දෙමාපියන් වයසට යද්දී එයාලා එක්ක මේ විදියට ගනුදෙනු කරන්න…

“නාකි ජෝඩුව එක්ක කොහොමද අප්පා ඔයා ඉහ ගහගෙන ඉන්නෙ?” දේවින්දි එහෙම ඇහුවෙ මීට දෑවුරුද්දකට කලින් කසාද බැන්ද අරුණිගෙන්. දේවින්දි කසාද බැන්දෙ මේ ළගඳි. අරුණි වගේම දේවින්දිටත් කසාද බැඳලා ගිහින් ජීවත් වෙන්න උනේ තමන්ගෙ හස්බන්ඩ්ගෙ අම්මල එක්ක.

සුපුරුදු නැන්දම්මා ලේලි ප්‍රශ්න නාවට මොකෝ මලින්දගෙ අම්මලගෙ තාත්තලගෙ සමහර ගතිගුණ නම් දේවින්දිට එච්චර දිරෙව්වෙ නෑනෙ. ඉතින් ඔක්කොටම වඩා හොඳයි තමන් වගේම සිටුවේශන් එකක ඉන්න අරුණි එක්ක ඕක කතා කරන එක කියල හිතල තමයි දේවින්දි ඔය විදියට කතාව පටන් ගත්තෙ.

“මොන නාකි ජෝඩුව ද?” කියල අරුණි ඇහුවෙ දේවින්දි මේ කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

“වෙන කවුද අනේ ඔයාගෙ හස්බන්ඩ්ගෙ අම්මායි තාත්තයි. ඔයා කොහොමද අනේ එයාලා එක්ක ඉහ ගහගෙන ඉන්නෙ? මට නම් දැනටම අරහං එයාලගෙ වැඩ”

“ඉතින් අනේ නාකි ජෝඩුව කියන්නෙ ඔයාලගෙ අපේ අම්මලගෙ තාත්තලගෙ වයසෙම නේද ඒ මිනිස්සුත්? ඉතින් මොකෝ ඔය පොඩි දේවල් ඉවසන්න බැරි”

“ඒ ඉතින් අපේ අම්මල තාත්තලනෙ. මේක එහෙම නෙවෙයිනෙ”

“ඔන්න ඕක තමයි ඔය නැන්දම්මා ලේලි ප්‍රශ්නවලට මුල දේවින්දි. තමන්ගෙ අම්මල කරන ඕන දෙයක් හොඳයි නැන්දම්මා කරොත් නරකයි. සමහරවෙලාවට අපේ අම්මලට වඩා හොඳයි නැන්දම්මා. ඒ උනාට අපිට ඒ මිනිස්සුන්ගෙ අඩුපාඩුම තමා පේන්නෙ”

මේ කතාව ඇත්ත කියල කියවද්දි ඔයාලටත් හිතෙනවා ඇති. අම්මා නැන්දම්මා කියල වෙනසක් නෑ දෙගොල්ලොම අපේ දෙමව්පියන් නෙ. සමහර වෙලාවට අම්මල තාත්තල වයසට යද්දි වගේම ජෙනරේශන් ගැප් එක නිසා අපිට අමාරු වෙනවා එයාලා එක්ක එකට ජීවත්වෙද්දි. ඒ උනාට ප්‍රශ්න ඇතිකරගෙන රණ්ඩු වෙනවට වඩා මේ වගේ ප්‍රශ්න විසඳගන්න හොඳ ක්‍රම තියෙන නිසාමයි අපි අද මෙන්න මේ විස්තරේ ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ.

අපේ ජීවිතේ ඇතුලෙ එකට ජීවත්වෙන මිනිස්සු එකඟ නොවන තත්ත්වයන් සහ ගැටලු ඇතිවීම සාමාන්‍යය දෙයක්. එහෙත්, වයසට යන දෙමව්පියන් එක්ක ජීවත්වන විට, පෞද්ගලික ආරවුල් සහ ගැටලු නැති කරගෙන යාම සාර්ථකව ජීවත්වීම වෙන්න හරිම වැදගත්. නාකි ජෝඩුවක් කියලා අපේ ආදරණීය දෙමව්පියන්ට හෝ නැන්දම්මාලාට අපහාස කරන එක එච්චර හොඳ හෝ සුදුසු දෙයක් නෙවෙයි. ඔවුන්ගේ වයසත්, වියපොහොසත් බවත් පිළිගෙන, ඒ අය සමඟ සතුටුදායක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තමයි අපේ වගකීම වෙන්නෙ.

1. අවබෝධයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්න

අපේ දෙමව්පියන් සහ විවාහයෙන් අපට ලැබෙන දෙමව්පියන් වයසට යද්දී ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වේ. ඔවුන්ට ගෞරවයෙන් සලකන්න, ඔවුන්ගේ හැකියාවන් සහ කටයුතු පිළිබඳ අවංකවම අවබෝධයක් ලබා ගන්න. ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම ප්‍රයෝජනවත් බව සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ අදහස් අගය කරන්න.

2. ඉවසීම සහ අනුකම්පාව දක්වන්න

කාලය සමඟින් දෙමව්පියන්ගේ හැකියාවන් හා චරිතයන් වෙනස් වේ. සමහර විට ඔවුන්ගෙ ක්‍රියාකාරකම් අපට අපහසු හෝ අමාරු ලෙස දැනෙන්න පුළුවන්. ඒත්, ඒවට ඉවසීමක් හා මනාව අනුකම්පා දක්වන එක වැදගත්. අපේ හිතේ ඇති ප්‍රශ්න හෝ ආරවුල් ගැන හිත හිත කරදර වෙනවා වෙනුවට, ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීමට කාලය ගන්න.

3. සහාය ලබා දෙන්න

ජීවිතයේ මේ අවධියේදී දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ,සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට සහයෝගීවීම සහ එයාලගෙ වැඩ කටයුතුවලට අපි සහයෝගය දක්වන එක. ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සහ ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් සහ සම්බන්ධතා පවත්වා ගැනීමට උදව් කරන එක ඔවුන්ගේ සතුට සහ සෞඛ්‍යය සඳහා මූලික හේතුවක් වෙනවා.

4. ආදරය සහ සෙනෙහස දක්වන්න

අවසානයේ, වයසට යන දෙමව්පියන්ට වඩාත්ම අවශ්‍යය දේ තමයි ආදරය සහ සෙනෙහස. ඔවුන් සමඟ කතා බහ අකරන්න, අවශ්‍යතා ගැන දැනගන්න. ඔවුන් හිතන පතන විදිය ඔබ හිතන පතාන විදියට වඩා වෙනස් බව ඇත්තක් උනත් ඒ දේවල්වලට ගරු කරන්න. සවන්දෙන්න.

දෙමව්පියන් සමඟ හොඳ ගුණාත්මක සම්බන්ධයක් පවත්වා ගැනීමේදී මේ කරුණු කෙතරම් වැදගත් ද කියලා ඔබට පෙනේවි. දෙමව්පියන් වයසට යද්දී ඔවුන්ගේ ජීවිතය සංවිධානය කිරීම සහ ඔවුන් සමඟ සුහද සම්බන්ධතාවයක් පවත්වා ගන්නා එක අපගේ වගකීමක් ලෙස සැලකිය යුතුයි.

ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලය සතුටුදායක, ගෞරවණීයව, සහ ආදරයෙන් පිරුණු එකක් බවට පත් කිරීම අපිට පුළුවන්, ඒත් ඒ සඳහා අපේ කැපවීම සහ අවංක ප්‍රයත්නය ඉතාම වැදගත් වෙනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles