බඩ පේන්නෙ නැතිවෙන්න ඇඳුම් අඳින්නෙ කොහොමද දන්නවද?

ව්‍යායාම හිඟබව, ශරීරයට අහිතකර ආහාර පුරුදු, ජාන සම්භවය, විවිධ සෞඛ්‍ය සහ හෝමෝන ගැටළු නිසා කැපීපෙනෙන හෝ එල්ලා වැටෙන බඩක් ඔයාටත් තියෙනවද?

ඔබ මොන වයසක කෙනෙක් වුනත්, මොන විදිහෙ ඇඳුමක් ඇන්දත් ඇඳුමෙ ලස්සන හෝ ඔබේ සුන්දරත්වය පරාද කරල බලන ඕනැම කෙනෙක්ගෙ අවදානය ඔබේ බඩ ප්‍රදේශයට යොමුවෙනව නම්, එයින් ඇතිවෙන අපහසුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 

හැබැයි නවීන විලාසිතා ලෝකයේ මේ හැමදේටම හරිම සරල වගේම ප්‍රත්‍යක්ෂ විසඳුම් තියෙන නිසා මේ ගැන ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ. 

අන්න ඒ විදිහට බඩ පේන්නෙ නැතිවෙන්න ඇඳුම් අඳින්නෙ කොහොමද කියල ඔබව දැනුවත් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමුද කොහොමද ඒ කියල?

කකුල් පේන්න අඳින්න

දණහිසෙන් උඩට ඇති කෙටි ගවුම්, ඔබේ බඩ ප්‍රදේශය සඟවන්න ඉතාම සුදුසු විලාසිතාවක් බව ඔබ දැනන් හිටියද?

ඒ මඟින් කකුල් දික්ව පෙන්වීම, පපු ප්‍රදේශය සහ උකුළ ප්‍රදේශය හැඩැතිව පෙන්වීමත් ශරීරය උස්ව පෙන්වීමත් සිදුකරනවා. 

කෙටි ගවුම් සමඟ, සමේ පැහැයට සමීප, අඩි උස පාවහන් පැළඳීම වඩා හොඳ පෙනුමක් ඔබට එකතු කරනව කියලත් අපි මතක් කරන්න කැමතියි. 

එකම පාටින් අඳින්න

ඇඳුමක උඩ සහ යට කොටස එකම පාටකින් හෝ එකම මෝස්තරයකින් ඇඳීම අද වෙද්දි ඉතාම ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියෙන බව ඔබ දකිනව ඇතිනෙ. 

ඔන්න බඩ පේන නිසා විලාසිතා කිරීම අතහැර දාල ඉන්න ඔබට මේ විලාසිතාව ඉතාමත් හොඳින් ගැළපෙනව කියල අපි කියන්නෙ බොහොම සතුටෙන්. 

මේ විලාසිතාව නිසා ඔබේ බඩ ප්‍රදේශය වෙනම කැපි පෙනීම සිදුවෙන්නෙ නෑ. 

ඒ වගේම ශරීරය නොකැඩුනු රේඛාවක් සේ ශරීරය උස්ව පෙන්වීමත් සිදුකරනවා. 

තිරස් මෝස්තර සහිත දිග ඇඳුම් අඳින්න

තිරස් මෝස්තර වලිනුත් ඔබේ ශරීරයේ බඩ ප්‍රදේශයේ ඇති මහත අඩුකර පෙන්වන්න ලබාදෙන්නෙ හොඳ සහයෝගයක්. 

දෙපතුල් දක්වාම උස එකම වර්ණයෙන් හෝ තිරස් මෝස්තර වලට ඔබේ සිරුර සිහින් කර පෙන්වනව වගේම උස පෙනුමකුත් ලබාදෙන්න හැකියාව තියෙනව. 

දිග ගවුම්, කුර්තා සහ jumpsuit මේ සඳහා හොඳින්ම ගැළපෙනවා. 

ජැකට් පැළඳීම

ඔබ ඇඳ සිටින වර්ණයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වර්ණයකින් විවෘත ජැකට් පැළඳීමත් බඩ ප්‍රදේශයට අවධානය යොමු කරවන්න භාවිතා කරන්න පුළුවන් ඉතාම හොඳ උපක්‍රමයක් කියලයි සඳහන් වෙන්නෙ. 

එමඟින් ශරීරයේ පළල් ස්වභාවය අඩුකර පෙන්වීම සිදුවෙනවා.  

බොත්තම් පේළි දෙකක් යෙදූ වසන ලද ජැකට් පැළඳීමත් බඩ ප්‍රදේශයේ පළල අඩුකර පෙන්වන්න වගේම බඩ ප්‍රදේශයට යොමුවෙන අවධානය අඩුකරන්නත් සමත් වෙනවා. 

ඇඳුම් යට කරන්න එපා

ඔබේ ඇඳුමේ උඩ කොටස ඇඳුමේ යට කොටස වන කලිසමට හෝ සායට යට කිරීම මඟින් අනවශ්‍ය අවධානයක් ඔබේ බඩ ප්‍රදේශයට යොමුවෙනව වගේම බඩ ඉදිරියට නෙරා එන බව වැඩිකර පෙන්වන්නත් හේතු වෙනවා. 

ඒ නිසා ඇඳුම් වල උඩ කොටස යට නොකර අඳින්න පුළුවන්. දිගු උඩ ඇඳුම් වලට ඔබ අකමැති නම් බඩ ප්‍රදේශය වැසෙන ප්‍රමාණය දක්වා දිගු ඇඳුම් තෝරා ගන්න ඔබට පුළුවන්. 

උඩින් ලොකුවට යටින් හිරට

උඩ ඇඳුම් ඒ විදිහට තරමක් ලිහිල්ව කෙටිව අඳිද්දි යට ඇඳුම විදිහට අඳින කලිසම ඇඟේ හැඩයට හිරට අඳින්න ඔබට පුළුවන්. 

එවිට උකුළ ප්‍රදේශය පළල්ව හොඳ පෙනුමකින් පෙන්වන නිසා බඩ ප්‍රදේශයට යොමුවෙන ආකර්ෂණය අඩුවීමත් සිදුවෙනවා. 

මේ සඳහා straight හෝ skinny වර්ගයේ කලිසම් තෝරගන්න ඔබට පුළුවන්. 

අවධානය වෙනතකට

බඩ ප්‍රදේශයට අවධානය යොමුවීම වළක්වන තව එක් ක්‍රමයක් තමයි අවධානය වෙනස් කිරීම. 

ඔබේ ඇඳුමේ අත්, බෙල්ල හෝ යට කොටස සඳහා යම් සැරසිල්ලක් එක්කිරීම, තරමක් විශාල මාලයක් වැනි ආභරණ පැලඳීම, රතු හෝ වෙනත් ආකර්ෂණීය වර්ණයක තොල් ආලේපන, ගැඹුරු කර යෙදූ ඇඳුම් හෝ වෙනස් වර්ගයක අත් බෑගයක් පළඳින්න ඔබට පුළුවන්. 

බඩ ප්‍රදේශය නිසා විලාසිතා කිරීම සීමා කරල ඉන්න ඔබට මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

ඒත් ඔබේ සිරුරේ හැඩය ගැන ඔබ තෘප්තිමත් නම් ඔබ කැමති විදිහට විලාසිතා කරන්න කාගෙන්වත් බාධාවක් නැතිබවත් ඔබට අපි ආදරෙන් මතක් කරන්න කැමතියි. 

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles