විහඟ පියාපත් 7

චරිත් ශයිනි ට බැන වැදුණෙ ඇය තම ප්‍රධානියා වගද අමතක කර දමමමිනි. එහෙත් ක්ශණිකව පියවි සිහියේ එලෙඹෙමින් ඔහු ශයිනිගෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් ශයිනිට චරිත්ගේ බැණවැදීම ගැන එතරම් විස්සෝපයක් තිබුනේ නැත. 

ඒ වෙනුවට ඇය දැවෙමින් උන්නේ වෙනමම වේදනාවකින්‍ ය. නොසිතූ මහා විපර්යාසයක් සිදුවී අවසන් වග ඇයට දැනෙයි.කැබින් එකෙන් පිට පරිසරයේ කුමක් සිදුවන්නේදැයි අදහසක් නොමැති වුවත්,  තිළිණි සහ චරිත්ගේ මුහුණු දකින විට පිටත ඇති විය හැකි තත්වය ඇයට වැටහෙයි.

“මොකාද ඌ ?”

චරිත් විමසුවේ තිළිණිගෙන් වුවද ශයිනි එයට පිළිතුරු දුන්නාය. ෆේස්බුක් ඔස්සේ සොයා ගත් ලියුම්කරුට, පුවත්පතෙහි ගිණුමට මුදල් බැර කිරීම දක්වා යළි විස්තර කලාය. 

ඉන් පසුව ඔහු තමා සම්බන්ධ කරගන්නා බව පැවසූවද ගිණුමෙන්ම අවහිර කර දමා ඇති බවද කීවාය. ශයිනි හැඬුවේ නැත. එහෙත් ඇය උන්නේ කෑ ගසා මහ හය්යෙන් හඬන්නට තරමේ වන කඩා වැටුණු මානසිකත්වයකය. 

චරිත් කිසිවක් නොපවසාම පිටතට ගියේය. තිළිණි ශයිනි දෙස බැලුවා මිසෙක ඇය අසලට ආවේ නැත. තමා ලං වුවහොත් ඇගේ කඳුළු දරාගන්නට අපහසු තරමට වී ඇය  පුපුරා යාවියැයි  ඇයට සිතුණි.   ශයිනි හදිසියේම යමක් සිහි වූවා මෙන් ජංගම දුරකතනය අතට ගෙන ව්‍යාජ ගිණුමෙන් අමයුරු දිසානායක අමතා කෙටි පණිවිඩයක් තැබුවාය.

ඉන් පසුව දිගු සුසුමක් හෙලුවාය. අනතුරුව තිළිණි දෙස බැලුවාය.

“මං ගෙදර යනවා… අංකල් ට කාර් එක ගන්න කියලා කියනවද ?”

තිළිණි හිස සැලුවාය. ශයිනිගේ වෙහෙසින් පීඩිතව ගිය මුහුණ දකින්නට නොහැකි කමින්ම ඕ ඇයට පිටුපා කැබිනයෙන් පිටතට ගියාය.

නිවසට පැමිණි වහාම ශයිනි නාන කාමරය තුළට වැදුණාය. ඉන් පසුව  වේදනා නාශක පෙති කිහිපයක් ගිල දමා  වායුසමීකරණය ද උපරිමයෙන් දමා ඇඳට වැටුණේ තුවාය පිටින් මය. අනතුරුව යළි නැගිට කෙටි කලිසමක් සහ ස්කිනරයක් හැඳ ඇඳෙහි පෙරලුණාය. 

මහා හඬින් හැඬෙන්නේ නැති වීම නිසාම ශයිනිගේ හිස පුපුරා හැලෙන්නට තරම් වේදනා දෙන්නේය.  උගුරේ සිරවී ඇති යමක් නිසා ඉකියක් හෝ නොනැඟෙන තරමට තමා ගොලුවි ඇති වග දැනෙන්නේය. විසන්ධි කෙරූ ජංගම දුරකතනය තවම එලෙසමය. අම්මාට සහ තාත්තා ට කිසිවක් නොපවසා කාමරයට වැදුණා  වුවද ඔවුන් සිද්දිය දන්නා වග ශයිනි ඒ හැසිරීම් වලින්ම කියවා ගත්තාය. 

“ඇයි මෙහෙම කලේ මට….”

ශයිනි විමසා ගත්තේ කාගෙන්දැයි ඇයවත් දැන උන්න් නැත. උගුරෙන් හඬක් පිට නොවන නිසා ඇය එළෙස විමසා ගැනීම ඇය තුළම දෝංකාර දුන්නා පමණි. 

චරිත් ආයතනයේ පරිසර නිළධාරියා සමඟ යළි සාකච්ඡා කර මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවේ තමා  පිටත්ව එද්දී බව ශයිනි ට මතකය. දැන් ඒ කුමක් සිදු කලා වුවද පලක් නැති වග ශයිනිට දැනෙයි.  ඒ අපූරු යැයි සිතූ ලියුම්කරු එවන් දෙයක් කරන්නට හේතුව කුමක්දැයි ශයිනි ට සිතා ගත නොහැක. 

ඇතැම්විට උද්ඝෝෂණකරුවන් සමඟ ඔහුට සමිප සම්බන්ධතාවයක් තියෙනවා විය යුතුය. එසේත් නොමැති නම්, මේ ලිපිය පිළිබඳව දැනගත් උද්ඝෝෂණකරුවන් ඔහු මිලදී ගත්තාද විය හැක. එහෙත්, එය එලෙස නම් ඔහු තමාගෙන් මුදල් ලබා ගැනීමේ අරමුණ කුමක්ද ? 

ලිපියක් සම්පාදනය කර ගැනීම උදෙසා මාධ්‍යවේදියෙකුට මුදල් ගෙව්වා යැයිද, ඔහු එය නිවැරදි ලෙසින් කර නොමැති යැයිද පවසා පොලිස් පැමිණිල්ලක් දැමීමට තරම් ශයිනි ට සිතක් නැත. එය එසේ කලහොත් , ගෙවුණ කාලය පුරාම පළවූ පුවත්පත් ලිපි සහ මාධ්‍ය සාකච්ඡා ද එලෙසින් සිදු කරන ලද ඒවා ලෙස පවසා අනිවාර්යයෙන් පුවත් මැවෙනු ඇත. කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැත.

ශයිනි නින්දට වැටුණේ අභ්‍යන්තර ගිණි එහෙමම වෙද්දීය. උද්ඝෝෂණකරුවන් යළි හෝටල් පරිශ්‍රය අසල රැස්වෙමින් සිටිනා වග ඕ දැන උන්නේ නැත. 

අකලංක  ලිපිය කියවීමෙන් පසු වෙනදා උද්දාමයෙන් නොසිටිනා වග පෙනි පෙනීම ප්‍රබාත් ඔහුගෙන් ඒ පිළිබඳව විමසීම අතැර දැම්මේය. අකලංක තැවෙන්නේ යුවතියගෙන් මුදල් ගැනීම පිළිබඳව ද, එලෙස නොමැතිනම් ඇය අපහසුතාවයට පත් වන සීමාව සිතා ගත නොහැකිවදැයි  ප්‍රබාත්ට සිතා ගැනීමට හැකි වූයේ නැත.

“මචං..  උඹ උදේ වැඩද ?”

“හෙටද ?”

“ඔව් යකෝ…”

“එහෙමට වැඩක් නෑ… ඇයි ?”

“ගාලු ගිහින් වරෙංකෝ…”

“ඒ මොන එකකටද ?”

“පොඩ්ඩක් අර හොටෙල් එක පැත්තේ සිටුවේශන් එක බලාගෙන වරෙන්කෝ ..මොන රෙද්දද මන්දා බං, මගේ ඔලුව දෝදු නෙහ් ..”

ප්‍රබාත් මිතුරා දෙස බලා සිනාසී නාන කාමරය තුලට වැදුණේය. අකලංක මොනවාදෝ පවසනු ප්‍රබාත්ට ඇසුනද  කිසිවක් පැහැදිලි වූයේ නැත. එහෙත් මිතුරා යම් කලබලයක සිටින වගට වූ සැකය දැන් තහවුරුය. 

ප්‍රබාත්  යළි පැමිණෙද්දී අකලංක උන් ඉරියව්වෙන් වෙනස්ව තිබුණෙ අඟල් කිහිපයක් පමණි. ඔහු ප්‍රබාත්දෙස බැලුවේය

“අර සල්ලි ගත්තට මට අවුල් බං.. අපරාදේ , ඒක රිටර්න් කරන්න තිබ්බා බං…”

අකලංක එලෙස පැවසූවද, ඔහුගේ කණස්සල්ලට හේතුව එයම නොවන වගට ප්‍රබාත් ට ඉඟි ලැබෙන්නේය. අකලංක ගේ හැසිරීම් වලින්ම ප්‍රබාත් ඒ වග තහවුරු කරගන්නේය.

“උඹට තියෙන්නේ සල්ලි සීන් එකද නැත්නම් ශයිනි මැඩම්ට පාර ගැහුව අවුලද ?”

කල් යල් බලා එල්ලයට ප්‍රබාත් එලෙස විමසද්දී අකලංක ගැස්සුණේය. එහෙත් එලෙස ගැස්සෙන්නට හේතුවක් නැති වග ඔහුම ඔහුටම පවසාගෙන එවැන්නක් නොවුවා සේ සිටින්නට උත්සාහ කලේය. ඔහු  ප්‍රබාත් වෙත හෙළුවේ ඇල් මැරුණු උදාසීන බැල්මකි. 

“අවුල් නම් ආයේ සල්ලි ඩිපොසිට් කරපං ඒකිට …”

ප්‍රබාත් එලෙස පවසුවේ  ඒ වනවිට මුදල් පාසැල් ගොඩනැංවීමේ  අරමුදල වෙනුවෙන් බැර කරපු බව නොදැනය.   එහෙත් අකලංක උදෑසනම ඒ පිළිබඳව විමසා තිබුණේය. ඒ මුදල් අරමුදලට බැර කර ඒ පිළිබඳව වන ස්තූති සටහන ශයිනිගේ කාර්‍යාලයේ ලිපිනයට තැපැල් කර යවා තිබුණි.  

“එහෙනම් ඉතින් ඒ එක හමාර උඹ අතින් දාලා හිටපං…”

ප්‍රබාත් ඊළඟ විසඳුමද ඉදිරිපත් කලේය. අකලංක එවර  ප්‍රබාත් වෙත හෙළුවේ ඉතා තද පිළිස්සී යන බැල්මකි.

“උඹට නැත්නම් මං දෙන්නම්..”

අකලංක කෝපයෙන් නැගිට්ටේය. ප්‍රබාත් දෑස් නළලේ තබාගෙන බලා උන්නේය. අකලංක කෑ ගසා විමසුවේ ඒ මුදල් බැර කරන්නට තරම් ගිණුම් අංකයක් තිබේ නම් දෙන ලෙසය. ඉන් අනතුරුව තමාටම බැණ ගනිමින් කෑ ගැසුවේය.

ප්‍රබාත් ඔහුට ඉඩ දී විනාඩි කිහිපයක් ම නිහඬව උන්නේය. අකලංක වේගයෙන් එහෙ මෙහෙ ඇවිදිමින් උන් අතරේ ප්‍රබාත් කුස්සිය දෙසට ඇවිද ගියේය.

“හරි ඉතින් .. උදෙන්ම යමං… අකලංක විදියට යමං… එතකොට සමහරවිට කෙල්ල හම්බෙලාම කතා කරලා එන්න පුලුවන් වේවි….”

කුස්සිය දෙසින් එලෙස ඇසෙද්දී, අකලංක තමා ඉදිරියේ වූ කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බැලුවේය. වර්තමාන ටෙලි නාට්‍ය කලාවේ වඩා ඉහළ ඉල්ලීමක් ඇති රංගන ශිල්පියෙකු ලෙස සමාජ මාධ්‍ය ජාලා අවකාශ වල තමා හඳුන්වන බව අකලංක දැක ඇත. ඒ නැතත්, ජනප්‍රිය රැල්ලේ අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබෙන ඇරයුම් වල අඩුවක් නැත.

 කාර්‍යබහුල නොවී සිටීම තම ප්‍රතිපත්තිය බව පවසමින් ඒ ඇරයුම් වලින් ඇතැම් පිටපත් අතැර දැම්මේම, ඒවා අවසාන වන කොනක් ගැන අධ්‍යක්ෂවරයා ට පවා අදහසක් නොමැති වග වටහා ගැනීමෙන් පසුවය.  එසේ නොවන්නට සතියේ දින හතෙන් පහකවත් ප්‍රධාන නාලිකා කිහිපයක පෙනී සිටින්නට හැකි වන තරමට ඉල්ලීම් ලැබුණි. 

දැනට අටයි තිහ සහ නවය කාල පරාස දෙකෙහි පමණක් විකාශය වන ටෙලි නාට්‍ය දෙකක පමණක් රංගනයට දායක වීමෙන් පමණක් දායක වී, මේ මොහොත තුළ තමා ලබා ඇති ජනප්‍රියත්වය පිළිබඳව අකලංක තෘප්තිමත් ය. 

“එහෙනම් උදේ යමංද ?”

“හා…”

“කාර් එකේ යමං  .”

“ඔව් ඉතින් , බයික් එකේ හයිවේ ක්‍රොස් කරන්න බෑනේ ..”

ප්‍රබාත් අඩු හඬින් එය කීවද, අකලංක ට එය ඇසුණි. අකලංක මිතුරාගේ කර මතට පැන්නේ ඒ බව යළි පවසමින් මම හඬින් කෑ ගසමිනි. එකිනෙකාට නොදෙවනි නොසරුප් වදන් වැස්සක් වැටිණි.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles