ආකාස මෝස්තර – 33

ඈත අහසේ තැන් තැන් වල විදුලි එළි දැල්විණ. අකුණක් පුපුරා යන ගෙරවිලි හඬ ද දුර ඈතකින් ඇසුණේ ය. ලොන්ඩරි වත්තේ මිනිසුන් ට වැස්ස වූ කලී සොඳුරු අත්විඳීමක් නොවේ. වැස්සක පෙර නිමිති දකිත්දී ඔවුන් ගේ පපු කුහර තුළ ගින්නක් ඇවිළේ. ඊළඟට එළඹෙන්නේ රෙදි කෑල්ලක් අපුල්ලා වේලාගන්නට බැරි වෙන දවසක් දැයි භීතියක් හදවත් කීරි ගස්වයි. ඒ නැත ද එතකොට ගේ ඇතුළට ද වහී. පින්නෙන් නැහැවේ. ගෙබිම බිං දිය උනා තෙත් වේ. බිම නිදන්නට බැරි වේ. ප්‍රශ්න කෝටියකි!

පාරුල් ඇඳට වැටී සිටියා ය. පාඩමක්වත් කරගන්නට ඇයට හිතක් නැත. පණක් නැත. හයියක් නැත. ඒ සියල්ලට හේතුව පසන් මගහැරී යාම නොවේ. ඇයට විසල් අසාධාරණයක් වූවා කියා දැනීම ය. එය හීනමානයක් වාගේ හැඟීමකි. සිය සහකරුට තවත් පෙම්වතියක සිටිනවා කියා දැනගැනීමටත් වඩා ඔහුට පෙම්වතෙකු සිටිනවා කියා දැනගන්නට වීම, ගෑනු හදක් මත පතිත වන්නා වූ දරුණු අකුණු පහරකි. පාරුල් ගේ හදවත මත පතිත වූ ඒ අකුණෙහි පීඩාවෙන් තවමත් ඇය ගිලන් වී හිඳී. එහෙම කම්පනයක් ඉක්මනින් තුනී වී යන්නේ නැත.

හැන්දෑවේ ඇය යළිත් කඳුළක් දෙකක් හැළුවා ය. ඒ කඳුළු වලට හේතුව දුක නොවේ. අහිමි වීමක් පිළිබඳ වේදනාව නොවේ. ආත්මානුකම්පාවයි. අන්තයට ම රැවටීමට ලක්වීම ගැන ආත්ම වේදනාවයි. උමා හැකි තරම් ඈ සනසා තබන්නට උත්සාහ කළා ය. දේවල් සිදු වන්නේ හොඳ ම විදිහට බව පුන පුනා කීවා ය. දැන් ඉතින් පසන් ට සිය බල පරාක්‍රමය පුරුදු පරිදි පැතිරිය නො හැකි වනු ඇත.  වෙන මොනවා නැතත් ඔහු ගෙන් දුරස් වීමට පාරුල් ට එනිසා පහසු වනු ඇත.

“කලබල වෙන්නෙපා අනේ. ඕකනෙ ඔයාට මුකුත් කියන්න බැරි”

මිදුලේ අඹ සෙවනේ බංකුව මත යන්තමින් හිඳ උමා චන්දුල ට ගතු කීවා ය. රිදී සේ ම ජුලී ද සිටියේ විවර වූ මුව වසාගත නො හැකි විශ්මිත බවක් තුළ ය. ඔවුන් ගේ සරල ලෝක වලට මේ කතා ඇදහිය නො හැකි තරම් ය. මිහි මත සිදු විය නො හැකි දේ ය.

“කොහොමත් පාරු හිටියෙ පසන් දොස්තරගෙන් අයින් වෙන්න විදිහක් නැතුව. අයින් වෙන්න ඕන කියල කිව්වත් ඒ මිනිහ ඒකට ඉඩ දුන්නෑ. තර්ජනේ කරල බලෙං පාරුව තියං හිටිය”

“දැන්ද ඕව කියන්නෙ…”

චන්දුල ගුගුළේ ය.

“ශ්…බෙරිහන් දෙන්නෙපා… අර කෙල්ලට ඇහෙයි. කලින් කිව්වත් ඔය වගේනෙ පරල වෙන්නෙ. ඒකනෙ පාරු වුණත් කියන්න බය වුණේ. ලොන්ඩරිවත්තෙ චණ්ඩිය වගේ ගිහින් දොස්තරට තග දාල එයි. අන්තිමට මොකද වෙන්නෙ… අර කෙල්ලටමනෙ ලැජ්ජාව. රාජයිය මේ වත්තෙ අපි ජීවත් වෙන පරිසරේ නෙවෙයි පාරු ඉන්නෙ. ඒක නිසා පිස්සු නටන්නනං හදන්නෙපා. දැං වුණත් මං මේක ඔයාට කියන්න හිතුවෙ පාරුගෙ ආරක්ෂාව වෙනුවෙන්. අපි හැමෝම ඇත්ත දැනගෙන හිටියෙ නැත්තං කෙල්ලගෙ හිත තවත් රිදෙන්න පුළුවන් නිසා. දැං ඔයා නැට්ට ගිනිගත්ත හනුමා වගේ ගිහිං හොස්පිට්ල් එකම ගිනිතියල එන්න එපා හරිද… මේව ප්‍රසිද්ධ කරගන්න ඕන කතා නෙවෙයි. දෙන්න ගැලපෙන්නැති නිසා වෙන් වුණා… එච්චරයි”

උමා කියවාගෙන ගියේ තර්ජනාත්මක අවධාරණයකිනි. චන්දුල සරමේ කොනක් අල්වාගෙන නො සන්සුන් ලෙස එහෙ මෙහෙ සක්මන් කළේ ය. රිදී ගේ ගැඹුරු ළිං වන් ඇස් වල පත්ලේ කඳුළක් උනා තිබිණ.

“දැං පැංචි ඉන්නෙ මඩ වතුර වගේ කැළතිලානෙ රාජො. ඒක නිසා අපි කලබල නොකර ඉමු. ටික දොහක් යනකොට මඩ වතුර වුණත් පෑදිල පතුල පේන්න ගන්නව. හැබැයි කැලතුණේ නැත්තං. ඒකනිසා අපි කෙල්ලට පාඩුවෙ ඉන්න අරිමු කලබල නොකර”

ජුලී රහසින් වාගේ කෙඳිරුවා ය. සිසිර වත්ත හැර ගිය දින වල රිදී සිටියේ ද මෙවන් කැළඹීමක බව ඇයට මතක තිබේ. රොන් මඩ පත්ලේ තැන්පත් වන්නට කාලයක් ගත වන බව ජුලී අත්දැකීමෙන් දනී.

චන්දුල ගෙට ගොස් යහන ළඟ නැවතී පාරුල් දෙස බලා සිටියේ ය. ඇය කොට්ටයක් තුරුලු කොටගෙන ඇස් පියා හිඳී. චන්දුල ගේ පපුව පැලෙන්නට ආවේ ය. කුළ ගොත් බෙදුම් නැති ලස්සන රටක දී ලස්සන මිනිසෙකුට ආදරය කරනා තුරු හදවත පරිස්සම් කරගන්නා ලෙස ඔහු නංගීට ඕනෑ තරම් කියා තිබේ. උගත් දොස්තර මහතෙකු ඇයව තෝරා ගත්දී ඔහු සහෝදරයා වශයෙන් සතුටු වූයේ අවංකව ම ය. ඒ හිත් බිඳීමකින් තොරව පාරුල් ගේ අනාගතය නිර්මාණය වූවා කියා සිතාගෙනයි. නමුත් ඇයට වැරදී තිබේ. ඒ කියන්නේ සහෝදරයා වශයෙන් ඔහුටත් වැරදී තිබේ. ඔවුන්ගේ අහිංසක මුළු පවුලට ම වැරදී තිබේ. උගුර පාමුල ම රිදුමක් හිර වී තිබුණත් චන්දුල පාරුල් ට කතා කරන්නට නො ගියේ ය. ඒ වෙනුවට සොල්දරයට නැගී කමිසයක් හඳිමින් ම පහළට ආවේ ය.

“මං ආප්ප ටිකක් අරං එන්නං”

ඒ දැනුම් දීම එතැන සිටි ගැහැනුන් තිදෙනා වෙතට ම වී ද ඔවුන්ට එය දැනුණේ තමන් වෙනුවෙන් පෞද්ගලිකව කළ දැනුම් දීමක් වශයෙනි.

ප්‍රේම සම්බන්ධයක් බිඳී යනවා කියන්නේ විවාහයක් කැඩී යන තරම් බරපතල වූවක් නොවේ. නමුත් රිදී ඇතුළු ගෙදර අයට මෙය දැනෙනුයේ ඊටත් වැඩිය බරපතල ලෙසයි. ඒ පාරුල් ඔවුන්ගේ ලෝකය ම වන බැවිනි. ඇගේ ලෝකය දෙදරා යනවා කියන්නේ ඔවුන්ට ජීවිතයක් නැතිව යනවා කියන එකට ය. එපමණට පාරුල් ඔවුන්ට වටී.

පසන් ඉරුගල්බණ්ඩාර කිහිප වරක් ම පාරුල් ට දුරකතන ඇමතුම් දෙන්නට උත්සාහ කළේ ය. දුරකතන තිරය එළිය වී එය හැඬවෙන්නට ගත්දී ම පාරුල් සම්බන්ධය බිඳ දැමුවා ය. ඇයට දැන් කතා කරන්නට දෙයක් නැත! මොනවා කියන්න ද? ඒ කිසිත් යළි කතා කරන්නේ කොහොම ද?

පසන් සිටියේ සිංහ හම ගැලවී ගිය බලු කුක්කෙකු සේ ය. නිකං ම නොව බඩ පොත්ත පිට පොත්තට ඇලී ගිය, ලොං හැලී දද කුෂ්ට මතු වූ, දුගඳ හැමීම නිසා හැම තැනෙකින් එළවා දැමෙන අනාථ සුනඛ ප්‍රාණියෙකු සේ අසරණව ය. රාත්‍රිය උදා වෙමින් තිබියදී ඔහු හිත හයිය කරගෙන දෙව්රූ ට ඇමතුමක් ගත්තේ ය.

“පොඩ්ඩක් තේරුං ගන්න දෙව්. මට ඕන වුණේ ඉක්මනට ඒ ජීවිතෙන් මිදිල ඔයා එක්ක ලස්සන අලුත් ජීවිතයක් පටං ගන්න. මං ඔයාට බොරු කළා නෙවෙයි දෙව්. එක අවස්ථාවක් දෙන්න මට”

කියා ඇය ඉදිරියේ කණ්ණලව් කරන්නට ඔහු සැදී පැහැදී සිටියේ ය. මීට පෙර කිසි දාක ඈ ළඟ එලෙස හැසිරී නැත ද දැන් එහෙම කළ යුතුව තිබේ. ඒ සම්බන්ධය බිඳී ගියතොත් රෝහලේ දන්නා හඳුනන අයට ප්‍රශ්නයක් වනු ඇත. ඔවුන් ඊට හේතු සොයනු ඇත. ඔහු නො කියා සිටිය ද පාරුල් එසේ කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. ඔහු කිහිප විටක් ම කතා කළේ ඒ රහස රෝහල තුළ හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටින්නටයි. නමුත් ඇය පිළිතුරු දුන්නේ නැත!

චන්දුල ආමර් වීදියට ගොස් බිත්තර ආප්ප ගෙන ආවේ ය. ඊයේ ගඟුල් ගේ සාදය මතක් නො කිරීම ගැන පාරේදී ශාරුක් දොස් කීවේ ය.

“හැම දේම කලබලේට වුණේ බං. අපි ඉතිං මොනාත් කළේ නෑ ගඟුල් සර් හැමදේටම මිනිස්සු එවල තිබුණ. ඕක උඹට කියන්න එන්න මතක් වුණේ නෑ. සොරි මචං”

චන්දුල කීවේ ඇත්ත ම කතාවයි. නමුත් බිත්තර ආප්ප ටික දමනා තෙක් ම ශාරුක් ගතු කීවේ ය.

“අනික අපේ පුද්ගලික පාටියක් නෙවේනෙ බං අපි ආරාධනා කරන්න. දැනගත්තනං උඹට එන්න තිබුණනෙ”

ආප්ප ටික ගෙන ආප්ප කඩයෙන් පිට වෙන ගමන් චන්දුල එසේ ද කීවේ ය.

පාරුල් ආප්ප කන්නට පිටතට ආවේ චන්දුල ද උමා ද දෙතුන් වරක් කතා කිරීමෙන් පසුයි. අද ඇය නිදන්නේ බත් නොකා බව චන්දුල ඉඳුරා දනී. උණ හැදී කෑම රුචිය නැති වී ගිය දාකත් බිත්තර ආප්පයක් නම් හෙමිහිට ලෑටි ගා වුව ඇය කෑවා ය. අදත් එහෙම කරනු ඇතැයි ඔහු සිතූ සිතිවිල්ල නිවැරදි විය.

ඒ හෝරා කිහිපයට පාරුල් හේබා ගොස් සිටියා ය. වැනි වැනී මිදුලට පැමිණි ඕ බිත්තර ආප්පයක් ගෙන රෝල් කරගත්තා ය.

“මාත් වැරදියි. කොච්චර දොස්තරයෙක් වුණත් මට ඒකා ගැන හොයන්න තිබුණා කියල දැං හිතෙනව ඕයි”

බංකුව මත හිඳ ආප්පය ලෑටි ගානා පාරුල් ගේ හිස මතින් සිය ලොකු අත තබා චන්දුල පශ්චත්තාප ස්වරයකින් මිමිණුවේ ය.

“අයිය මොනා කරන්නද… මටනෙ කලබලේ තිබුණෙ”

එය බිඳුණු හඬකි.

“හරි හරි දැං ඕක කනවකො. මෙතනිං එහාට මොනාද වෙන්නෙ කියල තීරණේ කරන්නෙ මම”

“මේ මේ. නිකං බොරුවට පැටලෙන්න ගිහින් මේ කෙල්ලට එතන ඉගෙනගන්න එකත් එපා කරන්න එපා රාජයිය. මටනං එච්චරයි කියන්න තියෙන්නෙ”

උමා මැද්දෙන් පැන්නා ය. පාරුල් ගේ ඇස් මත වූයේ භීතියක සේයා වේ.

“කරන දෙයක් කරන්නෝනෙ මොළෙං. නගරාධිපතිතුමාට කිව්වනං එක ලියුමෙං ට්‍රාන්සර් කරන්න පුළුවන්. දැන්නං මං හිතන්නෑ කොහොමත් එයා බලෙං පාරුව තියාගන්න බලයි කියල. හැංගෙන්න තැනක් නැතුව ඇත්තෙ”

“ඕක මගෙං කනව කොහොමද දන්නවද…”

චන්දුල අත මිට මොලවමින් දත්මිටි කෑවේ ය. උමා ඔහු ට රවමින්, යහන මත හැඬවෙන පාරුල් ගේ දුරකතනය ගෙනෙන්නට ගියා ය.

“නගරාධිපතිතුමා කතා කරන්නෙ. මං තේ හදන්නං. ඔයත් ඇවිත් ආප්ප කන්නකො රාජයියෙ”

උමා ට උවමනා වූයේ පාරුල් ට තනිව ගඟුල් සමගින් කතා කරන්නට අවස්ථාව සලසා දෙනු වස් චන්දුලව ගෙතුළට කැඳවන්නටයි. ඔහු ඇයට කීකරුව ගෙතුළට ගියේ ය. පාරුල් අන්තිම මොහොතේ දී දුරකතනය ට පිළිතුරු දුන්නා ය.

“මං හිතුව නිදි කියල”

ගඟුල් මඳහස් සරකින් මිමිණුවේ ය.

“ම්හු”

“කෑවද…”

“කන්න බෑ. ඒත් අයිය මේ බිත්තර ආප්ප ගෙනත්… බලෙං වගේ එකක් කනගමං”

“හිස් බඩ නිදියන්නෙපා”

බඩ පපුව දැවීගෙන යනවා පාරුල් ට දැනිණ. ඇය මුව මඳක් විවර කොට, හඬක් නො නැගෙන තරම් හෙමිහිට හුස්මක් ගත්තා ය.

“මට හෙට ෆැකල්ටි එකට යන්නත් බැරිවෙයි වගේ”

ඒ හුස්මෙහි කෙළවර ඕ මුමුණා ගත්තා ය.

“ඒකට කමක් නෑනෙ. හෙට රෙස්ට් කරන්න”

“තෑන්ක් යූ… ඒ වෙලාවෙ මාත් එක්ක හිටියට. ඒ වෙලාවෙ මං මැරෙයි කියලමයි මං හිතුවෙ”

“ඔයාට ඕනවෙන ඕන වෙලාවක මං ඉන්නව”

ඒ කෙටි දුරකතන සංවාදයෙන් පස්සේ ගඟුල් වහා ක්‍රියාත්මක වී පසන් ඉරුගල්බණ්ඩාර ගේ දුරකතන අංකය සොයා ගත්තේ ය. ඔහු මේ මොහොත අපේක්ෂාවෙන් සිටියා සේ පසන් ඇමතුවේ ය.

“පාරුල්ගෙන් ඈත් වෙලා ඉඳපං. මීට පස්සෙ ඒකි දිහා බලලවත් තිබුණොත්… මං උඹේ ඇස් උගුල්ලනව”

කර කියාගන්නට යමක් නොමැතිව පසන් ගොළු ගැහී සිටියේ ය.

“පාරුල් උඹට කැමැත්තෙන් උඹ ළඟ ඉන්නව ඇති කියලයි මං උඹේ ලොකු සීන් ඉවසං හිටියෙ. හැබැයි මීට පස්සෙ එහෙම නෑ. උඹ නරක මිනිහෙක් කියල හිතං ඉන්නවනං… මං ඊට වැඩිය හුඟාක් නරක මාරම භයානක මිනිහෙක්. ඒක නිසා…පරිස්සං වෙයං”

ගඟුල් දුරකතන සම්බන්ධය බිඳ දමනා තුරාවට පසන් එක වචනයකුදු කතා කොට නො තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles