ජීවිතය පිනට දීම

සාරදා ගෙදර ආවේ පුපුර පුපුරා.

” වලවුවේ කුණු හෝදපු ගෑණිගේ කොල්ලා අපේ ඔෆිස් එකේ ලොක්කා වෙලා එනවලු අම්මේ..  ඔය මිනිහා මට පේන්න බෑ..  ආවොත් එහෙම ඒ පැත්ත පලාතේ මම හොඳ පාඩමක් උගන්නලා යවන්නේ..අපෙන් පිනට කකා ජීවත් වෙලා දැන් එනවා මෙතන ……..”

සාරදාගේ කෝපය එහෙම පිට පනිනකොට  වලවුවේ මැණිකේ වුන සාරදාගේ අම්මා ඒ දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්. පාරම්පරික තාලෙට වලව්ව කිව්වට, දැන් මිනිස්සුන්ගේ හිත් වල ඉස්සර ගරු නම්බු කම් නැති බව සාරදාගේ අම්මා දන්නවා. එහෙම තියෙද්දී සාරදාගේ මේ හැසිරීම් ගැන ඇයට දැනෙන්නේ වේදනාවක්. අනෙක් අතට සාරදාගේ ඉදිරි ජීවිතේ මෙහෙම් හැඟීම් එක්කල ගෙදෙන එක සුදුසු නෑ කියලත් සාරදාගේ අම්මට වැටහෙනවා.

” දූලයි අප්පච්චී මේ ගැන දූට පැහැදිලි කරන්න ඕනි…”

එදා රෑ  සාරදාගේ අම්මා , වලවුවේ පොඩි මහත්තයා වුණු සාරදාගේ තාත්තටත් එහෙම කිව්වා. සාරදාගේ ගති පැවතුම් තමන් බලාපොරොත්තු වුන  විදියෙන් එපිටට වෙන බව තේරුණ මුල් දවස් වලම තමන්ගේ අම්මයි එක්කයි සාරදාව නිවැරදි කරන්න නොදී ඔවුන්ගේ විෂ, පාරම්පරික, වංශේ කබල්ගාන සිතුවිලි වලින්ම පුරවලා දාපු එකේ ප්‍රතිපල අත් විඳින්න වුන එක ගැන සාරදාගේ තාත්තට තියෙන්නේ දුකකට වඩා වේදනාවක්. ඒත්  දැන් සාරදාගේ සිතුවිලි වල වෙනසක් කරන්න උත්සාහ කරන එක අසාර්ථක බව ත් ඔහු වටහාගෙනයි හිටියේ.

” අම්මේ අර දැලි කොල්ලා ඔෆිස් එකට ආවොත් එහෙම අම්මා අර ගුණවතීව අදම ගෙන්නල කියන්න ඕනි ඌට වෙන කොහේ හරි මාරුවීමක් හදාගෙන යන්න කියලා…පිනට ජීවත් වෙලා මෙතන..දැන් එනවා රජ වෙන්න “

උදේ ඔෆිස් යන්න සූදානම් වෙලා සාරදා එහෙම කියනකොට සාරදාගේ අම්මා නෑහුන ගානට හිටියා. සාරදා ඔෆිස් එකට ගිය වෙලේ ඉඳන්ම කලේ අලුත් සර් ගැන අනෙක් අය එක්ක ඕපාදූප කියවපු එක.

” ඔය කොල්ලා ඉස්සර මං ලියලා  ඉවර වුන පොත් වල අන්තිම පිටු ගලවගෙන ගිහින් තමා පොත් හදාගන්නේ…”

” ඔය කොල්ලාගේ අම්ම අවුරුදු පහලොවකට වැඩිය අපේ ගෙදර කුස්සියේ වැඩ… අපේ ඉස්සරහ දොරින්වත් ඇතුලු වෙන්නේ නෑ උන් …”

” ඔය කොල්ලාගේ තාත්තා මැරිලා තිබුනේ ඔය කොල්ලා පොඩි කාලේමයි .. ඒ කාලේ ඉඳන්ම ඇන්දේ පැළැන්දේ පවා අපේ අයියාගේ පරණ ඇඳුම් .. අයියා ගෙදරට ඇඳලා විසි කරන ඒවා අම්මා දෙනවා ගුනවතීට … වැඳලා අරන් යන්නේ ….පිනට ජීවත් උනේ….”

” ඔය කොල්ලාට කැම්පස් යන්න සල්ලි නැතුව ඉන්නකොට අපේ අප්පච්චී තමයි සල්ලි දීලා තියෙන්නේ … මම දන්නවා නම් කීයටවත් අප්පච්චීට ඕවා කරන්න දෙන්නේ නෑ.. උන් ඉන්න ඕනි තැන් වල එපායැ අනේ උන් ඉන්න …අප්පච්චීලාට පිස්සුනේ…. “

 සාරදා පිස්සුවෙන් වගේ එහෙම කියව කියවා හිටියා. එදා දවසේම සාරදාට හරියට වැඩක් කෙරුනෙත් නැති තරම්. දවල් දොලහ පහු වෙද්දීම මුලු ඔෆිස් එකම කලබල වුනා.

” අලුත් සර් ආවා.. අලුත් සර් ආවා…”

හැමෝම එක පොදියට ඉස්සරහට දිව්වා. සාරදා විතරක් ඉතිරි වුනා. සාරදා උන්නේ කෝපය දරාගන්න බැරුව. උදේ වරුවේම කියලත් කිසිම කෙනෙක් තමගේ කතා ගානකට නොගත්ත බව සාරදාට වැටහුනා.

” අනේ අලුත් සර් ශෝක් …”

“මාරම අන්ඩර්ස්ටෑන්ඩින් .. දෙයක් කතා බහ කරලා විසඳග්න්න පුලුව.. ඕර්ඩර්ස් වුනත් මාරම ක්ලීන් .. තේරෙන්න කියනවනේ ….”

” සර් මාරම ටැලන්ට්ඩ් අනේ….”

” සර්ට හොඳට  මැනේජ් කරගන්න පුලුවන් නේද මේ සිටුවේශන් …”

සාරදා දවසින් දවස කෝපය එක්කම ජීවත් වුනා. ඒ අතරේ ගුණවතීව ගෙදරට ගෙන්නගෙන ඇයට බලපෑම් කරන්නත් කටයුතු කලා.

” හොඳ හිතින් ඔහේගේ පුතාට කියනවා අපේ ඔෆිස් එකෙන් යන්න කියලා.. එහෙම නැතුව මම නරකයි කියන්න නම් එපා..”

” අනේ සුදු බේබී මට ඔව්වා තේරෙන්නේ නෑනේ දෙයියෝ … “

 එහෙම කිව්වම සාරදා කලේ ගුණවතීට බැණපි එක. එච්චර දවක් සාරදාගේ මේ හැම ක්‍රියා කලාපයක්ම ඉවසගෙන උන්න මලිත්ගේ ඉවසීම එතැනින් ඉවර වුනා. සාරදාට තවදුරටත් පෙනේ පුප්පන්ම නොදෙන්ම තීරණය කලා..

පහුවෙනිද සාරදා ඔෆිස් එකට එනකොට සාරදාගේ මේසෙයි පුටුවයි තිබුනේ නෑ.

” මිස්ගේ ප්ලේස් එක මාරු කලා.. සර්ගේ කැබින් එකේ…”

“මොකක් ?…”

සාරදාට මලිත්ට අවනත වෙන්න වුනා. මලිත් පේන මානේ ඉඳගෙන පැය අටක් ගෙවන එක සාරදාට පොඩ්ඩක්වත් ලේසි වුනේ නැහැ.

ඒත් මලිත් නම් හිටියේ  පුදුමාකාර ප්‍රහර්ෂයකින්. පොඩි කාලේ ඉඳන්ම ඇස් වල දැවටුන බෝල කෙල්ල දැන් තව ලස්සන වෙලා බව මලිත්ට පේනවා. ගතිගුණ වලින් හැපින්නක් වගේ වුනත්, මලිත්ට ඇයව පේන්නේ මුවැත්තියක් වගේ.  

පුංචි කාලේදි සාරදාගේ ආච්චියි, නැන්දයි සාරදාගේ ඔලුවට විෂ එක් කරපු විදිය හොඳින්ම දැකලා තිබුන නිසා මේ නපුරු ගතිගුණ ගැන මලිත්ට තරහක් දැනෙන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහුට ඇය ගැන දැනෙන්නේ නිරාමිස සෙනෙහසක්. අවුරුදු ගනක් තිස්සේ ඇස් අස්සේ හංගගෙන් පරෙස්සම් කරපු රූපය ගැන ලෝබකමක්.

දැන් දැන් මලිත් ඇයට උස් හඬින් කෑ ගහලා ලිපි ගොනු විසි කරලා දානකොට ඇය තිගැස්සෙන විදියත් මලිත්ට පේනවා. එහෙම වුනාම මලිත් තවත් උස් හඬින් ඇයට බැණ වඳිනවා. මලිත්ට ඕනි ඇයව ලඟින්ම තියාගන්න.. එහෙම දවසක ඇය එ පාරටම සිහි විසඟවෙලා වැටෙන්නේ මලිත්ගේ හදවතත් මොහොතකට නවත්තලා දාලා.

” සාරදාගේ කිඩ්නි කේස් එකක්ලු ..කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එක්ක කරන්න වෙනවලු ඉතාම ඉක්මනට …”

ඒ ආරංචිය දනගත්ත දවසේ ඉඳන් මලිත්ගේ සැනසීම නැති වෙනවා. මිතුරන් කිහිප දෙනෙක් ලවා සාරදාගේ සෞඛ්‍ය තත්වය සහ ඇය වෙනුවෙන් කල යුතු හැමදේම හොයලා බලනවා.

” මට ශුවර් බං .. මට එකකින් තව අවුරුදු තිහක් විතර අදින්න පුලුවන් .. මට කෙල්ලව බේරගන්න ඕනි …”

මලිත්ගේ වකුගඩුවක් සාරදාගේ ගතේ නීරෝගී බව හදමින් තැන්පත් වෙනවා. ඇය ක්‍රම ක්‍රමයෙන් සුවපත් වෙනවා. මලිත් ඇගෙන් දුරස් වෙන්න තීරනය කරනවා.

” කෙල්ලට මාව දකින එකත් තරහක් බං .. එහෙව් එකේ මම ඒ ඇස් දෙකට පේන්නවත් ඉන්න හොඳ නැහැ … අවුලක් නෑ.. ආදරේ කියන්නේ මෙහෙම පැත්තකට වෙන එකටත් එක්ක තමයි …. උඹලා දැන් මේ කතාව මෙතනින් ඉවර කරලා හිටපල්ලකෝ … මේ කතාව එයා දැනගන්න ඕනි ණෑ.. එයා තියා මැණිකෙයි, පොඩි මහත්තයයිවත් දැනගන්න ඕනි නෑ …”

අසනීපෙන් පස්සේ සාරදා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇය යම් සුවපත් වීමකට් පස්සේ ඔෆිස් එකට එන්නේම මලිත් එක්ක කතා බහ කරලා යම් සැනසීමක් බලාපොරොත්තුවෙන්. අසනීප වෙලා හෙල්ලෙන්නවත් බැරුව ඇඳට වෙලා උන්න කාලේ ඇය ජීවිතේ ගැන සෑහෙන්නම අවබෝධයක් එක්කයි න්නේ ..

” ඒත් ඇයි සර් එහෙම ගියේ ?..”

“දන්නේ නෑ අනේ… එකපාරටම තමා ට්‍රාන්සර් වෙලා ගියේ …

සාරදාට ඒ වෙන්වීම හරිම අපහසුවක් වෙලා දැනෙන්න ගන්නවා. කාලයක් යනකොට සාරදාට ජීවිතේ යම් හිස්කමක් දැනෙන්න ගන්නවා. ඒක ඇයට හරි හැටි පැහැදිලි කරගන්න බැරි හැඟීමක්.

” උබ මලිත් බොස්ට ලව් ..”

මේ කතාව මුල ඉඳන්ම දන්න සාරදාගේ මිතුරියක් ඇයගේ ප්‍රහේලිකාව පුරවලා දෙනවා. අන්තිමේදී සාරදා පිලිගනන්වා, තමා මලිත් කෙරෙහි නොවැටහෙන යම් කිසි හැඟීමකින් බැඳිලා සාරදාට පිළිගන්න වෙනවා.  

ඇය මිතුරියකගේ උදව් එක්ක මලිත්ව හොයාගන්නවා.  ඒ වෙනකොට සාරදාගේ සහ මලිත්ගේ  සැත්කම් අවසන් වෙලා මාස කිහිපයක් ගෙවිලා ගිහින්.  රෝගී තත්වයෙන් මිදෙන්න ලැබීමේ සතුට එක්ක සාරදා ඉක්මනින් සුවපත් වුනත්, සාරදාව සදාකාලිකව අහිමිවීමේ වේදනාව නිසා මලිත්ගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙන්නේ ඉතා හෙමින්.

ඒ අතරේ  සැත්කම් ප්‍රදේශයේ ආසාධන තත්වයකට මුහුණ දෙන්නත් ඔහුට සිදුවෙනවා. මිතුරියගේ උදව්ව එක්ක සාරදා ඔහුව හොයාගෙන අලුත් කාර්‍යාලයට යනවා.

” සර්ගේ ඔපරේශන් එකෙන් පස්සේ සර්ට ආයේ ජර්ම් එකක් ගිහින් … දැන් හොස්පිටල් ඉන්නේ ..”

එහි උන්න අය සාරදට සහ ඇගේ මිතුරියට  තොරතුරු කියනවා.

” මොන ඔපරේශන් එකද?….”

” සර්ගේ ආදරේ කරපු  ගෑණු ළමයට කිඩ්නි ෆේලියර් එකක් ඇවිල්ලා . සර් තමයි ඒ ගෑණු ළමයට කිඩ්නි ඩොනේශන් එක කරලා තියෙන්නේ.. ඒ ළමයා සර්ට කැමති නැතිලු .. ඒ නිසා සර් ඒ ඔක්කොම දාලා මෙහෙ ඇවිල්ලා.. ඒ අප්සෙට් එකත් එක්ක සර් පරෙස්සම් වුනා මදි ඇති .. ඒකයි මෙහෙම වෙන්න ඇත්තේ..”

සාරදා මිතුරියගේ අතින් අල්ලගන්නවා. මිතුරිය සාරදාවත් එක්කගෙන මලිත්ගේ නව කාර්‍යාලයෙන් පිටතට එනවා.

” ලබා ගන්න ඹැරි වුනාම, තමන්ගේ ජීවිතේ ඒ ආදරේ ලඟින් තියලා මිනිස්සු මරණයට ලං වෙනවා කියලා අහලා තිබ්බට මේ දැක්කමයි.. උඹ දැන් කොහොමම හරි මලිත්ව සනීප කරගන්නෝනි සාරදා … උබට ගෙවලා ඉවර කරන්න සෑහෙන්නම පවු ගොඩක් තියෙනවා.. ඒ කොල්ලට කරපු අපහාස වල ඉඳන්ම ……………….”

මිතුරිය එහෙම කියන්න කලින්ම සාරදා ඇගේ තීරනය අරගෙනයි තිබුණේ. 

” පින් ඔයාට මාව ජීවත් කරාට…”

ඇය මලිත්ට එහෙම කෙටි පණිවිඩයක් යවනවා..

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles