නුඹ තරම් ප්‍රේමයක් – 36

තිස් හය වැනි නෙත් සැරිය

කලණ කිසිවෙකුට මුහුණ නොදී නිවසින් පිට වූවේය. නැන්දා සහ මාමාද ඉන් ටික වෙලාවකට පසු නිවෙස බලා පිටත් වූහ. නිවසේ ඉතිරි වූයේ උදෑසනම උන් පිරිස පමණි. අවිශ්ක උදෑසන ආහාර ගෙන්වා තිබුනද කිසිවෙකුත් ආහාර ගන්නට උනන්දුවක් පෙන්වූයේ නැත. නිමලා අම්මා ඉදිරිපත් වෙමින් උදෑසන ආහාර පිඟන් පිරෙව්වාය.

සැහැල්ලුවෙන් පැය කිහිපයක් ගෙවුවද කලණගේ පැමිණීමෙන් පසු අයත්මා සහ චත්‍ර අතරේ හිඩැසක් සැකසෙමින් තිබුණි. කිනම් දෙයක් සිදු වූවද එයට ශක්තිමත්ව මුහුන දෙමියි සිතා උන්  චත්‍රගේ ධෛර්‍යය මදක් දුර්වලව ගොස් තිබුනි.

කලණගේ අතුල් පහර ඔහුට දැනෙන්නේ දැඩි නිගාවක් තරමින් ය. එය තමා සහ කලණ අතර  වූ යම් අරගලයක් නිසා වූවක්නම් ඉවසීම චත්‍රට ගැටලුවක් නොවේ. එහෙත්, කලණ ඉදිරිපත් වූයේ අයත්මා වෙනුවෙන් ය. එය දරා ගැනීම පහසු නැත. කලණ සහ අයත්මා අතරේ වන සම්බන්ධතාවය ගැන චත්‍රට වැටහෙන්නේද නැත.  එහෙත් මේ ඒ අතුල් පහරේ කෝපය අග්ගිස්සීම සඳහාවත්, කලණ ගේ සිට අයත්මා ට දක්වන ලැදියාව ගැන  හොයන  වෙලාවවත් නොවන බව චත්‍ර දනී.

” මට සමාවෙන්න හොඳේ… කලණ අයියා …….”

අයත්මා ට කියා අවසන් කරන්නට නොලැබුණි.

” ඒක මං අදාල විදියට ඌත් එක්ක විසඳගන්නම් … ඔයා හිතන්න ඕනි නෑ …”

චත්‍ර ඇගේ දෑසටම එබෙමින් කීවේය. අයත්මා ඒ දෑසේ ඇලවී එහෙමම උන්නාය. කලණ සමඟින් ගැටුම් ඇති කර නොගන්නයැයි කියන්නට ඇයට අවශ්‍ය විය. එහෙත්, චත්‍ර ඇයට එලෙස පවසන්නට ඉඩ දුන්නේ නැත. එවෙලෙහි චත්‍ර ඉක්මවා යමින් ඔහුට රිදවුමක් ඇති කරන්නට අයත්මා උත්සාහ කලේද  නැත.

” මං ගිහින් එන්නද අයූ ?… පක්ෂෙන් මාව කැඳවන්නත් පුලුවන් අද … අප්පච්චිලා එක්ක මං කතා කරන්නම් ඉස්සෙල්ලම … ඔයා අද ගෙදර ඉන්න .. හෙට ඉස්කෝලේ එක්ක යන්න මම එන්නම් …”

අයත්මා හිස සැලුවාය. පුදුමයකට මෙන් තමාට සමාජයට මුහුණ දෙන්නට ලැජ්ජාවක් නැති වග අයත්මා සිතුවාය. මෙවන් සිදුවීමකදී සමාජයෙන් එන බලපෑම නිසා වෙනමම ආතතියක් නිර්මාණය වේ. එහෙත් තමාට ඇත්තේ චත්‍ර පත්වන අපහසුතාවය ගැන වද වීමක් නේදැයි අයත්මා සිතුවේ චත්‍ර පිටත්ව ගියාට පසුවය. අයත්මා ජංගම දුරකතනයේ වූ කෙටි පණිවිඩ ඔහේ කියවා දමා උන්නාය. ඒවාට පිලිතුරු දිය යුතු නැතැයි ඕ දැනට  සිතුවාය.  බහුතරයක් කෙටි පණිවිඩ වල අදහස තමා අපහසුතාවයට පත් කිරීමම බව ඇයට නොවැටගෙනවා නොවේ.

සිහිනිද පාසැල් ගියේ නැත. ඕ උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය. වටහා ගන්නට නොහැකිවාය කියනවාට වඩා කිසිවක් වටහා ගන්නට තරම් නිරවුල් මානසිකත්වයක් නැති බව ඇයට දැනේ.

අයියා සහ අයත්මා අතරේ  වූ සිදුවීම අවිශ්ක අයියාවත් දන්නේ නැත. අයියා සහ අයත්මා හැරුන විට ඒ පිළිබඳව දන්නේ තම නිවසේ අයවලුන් පමණි. තමන් ඒ පිළිබඳව පැවසූයේ මුහුණු පොතෙන් මුණ ගැසී මාස කිහිපයක් තිස්සේ ආශ්‍රය කරමින් සිටින සහන් ටය.

සහන් තමාට ප්‍රේම කරන බවත් තමාද සහන්ට ප්‍රේම කරන බවත් දැන උන් නිසා එවන් සිදුවීමක් ඔහු  හා බෙදා ගැනීම ඇයට වරදක්ව පෙනුනේ නැත. අනෙක් අතට සහන් මේ මාස දහයටම සිහිනිගේ විශ්වාසය එක මොහොතකට හෝ බිඳ දමා තිබුනේද නැත. මසකට වතාවක් ඔහු කුරුනෑගල සිට සිහිනි දැක යන්නට තත්‍පර කිහිපයක් හෝ වෙනුවෙන් තිස්සමහාරාමයට ආවාය.

දවස  තිස්සේම ඇයට අවැසි වන හැම මොහොතකම උන්නාය. අයත්මා සහ චත්‍රගේ සම්බන්ධතාවය ඇති වන්නට යන බව පැවසූ විට අයත්මා මෙය සැළසුමක් සේ කරනවාය යන්න කපිලට වඩා සිහිනිගේ ඔලුවේ පැලපදියම් කලේ සහන් ය.  ඔහු කීවේ අයියාගේ ජීවිතය  විනාශ නොවී අයත්මාගෙන් ගලවා ගත යුතු වගය. ඒ වෙනුවෙන් අවධානයෙන් සිටිය යුතු වගය. එවැනි ලෙසින් උන් ඔහු මෙවන් දෙයක් කරාවියැයි සිහිනි කෙලෙස විශ්වාස කරන්නද?

එහෙත් ඔහු එය පිළිගත්තේය.

” ඇයි එහෙම කලේ ?..”

එක් ඇමතුමකටවත් පිළිතුරු නොලැබෙද්දී සිහිනි කෙටි පණිවිඩයක් තිව්වේය.

” ආන්සර් කරන්නෙ නැත්තේ කතා කරන්න  දෙයක් නැති නිසා…  කරපු හැම දේකටම තේරුමක් තියෙනවා …. ආයේ වාත වෙන්න එපා ..ප්ලීස් … ඔව්වා තමුසෙගේ අයියා වපුරපුවාගේ අස්වැන්න …”

ඒ කෙටි පණිවිඩයට පසු සහන්ගේ අංකයෙන් තමා අවහිර ඇති  බව සිහිනි වටහා ගත්තාය. ඕ උමතුවෙන් මෙන් ඔහු සම්බන්ධ කරගන්නට උත්සාහ කලද එක් උත්සාහයක්වත් සාර්තක නොවීම අවසන් වූයේය.

සිහිනි යහනේ පෙරළුණේ ගත අඩපණව ඇති බව වටහාගෙනය. කිසිවක් සිතා ගන්නට නොහැක.

අයියාට මේ ගැන කිවහොත් සිදුවන්නේ කුමක්දැයි සිහිනි දනී.  තමා සමඟ වන සියලු සහෝදරකම් වුවත් අතැර දමන්නට ඔහු නොපැකිලෙනවාට සැක නැත. අම්මා සහ අප්පච්චී ඉදිරියේ තමා දියවී යනු ඇත. අයත්මා කිසිදිනෙක තමාට සමාව නොදෙනු ඇත.

සිහිනි උදෑසන ආහාරය මඟ හරි නිසා සන්ධ්‍යා උඩු මහලට පැමිණියේ ඇය සොයාගෙනය. සිහිනිගේ ස්වරූපයෙන් සන්ධ්‍යා කලබල නොවුවා නොවේ. එහෙත් මෙවෙලෙහි කවුරුන්ම හෝ සිහියෙන් සිටිය යුතු වග ඕ වටහා ගෙන උන්නාය.

” පුතේ … අයියා ගෙදර ආවා.. එයා හිතපු තරම් අවුලකින් නෙවෙයි.. සමහරවිට අයියා අයත්මා එක්ක කතා කරන්නත් ඇති ..  චූටි කලබල වෙන්න එපා… මෙහෙම දේවල් වලටත් අපිට මුහූන දෙන්න වෙනවනේ පුතෙ..”

සිහිනි අම්මාගේ උකුල මත හිස තියාගත්තාය. ඇයට සනීපයක් දැණුනි. ඊලඟ තත්පරය වෙනුවෙන් නොතිබූ ජීවිත බලාපොරොත්තුව ට පණක් දැණුනි.

” චූටි කාලා ඉන්න. ඊට පස්සේ අයියාටත් කන්න දෙන්න ..”

” බඩගිනි නෑ අම්මේ…”

” නොකා නොබී හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නෑ නේ පුතේ .. අයත්මා ඔලුව කෙලින් තියන් ඉස්කෝලේ යනවා වගේම, ඔයත් ඔලුව කෙලින් කරගන්න බලන්න … අයියා අතින් වුන වරදට පුතාට කරන්න දෙයක් නැහැනේ..”

සිහිනි නැඟුණ සිහින් ඉකිය නවතාගන්නට උත්සාහ කලාය. එහෙත් එය සාර්ථක වූයේ නැත. සන්ධ්‍යා ඇගේ හිස පිරිමැද්දාය.

චත්‍ර ට දිස්ත්‍රික් නායකතුමා ඉදිරියේ උත්තර බැඳීමට සිදු විය. චත්‍ර කිසිඳු චකිතයක් පෙන්වූයේ නැත. අයත්මාගේ සිනහව සහ ඇගේ ස්වර ඔහුව සැබැවින්ම නොවූ ආත්ම විශ්වාසයකින් ඔප් නංවා තිබුණි.

” සර් ..අයත්මා කියන්නේ මම මැරි කරන්න ඉන්න ගර්ල් … ඔය ඉස්කෝලෙ ලඟ උනා සිද්දිය වුනා කියන දවසේ මම එයාව ටිකක් බලෙන් වගේ කැබ් එකට දා ගත්තා තමා.. ඒ එයා මාත් එක්ක තරහ වෙලා හිටපු නිසා … ඒක මෙහෙම සිද්දියක් නිසා නෙවෙයි සර් .. අනෙක අයත්මාගේ අයියා පවා මේ ගැන දන්නවා … මට හිතාගන්න බැහැ තවම මේක කොහෙන් මතු වුන කතාවක්ද කියලා සර් .. ඒත් මම මේක හොයාගන්නවා සර් ..”

” පුතා .. මම දැනගත්තා අතුකෝරල මහත්තයාගේ කොල්ලා මෙහෙම දේකට පැටලෙන්න විදියක් නැහැ කියලා .. ඔය සිද්දිය ගැන කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ඇරේන්ජ් කරන්න ඕනි පුතා.. පුලුවන් නම් ඒ ගෑණු ළමයාවත් සම්බන්ධ කරගන්න … මෙවෙලේම ඔයා මේක නිවැරදි කරන්න ඕනි …. ඒ අටහ්‍රේ මේක කාගේ උවමනාවට වුනාද කියලා වහාම හොයන්නත් ඕනි ….”

දිස්ත්‍රික් නායකත්වය චත්‍ර පිළිබඳව වඩා පැහැදෙමින් උන්නේය. තරුණයාට මෙවන් මඩ ප්‍රහාර එල්ලවීමේ අරමුණම ඔහු වැට්ටවිමය. එහි අදහස වට්ටවා පෑගීමට තරමේ උසකට  ඔහු ගොස් තිබීමය.

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles