ආකාස මෝස්තර – 36

මහජන පුස්තකාලය ඉදිරියේ වන විවිධ හැඩ වලට කැපූ මල් පඳුරු මතට පොද වැස්සක් වැටෙමින් තිබිණ. මේ අකල් වැස්සකි. පුස්තකාලයට එත්දී වැස්සක සලකුණක් හෝ දැකිය හැකි වූයේ නැත. ගඟුල් දෑත් පපුව මත බැඳගෙන ගැබ්බර අහස දෙස බලා හිඳී. පාරුල් මඳහස් වතකින් ඔහු දෙස බලා සිටියා ය.

“දුවගෙන වාහනේට යනවද නැත්තං කැන්ටීන් එකට ගිහින් ප්ලේන් ටී එකක් බොනවද…”

හදිසියේ ම ඈ දෙසට හැරී ඔහු ප්‍රශ්නයක් නැගුවේ ය. දෙකක් අතරින් එකක් තෝරා ගන්නට වන අවස්ථා තරමක් අසීරු වේ. වඩා හොඳ එක තීරණය කරගත යුතු බැවිනි. මේ වගේ වැස්සක හිරිකඩක් හෝ නො වැදී කැන්ටිමේ දැවැන්ත මේසයක් ළඟින් හිඳ කෝපි එකක් බොනවා ද? නැත්නම් ටිකක් තෙමීගෙන රිය වෙත දිව ගොස් ගමන් ආරම්භ කරනවා ද?

“වාහනේට යං…”

ගඟුල් ගේ තීරණය ගැන අඩමාන බැල්මකින් යුතුව පාරුල් සිය කැමැත්ත ප්‍රකාශ කළා ය. ඔහු දෙඋරහිස් හකුළුවා සිය එකඟතාවය පළ කළේ ය. පාරුල් වැස්සට පැන්නා ය. ඔවුන් රියට ගොඩ වන විට මඳ පමණ ට තෙමී සිටියහ. ගඟුල් සිය සාක්කුවෙන් සුදු ලේන්සුව ගෙන දිගහැර පාරුල් ගේ හිස මතින් දැමුවේ ය.

“දොස්තරල ලෙඩ වෙන එක මහම ලෙඩක්. මං ඒක හොඳට දන්නව”

පාරුල් ගේ මුව මත සූරියකාන්ත සිනහවක් පිපිණි. ලේන්සුව මත තැබුණු ගඟුල් ගේ අත උණුහුමක් තැවරී ය.

ඔහු රිය පණ ගන්වාගෙන වැස්ස අතරින් පාරට ගත්තේ ය. ගඟුල් ගේ අත් වල ඝණ රෝම අතරේ වැහි බිංදු ය. කාර්යාලයේ සිට ගෙදර ගිහින් දිය නාගෙන ටී බැනියමක් හා ඩෙනිම් කලිසමක් හැඳ ඇවිත් තිබූ ඔහු ගේ කඩවසම් බව, මේ මොහොතේ සරාගයක පැටලී තිබේ.

“තෙමිලනෙ ඔයා”

ඇය ඔහු දකිමින් නො දකිමින් කීවා ය. කට හඬ යන්තමින් හෝ වෙව්ලා ගියා ද කියනා සැකය මත ඇය දෙගිඩියාවට පත් වූවා ය.

තෙත් බර අත් බාහුව දෙස බැලුවාට පසන් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

“දොස්තරල ලෙඩ වුණාම ඉස්පිරිතාලෙම ලෙඩ වෙන එක ඇත්ත. ඒ වගේද නගරාධිපතිතුමා ලෙඩ වුණහම… මුළු කොළඹම ලෙඩ වෙයි”

සිය දෑස් වලින් වැස්සක් වාගේ කඩා හැලෙනා හැඟීම කුමක් ද කියා පාරුල් දැන සිටියේ නැත. දැන ගන්නට ඇයට උවමනා වූයේ ද නැත. මේ මන්දාරම් වළාකුලකට මුවහ වී එබිකම් කරනා රිදී පැහැති හිරු එළියක් වන් මන්දස්මිතයක් ඇගේ මුවග එල්ලී හිඳී. කතා කරනා වචන වලට වඩා වෙනස් හැඟීමක් ඇතුලාන්තයේ වෙයි.

“චුට්ටක් පිහිදාන්න”

කියමින් ඔහු යන්තම් හිස ඇය වෙතට බර කළේ ය. ඉහළට ගනිමින් සිටි හුස්ම පහළට හෙළාගන්නට පාරුල් ට අමතක වූ තරමි. ඇයට ඒ ඇහුණා නිවැරදි ද? ඇත්තට ම ඔහු එහෙම කීවේ ද? එය තහවුරු කරගන්නා දෙගිඩියාවක ඈ තත්පර වෙමින් සිටියදී ගඟුල් හිස ඇල කරගෙන සිටියේ ය. සිහි එලවාගත් ඇසිල්ලේ පාරුල් ලේන්සුව සහිත අත ගඟුල් ගේ හිස මත තබා මෘදු ලෙස පිරිමදින්නට වූවා ය. ඒ ගමන් ම, ඔහු ගේ බෙල්ල රිදෙනවා ඇතිය යන සිතිවිල්ලෙන් අතින් හිස කෙළින් කළා ය. ඒ සිහිනයක් ද හැබෑවක් ද නැත්නම් මායාවක් ද යන විශ්මය තුළ පාවෙන හැඟීමක් ඇයට දැනෙමින් තිබිණ. අතැඟිලි මුදු ලෙස ඔහු ගේ හිස කේ අතරේ යවා ලේන්සුවෙන් හිස තෙත පිසදමනා කාලය පුරාවට ඇය සිටියේ දිව්‍යමය භාවයක් තුළ සැරිසරමිනි. ඒ සදෙව් ලොවෙන් වේදනාකාරී මිනිස් ලොවට පිය නගන්නට බැරි ලෝභී හැඟීමක් පෙණ බුබුළු කෝටි ප්‍රකෝටි ගණනක් වාගේ ඇය වසාගෙන තිබිණ.

“ඇති. ඔයාගෙ අත රිදෙයි”

ඔහු එහෙම කීවේත් ගැහැනු හදකට දරා ගත නො හැකි ප්‍රේමණීය පිරිමිකමක් පපුවේ හිර කරගෙනයි. පාරුල් තිගැස්සුණා ය. පිරිමියෙකුට ඒ තරම් ප්‍රේමණීය වී ගැහැනු ආත්මයක දෙදරීමක් ඇති කළ හැකි බවක් මේ මොහොත වන තුරා ඈ දැන සිටියේ නැත.

සිය වම් පසින් හිඳිනා ගෑනු ළමයා ඔහු ගේ පිරිමි ආත්මය මුළුමනින් පුරවා දමා ඇති බව ගඟුල් දනී. නමුත් ඇය හිටියේ අගාධ සයුරක ගිලී හුස්ම හිරකරගෙනයි. දැන් ඕ ඔහු ගේ ඇල්ම බැල්ම ඇති සුරක්ෂිත වෙරළක වැතිරගෙන ගිමන් නිවයි. යථාවත් වෙමින් හිඳී. ඔහු ට හදිසියක් නැත. නො ඉවසිල්ලක් නැත. සාවිය වෙත කොටියෙකු සේ පැන ගොදුරු කරගන්නා මෘග සිතිවිල්ලක් නැත. ඔහු ට ඕනා මුලින් ඕ බිය සැක නැතිව ඔහු ළඟ හුස්ම ගන්නවා දකින්නටයි. සැහැල්ලු මනසින් ඔබ මොබ දුව පැන නිදහස විඳිනවා දකින්නටයි. ඔහු ට ඕනා ප්‍රේමයෙන් ප්‍රේමය සන්සිඳුවන්නටයි. ඇසින් ඇස සනහන්නටයි. හදවතින් හදවතට බැඳෙන්නටයි. ශරීරයකින් ශරීරයක් තුළ කිමිදෙන්නටයි. ඈ තුළින් යළි උපදින්නටයි. ඒ වෙනුවෙන් ආලෝක වර්ෂයක් කල් ඉවසා ගන්නට ඔහු සූදානම් ය. කවදා හරි දවසක ඇය ම ළදල්ලක් සේ ඔහු මත පතිත වන තුරාවට ඉවසීම පරීක්ෂා කරන්නට තරම් පිරිමිකම ගැන ඔහු ට විශ්වාස ය. ගඟුල් විජයවීර ට දැන් උවමනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම – මුළුමනින් ම ඈ ඔහු ගේ කරගන්නටයි!

ගඟුල් මෘදු සංගීතයක් වෑහෙන ගීතයක් ක්‍රියාත්මක කළේ ය.

“අහසින් එහා තරුමං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්…අහසින් එහා සිහිනය දිගේ පියඹන්නනම් ආසයි ඉතිං… හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නො දැනුණ ලෙසින්…හද ගී පොතේ…සත්සර නැගේ…ඒ ආදරේ…”

පාරුල් ඒ මන්මත් කරනා ගී හඬ තුළ මග සොයා ගත නොහී අතරමං වූවා ය.

“සිතිවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ… ඔබගේ හඬින් විවරන අරන් ජීවිතය ගීයක් වුණේ… දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිණක් ලෙසින්…”

වැස්ස සැඩ වෙමින් පවතී. ඇතැම් හවසක මේ විදිහට පුස්තකාලයේ දී ගඟුල් ට පාරුල් හමු වේ. ඒ ඔහු ද ඉඳහිට හෝ එහි පැමිණෙන නිසාවෙනි. පාරුල් දැකීම ඒ ගමන් වල පරම අරමුණ වී ද ඔහු පාඩම් නො කරනවා ද නොවේ. අනිත් අතට නගරයක පාලනය අතට පත් ව ඇති වෙලාවේ අවුරුදු දහ අටේ කොලු ගැටයෙකු සේ කෙල්ලක වෙනුවෙන් පුස්තකාලයේ කල්මැරීම විහිළුවකි. නමුත් ගඟුල් ඒ ගැන වැඩිපුර සිතන්නේ නැත. ජීවිතය වූ කලී කොටු ගසා සීමා මායිම් සලකුණු කළ යුතු ගමනක් නොවේ. ජීවිතයක් මත සිදුවීම් සිදුවන්නට නිශ්චිත කාල වකවානු අනිවාර්යයෙන් තිබිය යුතු නැත. අහඹු ලෙස ඒවා ඕනෑ ම වයසක දී ඕනෑ ම මොහොතක දී සිදු වන්නට පිළිවන. වැස්සක් වුණත් කඩා වැටෙන්නේ අහසට ඕනෑ වූ මොහොතකයි. වැදගත් වන්නේ ලැබෙනා අවස්ථාවන් ස්තූති පූර්වකව පිළිගැනීමයි.

“තමුසෙ බොඩිගාඩ්ට එන්න එපා කියල තනියම කොහෙද රෝන්දෙ ගහන්නෙ…”

උදේ සුරත් විජයවීර ගඟුල් ගෙන් විමසුවේ ය.

“අනේ මට හැම තැනටම බොඩිගාඩ් කෙනෙක් එක්ක යන්න ඕනකමක් නෑ තාත්තෙ. එකක් මට එච්චර පරිස්සං වෙන්න තරං හතුරො නෑ. අනික ඩියුටි වෙලාවෙදි නගරාධිපති වුණාට අනිත් වෙලාවට මං සාමාන්‍ය කොල්ලෙක්”

ගඟුල් ඒ වෙලාවේ සුරත් ට කට ගැසුවේ ය. නිර්ධා ඔහු ගේ පැත්තේ හිඳීම නිසා ඒ වෙලාවේත් සුරත් තනි විය.  

“මේ නගරාධිපතිකම මහ වදයක්. මං ආයෙ ඡන්දෙ ඉල්ලන්නෑ”

ගඟුල් කීවේ හදිසියේ ය. එතකොට පාරුල් ඇස් විවර කොටගෙන ම වුව ගීතය තුළ ප්‍රේමයෙන් මන්මත් වෙමින් සිටියා ය. ඔහු ගේ හඬින් ද ඔහු ඒ කී අනපේක්ෂිත කතාවෙන් ද තිගැස්සී ගිහින් ඕ ඔහු දෙස බැලුවා ය.

“ඒත් මේ ලැබිච්ච අවස්ථාවට මං කැමතියි. මං මේ පුටුවෙ ඉන්න කාලෙදි කරන්න පුළුවන් උපරිම දේ කරනව. එච්චරයි. ඊට පස්සෙ නෑ”

තවමත් පාරුල් ගේ ඇස් විසල් ව දැල්වීගෙන ය. ගඟුල් ඔහු දෙස බලා සිනහවකින් ඉදිරියට නෙතු යොමු කළේ ය. මේ විදිහට ඔහු හදවතේ ලබ් ඩබ් ගැස්ම තීව්‍ර කරනා අහඹු මොහොතක ඈ මියෙන්නට වුව බැරි නැතැයි සිතිවිල්ලක් ඈ තුළ ඉපිද මිය ගියේ ය.

“ඊට වැඩිය මට නිදහස් ජීවිතයක් වටිනව. පෞද්ගලික ජීවිතයක්. පොදු මිනිහෙක් වුණාම පෞද්ගලිකත්වයක් ඉල්ලා හිටින්න බෑ පාරුල්”

ඇය වඩාත් නිහඬ ව සිටියා ය. සැබවින් කුමක් පවසන්නදැයි අදහසක් ක්ෂණිකව ඇති කොටගත හැකි වූයේ ද නැත. ඊටත් වඩා පිටත මහ වැස්සක් වහිමින් තිබියදී, රාජ කුමාරයෙක් තරං කඩවසම් පිරිමියෙකු ඈත මන්දාකිණියක සිට වාගේ පිරිමිකාර හඬකින් හිතුවක්කාර කතාවක් කියත්දී ගැහැනු හිතක් හරි අසරණ ය.

“ජීවත් වෙන්න ජොබ් එකක් විදිහට එතකොට මං නීතිය තෝරගෙන ඉඳී. ලස්සන නෝනා කෙනෙක් හුරතල් බබාල දෙතුන් දෙනෙක් එක්ක ලස්සන ජීවිතයක්… දැං මෙහෙම තැනකට ගිහින් නිදහසේ තේ එකක්වත් බොන්න පුළුවන්ද…මට දැං තේරෙනව මට එහෙම වෙන්න ඕන නෑ කියල”

පාරුල් මඳක් අසුනේ ඉදිරියට නැඹුරු වී හිස ද හරවා මෘදු බැල්මකින් බලා සිටින්නට වූවා ය. ටී බැනියමේ අත් ඔහු ගේ අත් වලට හිර වී තිබේ. එය වෙනම ම පෞරුෂයක් ඔහු ගේ පෙනුමට එක් කොට ඇත. ගඟුල් ගේ දෑස් වල වන්නේ සැලැස්මක් ගැන කතාවකි. ඔහු ට ලස්සන පවුලක් ඕනෑ වී තිබේ. ලස්සන යුග දිවියක් ඕනෑ වී තිබේ. ඒ දෑස් බලාපොරොත්තුවකින් පිරීගෙන ය.

“ඔක්කොම පොදු අරමුණු මට අමතක වෙලා නෙවෙයි. මේ පෝස්ට් එක මගෙ අතේ තියනකල් මං උපරිමය කරනව. ඒත් මට හිතෙනව… මට ඊට වැඩිය දෙයක් ඕනෙ කියල. ඊට වැඩිය ලොකූ දෙයක්… ඊට වඩා සැනසිල්ල පිරිච්ච දෙයක්. ඊට වැඩිය පෞද්ගලික දෙයක්. මං වැරදියි කියල ඔයා හිතනවද…”

‘නෑ’ කියාගන්නට පාරුල් ට ඕන විය. නමුත් එසේ කියන්නට ඇයට අමතක වී තිබිණ. මීට පෙර ඇය ගොඩ වී නැති සුඛෝපභෝගී අවන්හලක් ඉදිරියේ රිය නතර වූයේ පාරුල් මග සොයාගත නො හැකිව සිටියදීයි!

එක වැහි බින්දුවකටවත් ඔවුන්ව තෙමන්නට හැකියාවක් වූයේ නැත. වීදුරු දොර විවර කොට, අවන්හලට ගොඩ වෙන මුල් අවස්ථාව ගඟුල් පාරුල් ට දුන්නේ ය. ඔහු ගේ එක් අතක් දොරේ හැඬලය අල්වාගෙන සිටි අතර අනිත් අත ගෑවෙන නො ගෑවෙන තරමට පාරුල් ගේ බඳ පිටුපස රැඳිණ. මේ වැහි සැඳෑවේ ඇයට ගිනි මැලයක උණුහුමක් දැනුණේ ය.

“කොච්චර කාලයක් යයිද…”

ඇනවුම් ලබා දී පුංචි රවුම් මේසය අස හිඳ කකුලක් මතින් කකුලක් දමා ගනිමින් ගඟුල් හෙමිහිට විචාළේ ය. පාරුල් ට එකවර ම එහි අදහස වැටහුණේ නැත.

“ඔය හැම දේම ඔළුවෙන් අත්ඇරල හිත හිස් කරගන්න කොච්චර කාලයක් යයිද…”

පාරුල් ගේ ඇස් පියන් බිමට හැරවිණ. ඇස් පෙති වල ලොකු බරක් එල්ලී ඇත්තා සේ ඇයට දැනෙන්නට ගති.

“කොච්චර කාලයක් ගිහින් හරි කමක් නෑ… සම්පූර්ණයෙන් හිස් වෙන්නයි ඕනෙ. සම්පූර්ණයෙන් ඔයා වෙන්නයි ඕනෙ”

ළඟ ළඟ ම හිරු මඬලක් සේ ඒ ඇස් පායා තිබිණ.

“සම්පූර්ණයෙන් හිස් වුණාමයි ආයෙ සම්පූර්ණයෙන් පිරෙන්න පුළුවන් වෙන්නෙ”

‘මං බලන් ඉන්නෙ ඔයාව සම්පූර්ණයෙන් පුරවන්න. හැබැයි බාගෙට හිස් වෙච්ච කෙල්ලෙක් විදිහට බාගයක් පුරවන්න නෙවෙයි’

ඔහු නො කියූ, ඒත් ඇස් පවසමින් තිබූ කතාව එයයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles