෙක්ට එකපාර ආදරේ කරන ගෑනියෙක්ට කවදාවත් කොයි ලෝකෙකවත් සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි කියල මට හිතෙන්නෑ. එහෙම හිතනකොට මට බයයි. ඊයෙ රෑ එළි වෙනකල් මට නින්ද ගියෙ නෑ. ඔයා ගඟුල් දිහා බලං හිටපු ආදරේ උතුරන ඇස් මතක් වෙද්දි මං පිච්චි පිච්චි හිටියෙ. එච්චර ආදරයක් ගඟුල්ට තියනවනං ඇයි පසන් ට කැමැත්ත දුන්නෙ…”
“අනේ ඔය පසන් ගැනනං කතා කරන්නෙපා උමා. මට ඇති වෙලා ඉන්නෙ”
ඒ ක්ෂණික විදාරණයකි. මෙතුවක් දරා සිටියා සේ මුළු ජීවිත කාලය ම උහුලා දරා සිටින්නට ය පාරුල් සිතා සිටියේ. නමුත් උමා මේ තරම් විවෘත වී කතා කරත්දී තව දුරටත් එය සඟවා ගන්නට පාරුල් අපොහොසත් වූවා ය.
“ඇයි ඒ… මොකද්ද වුණේ… ගඟුල් නිසා ඔය දෙන්න අතරෙ ප්‍රශ්න ඇති වෙන්න පටං අරංද…ඕක වෙන්න කලින් කතා කරනව කියලයි මං මේ අද කතා කළේ. කාලි මෑණියනේ… උඹ මොකද්ද පාරුල් කරගත්තෙ…”
උමා ගේ ඇස් මහත් වී ඇගේ මුහුණ මත දහ බිඳු නැගී ආවේ ය. පාරුල් වරදකාර හැඟීමකින් යෙහෙළිය දෙස බැලුවා ය.