හැමදාම කන පරිප්පු වඩේ වෙනුවට රුලං වඩේ හදමු

රුලං පිට්ටු, රුලං ඉඳිආප්ප, රුලං කැඳ, රුලං තෝසෙ වගේ අපිට හුරුපුරුදු කෑම වර්ග පාන් පිටි හෝ හාල් පිටි භාවිත නොකර රුලං භාවිත කරල වෙනස් රසයකින් හදාගන්න පුළුවන් විදිහ ගැන smart lady අපි ඔබත් එක්ක තොරතුරු බෙදාගත්ත ඔබට මතක ඇති. 

ඉතිං, ඔන්න අදත් අපි සූදානම් වෙන්නෙ ඒ වගේම රස අපිට හුරුපුරුදු කෑමක් රුලං වලින් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි.

උළුඳු වඩේ කාල තියෙනවනේ. උළුඳු වඩේ වල හැඩ තියන පාරේ වඩේ කරත්ත වල තියෙන පාන් පිටි වඩෙත් ඔබ අනිවාර්යයෙන්ම කාල ඇතිනෙ. 

එහෙනම් අපි අද රුලං වලින් වඩේ හදමු. 

මුලින්ම, අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 1 ½ ක් 

වතුර කෝප්ප 02 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

තෙල් තේ හැඳි 01 ක් 

සූදුරු තේ හැන්ඳක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

කෑලි මිරිස් තේ හැඳි ½ ක් 

බැදගැනීමට තෙල්

කුඩාවට කපාගත් කරපිංචා ඉත්තක කොළ 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරලක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට වතුර, තෙල් සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

වතුර නටන තුරු මඳගින්නේ තබාගන්න. 

වතුර නටන විට එයට රුලං එකතු කර හොඳින් හැඳිගා ගන්න. 

වතුර සියල්ල රුලං වලට උරාගන්නා තෙක් හොඳින් හැඳි ගාගෙන භාජනයේ පියන වසා විනාඩි 02 ක් පමණ තබා ගන්න. 

විනාඩි 02 කට පසු රුලං මිශ්‍රණය ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමාගෙන එයට ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, අමු මිරිස්, සූදුරු සහ කරපිංචා එකතු කර මෘදු අතේ නොඇලෙන ගුලියක් ලැබෙන සේ හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට ඔබේ අත් වල හොඳින් තෙල් තවරාගෙන මේ ගුලියෙන් ටික ටික අත්ලට ගනිමින් උළුඳු වඩේ වල හැඩය සාදා ගන්න. 

සාදාගත් උළුඳු වඩේ හැඩැති තෙල් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැඳගෙන උණුසුම්වම රස විඳින්න දැන් ඔබට පුළුවන්. 

එහෙනම්, වෙනස් රසට පුරුදු කෑම හදන්න කැමති ඔබට අද රෙසිපියත් අත්හදා බලන්න කියල අපි ආදරෙන් ආරාධනා කරනව. 

මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles