නුඹ තරම් ප්‍රේමයක් – 28

විසි අට වැනි නෙත් සැරිය.

” අයූ…”

චත්‍රගේ හඬ ඔහුගේ පාලනයෙන් මිදී ගොස් තිබුණි. ඔහු මේසය දිගේ දෑත් දිග ඇරෙන්නට දුන්නේය. අල්ලා ගන්නට හැකි  මානයේ වූ අයත්මාගේ දකුණත අල්ලා ගත්තේය. ඕ උන්නේ සීතල වීගෙනය. එහෙත් චත්‍රගේ දෑතින් මිදෙන්නට ඕ  කලබල වූයේ නැත.

” මං සමාවෙන්න කිව්වට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැති බව මම දන්නවා. ඒත් මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනි. සමහරවිට එදා අපේ ජීව්ත වෙනස් වෙලාම යන්න තිබුනා…. අම්මලා හිතාගෙන ඉන්නේ මම ඔයාව රේප් කරලා කියලා අයූ ..

 අම්මා, අප්පච්චී වගේම නංගීත් …. කපිලත්. මං ඒක කොච්චරක් නිවැරදි කරන්න හැදුවත් ඒ හැමෝම හිතන්නෙ මම මරු කියවනවා කියලා. අම්මා වගේම අප්පච්චීත් සමහර වෙලාවට මගේ ගැන හරි කලකිරීමෙන් කතා කරනවා මට ඇහිලා තියෙනවා. නංගී වුනත් සමහර වචන වලින් මගේ රිදෙන තැන් පාරවනවා…”

අදාල සිදුවීමෙන් පසු සියල්ල තාවකාලිකව අතැර පේරාදෙණියේ වූ අසපුවකට ගිය වගත්, ඉන් යලි පෙරලා එන විට අයත්මාගේ ජීවිතයෙන් හැකි තරම් ඈතට වී සිටින්නට තමා තමාටම පොරොන්දුවූ වගත් චත්‍ර කීවේ ඇගේ අත අත නොහැරමය. කිසිලෙසකින්වත් පහසු නොවූවාට අයත්මා නොදැක දවස, දෙක , තුන ගෙවන්නට තමා හුරු වූ බවද චත්‍ර කීවේය.

” නංගී මට කිව්වා අන්තිමේදි වෙන දෙයක් වෙද්දෙන් කියලා ඔයා එක්ක කතා කරන්න කියලා. අඩුම දැන්  ඉන්න මං ගැන කියන්න කියලා…”

චත්‍ර ඇගේ අත මතට වූ ස්පර්ශය දැඩි කලේය. අයත්මා හිස සැලුවාය. වටහ ගන්නට උත්සාහ කලාය.

” ඔයා කියන්නේ , ඉස්සර වගේම මාව විශේෂයි කියලාද ඔයාට ?..”

අයත්මා ඇසුවාය. සමනල් හැඟුමන් නැඟෙමින් තිබුනේ චත්‍රට පමණක් නොවේය.  

” මං දිනා බලන්න අයූ .. ඔයාට මොනවද පේන්නේ ?.. මං මීට අවුරුදු ගානකට කලින් ඔයාට ආදරේ කල තරමින්ම ආදරෙයි අයූ … සත්තයි …”

අයත්මා හිස සැලුවාය. ඔහු විදෙස්ගතව සිටියදී අන් ස්ත්‍රියක හා උන් බව ඇය දනී. එසේ තිබියදීත් මෙලෙස පැවසීම මුසාවකි. එහෙත් මේ අතීත කතන්දර වෙනුවෙන් වෙලාව නොවේ.

” එතකොට පහුගිය දවසක වාහනේ දාගෙන රවුම් ගහපු කෙල්ල කවුද?..”

අයත්මා ආවේගයෙන් , එහෙත් මවා ගත් සං‍යමයකින් කඩා පනිමින් උන්නාය.

” මම ?..”

අයත්මා හිස ඇළ කර චත්‍රගේ විමතිය පිලිබඳව විමතියට පත් වන බව පෙන්වූවාය. එහෙත් කිසිත් නොපවසා උන්නාය. අයත්මාගේ නිහැඬියාව තුළින් කිසිවක් සිහිඔඅත් නොවූ නිසාම චත්‍ර යළි පැහැදිළි කරගන්නට උත්සාහ කලේය. චත්‍ර කිසිවක් සිහියේ නැතිවාක් මෙන් රඟපාද්දී අයත්මා කෝපයට පත් වූවාය. ඕ ඒ කෝපයෙන්ම සැන්ඩ්‍රා සහ චත්‍ර දුටු ස්තානයන්, දින සහ වේලාවන්ද පැහැදිළිව කීවේ චත්‍රගේ නළල රැලි ගැන්වී දෑස් විසල්ව යන්නට හැරය.

” ඉරිසියා හිතිලාද ආහ් ..?..”

චත්‍ර ඇගේ අත අතැර මඳක් අසුනෙන් නැඟිට ඇය වෙතට නැවී ඇසුවේය. අයත්මා වහා දෑස් මඟ හරියාය.අත ඇද ගත්තාය.  චත්‍ර අසුනට වැටී යලි වයින් වීදුරු දෙක පිරෙව්වේය.  යම් සැනසුම් සහිත බවක් ඇයවෙත පෑවේය.

” කමක් නෑ .. අදට මේ ඇති …”

ඔහු සිහිනි අමතා සිව් දෙනාටම එක් මේසයකට වන  වෙමුයි කිවේය. ඉන් පසුව ගෙවුණු දෙහෝරාව  සැහැල්ලු සරල කතා බස් සමඟින් ගෙවෙමින් තිබුණි. චත්‍ර අයත්මාට සමුදුන්නේ ඇමතුමක් දෙන්නෙමි යි අඟවමිනි. ඕ හිස සැලුවාය.

සිහිනි අයත්මාව නිවෙස අසලින් ඇරලවා ඇයට සමුදුන්නාය.

” තැන්ක් යූ …”

අයත්මා සිහිනිගේ අත මිරිකමින් කීවේ මෝටර් රියෙන් බැස ගන්නට ඔන්න මෙන්න තියාය. සිහිනිද සිනාසුනාය. සිහිනි නිවෙසට එන විට චත්‍ර නිවෙසට පැමිණ තිබුනේය. ඔහු පෙනෙන මානයේ නොසිටියා වුවද. අම්මා සහ අප්පච්චි සාලයට වී සිටින්නේ නිකම්ම විය නොහැකි බව සිහිනිට ඉවෙන් මෙන් වැටහුණාය. එහෙත් එවෙලෙහි ඒ ගැන විමසන්නට ඇයට සිතුනේද නැත. ඕ ව්‍යාජ කලබලයක් මවාගෙන උඩ තට්ටුවට යන්නට හැරුණාය.

“චූටි .. මෙහෙන් වාඩි වෙන්න..”

අතුකෝරල මහතාගේ හඬ ඉක්මවා යන බැල්මකින් සිහිනි සන්ධ්‍යා දෙස බැලුවද ඇයට එතැනින් නික්මෙන්නට අවසර ලැබුනේ නැත. අම්මාද සිහිනිට හිඳ ගන්නට බල කලාය.

” මහන්සි අනේ … ඉක්මනට කියන්නකෝ ….”

සිහිනි දෙස බලමින්  කිසිත් නොපවසා සිටින අතුකෝරල යුවලට සිහිනිගේ පලමු දෝස්මුරය නැඟුනේ විනාඩි කිහිපයකට පසුවය. සිහිනිට යම් තිගැස්මක් නොදැණුනා නොවේය.

” මට ඇත්ත කියන්න චූටි … අයියාට මොකක්ද වෙලා තියෙන්නේ?..”

අතුකෝරල මහතාගේ ස්වරයේ වූ වෙව්ලීම සහ බලාපොරොත්ත් බිඳී යාමක වේදනාව සිහිනි ඉතා පහසුවෙන් අල්ලා ගත්තාය. ඕ අම්මා දෙසද, ඉන් පසුව අප්පච්චී දෙසද විමසිල්ලෙන් බැලුවාය. පිළිතුරු දිය යුත්තේ කෙලෙසකදැයි ඇයට වැටහෙන්නේ නැත. එනිසාම නිහඬව හිඳිමින් ඊලඟ ප්‍රශ්නයත් අප්පච්චීටම අසන්නට දෙනවායැයි ඕ තීරනය කලාය.

” අයියා කොහේ ගිහින්ද ආවේ?..”

” දන් නෑ ..”

සිහිනි කිසිඳු පැකිලීමක් නැතිවම කීවාය. සන්ධ්‍යා සහ අතුකෝරල එකිනෙකා දෙස බලා ගනිමින් සිහිනි විශ්වාස කරන්නට සූදානම් නොවන බව පෙන්වූහ. එහෙත් සිහිනි ඒ වගක් නැතිවා මෙන් තමා පැවසූ දේ සත්‍ය ලෙසින් අඟවමින්ම උන්නේය.

” අයියා කියනවානේ චූටි පාර්ලිමන්ට් ඉලෙක්ශන් නොමිනේශන් ඕනි නෑ කියලා…”

සන්ධ්‍යා එක්වරම පවසද්දී සිහිනි සැනසුම් සහගත බවක් පෙන්වමින් හිනැහුනාය. එහෙත් ඕ අදහසක් කියන්නට ඉක්මන් නොවී උන්නාය.

” මේ පාර නොමිනේශන් නැත්නම් ආයේ පොලිටික්ස් කරන්නේ නෑ කියලා කිය කියා උන්න මිනිහා දැන් එකපාරටම මෙහෙම කියන එක නිකම්ම සිද්දවෙන දෙයක් වෙන්න බෑ කියලා මට තේරෙනවා චූටි .. මේ මිනිහා පක්ශ දිස්ත්‍රික් නායකතුමාවවත් මුන ගැහෙන්න කී  පාරක් ගියාද?…  කොටින්ම කැම්පේන් එකට ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකට ඇඩ්වාන්ස් කරලත් තිබුණේ… මේ එකපාරටම කියන දේ මට විශ්වාස කරන්න බෑ…”

අතුකෝරල මහතා සිහිනිගෙන් පිළිතුරක් බලපොරොත්තු වන බව අඟවමින් කීවේය. එහෙත් සිහිනි හිනහුනා පමණි.

” අයියා පොඩි හාමුදුරුවෝ මුන ගැහුණයින් පස්සේ මේ වෙනස වුනේ චූටි … අම්මට ඇත්ත  කියන්න පුතේ අයියා ගේ හිත වෙන මොකක් හරි අරමුනක් පස්සේ වැටිලද?..”

සන්ධ්‍යා හඬමින් උන්නාය. සිහිනි වහා අම්මා අසලින් හිඳ ගත්තාය. අම්මාගේ උර වටා දෑත් යවා ඇය සන්සුන් කරවන්නට උත්සාහ කලාය.

” අම්මේ … අයියා පොඩි ළමයෙක් නෙවෙයි .. එයාගේ ජීවිතේ තීරණ වෙනුවෙන් එයාට ඉඩ දෙන්න …”

“අනේ චූටි .. ඔයා අයියා ගේ මේ වෙනස්වීමට හේතුවක් දන්නවා නම් කියන්න පුතේ .. අම්මාගේ පපුව රිදෙනවා පුතේ … අයියා පොඩි හාමුදුරුවෝ ළඟට යන්නද හදන්නේ පුතේ…”

” පිස්සුද අම්මේ.. ඒ මිනිහා මේ කාම ලෝකෙට ඇලිලා, රාගයෙන් මුසපත් වෙලා ඉන්නේ අප්පා.. එහෙව් මිනිහෙක් පොඩි හාමුදුරුවෝ ලඟට ගිහින් මොකක් කරන්නද?….”

සන්ධ්‍යා යා යලි කලබල වූවාය.

” අයියා කවුරු හරි ගෑණු ළමයෙක් එක්ක පටලැවිලාද චූටි…”

” ඔව් ..හැබැයි කවුද කියලා මම දන්නේ නෑ.. අහනන්ත් එපා.. අයියා  කියන දවසක කියාවි.. අප්පච්චී බලාපොරොත්තු වෙච්ච ගෞරවනීය දේශපාලනය අයියා අතින් කෙරේවි අප්පච්චී දැන්…. බලාගෙන ඉමුකෝ…”

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles