ඇයි ඌට අත් දෙකක් – 5

0
3864

ලංකා උඹ දන්නවද…

නග්‍රැක් බියුටි  පොඩි කාලේ ඉඳලම මම ආස කරපු මගේ වතුයාය.තාත්තගෙන් පස්සේ මේ වතු යාය  බාරගන්න මම හිටියේ හරිම ආසාවෙන්. තාත්තාගේ අභිරහස් මරණයෙන් පස්සේ මමයි අප්පුයි මේ වත්තේ තනි උනා.

අදටත් මගේ ජීවිතයේ මම දැකල තියෙන භයානකම සිද්ධිය වගේම විශ්වාස කරන්න බැරි සිද්ධිය වෙන්නේ අපේ තාත්තාගේ මරණය..

නාන කාමරය ඇතුළේ අසාමාන්‍ය විදිහට තාත්තගේ යටි කය වැල් වැල් යන විදිහට පුපුරලා මැරිලා වැටිලා ඉන්නකොට දවස් දෙකක් ගිහින් තිබුණා.  අප්පු හැමදාම හිටියේ බංගලාවෙන් එළිය කාමරයක..කවදාවත් බංගලාව ඇතුලට  ආවෙ නැති අප්පු.. තාත්තගෙන් කිසිම සද්දයක් නැති නිසා බංගලාව ඇතුලට ඇවිල්ල බලන කොට තමයි මේ සිද්ධිය දැකලා තියෙන්නේ.අප්පු මට කතා කරලා කියනකොට මම හිටියේ නුවර වත්තේ…..

*******************

මරණ පරීක්ෂණයෙනුත් කිසිම දෙයක් හොයාගන්න බැරුව ගියේ හරියට නිකං අද්භූත දෙයක් සිද්ධ වෙලා වගේ.මරණ පරීක්ෂකනය කරපු දොස්තර ගෙ වාර්තාවේ තිබුණේ විසඳාගත නොහැකි මරණයක් හැටියටයි. ඒ වාර්තා වල ලියවිලා තිබිච්ච එකම දේ තාත්තගෙ ඇඟේ ආමාශය කියන එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා කියන එක විතරයි.ඒ කියන්නේ..ආමාශය කියන එක ඇඟ ඇතුලෙ තිබිලා නැහැ..
ඒක උනේ කොහොමද කියන එක තමයි වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බැරුව ගියේ..කිසිම විදිහකින් මිනීමැරුමක ලක්ෂණ තිබුනෙ නැහැ.ඒත් ඇත්තටම ඒ විදිහට වෙන්න හේතුවක් හොයාගන්න බැරුව ගියා.තාත්තගේ ශරීරයේ ඉඳලා සාලය පැත්තට විහිදිච්ච ලේ පාරවල් ගණනාවක් තිබුණා. ඒ ලේ පාරවල් හැම එකක්ම ජනේලයෙන් එළියට ගිහිල්ලා තිබුණා.එතනින් එහාට තියෙන්නෙ වැලි පොළොවක් හින්දා කිසිම දෙයක් හොයාගන්න බැරුව ගියා.එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියන එක ඇත්තටම කාටවත් හොයාගන්න බැරුව ගියා.
එහෙම මනුස්සයෙක්ගේ ආමාශය කියන එක අතුරුදහන් වෙන්න පුළුවන්ද..ඒ විදිහට මනුස්සයෙක්ගේ අසූචි මාර්ගය තීරු තීරු යනකම් පුපුරලා යන්න පුළුවන්ද..එහෙම පුපුරල එළියට එන්නේ මොනවද..මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ගියා.මම කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්.මේ සම්බන්ධව පර්යේෂණ කරපු කිසිම දොස්තර කෙනෙකුටවත් කිසිම විස්තරයක් හොයාගන්න බැරුව ගියා.හුඟක් අය කතා වුනේ මේක මොකක් හරි දේව සාපයකට සිද්ධ වෙන දෙයක් කියලා.මොකද මීට කලින් වත්තේ වැඩ කරන මිනිස්සු කීප දෙනෙකුටම මේ විදිහේ දේවල් වෙලා තිබුණා.ඒ හැම මරණ පරීක්ෂණයකදීම කියවිලා තිබුණේ ඒ මිනිස්සුන්ගේ ආමාශය නැහැ කියන එක විතරයි.ඒ විදිහටම ඒ මිනිස්සුන්ගේ යටි කය පුපුරලා තමයි මැරිලා තියෙන්නේ.
ඒ වෙලාවේ නම් පොලිසිය කිව්වේ වත්තේ පෙරන හොර කසිප්පු අධි මාත්‍රාවෙන් අරගත්තහම මේ වගේ විපත්තිදායක දේවල් සිද්ධ වෙනවා කියලයි.ඒ වුණාට මේ හැම මරණයක්ම පර්යේෂණය කරන්න හිටපු ලොකු දොස්තර කිව්වේ අක්මාවයි ආමාසයයි අඳුරන්නේ නැති පොලිස් කාරයින්ගෙන් පේන අහන්න යන්න එපා කියලයි.
තාත්තගෙ මරණයෙන් පස්සේ මට වත්ත භාරගන්න සිද්ධ වුණා.මම ගාල්ලේ තිබිච්ච අපේ දේවල් ඔක්කොම විකුණලා නුවර තිබිච්ච හැම දෙයක්ම විකුණලා ඒ සල්ලි බාගේ බාගේ වසන්තිගේයි පුතාගේයි පොත් වලට දාලා දුන්නා. නග්‍රැක්  වලට මම ආදරෙයි. ඒ හින්ද මට ඒක විකුණන්න හිතෙන්නෙ නෑ.. ඒ හින්දා මම පූර්ණ කාලීනවම වත්තේ පදිංචියට ආවා.

ඊට පස්සේ අප්පුයි මමයි බංගලාවේ තනි උනා. එදා ඉදලම බංගලාව බලා කියා ගත්තේ අප්පු.
තාත්තගේ පාලන කාලයේදී තාත්තා අප්පුව බංගලාව ඇතුලට ගන්න අකමැති වුණාට අන්තිම කාලෙදි තාත්තට අසනීප වුණාම තාත්තව බොහොම ආදරයෙන් බලා කියාගත්තේ අප්පු තමයි.අප්පු මාත් එක්ක කිව්වේ අන්තිම කාලෙදි තාත්තා හුඟක්ම බීමට ඇබ්බැහිවෙලා හිටියා කියලයි..

*************

වසන්තිගෙන් වෙන් වුණාට පස්සේ නග්‍රැක් බියුටි  මගේ ස්ථීර වාසස්ථානය බවට පත්වුණා. මට කතා කරන්න කියලා කවුරුවත් හිටියේ නැහැ. වත්තේ වැඩ කරන මිනිස්සු ඇරුණු කොට අප්පු උනත් වචනයක්වත් කතා කළේ නැහැ. මට ඕන කරන කෑම බීම ටික හදලා දෙනවා විතරයි. තාත්තගේ මරණය ගැන මට ඇතිවෙලා තිබුනේ විශාල සැකයක්. ඒ උනාට ඒ මරණය සැකයක් විතරයි. කිසිම කෙනෙකුට මට ඇඟිල්ල දික් කරන්න බැරුව ගියා.  තාත්තා බොහොම ශක්තිමත් පුද්ගලයෙක් බව උබට මතක ඇති..තාත්තා අඩිපුඩි ගැහුවා තමයි.. ඒ උනාට කවදාවත් වැටෙන්න බොන මනුස්සයෙක් නෙමෙයි.. හැමදේම හරි නූලට මිම්මට තිතට කරපු කෙනෙක්..ඒ හින්දා බොන එක උනත් හරි ලස්සනට ආට් එකට කරපු මනුස්සයෙක්..එහෙම කෙනෙක් මේ විදිහට සිරෝසීස් හැදෙනකං බොයි කියලා හිතන්න අමාරුයි.. තාත්තගෙ බඩ අන්තිම කාලයේදී පුදුම විදිහට ඉදිමිලා තිබුණා.හරියට සිරෝසිස් රෝගියෙක්ගෙ වගේමයි..
එදා මම ආපු දවසේ ගොඩක් රණ්ඩු කළා තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න. ඒත් තාත්තා පුදුම විදිහට ඒකට විරුද්ධ වුණා.ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ..එදා මම බංගලාවෙන් පිටත් වුණේ තාත්තත් එක්ක රන්ඩු කරලයි.. මං හිතා ගත්තා ඊළඟ දවසේ කොහොම හරි තාත්තව දොස්තර ගාවට ගෙනියනවා කියලා.. ඒත් වත්තෙ සේවක ප්‍රශ්න ගොඩක් තිබිච්ච නිසා මට මාතර වත්තෙන් නග්‍රැක්  එන්න  බැරුව ගියා.හරියටම  ඊට දවස් දෙකකට පස්සේ තමයි තාත්තගෙ මරණය ගැන ආරංචි වුණේ…

ඒත් මම මේ විදිහට කවදාවත් මගේ විස්තර කොළවල ලියන කෙනෙක් නෙමෙයි.ඒත් එකම එක හේතුවක් නිසා මම මගේ විස්තර එදා ඉඳලා මේ විදිහට ලිය ලිය එකතු කරන්නේ කිසිම කෙනෙක් නොකිව්වට මගේ ජීවිතය ගැන අහේතුක භයක් දැනෙන්නට පටන් ගත්තු හින්දයි.
තාත්තගෙ මරණයෙන් පස්සේ මං බංගලාවට ඇවිල්ලා තාත්තගෙ කාමරය සම්පූර්ණයෙන් අස්කළා.පොලිස් පරීක්ෂණ ඉවරවෙච්ච හින්දා ලේ පැල්ලං හෝදලා දැම්මා. තාත්තාගේ මරණය වැඩකටයුතු වලින් පස්සේ මගේ හිත යථා තත්ත්වයට පත් වෙන්න සෑහෙන කාලයක් ගත වුණා.එක දවසකදි මට හිතුනා එදා මම තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න එක දවසක් ඉක්මන් උනානම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ කියලා.ඒත් මට දැන් හිතෙනවා තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන එකට විරුද්ධව කතා කළේ තාත්තා විතරක් නෙමෙයි කියලා. අප්පුත් හරි හරියට තාත්තත් එක්ක ඉස්පිරිතාලෙට යන එකට විරුද්ධව කතා කළා.අප්පු තරයේම මට කිව්වේ ලොකුමුදලි ඉන්න අසනීප තත්ත්වයත් එක්ක ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න කියලා විතරයි.මේවා සේරම කල්පනා වෙනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා තිබුණා.
තාත්ත පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක් වගේම ඩයරි ලියන්නත් ආස කෙනෙක්.එයා මෑතකදීම ලියන්න පටන් අරගෙන තිබිච්ච ඩයරිය මේසේ ලාච්චුවක තිබිලා මට හම්බවුණා.

ඔව්.. මට තාත්තා ලියපු  ඩයරිය හම්බවුණා.ඩයරිය පුරාවටම තිබුනේ වත්තේ ගනුදෙනු ගැනයි .මම නිකන් ඕනවටන් එපාවට ඒක පෙරලලා බැලුවේ.
ඒත් ඒකෙ තාත්තා නැති වෙන්න හරියටම දවස් දෙකකට කලින් මහා අමුතු දෙයක් ලියල තිබුණා.

අප්පු මලයාලම්  ගුරුකම් රජෙක්…
ඉක්මනින්ම මේ ගැන සේනාධිරට කියන්න ඕනේ… කියලා ..

*********

තාත්තා ලියල තිබිච්ච දේ ගැන මගේ හිතේ ගොඩක් දේවල් වැඩ කරන්න පටන් ගත්තා..සමහරවිට මං ඕනවටත් වැඩිය අප්පු ගැන හොයලා බලන්න පටන් ගන්න ඇති.
මේක මගේ හිතට මහ වදයක් වෙලා තිබුණා.ඉන් ඉස්සරහට තාත්තාගේ ඩයරියේ කිසිම පිටුවක් ලියවිලා තිබුණේ නෑ.එතනින් එහාට තාත්තා ඩයරිය ලියන එක නැවැත්තුවේ ඇයි කියන එක මට හිතාගන්න බැරුව ගියා.දින ගණන් එක්ක සසඳලා බලනකොට ඩයරිය ලිවිල්ල නවත්තලා තියෙන දිනයි තාත්තා අසනීප වෙන්න පටන් ගත්තු දිනයි සමාන වෙලා තිබුණා.
තාත්තා එදා ලියලා තිබිච්ච දේ හින්දා මට අප්පු ගැන හැමතිස්සේම සැක හිතුණා.කවුද හරි කවුද වැරදි කියන එක හරියටම නොදැන මේ විදිහට අහිංසක මනුස්සයෙක්ව සැක කරන එක සාධාරණ නැහැයි කියලත් මට වෙලාවකට හිතුනා.ඒ උනාට මම අප්පු කියන මනුස්සයාගේ අතීත කතාව කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.මම පොඩි කාලෙම අප්පු තාත්තා ගාව වැඩට ආවා කියන්න විතරයි මම දැනගෙන හිටියේ.අප්පුව තාත්තට හම්බවුණේ කොහොමද කියන්න මම දැනගෙන හිටියෙත් නැහැ.
මොනවා වුණත් එදා ඒ තාත්තගේ ඩයරිය කියවපු දවසේ ඉඳලා වත්තේ වැඩ කටයුතුත් එක්ක අප්පු ගැන විශේෂිත සැලකිල්ලකින් ඉන්න එක මගේ දවසේ රාජකාරියක් වුණා. ඒ උනාට තාත්තා කිව්ව වගේ කිසිම සැකකටයුතු දෙයක් මට අප්පුගෙන් දැනුනේ නැහැ.මගේ කෑම වේල පවා කාටවත් හදන්න දෙන්නේ නැතුව අප්පුගේ අතින්ම හදලා දෙන්න එක තමයි එයාගේ එකම සතුට වුණේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here