කේරළ ක්‍රමයට පිටි නැතිව ඉඳි ආප්ප හදමු

ඉඳි ආප්ප කියන්නෙ අපේ රටේ හරිම ජනප්‍රිය කෑමක්නෙ.

පොල් සම්බෝල එහෙමත් නැත්නම් කොච්චි සම්බෝල එක්ක ඉඳි ආප්ප පහක් හයක් මැදි කරල කැන්ද කොළේ ඔතපු ඉඳිආප්ප මුලක තිබ්බ සුවඳ කවදාවත් අමතක කරන්න අපිට බෑ. 

පොළොස්, මස්, මාළු, අල වගේම පරිප්පු හොඳි එක්ක වුනත් එක විදිහට රස විඳින්න පුළුවන් ඉඳි ආප්ප කියන්නෙ අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ හරිම ප්‍රසිද්ධ කෑමක්.

හැබැයි, හාල් පිටි හෝ පාන් පිටි නැතුව ඉඳි ආප්ප හදන විදිහ ඔබ දන්නවද?

එන්නකෝ. ඔන්න ඉතිං අපි අද ඔබට කියල දෙන්නෙ පිටි නැතුව බොහොම ඉක්මණින් පහසුවෙන් ඉදිආප්ප හදාගන්න කේරළ ක්‍රමය ගැනයි.

මුලින්ම අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල බලල ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝප්ප 01 ක්

වතුර කෝප්ප 01 ½ ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක්

තෙල් තේ හැඳි ¼ ක්

තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිපතබා එයට වතුර කෝප්ප 01 ½ ක්, ලුණු කුඩු තේ හැඳි ½ ක් සහ තෙල් තේ හැඳි ¼ ක් එකතු කර හොඳින් කලවම් කරන්න. 

භාජනයේ පතුලේ සිට කුඩා බුබුළු ඇතිවී වතුර හොඳින් රත්වන තුරු තබන්න.

තෙල් ආලේප කර ඉඳි ආප්ප තට්ටු සහ ඉඳි ආප්ප වංගෙඩිය සූදානම් කර තබාගන්න. 

රත්වූ වතුරට රුලං කෝප්ප 01 දමා හොඳින් කලවම් කරන්න. 

රුලං වලට වතුර හොඳින් උරාගෙන රුලං මිශ්‍රණය භාජනයේ නොගෑවෙන ගුලියක් සෑදෙන තුරු විනාඩි 03 ක් පමණ හොඳින් කලවම් කරමින් තබා ලිප නිවාගන්න.

පිඟානක තෙල් ආලේප කර රුලං මිශ්‍රණය ඒ මතට දමා තෙල් ආලේප කරගත් අතින් තද කරමින් අතේ නොඇලෙන මිශ්‍රණයක් සාදාගන්න.  

දැන් නැවත අතේ තෙල් ආලේප කරගෙන සාදාගත් රුලං මිශ්‍ර ගුලිය කුඩා කොටස් 04 කට පමණ වෙන් කරගන්න. 

ඉඳි ආප්ප වංගෙඩියට රුලං කොටස බැගින් දමමින් ඉඳි ආප්ප මිරිකා ගන්නා සාමාන්‍ය ආකාරයටම ඉඳි ආප්ප තට්ටු මතට මිරිකා ගන්න. 

ඉඳි ආප්ප මිරිකා සූදානම් කරගත් ඉඳි ආප්ප තට්ටු ස්ටීමරයේ අසුරා ගන්න.

සාමාන්‍ය උෂ්ණත්වයේ විනාඩි 05 ක් 06 ක් පමණ තම්බා ගන්න.

තැම්බුනු පසු තට්ටු වලින් ඉවත්කර පොල් සම්බෝල හෝ ඔබ කැමති හොදි ව්‍යාංජනයක් සමඟ උණුසුම්වම පිළිගන්වන්න.

ඉඳි ආප්ප කැබලි වලට කඩා අබ, ලූනු, අමු මිරිස්, කරපිංචා සහ ඔබ කැමති මස් හෝ මාළු වර්ගයක් සමඟ තෙම්පරාදු කරන්න වුනත් පුළුවන්.

එහෙමනම්, හදල බලමුද පිටි නැතුව ඉඳි ආප්ප?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles