Chat with Smart Lady – තනුජා ජයවර්ධන

තනුජා ජයවර්ධන කියන්නේ මේ රටේ වෙනසක් ඇති කරපු නිවේදිකාවක්. “රස රිසි ගී ”  ඔස්සේ වෙනස් මානයක් ඇති කරපු තනුජාට ලැබුණු ප්‍රේක්ෂක ආදරයේ අදටත් අඩුවක් නැහැ. අද මේ කියන්නේ ඒ අපූරු ජීවිතයේ බිඳක් ගැනයි.

තනුජා…මේ දවස්‌වල මොනවාද කරන්නේ..?

මේ දවස්‌වල රටේ තියෙන මේ වාතාවරණයත් එක්ක entertainment වැඩ බොහෝමයක් නැවතිලයි තියෙන්නේ. ඒ නිසා බොහෝ වැඩ online ක්‍රමයට කරන්නේ. අප්‍රේල්, මැයි, ජූනි මාසයේ වල බොහෝ වැඩ කරන්නට යොදාගෙනයි තිබුණේ. නමුත් මේ වාතාවරණයත් එක්ක ඒ වැඩ බොහෝමයක් කල් ගියා. මේ වෙද්දී මම digital තාක්ෂණය සම්බන්ධව නියැලෙන, යම් විදියකින් බලපෑමක් කරන්නට හැකි,   මාධ්‍ය ක්ෂේත්‍රයට කැමති අයට පුහුණුවීම් කරනවා. ජනමාධ්‍යවේදය හා ආචාර්ය ධර්මය පිළිබඳව කියලා දීලා නිවැරදි තොරතුරු ඔස්සේ මිනිසුන්ට කතා කරන්න, බලපෑම් කරන්නට හැකි වන්නේ කොහොමද කියන පුහුණු වීම් ලබලා දෙනවා. ඒ නිසා ටිකක් කාර්ය්‍යබහුලයි. ඊට අමතරව ජාතික රූපවාහිනියේ විකාශනය වන “අපේ සිංදු “වැඩ සටහන නිවේදනය කරනවා. තව වැඩසටහන් කීපයක්ම මේ පවතින තත්ත්වයත් එක්ක පොඩ්ඩක් කල් ගියා.

පවතින මේ ආර්ථිකයත් එක්ක තනුජාට ජීවිතේ දැනෙන්නේ කොහොමද…?

හැමෝටම වගේම මේ ගෙවන ජීවිතේ මටත් අමාරුයි. ඒ පීඩනය මට  ඒ විදිහටම දැනෙනවා. ස්වාධීන කලාකරුවන් හැමෝටම මේ පීඩනය දැනෙනවා ඇති. හැබැයි කළමණාකරණය සහ යම් විදියකින් අරපිරිමැස්මත් එක්ක මේ ගෙවන ජීවිතේ යන්න වෙනවා. යම් යම් අවස්ථාවලදී අපි සාමාන්‍ය විදිහට වියදම් කරපු විදිහට අපිට යන්න බැරි වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් වලට මූලික තැන දීලා කළමණාකරණය කරගෙන යන්න වෙලා තියෙනවා. කොහොමටත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්න ටිකට ඒ විදිහටම මුහුණ දෙන්න මටත් සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය තවත් ටික කාලයක් තියේවි. ඉතින් කොහොම හරි අමාරුවෙන් ජීවිතයට මුහුණ දෙනවා. අනිත් අය වගේම ඉන්ධන මිල ඉහල යාම,  කිරිපිටි හිඟය, ගෑස් පෝලිම් වල ඉන්නට සිදුවීම,  වගේම හැමදේම මටත් බලපෑවා. මමත් සාමාන්‍ය ස්වාධීන මනුස්සයෙක්.

මේ ගෙවන්නේ ආර්ථිකයත් එක්ක මානසිකව කඩා වැටුණු කාලපරිච්ඡේදයක්. මේ තත්ත්වයට මුහුණ දෙන අතරේ හිතට පුංචි හෝ සැනසීමක් ලබා ගන්න තනුජා මොනවද කරන්නේ…?

ඇත්ත…. අද පාරට බැහැලා වැඩක් කරගෙන ගෙදර එද්දී පුදුමාකාර ආතතියක් එක්ක තමයි ගෙදරට එන්න සිදු වෙලා තියෙන්නේ. මිනිස්සු පෝලිම් වල, දරුවන් පෝලිම් වල දුක් විඳිනවා. අපි ජීවිතයට දැකලා නැති මිනිසුන් අනුන්ට අතපාන්නට සිදු වෙලා තියෙනවා. අපේ අම්මගේ තාත්තගේ වයසේ මිනිසුන් බයිසිකලේ ඇවිත් පාපිසි විකුණනවා මම දැකලා තියෙනවා. ඊට කලින් එහෙම ඒ මිනිසුන්ව මම දැකලා තිබුණේ නැහැ. ඒ දේවල් දකිද්දී හිතට හරි අමාරුයි. ඉතින් හිතට සැනසීමක් ලබා ගන්න මම කොහොමටත් වැඩිපුර පොත් පත් කියවන  කෙනෙක්. පහුගිය කාලේ ගත්තු පොත් මාරුවෙන් මාරුවට කියවනවා. මම පුහුණුවීම් වැඩසටහන් කරන නිසා මනස දියුණු වුණු මිනිසුන්ගේ චරිතාපදාන කියවනවා. youtube හරහා ඔවුන්ගේ ධනාත්මක චින්තන වැඩසටහන් නරඹනවා. සංගීතය රසවිඳිනවා. දවසකට රෑ නින්දට කලින් අනිවාර්යයෙන්ම මම චිත්‍රපටයක් බලනවාමයි. කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් අඩුම තරමින් චිත්‍රපටයේ භාගයක්වත් බලනවාමයි. ඒ අතරේ මට මගේ ජීවිතයේ දෙයක් ගැන කතා කරන්න පුලුවන් හොඳ යාලුවන් කීපදෙනෙක්ම ඉන්නවා. කොහොමටත් එක දවසකට එක් කෙනෙක්ට හරි මට පුලුවන් තරමින් උදව් කරලයි මම ගෙදර එන්නේ. මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඒ නිසා මට පුලුවන් විදිහට මම උදව් කරනවා. එයින්ද හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.

මාධ්‍යවේදීනියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද..?

නැහැ. පුංචි කාලේ මට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරියක් වෙන හීනයයි තිබුණේ .මම ඉගෙන ගත්තේ බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විදුහලේයි . පාසැලේදී ත් මම විවිධ උත්සවවල තිබුණු නාට්‍ය වලට පිටපත් ලිව්වා. සමහර ඒවා වල රඟපෑවා. හැබැයි ප්‍රධාන තැන වුණේ ලිවීමයි. මම රචනා තරඟ වලට අත් අකුරු තරඟ වලට සහභාගී වෙලා ඒවායින් ජයග්‍රහණයන් ලබා ගත්තා. මම නිසදැස් බොහෝමයක් ලිව්වා. පුවත් පත් වලට ලිව්වා. මේ හැමදේම එක්ක මම නොහිතපු ක්ෂේත්‍රයට මාව යොමු වුණා. ලියන එකට ආස කරපු මට කතා කරන්නට සිදු වුණා. හැබැයි එහෙම මම ලොකුවට කතා කරන කෙනෙක් නොවෙයි. මගේ අම්මා තාත්තා වුණත් වෙලාවකට “ඔයා ටෙලිවිෂන් එකේ කතා කරන තරම්වත් අපි එක්ක කතා කරන්නේ නැහැනේ “කියලයි කිව්වේ. ලියන එක දැන් මගෙන් පොඩ්ඩක් මඟ හැරුණා.

පුංචි කාලේ දැකපු හීනය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරියක් වීම තාමත් හිතේ තියෙනවාද..?

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යයකට වඩා මට අද කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ආසයි. ඒකට තේමාවල් කීපයක්ම මම ලඟ තියෙනවා. දෙයක් කරනවානම් ඒක හරියටම කරන්න ඕනේ කියන සිතුවිල්ල මගේ ලඟ හැම මොහොතකම තියෙනවා. ඒ නිසා චිත්‍රපට බැලුවා කියලා චිත්‍රපට හදන්න බැහැ. ඒ ගැන හදාරන්න ඕනේ. ලංකාවේ ඉන්න ඉතා ප්‍රවීණ, සම්මානනීය අධ්‍යක්ෂකවරුන් මගේ හොඳ යහලුවන්. ඒ අයත් එක්ක ඒ දේවල් කතාකරනවා. තාමත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක හැදෑරීමේ ප්‍රාථමික අවදියෙයි මම ඉන්නේ කියලයි මට හිතෙන්නේ. .ඒ නිසා තව ඒ සම්බන්ධයෙන් හැදෑරීම් කරන්නට තියෙනවා.

කාලයක් තනුජා ජයවර්ධන කියන කෙනා රටේ තරුණ තරුණියන්ගේ අනුකරණය වුණා. තනුජා වෙන්න හදපු තරුණියන් හිටියා. තමන්ටම වෙන් වුණු ආවේණිකකමක් ඔයාට තිබුණා. ඒ සංකල්පය ගොඩ නැඟුණේ කොහොමද..?

මම හැම මොහොතකම “මම ” විදිහට හිටපු නිසා රටේ මිනිස්සු මට ආදරේ කරන්න පටන් ගත්තා. මම රටේ හෝ ලෝකයේ වන  කවුරුත් වෙන්න හැඳුවේ නැහැ. අදටත් මම එදා හිටපු විදිහටයි ඉන්නේ. ඩෙනිමයි ටීෂර්ට් එකයි කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති විලාසිතාවක්. අපේ ඇඳුම නෙමෙයි වෙනස් කරන්න ඕනේ. අපේ හිතින් තමයි අපි වෙනස් වෙන්න ඕනේ. මම හැමදාම මගේ මනසින් අලුත් වෙන කෙනෙක්. කිසිමදාක කිසිම මොහොතක කාගේවත් ඇඳුමෙන් එයා කරන විලාසිතා වලින්ම එයාව මනින්න එපා. අද අරගලයේ ඉන්න ලමයි දැකලා සමහරු එයාලව මනින්න හදනවා. රැවුල වවලා, කොණ්ඩේ වවලා, කරාබුවක් දාලා, ටැටූ එකක් ගහලා, හිටියට ඒ ලමයින්ගේ චින්තනය බාල්දු කරන්න කාටවත් අයිතියක් නැහැ. එදා මම දිහා බලපු විදිහටම මේ අරගලේ යෙදිලා ඉන්න සමහර ලමයි දිහා බලන පිරිසකුත් ඉන්නවා. අලුත් තරුණ පරපුරේ අයගේ අදහස් කොච්චර නැවුම්ද කියලා මම හොඳාකාරවම දන්නවා .මගේ විලාසිතාව මට ආවේණිකයි. හැබැයි හැම මොහොතකම අලුත් වෙනවා කියන දෙයිනුයි, මේ ඇඳුමෙනුයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. මම ඩෙනිමයි ටීෂර්ට් එකයි කැප් එකයි දාලා යන්න ආසයි. ඒක මගේ හැටි. හැබැයි අවස්ථාවේ ස්වරූපය අනුව මට හැඩ ගැහෙන්න පුලුවන්.

අද මේ රටේ පවතින තත්වයත් එක්ක බොහෝ දෙනා මේ රට අතහැරලා යන්න බොහෝ උත්සාහ දරනවා. තනුජාටත්
එහෙම හිතිලා නැද්ද..?

එහෙම හිතුණේ නැහැ කියලා මම කිව්වොත් ඒක බොරුවක්. එකපාරක් දෙපාරක් විතර එහෙම සිතිවිල්ලක් මටත් ඇතිවුණා. හැබැයි එහෙම මේ රටින් යන්න ඕන වුණේ මගේ සතුට වෙනුවෙන් නෙමෙයි. මේ රටේ මිනිස්සු දුක් විඳිනවා මට බලාගෙන ඉන්න බැරි කමටයි මට යන්න ඕනේ වුණේ. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට අපිට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. සම්පූර්ණයෙන්ම දේශපාලන වුණු තැනක, ඉගෙන ගත්ත මනුස්සයෙකුට ඉඩක් නැති තැනක, රටේ පවතින තත්වය බලාගෙන ඉන්න බැරි නිසයි මට යන්න හිතුණේ. හැබැයි කවදාවත් මගේ අනාගතය වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන් කවදාවත් මම රට දාලා යන්න හිතුණේ නැහැ. හැබෑ පුරවැසියෙක් විදිහට මට එහෙම කරන්න බැහැ. ඉතිහාසයේ ඉදන් බොහෝ අරගලවලදී අපි පුරවැසියන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඒ නිසා මම වගේ කෙනෙකුට රටකට ගිහින් හෘද සාක්ෂියට එකඟව ඒ රටේ සැප විඳින ගමන් අපේ රටේ මිනිසුන් දුක් විඳිනවා බලාගෙන ඉන්න බැහැ. සංචාරයකට ගිහින් එනවා හැර මගේ සතුට වෙනුවෙන් කිසිම දවසක මම විදෙස් ගත නොවේවි.ඒ නිසා මේ රටේ මිනිස්සුන් මුහුණ දෙන හැමදේටම මාත් මුහුණ දේවි. අපිට මේ රටේ මිනිස්සුන්ට තනියම ඡන්දයක් පාවිච්චි කරන දවස වෙනතුරු හැඬගස්සවන්නට ඕනේ. අද බොහෝ දෙනා ඡන්දය පාවිච්චි කරන්නේ තවත් කෙනෙක් කියන නිසයි.

දවසක තනුජා ජයවර්ධනත් දේශපාලනයට සම්බන්ධ වේවිද..?

මීට කලිනුත් මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් කිසිම දවසක මාව පාර්ලිමේන්තුවේ හෝ ඡන්දයකදී හෝ කිසිම ඡන්ද ඉල්ලන දේශපාලන වේදිකාවක දකින්න ලැබෙන එකක් නැහැ. මම හැම දවසකම පුරවැසි ගොඩේ ඉන්න කෙනෙක්. මම දේශපාලනයට කැමති කෙනෙක් නෙවෙයි.දේශපාලකයන්ව හරියට තෝරා ගන්නා පිරිසක් එක්ක හිටගන්නයි මට ඕනේ.

යම් යම් හේතුන් නිසා විවාහය අතපසු වෙන්න ඇති. ඇත්තටම තනුජාගේ විවාහය කවදා කොහොම සිදුවේවිද…?

මේ සියලු දුක් දෝමනස්සයන් එක්ක මම හැමදාම බුද්ධ දර්ශනයත් එක්ක වෙන ගමනක් යමින් ඉන්න කෙනෙක්. සියලුම දේවල් හෙමි හෙමින් බුද්ධ දර්ශනය තුලින් අතහරිමින් ඉන්න මට තව තවත් සීමා මායිම් එක්ක ජීවත් වෙන්න බැහැ. මම අතිශයින්ම ස්වාධීන කාන්තාවක්.ඒ නිසා සමාජය වෙනුවෙන් යම් විදියකින් සේවයක් කරලා මේ ගමන යන්න මම ඉපදිලා ඉන්නේ කියලයි මම හිතන්නේ. සිහි බුද්ධියෙන් සමහර දේවල් මම අත්හරිමින් ඉන්නේ. විවාහ නොවී ඉන්නට මම ගත්තු තීරණය හෙට අනිද්දා වෙනස් නොවී තියේවි.

ආපස්සට හැරිලා බලද්දී තනුජාගේ ප්‍රේමයේදි හිත නතර වුණු තැනක් තියෙන්නත් ඇති..?

ඔව්. එහෙම තියෙනවා. හැබැයි මගේ මේ රස්සාවත් එක්ක ඒ නතර වුණු හැම තැනකදීම මට ඒ ආදරේ එපාවෙලා තියෙනවා. මගේ මේ රස්සාවේදී ජනප්‍රියත්වය ලැබුණා. මාව හඳුනන නිසා මිනිස්සු ලඟට ඇවිත් කතා කලා. ඒ ඔස්සේ මගේ පෞරුෂය මාත් එක්ක යන කෙනාගේ පෞරුෂයට වඩා ලොකුවට පෙනුනා. එතනදී ආදරයත් එක්ක මම මේ දිනා ගත්තු දෙයින් මට අයින් වෙන්න පවා කියල තිබුණා. මට මේ රටේ මිනිසුන්ව අතහැරලා යන්න උවමනාවක් නැහැ. මට “මම නොවී ” දෙයකට හිරවෙලා ඉන්න බැහැ.ආදරේදී මගේ නිර්වචනය “ආදරය කියලා කියන්නේ නිදහසයි “කියලයි. ඒනිසා නිදහස සීමා කරගෙන ආදරේ කිරීම ඇතුලේ හිරවෙලා සමාජය යන විදිහට මට ජීවත් වෙන්න බැහැ. මම ස්වාධීන නිදහස් මනුස්සයෙක්.

-දිශානි ජයමාලි කරුණාරත්න –

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles