ආකාස මෝස්තර – 41

චන්දුල ඇල්ලගේ ලස්සනට හැඳ පැළඳ, බිත්තියේ ගැසූ කැඩපතින් කිහිප විටක් හැඩරුව බැලුවේ ය. විලවුන් ගැල්වූයේ ය. කමිස අත් සමාන දිගින් නවා ඇත්දැයි දෑත් එකට තබා බැලුවේ ය. කමිසයේ රැලි හැදුවේ ය. නමුත් ඔහු ට කුමක් හෝ අඩුවක් දැනෙයි.

“හැඩයි හැඩයි. ඔච්චරම බලල කණ්ණාඩිය මහන්සි කරන්න ඕන්නෑ ඉතිං. අපි දන්නවනෙ. කෙල්ලො වහ වැටිල ඉන්නෙ දැං…”

පාරුල් විහිළුක් කළා ය. චන්දුල ඇගේ කන් පෙත්තක් අල්වා මිරිකා ඒ විහිළුව පිළිගත්තේ ය. නමුත් ඔහු ට අඩුවක් දැනෙයි. නො පිරුණු හැඟීමක් දැනෙයි.

“දිනල එන්න ඕන ඔන්න”

චන්දුල ගෙයින් පිටවෙන්නට හදත්දී පාරුල් කීවා ය. අයියා දිනාගෙන ඉදිරියට යත්දී ඇයට පපුව පිරෙනා සතුටක් දැනේ. හැමදාමත් ඇයට හිටියේ ඔහු ය. ඇයට ඉගෙන ගන්නට පාර කපනු වස් ඔහු වතුර ටැංකියට බැස්සේ ය. ඒ ආදරණීය අයියා ට දැන් අලුත් මාවතක් විවර වී තිබේ. ඔහු සිය ජීවිතය ඉහළින් ම දිනනවා දකින එක තරම් සතුටක් පාරුල් ට වෙන නැත.

චන්දුල රිදී ගේ දෙපා අල්වා වැන්දේ ය. මේ ගමන පිටත් වීමට පෙර හැමදාමත් ඔහු සිය දෙපා අල්වා මෙසේ වන්දනා කරත්දී රිදී ගේ උගුර හිර වී වචන අමතක වී ඇස් පත්ල කඳුළින් වැසී යයි. මේ වගේ රත්තරං ප්‍රතිමාවක් ඈ දෙපා වඳිනා එක ම ඇයට දරාගත නො හැකි තරම ය. ඈ දර ඉපලක් සේ පරඬැල් වී ගියේ මේ පැටවුන් දෙදෙනා මේ තරමට ඇති දැඩි කරගන්නට අව්වත් වැස්සත් වතුර ටැංකියත් ඇපිල්ලුම් ගලත් සමගින් ඔට්ටු වූ නිසාවෙනැයි රිදී මොහොතකටවත් නො සිතයි. චන්දුල ගෙයින් පිට වී ටික දුරක් යන තුරු ම රිදී හිඳිනුයේ ඇතුළාන්තයේ තෙරපෙන හැඟීම සංවේගයක් ද සන්තාපයක් ද කියා වෙන් කොට හැඳිනගත නො හැකිව ය.

ලෑලි ගේට්ටුවෙන් පිටතට පිය නැගුව ද චන්දුල ගේ හිතේ අඩුව නැති වී ගියේ නැත. ඒ අඩුවත් සමග මේ ගමන යන්නට බැරි තරමට ඔහු ගේ පිරිමි හිත මුරණ්ඩු වී තිබිණ. ආමර් වීදිය දෙසට යනු වෙනුවට ගෙවල් පේළිය ළඟින් හැරී උමා ගේ නිවස ඉදිරියට ගොස් හෙතෙම “උමා” යි හඬගෑවේ ය. ඒ එක හඬින් ඈ මිදුලට විසි වූවා විය යුතු ය. මෙතෙක් පර වී ගිහින් තිබි මුව මත පිච්චමල් සිනහවක් පිපිණි. ඈ හිටියේ හිත තද කරගෙනයි. ආයේ චන්දුල ඉදිරියට නො යන්නෙමැයි අධිෂ්ඨාන කොටගෙනයි. ඔහු ට යන්තම් හෝ ඈ ගැන හැඟීමක් වන්නේ නම් ඔහු ම ඈ සොයා එනු ඇතැයි ඉත සිතින් සිතාගෙනයි. එහෙව් පාරමිතාවක් පුරත්දී චන්දුල ගේ හඬ දොරකඩින් ඇසෙත්දී කවරක් නො සිතෙන්නේ ද?

“ලස්සනයි ලස්සනයි. අදත් ඊළඟ වටේට තේරිලම එන්න ඕනෙ”

කිසිදු වෙනසකින් තොරව ඕ සුබ පැතුවා ය. නමුත් චන්දුල ගේ මුහුණෙහි වූයේ හිතුවක්කාර බැල්මකි.

“ඇයි අද ගෙයින් දොට්ට බහින්න බුලත් දෙන්න ඕනද…”

ඒ හඬ පවා මුරණ්ඩු වූයේ ය. උමා ට බිම බැලිණ.

“මට අමතක වුණා”

චන්දුල බලහත්කාරයෙන් වාගේ ඇගේ ඇස් වලින් හදවතට එබිකම් කළේ ය.

“අද මං යනව කියල…”

ඔහු ගේ මුව මත අවඥාසහගත සිනහවකි. උමා කළබලයෙන් හිස සැලුවා ය. ඒ විදිහට හිත හදාගන්නා එක පහසුයි කියා ටික දවසක සිට ඇයට සිතෙමින් තිබේ. එතකොට චන්දුල ට පහසු ය. ඈ පස්සෙන් යන එක ඔහු ගේ නිදහස් තීරණ වලට බාධාවක් විය යුතු නැත. දවසක ඔහු තෝරාගත යුත්තේ ඔහු කැමති විදිහේ යුවතියකි. ඔහු ට කැමති අය දහස් ගණනින් දැන් මේ බිමේ සිටිති.  

“මේක ඔයා තෝරල දීපු පාරක් මිසක් මට යන්න ඕන වුණ පාරක් නෙවෙයි”

“රා… ජයිය”

“දමල ගහල නිකං ඉන්නව මට හිතුණොත්”

“රා… ජයිය… අනේ ඉතිං කේන්ති ගන්නැතුව ඔය ගමන ගිහිං එන්න. දෙයියංගෙ පිහිටයි ඔයාට. ඔයා ලෝකෙම දිනල එනකං නැන්දයි පාරොයි වගේම මාත් බලං ඉන්නව. ඔයා ඔයාගෙ සතුට හොයාගන්න දිහා ඈතක ඉඳං වුණත් මං සතුටෙං බලං ඉන්නව. රිලැක්ස් එකේ ගිහිං හොඳට සිං කරන්න. අපේ ආඩම්බරේ ඔයා”

ඈ ඒ අන්තිම ටික කියාගත්තේ අසීරුවෙන් උගුර යටිනි. කඳුළු වලට ඉඩ දෙන්නේ නැතිව ය. හදවතින් ම ය. ඇස් වලින් සිනහ වෙමින් ය.

එදා වෛද්‍ය සායනය පැවැත්වීමට නියමිතව තිබිණ. රෙදි වේලන අවකාශය ඒ කටයුතු වලට යොදා ගැනීම දහවල රෙදි වේලීමට අවහිරයක් වන නිසා ගඟුල් උපදෙස් දී තිබුණේ තැන් තැන් වල ගස් සෙවන වල කැනපි ඉදි කොට ඒ කටයුතු කරගෙන යන්නටයි. දන්ත සායනය වෙනුවෙන් ඔහු සිය පාසල් මිතුරාගෙන් ඉල්ලීමක් කළේ ය. පෞද්ගලික දන්ත රෝහලක් පවත්වාගෙන ගිය ඔහු සිය ජංගම දන්ත ඒකකයක් සහිත බස් රිය ලොන්ඩර් වත්තට ගෙන ආවේ ය.

වෛද්‍ය කණ්ඩායම පැමිණෙන විටත් පාරුල් සහ උමා සූදානමින් සිටියහ.

“සිදුහත්ව සිරියහන් ගබඩාවට ගෙන්නගන්න යශෝදරා ඇතුළට වෙලා හිටිය වගේ ඉඳල අන්තිමට කොහොමහරි මගෙ අහිංසක අයියව කකුල් දෙක ළගට ගෙන්නගත්ත නේද එහෙනං… කපටි අම්මණ්ඩි”

උදේ සිදුවීම ගැන පාරුල් කීවේ එසේ ය. උමා හඬ නගා සිනහ වූවා ය. වෙනදා නැති සතුටක් අද ඇගේ දෑස් පත්ලේ එළියක් විහිදුවන බව පාරුල් නො දැන සිටියා නොවේ.

“එහෙම තමයි උමා. හුඟක් මිනිස්සුන්ට තමන්ට ලැබිල තියන දේවල් තමන්ගෙ අත ළඟම තියන දේවල් වටින්නෑ. හැබැයි තමන්ට නැති වෙලා යනව වගේ දැනුණොත් එ්වගෙ වටිනාකම මතක් වෙන්න ගන්නව. ඔයා ඒක අපේ පෝරිසාද්ට මතක් කරල දීපු එක හොඳයි”

“අනේ නෑ පාරො. මං එහෙම අගයක් දැනෙන්න ඇරිය නෙවෙයි. මං දන්නව..මට වැඩිය ගොඩාක් වටින කෙල්ලෙක්ව දැං රාජාට හොයාගන්න පුළුවන්”

“ඒත් ඔයා තරං එයාට ආදරේ කරන… එයා ගැන හිතන කෙල්ලෙක් හොයාගන්නනං බැරි වෙයි”

“එයාට දැං කොහොමත් මාව මදි වගේ දැනෙනව ඇති. ඒක එහෙම තමයි..ඒ ගැන මගෙ තරහක් නෑ. ඉස්සර එයාගෙ පස්සෙං ගියත්… දැං එහෙම කරන්න මට හයියක් නෑ පාරො… මං ඒකට සුදුසුත් නෑ”

උමා ගේ හිත හැදිය යුත්තේ කොහොමද කියා පාරුල්  වුව නිශ්චිතව  දැන සිටියේ නැත.

ගඟුල් පැමිණියේ අම්මා සමග යි. නිර්ධා ට පාරුල් වහා හැඳිනිය හැකි විය. එහෙව් ඕරාවක් පාරුල් ගෙන් විහිදුණා සේ ය. රියෙන් බට ඕ ලස්සන සිනහවකින් සැරසීගෙන යුවතිය වෙතට විත් ඇගේ අතකින් අල්වා ගත්තා ය. පාරුල් සිනහ වීමේ උත්සාහයක් දැරූ බැව් සැබවි. නමුත් ඇගේ හදවත ලී මෝලක් මෙන් හඬ නගමින් තිබිණ. ඒ තිගැස්ම කොහොම එකක් ද කියා පැහැදිලි කොට ගන්නට ඇය ම දන්නේ නැත.

“ඔයා කිව්ව හරි”

නිර්ධා එසේ කීවේ පාරුල් ගේ අත අල්වාගත් වන ගඟුල් දෙස බලාගෙනයි.

“මොකද්දම්ම…”

“මෙයා දේවතා රූපයක් වගේ තමයි”

පාරුල් අංශක අනූවක් තරම් ගෙල හරවා මුහුණ බිමට ම හරවා ගත්තා ය. ඇගේ ඇස් ක්ෂණික කඳුළකින් තෙත් විය. ඒ කඳුළු වලට හේතුවක් ඈ දන්නේ නැත. ඒ මොහොත තුළ නිර්ධා සේ ම ගඟුල් ද සිටියේ ලැජ්ජාශීලී වී හිඳිනා යුවතිය දෙසට ම දෑස් යොමු කරගෙනයි. එක තත්පරයක පාරුල් දෑස් එසවූවා ය. ඒවා එක එල්ලේ ගඟුල් ගේ ඇස් වලට හසු විය. ඇගේ ඇස් පිහාටු, කඳුළු තෙතමනයට එකට ඇලී චමත්කාරයක් මැව්වේ ය. කඳුළු අතරින් සිනහ වන විට ගෑනු ළමයින් ලස්සන ය!

සායනයේ කටයුතු අතිශය සාර්ථක ලෙස සිදු වෙමින් තිබිණ. වත්තේ බොහෝ අය, විශේෂයෙන් ම වැඩිහිටි ප්‍රජාව ඊට යොමු වී, කාලාන්තරයක් තිස්සේ ඔවුන්ට පවතින වේදනා, කැක්කුම්, ආබාධ ගැන පැමිණිලි කළහ. වෛද්‍ය මණ්ඩලය සාවධානව ඔවුන් පරීක්ෂා කොට බලා අවශ්‍ය ඖෂධ හා උපදෙස් ලබා දුන්හ. ඇතැම් රෝගීන් ව රෝහල කරා යොමු කිරීමට කටයුතු කරනා ලදී.

පාරුල් පුංචි දොස්තර නෝනා කෙනෙකු සේ වෙද නළාව බෙල්ලේ දමාගෙන නිර්ධා ගේ උපදෙස් මත රෝගීන් පරීක්ෂා කළා ය. රුධිර පීඩනය මිනුම් කළා ය. උපන් දා සිට ඈ ජීවත් වූ වත්තේ මිනිසුන්ට පාරුල් ව එලෙස දැකීම ආඩම්බරයෙන් හදවත් පුම්බා දමන්නක් විණි. රිදී ද ජුලී ද සායනයට පැමිණියේ අසනීපයක් නිසාමත් නොව පාරුල් ව දොස්තර නෝනෙකු ලෙස දැකීමේ ආඩම්බරය විඳින්නට ය. නමුත් නිර්ධා ඔවුන්ගේ රුධිර පීඩන මැන ස්ටෙතස්කෝපයෙන් පපු කුහරයේ හඬට කන් දුන්නා ය.

“චූටි දොස්තර නෝනා කෙනෙක් ගෙදරම ඉන්නවනෙ. දැං ඉතිං ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන්”

ඒ අතරේ ඈ එවන් විහිළුවක් කරන්නට ද අමතක නොකළා ය.

“අනේ ඇත්තමයි දොස්තර නෝනො… මටනං මේ දැං මළත් කමක් නෑ කියල හිතෙනව. තාම දොස්තර විභාගෙට ඉගෙන ගන්නව වුණත් මං අද මගෙ මිණිපිරීව දොස්තර නෝනෙක් විදිහට දැක්කනෙ”

ජුලී සිය සතුට සඟවන්නට දැන සිටියේ නැත. නමුත් රිදී ට හැකි වූයේ හඬන්නට පමණකි. අතේ ගුලි වූ පුංචි ලේන්සුවෙන් ඈ නෙත තෙත මාත්තු කළා ය.

“ඔයා කොයිතරං ධෛර්යවන්ත අම්ම කෙනෙක්ද…මට අපේ පුතා කියල තියනව. දරුවො දෙන්නවම අද සමාජෙ ඉහළම තළේකට ගේන්න දුක් වින්ද අම්ම කෙනෙක් ඔයා. දැං ඉතිං නිවීසැනසිල්ලෙ විවේක ගන්න ගමන් ඒ සතුට සමරන්නයි තියෙන්නෙ. රිදී… මං හරි කැමතියි ඔයා වගේ අම්මලට. තමන්ගෙ කුසේ තියං ඉඳල බිහි කරපු දරුවො කොහෙ හරි අතෑරල යන්නැතුව මොන දුකක් විඳගෙන හරි හදන අම්මලට. තමං මොන දුක විඳගෙන හරි දරුවන්ට උගන්නල පාර පෙන්නන්න තරං හයියක් තියන අම්මලට. ඔයා එහෙම අම්ම කෙනෙක්. තාත්තල දහයකට කරන්න බැරි දෙයක් තනියම කරපු වාසනාවන්ත අම්ම කෙනෙක්”

නිර්ධා රිදී ගේ හිස පිරිමැද්දා ය. ගැහැනියක වෙනුවෙන් පිදිය හැකි උපරිම උත්තමාචාරය රිදී වෙනුවෙන් පිදුවාට වරදක් නැති බව ඇයට ඒ මොහොතේ හැඟෙමින් තිබිණ. ඒ කරුණාවන්ත දොස්තර හඬ මීට පෙර ද අසා ඇතිවා වන් මතකයක් රිදී තුළ අවදි වෙමින් නො වෙමින් පැවතිණි. කෙසේ වෙතත් ඒ කලබල නිමේශයේ එහෙව් නිරවුල් මතකයකට ඉඩක් වූයේ නැත.

ගඟුල් යළි පැමිණියේ හැන්දෑවේ ය. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ වෙත්දී සිය සේවය උපරිමයෙන් ලොන්ඩර් වත්තට ලබා දී තිබිණ. අවසාන හෝරාවේ ඔවුන් පසුවූයේ ඒ සේවය පිළිබඳව තම තමන් තෘප්තිමත් වෙමිනි.

“මගෙත් පපුව රිදෙනව වගේ”

ගඟුල් පාරුල් ට ලං ව මිමිණුවේ ඇගේ ගෙල වට වූ ස්ටෙතස්කෝපය දෙස බලමිනි. ඇය ලැජ්ජාශීලී දෑස් සිහින් වන සේ දෙතොල් තෙරපා සිනහවක් පෑවා ය. ගඟුල් ගේ බැල්ම ඈ මත ම නතර ව පැවතිණ.

“අනේ ඔහොම බලන්නෙපා ඉතිං”

කියා කියාගන්නට ඇයට ඕනෑ වූ මුත් වචන වල සවියක් වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles