ආකාස මෝස්තර – 31

ගඟුල් විජයවීර ගෙදර පැමිණ යහනට වැටුණේ හදවතේ යම් අඩුවක් පැවතී ද තෘප්තිමත් මිනිනෙකු ලෙසයි. ඒ විදුලි බුබුළු වල වර්ණ එළි මාරුවෙන් මාරුවට ඔහු ගේ මනසෙහි දිගින් දිගට ම ඇඳුණේ ය. ඒ එළි අතරෙහි පාරුල් දෙව්රූ ඇල්ලගේ ගේ ඇස් වල එළි ද විදුලි කෙටුවේ ය. උදයේ රාජකාරියට යන්නට පැය දෙක තුනක්වත් නිදත යුතු ය යන උවමනාව වී ද ඔහු ට නින්ද ගියේ ම නැත.

ගඟුල් නික්ම ගිය පසුත් සාජ්ජය දිගට ම කෙරීගෙන ගියේ ය. වත්තේ මිනිසුන්ට මෙහෙම අවස්ථාවක් නො ලැබෙන තරමි. කෑම බීමත් සමග නො මිලයේ ම එවන් අවස්ථාවක් හිමි වූ පසු සමරන්නේ නැතිව ඉන්නට ඔවුන්ට කිසිදු හේතුවක් ඇත්තේ ද නැත. නමුත් “උදේට වැඩ ගොඩක් කරගන්න යන්න තියනවනෙ” කියා පාරුල් ගෙදර ගොස් ඇඳට වැටුණා ය. නින්දත් නො නින්දත් අතරේදීත්, ගඟුල් ළඟදී දැනුණ බීර සුවඳ ඇයට දැනිණ. ඒ රැය පහන් නොවී තිබුණා නම් යන සිතිවිල්ල, සුරංගනා ලෝකයක සිට වාගේ මිමිනෙමින් තිබිණ.

නමුත් හැම රැයක් ම පහන් වන්නේ ය. හැම දවසක් ම ගෙවී නව දවසක් උදා වන්නේ ය. මිහිරි සේ ම අමිහිරි මතක ද ඒ දවස් සමගින් ගෙවී යන්නේ ය. දවස් ගෙවුණාට මතක කැබලිති ඉතිරි වන්නේ ය!

මුළු රැයක් නිදි වරා තිබිණි ද ගඟුල් ප්‍රබෝධයෙන් යුතුව අවදි වී රැකියාවට යාමට සූදානම් වූයේ ය. සුදු අත් දිග කමිසයත්, අළු පැහැති කලිසමත් මැනවින් පෑහිණි. කණ්ණාඩි සේ මැද ඇති සපත්තු දමත්දී ඔහු ගේ මුවග ලොන්ඩරි වත්තේ දී ඇහිඳගත් ගීයක මතක කැබලි මිමිණෙමින් තිබිණ.

“හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී… කිසි වාසියක් නැ හාමතේ නැත්තං අතේ සල්ලී… නැත්තං අතේ සල්ලී…”

“කොල්ල දැං හරි සතුටෙන් නේ…”

කියාගෙන නිර්ධා විජයවීර කාමරයට ආවා ය. ඇගේ මුහුණෙහි වැගිරෙමින් තිබුණේ මව් වත්කම් වල අසීමිත ස්නේහයයි. ගඟුල් අඩ සිනහවක් පෑවේ ය.

“ඉතිං ඉතිං… ජොබ් එකනං කොහොමද කියල අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ. ඔයා ඒක හරියට කරයි. මට අහන්න ඕනෙ දැං අර ගෑනු ළමය කොහොමද කියලයි”

අඩ සිනහව පූර්ණ මනස්කාන්ත සිනහවක් ව පිපී ගියේ ය.

“කොල්ලගෙ මූණෙ තියන පෙම්පාට”

කියා නො කියා ඉන්නට නිර්ධා අපොහොසත් වූවා ය.

“වෙනසක් නෑ අම්ම. එයා ඉතිං ඒ වගේම තමයි. හැබැයි මං ඉලෙක්ශන් එක දිනුවට එයාට සතුටුයි. මං වැඩක් කරයි කියල අම්ම වගේම එයත් බලං ඉන්නව කියල මට දැනෙනව”

“අපි ඕන කෙනෙක්ට දෙයක් කරන්න අරමුණක් හේතුවක් එනර්ජි එකක් එක්ස්ටර්නලි තියෙන්න ඕන පුතා. ඒ ගෑනු ළමය නිසා ඔයාගෙ ඩියුටි එකට ඒ දේවල් ලැබෙනවනං… මට ශුවර් ඔයා හැමදේම හොඳට කරයි. වැදගත් ම දේ බලය අතට ලැබුණ කියල නෙවෙයි… වගකීමක් අතට ලැබුණ කියල හිතන්න. රටක් අතට ලැබෙන්න කලින් ඔයාට නගරයක් පාලනය කරන්න ලැබිල තියනව. කොළඹ කියන්නෙ පිටට පේනතරං සුරපුරයක් නෙවේ කියල ඔයා දැං දන්නවනෙ. ඒ මිනිස්සු වෙනුවෙන් මතක හිටින වැඩක් කරන්න”

පාරුල් කියන්නේ ප්‍රදීපාගාරයක් සේ  දුර සිට මං සලකුණු කියන්නියක් නම්, අම්මා යනු පහන් වැටක් සේ ළඟින් රැඳී- දුර ගමන යන්නට මග එළි කරන්නියක සේ ගඟුල් ට දැනිණ. එහෙව් ගැහැනු දෙ සිතක් දෙපසින් තිබිය දී පිරිමියෙකුට විශ්වය වුව ජයගන්නට බැරි වන්නේ නොවේ!

“මට හොඳටම සනීප නෑ. අද හොස්පිට්ල් එන්නෑ. ලීව් දැම්ම” කියා පසන් පණිවිඩයක් එවා තිබිණ. එය යම් නිදහස් හැඟීමක් පාරල් තුළ දැනවී ය. නැත්නම් අද ඇය පිටතට යන එක ගැන ඔහු ගේ කන්දොස්කිරියා ඉවසගෙන සිටිත නො හැකි වනු ඇත. නමුත් ඕ එකෙනෙහි ඇමතුමක් ගත්තේ නැත්නම් ඊටත් ඔහු බුරාහැලෙනු ඇති බව සිහි වී ය.

“මං මෙසේජ් එකක් තිබ්බනෙ. පොඩ්ඩක් රෙස්ට් කරන්න දෙන්නකො අප්ප සැරෙන් සැරේ කෝල් කරන්නැතුව”

ඔහු සැර දැම්මේ ය. පාරුල් ගේ කට කොනක සිනහවන් ඇඳිණ. පසන් වූ කලී කිසිම කිසිවකින් තෘප්ත කළ නො හැකි මිනිසෙකු වූයේ කෙසේදැයි ඇයට තේරුම් ගත නො හැකි ය.

එකසිය හැත්ත හයක නැගී පාරුල් නුගේගොඩ ගියා ය. පොත් කිහිපයක් හා අධ්‍යයන කටයුතු සඳහා අව්‍ය්‍ය උපකරණ කිහිපයක් මිල දී ගන්නට තිබිණ. පොතක් ෆොටෝ කොපි ගසාගන්නට ද තිබුණේ ය. ඒ සියලු කටයුතු නිමා වන විට දවල් වී ය. යන්තම් කුසගින්නක් ඇයට දැනෙන්නට විය. ඒ හා බැඳී පසන් සිහි වූයේ ය. ඔහු නැවතී සිටින්නේ නාවල පාරේ නිවසක මතුමහලක කොටසක් කුළියට ගෙනයි. නුවර මහ ගෙවල් තිබිණි ද පසන් ගේ පවුලේ අය සැලකිය යුතු කාලයක් කොළඹ පදිංචි වී සිටියහ. ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු ඔහු කොළඹ ප්‍රධාන පිරිමි පාසලක නේවාසික වී අධ්‍යාපනය ලැබුවේ ය. උසස් පෙළ කරත්දී පිටත නවාතැනක් සොයාගත යුතු වූ නිසාත්, පසන් ගේ නැගණිය කොළඹ බාලිකාවකට දමාගන්නට හැකි වූ නිසාත් පවුල ම ටික කාලයකට කොළඹ පදිංචි වන්නට දෙමහල්ලෝ තීරණය කළහ. ඔවුන් පදිංචි වී සිටියේ නුගේගොඩ අවට කුළී නිවෙස් වලයි. සහෝදරිය උසස් පෙළින් පසු බැංකු පාඨමාලාවක් හදාරා පෞද්ගලික බැංකු ජාලයකට සම්බන්ධ වී නුවරට පත්වීමක් ලද බැවින් නැවත ද පවුලේ අයට මහගෙදර බලා යත හැකි විය. වෛද්‍ය පීඨයේ අවසාන අදියරේ කටයුතු කෙරී යත්දී පසන් කොළඹ නතර වූයේ තනිව ය.

අසනීප අස්සේ ඔහු ට කෑමට යමක් සපයාගත නො හැකි වනු ඇතැයි සිතිවිල්ල මත පාරුල් වැඩ අවසාන වී ෆ්‍රයිඩ් රයිස් එකක් ද ගෙන ත්‍රිරෝද රථයකින් සමන් මාවත බලා ගියා ය. මේ ඇනෙක්සියට මීට පෙර වතාවක් ඈ ඇවිත් තිබේ. ඒ පසන් වෛද්‍ය පීඨයේ දී පාවිච්චි කරන ලද සටහන් සමූහයක් ගෙන යාමට යි. ඇය එහි කැටිව විත් පොත් පත් සමගින් පසුව ඔහු ඈ ත්‍රීරෝද රියක නංවා යැව්වේ ය. ඇනෙක්සිය කුඩා ආලින්දයකින්, එක් නිදන කාමරයකින්, මුළුතැන්ගේ කොටසකින් හා නාන කාමරයකින් සමන්විතයි. එය නිදහස් නිසංසල පරිසරයක පිහිටියේ ය.

“ආ නංගි ඇවිත්නෙ…”

පාරුල් ව දුටු නිවෙස් හිමිකාරිය මුව පුරා සිනහ වී ඈ පිළිගත්තා ය.

“පසන් අසනීප වෙලා කිව්ව..නුගේගොඩට ආපු ගමන් බලල යන්න ආව අක්කෙ”

“ආ යාළුවෙකුත් ආව මගෙ හිතේ. ගියාද මන්ද…”

පාරුල් පියගැට පෙළ නැග ගියා ය. ගෙදොරකඩ අපිළිවෙලට පාවහන් ගොඩකි. මීට පෙර ආ වතාවේ ද පාරුල් ඒවා පිළිවෙළට තෝරා රාක්කයෙහි තැන්පත් කළා ය. ආලින්දය ද අතු පතු ගා නොමැති ය. ඉක්මනට අතු ගා පිරිසිඳු කොට දී යා යුතු යයි ඇය ට සිතිණ. දොර හැර දමා තිබිණි ද පසන් පේන්නට හිටියේ නැත. ඔහු කාමරයේ නිදි ඇතැයි සිතු ඕ හෙමිහිට ඇතුළට ආවා ය. කාමරයේ දොර ද විවර ව පැවතිණ.

“කෝ බලන්න මේ ලෙඩාට මොකද වෙලා තියෙන්නෙ කියල”

යි කියාගෙන ඕ කාමරයට හිස පෙව්වේ නිදා සිටින පසන් දකින්නට මිස සිහිනයෙන්වත් එවන් දර්ශනයක් දකින්නට සිදු වෙතැයි සිතා නොවේ. ඇගේ මුව මහත් ව විවර විය. පාරුල්ට කෑගැසෙන්නට ගියේ ය. නමුත් හඬක් පිට වූයේ නැති බව සහතික ය. අත වූ කෑම එක සහිත බෑගය බිම පතිත විය. ඇය දෝතින් ම මුව වසාගෙන වහා අනිත් පස හැරුණා ය. පියගැට පෙළ බැසගන්නට කොහෙන් කොහොම ශක්තිය එක්කාසු කරගන්නට හැකි වූවා ද කියා දෙවියන්වත් දන්නවායි සිතිය නො හැක. කෙසේ හෝ දෙපා වසඟ කරගෙන ඇය පාරට ඇවිත් තිබිණ. බස් නැවතුමෙහි බංකු පෙළක් සවි කොට තිබීම ගැන පින් සිදු විය යුතු වේ. පාරුල් එහි හිඳ සිය බෑගය උකුල මතට ගෙන හති අරින්නට වූවා ය. ඒ දකින්නට  ලැබුණේ කුමක්ද? ඇගේ ඇස් වලින් නො නවත්වා කඳුළු ගලා එමින් තිබේ. ඒ කඳුළු වලට හේතුවක් සිතා ගත නො හැකි ය. දුකට ද බියට ද ලැජ්ජාවට ද නැත්නම් ඒ සියලු හැඟීම් වෙනුවෙන් ද කියාවත් විශ්ලේෂණය කරගත නො හැකි ය. නමුත් කඳුළු ගලයි. පාරුල් ඒ නතර කරන්නට වෙහෙස වූවේ නැත. බෑග් එකෙන් කුඩා ලේන්සුවක් ගෙන ඕ නෙත තෙත මාත්තු කළා ය. නමුත් නැවත නැවත අලුත් කඳුළු ඉහිරෙයි. බස් නැවතුමේ සිටි තරුණියක “උදව්වක් ඕනෙද” කියා ඇසුවා ය. පාරුල් කඳුළු අතරින් ම ඇය වෙතට මනුස්සකමේ සුවඳ වෙනුවෙන් සිනහවක් දුන්නා ය. ඒ සමග ම “ඕන නෑ” යි හඟවන්නට හිස සැළුවා ය.

“වැඩි වෙලා මෙතන අඬ අඬ ඉන්නෙපා. ඒක ඔයාගෙ ආරක්ෂාවට හොඳ මදි”

නතර වූ එකසිය හැත්තෑ හයට ගොඩවීමට පෙර ඇය සිහිපත් කිරීමක් ද කළා ය. ඇයිදෝ මන්දා ඒ බස් එකට නැගෙන්නට පාරුල් ට හිත දුන්නේ නැත. ඇගේ සිරුරේ සම් මස් පේශි තද වී ගල් වී තිබිණි. ඒවා ලිහිල් වීමට කොයි තරම් කාලයක් ගත වේවිද කියා ඇයට සිතා ගන්නටවත් නො හැකි විණි. සිහිපත් වූ එක ම දෙය ගඟුල් ය. ඕ ඔහු ට දුරකතන ඇමතුමක් ගත්තා ය. රාජකාරී කටයුතු පිරිවරාගෙන සිටි ගඟුල් දුරකතන තිරය දෙස බැලූයේ නළල රැලි නංවාගෙන යි. මේ අවේලාවේ ඇගෙන් ඇමතුමක් එන්නේ ඇයි?

“කියන්න පාරුල්…”

නමුත් පාරුල් ට කියන්නට දෙයක් තිබුණේ නැත. නොහොත් කිසිත් කියාගන්නට හැකි වූයේ නැත. ඉකියක් උගුර හිර කළේ ය. ඉකිබිඳුමක් හැරෙන්නට ඔහු ට වෙන කිසිත් නෑසිණ. අමුතු ක්ෂණික ගැස්මකින් ගඟුල් වහා අසුනෙන් නැගිට ගත්තේ ය.

“පාරු… මොකද්ද වෙලා තියෙන්නෙ… ඔයා ඔය අඬනව නේද…”

එවර ඉකිය වඩාත් උස් ව බිඳී ගියේ ය.

“දෙයියනේ ඔයා ඔය කොහෙද ඉන්නෙ… මොකද වෙලා තියෙන්නෙ කියල මට කියන්නකො දරුවො”

ගඟුල් පින්සෙණ්ඩු වූයේ ය. පාරුල් යමක් කියාගන්නට උත්සාහ කළා ය. නමුත් අපොහොසත් වූවා ය. මුළු ආත්මය ම එක ම විලාපයකින් පිරී පැවතිණ.

“හරි හරි හරි. මොනාත් කියන්න ඕන නෑ. ටක්ගාල මට ඔහොම ඉඳන්ම ලොකේශන් එක එවන්න. මං පුළුවන් තරං ඉක්මනට ඔතනට එනව”

ලොකේශන් එනතුරු ඔහු බලා සිටියා නොවේ. සියලු වැඩ එහෙම ම තිබිය දී දිවගෙන විත් රියට නැඟුණේ ය. ශරීර ආරක්ෂකයන් ඔහු සමග එන්නට සූදානම් වූහ.

“ඕන්නෑ”

ගඟුල් තදින් කීවේ ය.

ලොකේශන් යවන්නේ කෙසේදැයි පාරුල් ට එකවර සිහිපත් වූයේ නැත. ඇය දුරකතන තිරය දෙස බලාගෙන සිහිපත් කරගන්නට උත්සාහ කළා ය. ඔළුව මුළුමනින් පැටලී තිබිණ. ඉන්නා තැන ලොකේශන් යවාගන්නට ඇයට සැලකිය යුතු වෙලාවක් ගත විය.

ගඟුල් උමතු නොවී සිටියා පුදුම ය. ඔහු ට හිතුණේ ම පිස්සු හැදෙනු ඇත කියා ය. නමුත් හොඳ සිහියෙන් ඉන්නා ලෙස හිත බල කොට කීවේ ය. පාරුල් කුමක් හෝ කරදරයක හිඳී. ඇයට ඔහු ගේ උදව් අවශ්‍ය වී තිබේ!

බස් නැවතුම ඉදිරියේ ගඟුල් ගේ මෝටර් රථය නැවතෙන විට පාරුල් හිස ඔසවා බැලුවා ය. ඇගේ කම්මුල් කඳුළින් පෙඟී තිබේ. හිස කේ අවුල් වී ඇස් වල භීතියක් සනිටුහන් වී තිබේ. කිසිදු පිළිසරණක් නැති, කුමක් කර කියා ගන්න දැයි නො දන්නා අසරණ අනාථ බැල්මකින් ඕ බලා සිටියා ය. වහ වහා රියෙන් බිමට පැනගත් ගඟුල් ඇය වෙත දිව විත් දෙඋරහිස් දෙපසින් අල්වා ඈ නැගිටුවාලූයේ ය.

“එන්න අපි වාහනේට යං”

ඇය ආවේ ඔහුට වාරු වීගෙනයි. කෙළින් සිටගන්නට තරම් හෝ පණකෙන්දක් සිරුරෙහි නොවන බව ඇයට දැනිණ. ගඟුල් පොඩි දැරියක සේ ඈ රියට ගොඩ කළේ ය. ඊළඟට වටෙන් දිවැවිත් රියට නැගී වතුර බෝතලයක් හැර ඒ ඇයට බොන්නට දුන්නේ ය.

“හෙමීට පුළුවන් විදිහට මට කියන්න… මොකද වුණේ…ම්…දැන් කියන්න බැරිනං කමක් නෑ. පස්සෙ හෙමිහිට කියන්න. බයවෙන්නෙපා. දැං මං ඉන්නවනෙ. මුකුත් වෙන්නෑ. හරිද… මං ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ. මොකක් වුණත් දැන්  බය නැතුව ඔහොම ඉන්න”

ගඟුල් ඇගේ අතකින් අල්වාගෙන සිටියේ ය. පාරුල් ගේ අත වෙව්ලමින් තිබිණ. අලුත් කඳුළක් ඇගේ කොපුල් තෙමාලූයේ ය. තොල් කොනක් ගැස්සී ගියේ ය.

“අනේහ්”

කියාගෙන ඕ දෝතෙහි මුහුණ හොවාගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles