ආකාස මෝස්තර – 35

පසන් ගේ පෞද්ගලික ලිංගික රුචිකත්වය ගැන දැනගැනීමෙන් පස්සේ පාරුල් තුළ ඇතිව තිබුණා වූ ජුගුබ්සාජනක හැඟීම, මඳින් මඳ තුනී ව ගොස් තිබිණ. ඊට පස්සේ වෛද්‍ය පීඨයට යත්දී ඇගේ හිතේ ඇඳෙමින් මැකෙමින් තිබුණේ වත්තේ යොවුන් දරුවන්ට ගඟුල් කළ කතාවයි. ඒ අතරේ ඔහු ගේ දෑස් කතා කළ අයුරුයි. ඔහු වෙතින් විහිදුණු අව්‍යාජත්වයේ දීප්තියයි. පසන් හමු වීමට පෙර වත්තේ සහෝදර මිනිස් කැළ ගැන පාරුල් තුළ වූ කැක්කුම, ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරවාගන්නට ඇයට තිබූ ආශාව, යළිත් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. කෙනෙකුගේ අපේක්ෂාවන් පෞද්ගලික අරමුණු ඉක්මවා නැගී සිටියදී ඒවා හිරු මඬල සේ බබළන්නට ගනී.

පාරුල් ට මූණ දීමේ අපහසුවක් දැනුණ ද ඇය සමගින් කතා කරන්නට පසන් අවස්ථාවක් සෙව්වේ ය. රෝහල තුළ සායනික පුහුණුවීම් අතරේ දී පාරුල් වෙනදාට වඩා නිදහස් හා ප්‍රීතිමත් බවකින් හැසිරුණා ය.

“මට ඔයාට කතා කරන්න පුළුවන්ද දෙව්…”

ඒ තරම් දුර්වල තත්වයකින් මීට පෙර පසන් පාරුල් අමතා නැත. ඇගේ තොල් කොනක ඇඳුණේ අවඥාසහගත සිනහ රැල්ලකි.

“පුළුවන්. ඒත් තේරුමක් නෑ නේද…”

“දෙව්…මට ඕනෙ අලුත් ජීවිතයක්…”

“ඔයාගෙ ප්‍රයිවසි එක ගැන මට කිසිම ගැටළුවක් නෑ පසන්. ඔයා හිතන් ඉන්නවනං මං මොනාහරි මේ හොස්පිට්ල් එක ඇතුළෙ කියල ඔයාට ඩැමේජ් එකක් කරයි කියල… චුට්ටක්වත් එහෙම හිතන්නෙපා. චුට්ටක්වත් බය වෙන්නත් එපා. හැබැයි මං කැමතියි ඔයා ආයෙ ආයෙ මාත් එක්ක ඔය දේවල් කතා නොකර ඉන්නවනං. ප්ලීස්…”

එය ඉල්ලා සිටීමක් නොවේ. පාරුල් ගේ ස්වරයෙහි වූයේ තරමක් දැඩි ස්ථාවර බවකි. තවදුරටත් ඇය පසන් ගේ යටත් වැසියෙකු නොවෙන බව ඒ ස්වරය මොනවට කියා සිටියේ ය.

නමුත් ඕ මුළුමනින් යථාවත් වී සිටියා නොවේ. රිදුම් බිඳුම් තැළුම් හදවතේ හැම තැනෙක ම ඉසිර විසිර තිබිණ. විටෙක උමා ගඟුල් ගැන කියා විහිළුවක් කළ වෙලාවක පවා පාරුල් ට එය ඇස් රතු වෙන විහිළුවක් වූයේ ය.

“දැං මං පිරිමින්ට හොඳටම බය වෙලා ඉන්නෙ උමා. ආයෙ මන්දන්නෑ ඒ බය නැති කරගෙන මට පිරිමියෙක් ළඟට යන්න පුළුවන් වෙයිද කියල. පුළුවන්  වුණත් ඒකට කාලයක් යයි. මං දන්නෑ අද හෙටක වෙයිද නැත්තං තව අවුරුදු ගාණක් ඒකට බලං ඉන්න වෙයිද කියල. ගඟුල් කියන්නෙ සීතල වතුරක් වගේ සනීපයක් දැනෙන පිරිමියෙක්. මට එයාට එහෙම ළං වෙන්න ඕන නෑ. මෙහෙම ඉඳං ඒ සනීප හැඟීම විඳගත්තහම ඇති”

ඔහු ගැන පවසත්දීත් ඇය ඒ සීතල ගඟුලක සුවදායී බව තුළ කිමිද සිටියා ය. සමහර සම්බන්ධතා එහෙම ය. ඒවා පවතින ලෙසට ම පවතින්නට හැරිය යුතු වේ. වෙනස් නොකොට නිශ්චලව පවතින්නට හැරිය යුතු වේ. වෙනස් වීම තුළ සිසිලස ක්ෂය වී යත හැක. පාරුල් ට උවමනා දුරින් හිඳ ඔහු දෙස බලා සිටින්නටයි. තුංග නමුණුකුල මිහිදුම් සළු හැඳගෙන සිටිනවා දකිත්දී බඳු සිසිලසක් ඔහු දකිත්දී හිතට දැනෙන්නටයි!

ඇය වෙනදාට වැඩිය අධ්‍යාපන කටයුතු කෙරේ නැඹුරු වූවා ය. ඇයට ලැබුණ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵලය සුවහසක් මානව වර්ගයා ගේ සුවය පිණිස ම නෙලා දෙන්නට වැඩි අවධානයක් යොමු කළා ය. පුස්තකාලයේ බෝ වෙලාවක් ගත කළා ය. රෝහලේ සායනික පුහුණුවීම් වලදී, රෝගීන් සජීවී ලෙස ලබා දෙන රෝග ලක්ෂණ වාර්තා ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළා ය.

ගඟුල් නීතිය හැදෑරීම ආරම්භ කොට තිබිණ. ඔහු දේශන ලබාගත්තේ මාර්ගගත ක්‍රමයට පටි ගතකිරීම් වශයෙනි. රාත්‍රියෙහි මැදියමක් වනතුරු වෙහෙසී ඒ දේශන වලට සවන් දුන්නේ ය. පාඩම් වැඩ කළේ ය. සටහන් ලියාගත්තේ ය. විෂයානුබද්ධ පත පොත කියෙව්වේ ය. දැනටමත් ඔහු තෝරාගෙන සිටින මාර්ගය වන රාජ්‍ය පරිපාලනය තුළ මානව වාර්ගයාට උපරිම මෙහෙය කරනු පිණිස නීති අංශයෙන් සන්නද්ධ වීම ඔහු ගේ අරමුණයි. ඊට යටින් සැඟවුණ අහිංසක පුංචි හේතුවක් ද නො තිබුණා නොවේ. දොස්තර නෝනා කෙනෙකුට අධ්‍යාපනික සහතික මට්ටමෙන් ද ගැලපෙන්නා වූ, හැම අතින් ම ගැලපෙන සහකරුවෙකු වීමේ ආශාවක් ඔහු ට දැනෙමින් තිබේ!

පාඩම් වැඩ අතරේ ඉඳහිට හිත කල්පනා ලෝකයක තනි වෙත්දී පාරුල් ට පසන් ගැන සිහි නො වෙනවා නොවේ. ඔහු ගැන ඉසිහින් දුකක් තවමත් හිත් කොනක ඉතිරි වී තිබේ. හදිසියේ ම හෝ ඔහු ව සිය ජීවිතයට සමීප කරවීමෙන් ඉරණම බලාපොරොත්තු වන්නට ඇත්තේ කවරක් ද? ඇය ඔහු ට ඉඩ දුන්නේ හිතේ හිස්තැන් ගඟුල් ගේ සිහිලසින් පිරෙත්දී දැනුණ ගැස්මෙන් මිදෙනු වස් ය. ඒ අතින් බලත්දී ජීවිතයට ඇවිත් යන හැම මිනිසෙකු ම අපට යමක් ඉගෙන ගන්නට අවස්ථා උදා කොට දෙයි. පසන් නිසා පාරුල් ට ගඟුල් ගැන හිතේ වූ බොහෝ අපැහැදීම් දුරු කොට ගත හැකි විය. කිසි දාක පිරිමින් දෙදෙනෙකු නො සැසඳිය යුතු වී ද පසන් නිසා ගඟුල් ගේ අසීමිත බව කැපී පෙනිණ. පිරිමියෙකුට පසන් වගේ රුදුරු ලෙස මෙන් ම ගඟුල් වාගේ සෞම්‍ය ලෙස ද හැසිරිය හැකි බව ඇය සාක්ෂි සහිත ව ඉගෙන ගත්තා ය. නමුත්  සව්මිය පිරිමියෙකු දෙස වී ද දුර සිට බැලීම ප්‍රමාණවත් ය යන සාධාරණ බිය දැන් පාරුල් ට වේ. ගැහැනු හදවතක දොරටු ආවාට ගියාට පිරිමියෙකු වෙනුවෙන් විවර නොකළ යුතුය යන පාඩම දැන් ඇය ගැඹුරින් ම උගෙන තිබේ. ආත්ම ගණනාවකට මතක හිටිනා පමණින් ඉගෙනගෙන තිබේ. පරම්පරා ගණනක් ඉදිරියට උපදින්නට නියමිත ඇගේ දියණිවරුන්ට ද ඔවුන් ගේ දියණිවරුන්ට ද ලෙස ජාන සංයුතියට ම කාවැදුණු ජීවන පාඩමක් හදාරා තිබේ!

ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිස්සු කණාමැදිරි එළියටත් බිය වෙති!

චන්දුල දැන් සංගීත විශාරදයෙකු වෙතින් ගායනය හදාරයි. ඔහු සිය තරු මාවතේ පියවරෙන් පියවර ඉදිරියට යමින් සිටී. තවමත් ඔහු ගේ ගැයුම් රූපවාහිනියේ පෙන්වීම අරඹා නැත.

“රාජා ටීවී එකේ සිංදු කියනව එක පාරක් දැක්කට පස්සෙ මට මොනා වුණත් කමක් නෑ”

රිදී කිහිප වර කීවා ය.

“එතකොට අම්මට මගෙ අතිං බෙහෙත් උගුරක් බොන්න ඕන්නැද්ද ආත්තම්මට වගේ…”

පාරුල් විහිළුවක් කළා ය. දැන් ඇය වැඩිපුර විහිළු කරන්නී ය. පිටතදී කෙසේ වී ද ගෙදර දී පුළුවන් තරම් සතුටෙන් ඉන්නට උත්සාහ කරන්නී ය. සතුට බෝ කොට ගෙදර අය ද සිනහ ගැන්වීමට පුංචි උත්සාහයන් දරන්නී ය. හිත් වල ගැඹුරු තුවාල සහිත මිනිසුන් එහෙම බව ඇය කලින් දැන සිටියේ නැත. නමුත් දැන් දනී.

“එච්චර බලාපොරොත්තු තියාගන්න එපා. ඊළඟ රවුන්ඩ් එකේදි මං අවුට් වෙයිද කියල වුණත් කියන්න බෑ”

අම්මා ගේ බලාපොරොත්තු ගැන දුරට දිගට සිතත්දී චන්දුල ට බියක් දැනේ. ඒ බලාපොරොත්තු ඕනෑ ම වෙලාවක බිඳිය හැකි බව ඔහු කල් තියා දැනුම් දෙන්නේ එබැවිනි.

“එහෙම කොහොමද… එහෙම අවුට් වෙන්න බෑ. ඕන මනුස්සයෙක් ඔය තරඟෙ ඕනම තැනකදි හැලෙන්න පුළුවන් තමයි. ඒ වුණාට ඔයා මේකෙ ෆයිනල් එකේ සිං කරන්න ඕන රාජයිය. ඔයාට ඒක පුළුවන්. බෑ නෙවෙයි පුළුවන් කියල හිතන්න”

ඒ තර්ජනය උමාගෙනි. ඈ දැන් ඉස්සර වාගේ රාජා ට දිනුම දී ඔහේ නිහඬව පසු බා සිටින්නේ නැත. එහෙම හිටියොත් ඔහු නිහඩවම – දිනනවා කියා හිතාගෙන පරදින බව දැන් ඈ දනී. චන්දුල මේ ගී තරු තරඟයට ගියේ උමා ගේ උවමනාවට වදයෙන් පොරයෙන් වී ද දැන් ඔහු එහි තරඟ වදින්නේ උනන්දුවෙනි. බලාපොරොත්තු සහගතව ය. ප්‍රීතිමත් බවක් හදවත දරාගෙන ය. එහැම තැනෙකදී ම උමා පිටුපස සිට පුංචි තල්ලුවක් දී ඔහු ව ඉදිරියට දක්කනවා සේ චන්දුල ට දැනේ.

“ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා”

චන්දුල ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ ය. ඒ උමා වෙනුවෙනි. ඇය ඔහු වෙතට ම නෙතු දල්වාන හිඳින බව චන්දුල ට දැනේ. ඇය ඔහු ගේ ඇස් වල පැටලෙමින් නො පැටලෙමින් හිඳී. ඔහු ගේ ඇස් ග්‍රහණය කරගනු වස්, ගොදුරක් වෙනුවෙන් රැක සිටිනා කොටි දෙනක සේ කුරුමානම් අල්ලයි.

“බලාපොරොත්තු වලට බය වෙන්නෙපා රාජයියෙ”

ඇගේ හඬ අභියෝගාත්මක ය. පාරුල් සිනහවක් නගා ගත්තා ය.

“හොඳ වැඩේ”

ඇයට කියැවී තිබිණ.

“අපි බලාපොරොත්තු තියාගමු. ඒ බලාපොරොත්තු එක්ක පුළුවන් තරං ඉස්සරහට යමු. යම් මොහොතක අපේ බලාපොරොත්තුවක් කැඩුණා වුණත් අපිට අපි නැති වෙන්නෑනෙ රාජයියෙ. ඔයා ස්ටා කෙනෙක් නොවුණත් අපි කවුරුවත් ඔයාව අත්අරින්නෑ. වැටෙන්න දෙන්නෙත් නෑ. ස්ටා කෙනෙක් වුණත් නොවුණත් ඔයාව අපිට වටිනව. ඒත් ඒ පාරෙ ගොඩක් දුර යන්න පුළුවන් වුණොත් ඔයාට ඔයාගැන වැඩි වටිනකමක් දැනෙයි. මටනං ඕනෙ ඒක වෙන්න. ඔයා කවුද කියල ඔයාට දැනෙන්න. ඊට පස්සෙ අපි ඔයාගෙ තරමට වටින්නැති වෙයි. අපි කියන්නෙ මේ මං. ඒත් ඒ රාජයිය අපේ කෙනෙක්… මගෙත් කෙනෙක් කියල මගෙ පපුවට හැමදාම දැනෙයිනෙ. අන්න ඒ හැඟීම මට කෝටි ගාණක් වටිනව”

චන්දුල හෙමිහිට මිදුලට බැස්සේ ය. මේ විදිහට උමා ට කොටු වෙන්නට ඔහු බිය ය. පපුවට පිහියෙන් අනිනා ඇගේ වචන වලට ඔහු බිය ය. පාරුල් උමා දෙස බලා දෙතොල් තෙරපාගත් සිනහවක් පෑවා ය. උමා චන්දුල ට ගැලවී යන්නට නොදී අඩියට දෙකට ඔහු වෙතට ලං වූවා ය.

“ඔයා ස්ටා කෙනෙක් වුණාට පස්සෙ මේ උමා වද දිදී ඔයා පස්සෙං එයි කියල බය වෙන්නෙපා. දෙයියම්ප මං එන්නෑ. ඔඩිශන් එකට යන දවසෙත් මං කිව්වනෙ”

චන්දුල එක් දැඩි බැල්මක් හෙළුවේ ය. වචන සිය ගණනකින් නොකී කතාවක් ඒ බැල්මෙහි ගැබ් වී තිබිණ. උමා නො නැවතී එහෙම ම ගෙදර ගියා ය. පාරුල් හෙමිහිට චන්දුල ට සමීප විය.

“අර කෙල්ලව තරහ ගැස්සුව නේ ඔයා…”

චන්දුල ගේ මුහුණේ වූයේ නො සන්සුන් බවකි.

“එයා ප්‍රශ්න අහල එයාම උත්තර දීල එයාම නඩු අහල තීන්දුත් එයාම දෙනව”

පාරුල් ‘හිචිස්’ ගා සිනහ වූවා ය.

“අපි වටේ ඉන්න හැම මනුස්සයෙක්ම අපිට ඇත්තටම හිතවත් නෑ අයියෙ. ඇත්තටම අපිට හිතවත් අය ඉන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. එහෙම කෙනෙක් හම්බුණාම අතින් මිට මොළෝල හරි පරිස්සං කරගන්නයි ඕනෙ. එහෙම කෙනෙක් නැති කරගන්නව කියන්නෙ එක ජීවිතයක් නෙවෙයි…ආත්ම ගාණක් පසුතැවෙන්න වෙන දෙයක්. සමහර විට ආයෙ කවදාවත් ම ඒ තරමට අපි ගැන හිතන අපි නිසා වද වෙන කෙනෙක් මුණ නොගැහෙන්නත් පුළුවන්. අපි ගැන හිතන අය කියන්නෙ මේ ලෝකෙ අපිට තියන වටිනම වස්තුව අයියෙ. එයාලට පුළුවන් අපි වෙනුවෙන් කැපවෙන්න ජීවත් වෙන්න විතරක් නෙවෙයි මැරෙන්න වුණත්… උමා ඔයාට විතරක් නෙවෙයි. අපේ පවුලටම එහෙම කෙනෙක්. එහෙම නෑනා කෙනෙක් මටනං ආත්ම ගාණකටවත් ආයෙ ලැබෙන්නෑ කියල මං දන්නව”

ඒ මුළු කතාව පුරාම උමා ගේ මූණ සමග මාරුවෙන් මාරුවට ගඟුල් ගේ උවන මැවෙමින් තිබුණේ ඇයි දැයි පාරුල් නො සිතා සිටියා ය. නමුත් ඇගේ පපුව කුණාටු සුසුමකින් පිරී පැවතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles