ඔක්සිජන් ෆේශල් එකක් කරන්න කලින් ඔබ දැනගත යුතුම කරුණු..

ඔක්සිජන් ෆේශල් , ඔක්සි ට්‍රීට්මන්ට් කියන්නේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය වෙමින් පවතින රූපලාවණ්‍ය සත්කාරයක්.ඔබේ සමේ සෛල නීරෝගීව පෝෂණය වීමට ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා.මෙම සත්කාරය මගින් ඔබේ සමේ ගැඹුරුම ස්තර වලට ඔක්සිජන් ලබාදීම සිදු කරනවා. සාමාන්‍ය රූපලාවන්‍ය සත්කාර වලට වඩා එහා ගිය පියවරයන් සහ ප්‍රතිලාභ වලින් සමන්විත මේ සත්කාරයෙන් ඔබට ලැබෙන වාසි ගැනයි අද අපි කතා කරන්නේ. 

ඔක්සිජන් ෆේශල් එකක් කියන්නේ මොකද්ද ? 

මෙම සත්කාරය මගින් ඔබේ සමේ කොලජන් වර්ධනය වැඩි දියුණු කිරීම වගේම සම පෝෂණය කිරීම සහ සම පැහැපත් කිරීම වැනි ප්‍රතිලාභ ප්‍රධාන වශයෙන් ලබා දෙනවා. මෙහිදී ඉතාම කුඩා යන්ත්‍රයක් මගින් ඔබේ සමේ පිටත තට්ටුව වෙත ඉතා සාන්ද්‍රිත ඔක්සිජන් අණු  ඉසීම සිදු කරනවා. මෙම ඔක්සිජන් අණු වල විටමින් , ඛනිජ ලවන සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා . ඒවගේම මෙම සත්කාරය කිරීමේදී එම ඔක්සිජන් අණු  බෙල්ලට සහ මුහුණට යෙදීම සිදු කරන අතර ඔබට ක්ෂණික ප්‍රතිඵල වගේම දිගු කාලීන ප්‍රතිඵල අත්දකින්නට හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ෆේශල් එකකින් ලැබෙන ප්‍රතිලාභ මොනවද ? 

  • කොලජන් නිෂ්පාදනය වැඩි කරයි 

කොලජන් යනු සෛල එකට ඇලී සිටින ප්‍රෝටීනය වන අතර එමගින් ඔබේ සමට ශක්තිය සහ ප්‍රත්‍යස්ථතාවය ලබා දෙනවා. සමේ කොලජන් නිෂ්පාදනය දුර්වල වන විට සමේ රැළි ඇතිවීම සහ වියපත් වීමේ ලකුණු පෙනීම ආරම්භ වීම සිදු වෙනවා. ඔක්සිජන් ෆේශල් එකකින් ලැබෙන විශාලම ප්‍රතිලාභය නම් එමගින් ඔබේ සමට ලබා දෙන කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සහ ශක්තිමත් කිරීමයි.එමගින් ඔබේ සමේ නිෂ්පාදනය දිගුකාලීනව ශක්තිමත් කරන නිසා සම රැලි වැටීම සහ වියපත් වීම ඉතා හොඳින් පාලනය කරනවා.

  • සමේ විෂ ඉවත් කරයි 

ඔක්සිජන් ෆේශල් සමට ඔක්සිජන් , පෝෂ්‍ය පදාර්ථ සහ විටමින් ලබා ගැනීමට උපකාරී වෙනවා. එහිදී භාවිතා කරන Hyloronic serum එක මගින් ඔබේ සමේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඉහළ නංවනවා.පරිසර දූෂණය , සම හිරු එළියට නිරාවරණය වීම සහ විවිධ ආහාර නිසා සමට ඇතිවන බලපෑම් ප්‍රතික්ෂේප කිරීම මෙහිදී සිදු වෙනවා.

  • සෛල නිපදවීම වේගවත් කිරීම 

අපගේ සමේ සෛල වලට ඇති ආයු කාලය ඉතාම සීමිත වනවා. යම් කාලයක් ඇතුළතදී ඒවා මිය යන අතර නව සෛල ප්‍රති ජනනය  කිරීම සිදු වෙනවා.සෛල ප්‍රති ජනනය සඳහා ඔක්සිජන් ඉතාම වැදගත් වනවා. ඊට අමතරව කුරුලෑ සුව කිරීම සහ කුරුලෑ කැලැල් සුව කිරීමත් මෙහිදී සිදු කරනවා.ඔක්සිජන් ෆේෂල් මගින් ඔබේ සමේ සෛල වලට ඔක්සිජන් අමතර මාත්‍රාවක් ලබා දෙන අතර එමගින් සෛල නිපදවීම වේගවත් කරනවා.

  • සමේ තෙතමනය ආරක්ෂා කරයි

සම හිරු එළියට නිරාවරණය වීම , දූවිලි සහ පරිසර දූෂණය , විවිධ ආලේපන වර්ග , මානසික ආතතිය වැනි තත්ත්වයන් නිසා ඔබේ සම වියලීමට ලක්වීම සහ ස්වාභාවික තෙතමනය නැති වී යාම සිදු වෙනවා.විශේෂයෙන්ම ඔබ ස්වභාවයෙන්ම වියළි සමක් සහිත අයෙක් නම් මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ තිබෙනවා. ඔක්සිජන් ෆේෂල් එකකදී ඔබේ සමට ඇතුළත් කරන Hyloronic අම්ලය ඔබේ සමට ගැඹුරින්ම තෙතමනය ලබා දෙනවා.එමගින් සමේ pH අගය යථා තත්ත්වයට පත් කිරීම සහ තම හිරු එළියෙන් ආරක්ෂා කිරීමද සිදු කරනවා.  

  • සම දීප්තිමත් කරයි 

ඔක්සිජන් ෆේෂල් මගින් සමේ ඉහළ ස්තරයේ ඇති සියලුම අපද්‍රව්‍ය ඉවත් කර ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරනවා.මෙහිදී භාවිතා කරන Hyloronic acid එක හෝ සීරම් එක සමේ ඉහළ ස්තරයේ ඇති සියලුම මියගිය සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම අවහිර වූ සිදුරු විවෘත කරමින් සමට ස්වභාවික ලෙස ඔක්සිජන් ලැබීමට සලස්වනවා.

  • අතුරු ආබාධ නොමැති වීම. 

සමහර ෆේෂල් සත්කාර සිදු කිරීමෙන් පසුව සම කැසීම , රතු වීම , බිබිලි දැමීම,  ඉදිමීම සහ  දැවිල්ල යන අතුරු ආබාධ ඇති වෙනවා. නමුත් ඔක්සිජන් ෆේෂල් වලින් එවැනි කිසිදු අතුරු ආබාධයක් නොමැති අතර රසායනික සත්කාර කිරීමට අකමැති අයට සහ සංවේදී සමක් සහිත අයට මෙම සත්කාරය ඉතාම සුදුසුයි.

සාමාන්‍ය ෆේෂල් එකකට වඩා ඉක්මන් සහ දිගු කාලීන ප්‍රතිඵල ලබා දෙන මේ ඔක්සිජන් ෆේශල් පියවර ගණනාවක් ඔස්සේ නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන සිදු කරනවා. ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි සත්කාරයක් කිරීම සඳහා  සුදුසුකම් සහ පලපුරුද්ද සහිත රූපලාවන්‍ය ශිල්පියෙකු හෝ සම පිළිබඳව විශේෂඥයෙකු තෝරා ගන්න. 

Related Articles

Don't Miss


Latest Articles