ගඟුල් විජයවීර නගරාධිපතිවරයා උදයෙන් ම අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ටික අවසන් කළේ ය. ඊළඟට ඒ මේ අතට ඇමතුම් කිහිපයක් ගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ආශ්‍රිතව වන නීති උපාධි පාඨමාලා ගැන විපරම් කොට බැලුවේ ය. ඔහු තුළ හදිසි උනන්දුවක් ඇති වී තිබේ. අතරමග නතර වූ උසස් අධ්‍යාපනය ගැන ප්‍රථම වතාවට පසුතැවීමක් ද ඔහු තුළ එහෙ මෙහෙ වෙමින් පැවතිණ.
සමාජ විද්‍යා අංශයෙන් ජාතික විශ්ව විද්‍යාලයක සිදු වෙමින් පැවති ඔහු ගේ උසස් අධ්‍යාපන කටයුතු ඇනහිටිනුයේ හදිසියේ ය. ඒ සිය කණ්ඩායමේ ගම්බද සිසුවියකට වූ අසාධාරණයක් අරබයා දේශකවරයෙකු සමගින් ඇති වූ ආරවුලක් නිසාවෙනි. එකී ආචාර්යවරයා ගමෙන් පැමිණි අවිහිංසක සුරූපිනියක වූ යුවතිය සමග ඇසුරක් ඇති කොටගෙන සිටියේ ය. ප්‍රේම සම්බන්ධයෙන් නො නැවතී ඈ සිය ලිංගික සහකාරිය වශයෙන් ද පොළඹවා ගත් හෙතෙම, ඇය ගැබිණියක බව දැනගත් වෙලාවේ මගහරින්නට උත්සාහ කළේ ය. සිය කණ්ඩායමේ සහෝදරිය වෙනුවෙන් යුක්තිය ඉටු කොට දෙන්නට ගඟුල් ට අවැසි විය. ඒ කාලේ ඔහු කොහොමත් ආවේගශීලී ය. නොයෙකුත් අවස්ථා වල ඒ ආවේගශීලීත්වය නිසා ගැටුම් ඇති කොට ගෙන තිබේ. ඒ ගැටුම් වලට විශේෂ ප්‍රචාරණයක් ලැබුණේ ගඟුල් විජයවීර වූ කලී සුරත් විජයවීර ගේ පුත්‍රයා වූ බැවිනි. සමාජගත වූයේ ගඟුල් සිය පියා ගේ දේශපාලන බලය සියතට ගෙන මැරකම් වල නියැලෙනා දඩබ්බර ඇමති පුත්‍රයෙකු සේ ය. නමුත් ඔහු ගැටුම් ඇති කරගත්තා නම් ඒ අසාධාරණයක් සිදු වෙන තැනෙක සාධාරණත්වය වෙනුවෙනි.
විශ්ව විද්‍යාල ආචාර්යවරයා තරුණිය ගැබ්බර කොට මගහැර යාමට තැත් කළ අවස්ථාවේ, කතා බහක් දුර දිග ගොස් ගඟුල් ඔහු ට පහර දුන්නේ ය. ශිෂ්‍යයෙකු විසින් ආචාර්යවරයෙකුට පහර දීමේ චෝදනාව මත ගඟුල් තාවකාලික පන්ති තහනමකට ලක් විය. නමුත් යළි එහි අඩිය නො තබන්නට ඔහු හිතුවක්කාර තීරණයක් ගත්තේ ය.
ඒ දඩබ්බර යෞවනය සිහි වන විට මේ මොහොතේත් ඔහු ගේ මුවග රැඳී පවතිනුයේ හිතුවක්කාර සිනහවකි. නමුත් ඉන්පසු අම්මා කෙතෙක් පැවසී ද යළි පිළිසකර කර නො ගත් උසස් අධ්‍යාපනය මේ මොහොතේ ඔහු ට අත්‍යවශ්‍ය වී තිබේ!
පාරුල් දෙව්රූ ඇල්ලගේ වූ කලී දුර කඳු මුදුනක පිපි කුසුමක් නම්, ඇය වෙත අවතීර්ණ වීමට වන දුෂ්කර මාර්ගය මඳින් මඳ පැහැදුල් වෙමින් තිබෙනා බවක් ගඟුල් ට දැනේ. නමුත් ඒ ගමන යත්දී ඔහු ඊට සුදුස්සෙකු වී පැවතිය යුතු වේ.
පාරුල් දවල් වනතුරු නිදාගත්තා ය. පාඩම් කරනු වස් ඇය අවදි කරවීමට රිදී උත්සාහ කළ අවස්ථාවේ එය වලකාලූයේ චන්දුල ය.
“මොන පාඩංද… ඔන්න ඔහෙ නිදාගත්තදෙං. විභාගෙ ෆේල් වුණොත් ආයෙ කරනව. එච්චරනෙ”
නින්දේ සේ සිටියාට පාරුල් ඒ අසාගෙන ය. ඇය වෙත නින්ද ළඟා වූයේ රාත්‍රියේ අවසාන භාගයේ දී යි. ඒ නිසා පාන්දර යාමයේ තදින් නින්ද ගියේ ය. මැදියම් රැයක් වනතුරු ම හිත මත බරක් වී යමක් පැවතිණි නම් දැන් ඒ බර මුළුමනින් පහ ව ගොසිනි. පාරුල් සැහැල්ලුවෙන් අවදි වූවා ය. ජුලී තනා දුන් තේ එකත් ගෙන ඕ අඹ සෙවණට ගියේ ඒ සැහැල්ලුවෙනි. අඹ කොළ අතරින් රිදී හිරු රැස් ගලා හැලෙමින් තිබේ. මීට ටික කාලයකට පෙර, පසන් ගේ බල අධිකාරියට යටත් වීමට පෙර හිතේ වූ සැහැල්ලුව මෙය ම බව ඇයට විශ්වාස ය. යළිත් ඒ දවස් උදා වී තිබේ. ආයේ කවදාවත් ම නො පැමිණෙතැයි සිතූ ඒ දවස් නැවතත් එළඹ තිබේ. බැඳීම් කියන්නේ ඒ තරමින් ආත්මයන් කූඩු කරනා සිර මැදිරි වලට ද? කෙනෙකු නීතියෙන් බැඳිය යුත්තේ හදවතින් බැඳිය හැකි කෙනෙකු සමගිනි. එසේ නොවනා තැන බැඳීමට වඩා නො බැඳී හිඳීම ආත්මීය ශාන්තිය ඇති කරයි.
දේශන මගහැරීම ගැන පාරුල් නො සිතා ම සිටියා ය. දිය නාගෙන උමා සමගින් කෝවිලට ගිය ඕ කාලි මෑණියන් ගැන විශ්වාසය තවත් තහවුරු කොට ගත්තා ය. දෙමිතුරියෝ අතිනත් පටලාගෙන රෙදි වැල් අතරේ ඇවිද්දහ. පොඩි කාලේ ඔවුන් හැංගිමුත්තන් සෙල්ලම කළේ වේලෙන්නට වනා ඇති රෙදි අතරේ මුවහ වී ය. කෙල්ලන් ගේ කිකිණි සිනා වලින් රෙදි වේලන ඉසව්ව පිරී ගියේ ය.
“රාජාගෙං දැං බැනුං අහනව” කියා සිතුවාට රිදී ඒ ගැන පාරුල් ට මතක් කරන්නට ගියේ නැත. ඇස් කොනෙන් වාගේ පාරුල් හා උමා ගැවසෙන ඉසව්ව දෙස බැලුවාට චන්දුල ද කිසිත් නො කියා සිටියේ ය. පොඩි දරුවෙකු හඬතැයි බියෙන් රිසි දෙයක් කරගන්නට හරිනා වැඩිහිටියන් සේ, පාරුල් ගේ බිඳුණු හිත හැදෙනා තුරාවට ඇය රිසි දෙයක් කරගන්නට ඉඩ හැර ඔහු නිහඬ වූයේ ය. මේ තරමින් ඇය සිනා සී හිඳීමත් ඔවුන්ට සැනසිල්ලකි. නටාෂා සමග සිය පෙම් සබඳකම බිඳුණු කාලේ ඔහු පිස්සු නැටූ සෙයින් නංගී එහෙම නො කිරීම ගැන චන්දුල ට සිතා ගන්නට නුපුළුවන් වී ද ඔහු ට එය මහත් සැනසීමකි.
එදා පසන් රෝහල් සේවයට වාර්තා නොකොට ලෙඩ නිවාඩුවක් ගත්තේ ය. පාරුල් ද දේශන වලට පැමිණ නො තිබූ නිසා වෛද්‍ය සිසු සිසුවියන්ට සිනහ වෙන්නට සරදමක් ලැබිණ.
“දෙන්නත් එක්ක වල් ටුවර් එකක් ගිහිං අද”
ඔවුහු පාරුල් ගේ දුරකතනය එවැනි විහිළු පණිවිඩ වලින් පිරවූහ.
“පිස්සු අනේ මං ගෙදර”
ඇය උමා සමගින් පින්තූරයක් ගෙන මිතුරියන් ට යැව්වා ය.
ගඟුල් ට කතා කරන්නට හිතුණ කිහිප විටෙක ම පාරුල් ඒ සිතිවිල්ල යටපත් කොට ගත්තේ ඔහු ට වැඩ ඇතියි සිතා ය. සැබවින් ඔහු අතිශය කාර්ය බහුල වූයේ ය. නමුත් සිය ධූරය හොබවන කාලසීමාව තුළ රජයේ පැත්තෙන් නාගරික ප්‍රජාව වෙත ඉටු විය යුතු යුතුකම් වගකීම් කොටස සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ඉටු කොට තැබීමේ බලවත් අවශ්‍යතාවය ඔහු ට විය. ඒ සඳහා ඔහු සියල්ල කොනක සිට පටන් ගෙන තිබිණ. කිසිවක් මගහැර නොගෙන සෑම අස්සක් මුල්ලක් ම ඔහු ගේ නිරීක්ෂණයට හා අධීක්ෂණයට ලක්වූයේ ය.
රාජ්‍ය හා රජයට අනුබද්ධ කාර්මික අධ්‍යාපන ආයතන වල නව අධ්‍යයන වර්ෂය සඳහා වන පාඨමාලා වල ලයිස්තුවක් ලබාගත් ඔහු, මහ කොළඹ නගර සභා සීමාවේ වන අඩු ආදායම්ලාභී පුද්ගලයන් ජීවත් වන වතු වෙතට සිය ආයතනයට සම්බන්ධ සේවක පිරිසක් පිටත් කොට යැව්වේ ය. ඒ, වයස් සීමා සම්පූර්ණ කොට ඇති හා උසස් අධ්‍යාපනයට යොමු නොවූ තරුණ පිරිසට වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන දැනුවත් කරනා ලෙසටයි. නමුත් ඔහු ලොන්ඩරි වත්ත වෙත කිසිවෙකු පිටත් නො කළේ ය. ඔවුන්ගේ පරම්පරා රැකියාව රෙදි සේදීම නිසා එසේ කළා යි කෙනෙකු සිතන්නට ඇත. නමුත් ගඟුල් ගේ සිතේ වූයේ රාජකාරී අවසන් වීමෙන් පසුව හෝ ඔහු ම එහි යන අදහසයි.
පාරුල් දකින්නට තිබුණා නම් හොඳ යයි යටි හිත කිහිප විටක් ම මතක් කොට සිටියේ ය. නමුත් ගඟුල් හිතට ඉඩ නො දුන්නේ පාරුල් එය වරදවා සිතනු ඇතැයි බියෙනි. මේ මොහොතේ ඇය සිත රිදුවාගෙන හිඳී. හදවතේ ඒ තුවාල සනීප වෙන්නට හෙමිහිට අවස්ථාව දිය යුතු වේ. මේ වෙලාවේ ඔහු අනවශ්‍ය කරදරයක් සේ ඇයට නො දැනිය යුතු වේ. එබැවින් අනවශ්‍ය ලෙස ඇයට ඇමතුම් නො ගන්නට ද හෙතෙම කල්පනාකාරී වූයේ ය.
ගඟුල් ගේ රිය පාරුල් ගේ ගෙදොරකඩ නැවතෙන විට උමා හා පාරුල් බංකුව මත හිඳ පසන් ගේ පෙම්වතා ගැන කියවමින් සිටියහ. උමා ඒ සම්බන්ධය විහිළුවකට ගෙන සිනහ වී ද පාරුල් ට සිනහ වෙන්නට හෝ සිහිපත් වූවා නොවේ. වැහි ඇඳිරියක් කුර ගගා එමින් තිබිණ. තද අළු පාට ඝණ වලා පෙළක් මහ කඳු යායක් සේ අහස් ඉම පහළ සීමාවේ ලැගුම් ගෙන සිටියේ ය. බැස යන හිරු ගේ වර්ණවත් කිරණ පරාවර්තනය වීම නිසා මුදුන් අහසේ පෙඳ වලාකුළු ලා රෝස පාට විචිත්‍ර මෝස්තරයක් මවාලූයේ ය. දුර ඈතක වහිනා වැස්සක සිසිල වඩාගෙන පැමිණි මඳ සුළඟක් නො කියා කීවේ මේ ඉසව්වටත් වැස්ස නුදුරු බවයි.
ඒ මන්දාරම් පසුබිමෙහි ගඟුල් විජයවීර ඔවුන් වෙතට පිය තැබුවේ රත්තරං පාර හිරු එළියක් වාගේ ප්‍රභාශ්වරයක් විහිදවමි. උමා සමගින් සිනහ වෙවී සිටි පාරුල් ගේ මුහුණ මත ඒ සිනහවෙහි අපරභාග මන්දස්මිතයක් ඉතිරි වී නතර වී තිබිණ. ඇගේ ඇස් සාමාන්‍ය තරමට වඩා මහත් වී ඔහු දෙස බලාගෙන ම සිටියේ ය. උමා හා ඈ අතරේ කතාව අවසානයකට එළඹ තිබුණේ ද නැත. අවසාන නොවූ කතාවක චමත්කාර ම ඉසව්වක ඈ නතර වී සිටියා ය.
“ඉතිං ඉතිං ගෑනු ළමයි”
කියාගෙන ඔහු කලිසම් සාක්කු වල දෑත් ඔබා ගත්තේ ය. උදේ දිගට දමාගෙන ගිය සුදු කමිස අත් මේ වෙත්දී වැලමිට සන්ධිය තෙක් නැවී ගොස් තිබේ. උදයේ ගැල්වූ විලවුන් වල සුවඳින් ශේෂ වූ පොදක්, පිරිමි දහදිය සුවඳක් ද සමගින් පාරුල් ගේ ශ්වසන මාර්ගය දිගේ ගර්ථ දක්වා ම ඇදී ගියේ ය. ඒ හුස්ම පිටතට හෙළන්නට ලෝභී සිතිවිල්ලකින් ඈ ළතවෙමින් හුස්ම රඳවාගෙන සිටියා ය. ආගන්තුක පිරිමි කටහඬ ඇහී ජුලී ගෙයින් එළියට හිස පෙව්වා ය.
“අනේ මේ අපේ නගරාධිපති තුමානෙ. ඇස් වහක් කටවවක් නෑ ටීවී එකේ ඉන්න නළුවෙක් වගේ හැඩටයි මං එකපාරටම දැක්කෙ”
ඒ කතාවට උමා කිකිණි හඬින් හිනැහෙන්නට ගත්තා ය. පාරුල් දෙතොල් පත් තද කොටගෙන සිනහව ගිලගෙන සිටියා ය. ඇස් වලින් සිනහ වෙවී ගඟුල් ජුලී දෙස බැලුවේ ය.
“මං නළුවෙක් වගේ කිව්වහම මේගොල්ලොන්ට හිනා යනවලු ආත්තම්මෙ. ඇයි නළුවන්ට වඩා අපිට මොනාද අඩු… නේද…”
“අනේද කියන්නෙ. මේ ගැටිස්සියන්ට ඉරිසියාව මහත්තයො. ඔහොම කිව්වට හිතින් හිතනව ඇති මොනතරං කඩවසං පුරුසයෙක්ද කියල”
උමා පමණක් නොව ගඟුල් පවා ජුලී ගේ ඒ කතාවට නම් උස් හඬින් සිනහ වූහ. පාරුල් ඔහු ගේ අයස්කාන්ත සිනහව දෙස බලාගෙන ම සිටියා ය. ඔහු ඉන්නා තැන පාළු නැත. ඔහු ඉන්නා තැන හිරු එළිය ගලා හැලෙයි. ඔහු ඉන්නා තැන මල් පිපෙන චමත්කාරයක් මැවෙයි. ඔහු ඒ වාගේ පරිපූර්ණ වූ පිරිමියෙකි.
“කෙල්ලනේ ගල් ගිලල වගේ බලං ඉන්නෙ ඉතිං නගරාධිපතිතුමාට බොන්න ඔරේන්ජ් බාර්ලි එකක්වත්…”
“නෑ නෑ ඕන්නෑ ආත්තම්මෙ. අදනං මං ආවෙ රාජකාරී වැඩකට. මට ඉක්මනටම ඉස්කෝලෙ ගමන නතර කරල ඉන්න ළමයි ටික මෙතනට ගෙන්නල දෙන්නකො. ඒ ළමයින්ට කරන්න පුළුවන් කෝස් වගයක් ගැන විස්තර තියනව මං ළඟ”
සියල්ල සිදු වූයේ ලහි ලහියේ ය. උමා පිරිමි ළමයින් දෙතුන් දෙනෙකු කැඳවා ආරංචිය පවසා පිටත් කොට යැව්වා ය. ඒ අතරේ වතුර කේතලය ළිප තැබිණ. තේ සමග කන්නට දෙන්න දෙයක් නො තිබීම ගැන උමා ශෝක වූවා ය. පාරුල් කොල්ලෙකු කඩේට කවා චොක්ලට් රෝල් එකක් හා කෙසෙල් ඇවරියක් ගෙන්වා ගත්තා ය. ගඟුල් තේ එක තොල ගාත්දී වත්තේ යොවුන් දරුවන් පාරුල් ගේ ගේ අභියස පාරේ රොක් වී සිටියහ. තේ එක අතින් ගෙන ම ගඟුල් ඔවුන් ඉදිරියේ පෙනී සිටියේ ය.
“ඉතිං ඔයාලව හම්බවෙන්න තමයි අද මං ආවෙ. ඕගොල්ලො දන්නවනෙ මේ වත්ත ඇතුළෙ ඕගොල්ලොන්ට තියන ප්‍රශ්න… නේද… ඒව පරම්පරා කීපයක් තිස්සෙ ඕගොල්ලොන්ගෙ අම්මල තාත්තල ආච්චිල සීයල අත්විඳපු ප්‍රශ්න. මේ පුංචි ගෙවල් ඇතුළෙ ඉන්න බැරි තරං සෙනගක් ඉන්නව කියන එක ලොකුම ගැටළුවක්නෙ. අපේ පවුල් ලොකු වුණාට ගෙවල් ලොකු වෙන්නෙ නෑනෙ ළමයි. නේද… එතකොට කරන්න තියෙන්නෙ පුළු පුළුවන් අය වෙන ගෙවල් අරගෙන යන එක. නමුත් ඕගොල්ලොන්ට ඒක කරන්න බැරි හේතු වගයක් තියනව. එක. ගෙවල් ගන්න කෝ සල්ලි… දෙක. සල්ලි හම්බකරන්න කෝ රස්සා… රෙදි හෝදන එක මේ වත්තෙ ඉන්න අයගෙ පරම්පරා රස්සාව. එහෙමයි කියල අපි හැමදාම මේකම කරන්න ඕන කියල එකක් නෑ ළමයි. ජොබ් එකක් හොයාගන්නනං ඕගොල්ලොන්ට ඒකට සුදුසුකම් කියෙන්න ඕනෙ. ඉහළට ඉගෙනගන්න හැකියාවක් නැති ආස නැති මොන හේතුවක් නිසා හරි ඉගෙනීම අතරමග නවතින අයටත් ජීවත් වෙන්න අයිතියක් තියනව නේ… ජීවත් වෙන්නනං අපිට ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෙ. දැං අපි මේ වත්තට රජයේ ආයතන වල රෙදි හෝදන ඕඩර්ස් ඔක්කොම අරං දෙන්න කටයුතු කරමින් ඉන්නෙ. ඒ අතරෙ ඔයාලට පුළුවන්… ඔයාල ඒ පරම්පරා රස්සාව කරන්න කැමති නැත්තං වෘත්තීය පුහුණුවක් ලබන්න. ඒ කියන්නෙ දවසක මොකක්හරි වෘත්තියක් කරන්න ඉගෙනගන්න. ඔයාල කැමති පරිගණක තාක්ෂණය ඉගෙනගන්න වෙන්න පුළුවන්… වඩු වැඩ මේසන් වැඩ… මෝටර් ටෙක්නොලොජි… මහන්න… එතකොට බේකරි කර්මාන්තය… ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපි හදන්නෙ ඕගොල්ලොන්ට අන්න ඒ පුහුණුව දෙන්න කාර්මික විද්‍යාල වලට යොමු කරන්න. එතකොට ඕගොල්ලො ඒවයෙන් එළියට එන්නෙ මොකක්හරි දෑතෙ කර්මාන්තයක් ඉගෙනගෙන. ඊට පස්සෙ ඔයාලට යන්න පාරක් තියනව. අතට කීයක් හරි ලැබෙන රස්සාවක් හරි ස්වයං රැකියාවක්හරි කරනකොට ඔයාලට පුළුවන් වෙනව මේ ගෙවල් ඇතුළෙම කූඩු වෙලා ඉන්නැතුව ඔයාල කසාද බැන්දට පස්සෙ ඒ අලුත් ජීවිත හරි වත්තෙන් එළියෙ අලුත් තැනක පටන් ගන්න. ඕගොල්ලොන්ගෙ ලෝකය මීට වැඩිය පුළුල් කරන්නයි අපි මේ ප්ලෑන් එක හදල තියෙන්නෙ. ඉගෙනගන්නැතුව ජොබ් නැතුව කුඩු කාරයො හිර කාරයො නොවී ඕගොල්ලොන්ට තමන්ගෙ මහන්සියෙන් ලස්සන ජීවිතයක් හදාගන්න පුළුවන් පාරකටයි අපි මේ ඕගොල්ලොන්ව යවන්න හදන්නෙ. ඒක නිසා මේ ෆෝම් එක හොඳට කියවල… තේරෙන්නැත්තං මේ පාරු අක්කගෙන් හරි අහගෙන… ඕගොල්ලො කැමති වගේම හැකියාවක් තියනව කියල හිතෙන කෝස් එකකට ඇප්ලිකේශන් ෆිල් කරල දෙන්න. මං කැමතියි ඕගොල්ලො දැන්ම පටන් ගන්නවට. තව අවුරුදු පහකින් මේකෙ ප්‍රතිඵල මට දකින්න ඕන නිසා. එහෙනං… හැමෝටම ජය වේවා!”
ඒ කතාව කෙරුණු මුළු කාලය පුරා ම පාරුල් බලා සිටියේ ගඟුල් ගේ මුහුණ දෙස ය. ඔහු කොයි තරම් සුන්දර මිනිසෙක් ද? ඔහු කොයි තරම් අව්‍යාජ තරුණයෙක් ද? ඡන්දය හිඟා කන්නට එදා මෙදාතුර මෙහි පැමිණි කිසිදු දේශපාලකයෙකු, ඉන් පසු දෑහින් දැකිය හැකි වූයේ නැත. නමුත් ගඟුල් විජයවීර වත්තේ මිනිසුන් ගේ ජීවිත හා මුහු වී ඔවුන්ට අනාගතයක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි.
“මං කොහෙං කොහොමහරි පටං අරං කරං යන්න බලනව. රිසාල්ට්ස් පෙන්නන්න මට ටික කාලයක් දෙන්න”
හිස් තේ කෝප්පය පාරුල් අතට දෙන ගමන් ගඟුල් මිමිණුවේ ය. පාරුල් ගේ ඇස් පත්ලේ කඳුළක් පුරා වීදුරු බෝල වාගේ ඒවා දිළිසිණ. ඇයිදෝ මන්දා ඇගේ උගුර මුළ රිදුමක් හිර වී තිබිණ.