“සර්… සර්… ආඩවනේ.. සූක්කර වාංග…”
ටික් ටික් ටික් ඩොං… ගාලා හරියටම රෑ දොළහමාර ඔරලෝසුවේ වැදුනා විතරයි.මට ඇහුනෙ මගේ කාමරේ දොර ගාව ඉදගෙන අප්පු මහා හයියෙන් විලාප දෙන සද්දෙයි…
“මොකද මොකද බං..”
“අනේ සර්.. අනේ සර්.. අපේ ලොකු සර්ට අමාරුයි වගේ පොඩ්ඩක් එන්න”
මම සේනා ගේ කාමරයට යනකොට සේනාගේ ඇස් දෙක ගිලිලා ගිහිල්ලා ඇස් දෙක ඇර ගන්න බැරි තත්වෙකට පත්වෙලා තිබුණා. සේනාධීර දිහා බලාගෙන ඉඳලා වැඩක් නැහැයි කියලා හිතිච්ච මට
“අප්පු.. ඉක්මනින් කියපං මේ ළඟ දොස්තර කෙනෙක් කවුද ඉන්නේ..”
කියලා අප්පුගෙන් ඇහුවෙ සීතලට අඳින කබායයි තොප්පියයි දෙකම දාගෙන දොර ගාවට දුවන ගමන්මයි.
“සර්… මෙතන ඉඳලා ටික දුරක් යනකොට සර්ට මතකද පෙරිය නුග ගහක් හම්බවෙනවා.අන්න එතනින් වම් පැත්තට හැරිලා ගෙවල් පහ හයක් පහු කරන කොට දොස්තර මහත්තයාගේ ගෙදර තියෙනවා. සර්ට පුළුවන් නම් එක්කගෙන එන්න..”
අප්පු එහෙම කියනකොට මේසේ උඩ තිබිච්ච ටෝච් එකත් අරගෙන මම පුළුවන් තරම් හයියෙන් පාර දිගේ දුවන්න ගත්තා.හිරි පොදත් එක්ක වැටිලා තිබිච්ච මීඳුම හින්දා ටෝච් එලියට පාර පේන එක සෑහෙන්න අඩු වෙලා තිබුණේ.සේනගේ පරණ කැබ් එක දවස් ගානක් වැඩ අරගෙන තිබුණෙ නැති හින්දා ඒකෙ බැටරිය බැහැලා තිබුණා.දොස්තර මහත්තයා ගෙදර ඉන්නවනම් එයාගේ වාහනයෙන්ම මෙතනට එන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා.මීදුමත් එක්ක මට නුගගහ හොයාගන්න සෑහෙන අමාරු උනා.බලු බල්ලෙක් නැති නග්‍රැක් වතු යායේ මම තනිවෙලා කියලා මට හිතුනා.අහම්බෙන් වගේ සෑහෙන වෙලාවකට පස්සේ මට නුග ගහ හොයාගන්න පුළුවන් වුණා.
එතනින් තිබිච්ච වම් පැත්තට පාර දිගේ දොස්තරගේ නම ගහලා තියෙන බෝඩ් එක හොය හොයා යනකොට පාන්දර එකහමාරත් පහුවෙලා තිබුණා.
දොස්තර වීරසූරිය …
නාන්පේරියල්
කියලා ගහලා තිබිච්ච බෝඩ් එක දැක්කහම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ..මහ පාන්දර එහෙම මිනිස්සුන්ට කතා කරන එක සාධාරණ නැහැයි කියල දැන දැනත් වෙන කරන්න දෙයක් මේ වෙලාවේ නැති හින්දා මට දොස්තරට කතා කරන්න සිද්ධ වුනා.
සතුන්ට වෙදකම් කරන්න විතරක් මම ඉගෙනගෙන හිටපු හින්දා සේනා ට බෙහෙත් කරන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ.ඒ හින්දා මම ඒ වෙලාවේ පුදුම විදිහට අසරණ වෙලා හිටියේ.කොයි තරම් ලෝකේ ඉදිරියේ මම දොස්තර කෙනෙක් උනත් බලවත් රාජ්‍ය අනිත් පැත්ත පෙරලන්න පුළුවන් නිෂ්පාදන මගේ අතින් සිද්ධ වුනත් අවශ්‍ය වෙලාවට මනුස්ස ජීවිතයක් බේරගන්න මට බැරි වීම ගැන මට ඇති වුණේ දුකක්.. ඇත්තටම සේනා ගේ මේ සවුත්තු වෙලා තියෙන්නේ වකුගඩු හරි අක්මාව හරි නං… මම බොහොම තදින් හිතා ගත්තා මම ආපහු ගිය ගමන් මොකෙක් හරි සතෙක්ගෙ ශරීර කොටස් මිනිස්සුන්ට හරි යන විදිහට රීප්ලේස් කරගන්න පුළුවන් විදිහට හදනවා කියලා …සේනා ව බේරගන්න බැරි උනත් අනික් මිනිස්සුන්ට හරි ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා ..
සෑහෙන වෙලාවක් මම ගේට්ටුව ගාව කෑගහනකොට ඒ ගෙදර උඩ තට්ටුවෙන් පුංචි විදුලි බල්බයක් පත්තු වෙනවා දැක්කා.
“දොස්තර මහත්තයා නෑ…
ආයිත් එන්නේ සතියකින්…පුහුණුවකට ගිහිල්ලා…
පුළුවන් නම් ඉස්පිරිතාලයට යන්න .. දොස්තර කෙනෙක් ඇති… “
අධික මීදුම හින්දා මුහුණ හරියට පැහැදිලිව පෙනුනෙ නැති උනාට ගැහැණු කටහඬක් මීදුම කපාගෙන මාව දැනුවත් කළා.
“සමාවෙන්න නෝනා මහත්තයා කරදර කළාට….මම මේ පළාතේ කෙනෙක් නෙමෙයි.ඉස්පිරිතාලෙට තව කොච්චර දුරයිද..”
“ආ.. මං හිතන්නේ… මෙතන ඉඳලා කිලෝමීටර් 20ක් විතර තියෙනවා. යනවනම් වාහනයක තමයි යන්න වෙන්නේ..මෙතන ඉඳලා මහ පාරටත් කිලෝමීටර එකහමාරක් විතර තියෙනවා. ඔය එක්කෙනා වාහනයක නෙමෙයිද ආවේ…”
මට මුකුත් හිතා ගන්න බැරුව ගියා.. කිලෝමීටර් 20ක් ඈතින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා දොස්තර කෙනෙක් අඬගහගෙන එනකොට කොච්චර වෙලාවක් යයිද..ඊටත් මෙතන ඉඳලා කිලෝමීටර් එකහමාරක් පාරට යන්න වෙනවා.පේන තෙක් මානයක වාහනයක් නෑ…
” හරි නෝනා .. බොහොම ස්තූතියි මම මොනවා හරි කරන්න බලන්නම්..නෝනා ගේ කරුනාවන්තකමට බොහොම ස්තූතියි”…
එහෙම කියපු මම මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ආපහු පාර පැත්තට යන්න හැරුණා. දැන් කරන්න තියෙන එකම දේ ඉක්මනින් ගෙදර ගිහිල්ලා සේනා තවමත් පණ පිටින් ඉන්නවනම් කොහොම හරි අප්පුත් එක්ක එකතු වෙලා සේනා ගෙ ලදරං කැබ් එක තල්ලු කරලා පන ගන්න එක කියලා හිතුනා.
එන්න එන්නම වැස්ස වැඩි වෙවී තිබුණා.චිරි චිරි ගාන මඩ පාරේ ආපහු සැරයක් මම පුළුවන් තරම් වේගයෙන් ගේ පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
මීදුම අස්සෙන් නග්‍රැක් බංගලාවෙ මලානික එළිය මට පෙනුනා.
මම ගේ ගාවට යනකොට අප්පු ගෙදර දොර ගාව බිම ඉඳගෙන හිටියේ ඉස්සරහ බලාගෙන.මාව දැකපු ගමන් අප්පු..
“ආඩවනේ… සර්.. ලොකු සර් ගියා… අනේ සර් … යේකනං දේව ශාපයක්මයි සර්….. “
කියලා කෑගැහුවා.
අප්පුවා පිස්සුවෙන් කියවනවා කියලා මට හිතුනා.අප්පුවත් තල්ලු කරගෙන ගෙට දුවන්න හදනකොටම ..
මට හිතාගන්න බැරි වුණා.
ඒක මම කොහොමද වචනයෙන් විස්තර කරන්නේ..
දෙයි..හාමුදුරුවනේ…
සාලයේ බිම පුරාම ඇදි ඇදී ඇදි ඇදී ගිය ලේ පාරවල් තිබුනා…. මුළුගේ පුරහම අමු සොහොනක වගේ ලේ ගදින් පිරිලා තිබුණා ….
මම ඇවිදින වාරයක් වාරයක් පාසා චිරි චිරි ගාලා මගේ සපත්තුවට පෑගුනේ තවමත් උණුසුම තිබුණු ලේ ගොඩවලුයි. මම පිස්සුවෙන් වගේ දුවගෙන ගියේ සේනාට මොකද වුණේ බලන්නයි.. සේනා කාමරේ බිම වැටිලා හිටියා. සේනගේ ඉනෙන් පහළ ඇඳුමක් තිබුණේ නැහැ.සේනගේ කකුල් දෙක අස්සෙන් කිසිම ශරීර කොටසක් ඉතුරු වෙලා තිබුණෙ නෑ.. හරියටම සේනා ගේ කකුල් දෙක අස්සට බිම් බෝම්බයක් ගහලා වගේ…
“දෙයියනේ .. අ…ප්..පු…..
මෙහෙ වරෙං …යකෝ….
මේ මොකද උනේ……”
මං කවදාවත් එහෙම මනුස්සයෙකුට කෑගහලා නෑ..
හිතන්නේ මගේ හිත ඒ වෙලාවේ මහා බයකින් පිරිලා තියෙන්න
ඇති…
” ඇත්ත කියපං යකෝ…. ඇත්ත කියපං… මං මෙතනින් ගිය ටිකට මොකක්ද උනේ?…”
නාකි අප්පුගෙ උරපතු දෙක ගැලවෙයි කියලා මට බය හිතුණා. මං ඒ තරම් හයියෙන් අප්පුව හොලවල තිබුණා..
” අනේ… සර්… අනේ… මං මේ මොකුත් දන්නෙ නෑ… අපේ ලොකු සර්ට පොවන්න උණු වතුර එකක් ගේන්න මම කුස්සියට ගියා..බෝතලේ වතුර නිවිලා කියලා හිතුන හින්දා ආපහු වතුර ටිකක් අලුතෙන් රත් කලා…ඒ ටිකට තමයි මේ විපත්තිය වෙලා තියෙන්නේ..”
මට මතක මම පිස්සුවෙන් කෑ ගගහා ඒ ගේ ඇතුලේ ඇඬුවා කියලා විතරයි. අප්පු ගැහි ගැහී මං දිහා බලාගෙන හිටියා.. මට හිතුනෙම මේක පොලිසියට කියන්න ඕනෙයි කියලයි.ඒ උනාට විදුලියක් වගේ මට මතක් උනේ සේනා ගෙ වචනයි… කොලේ ලියල තිබිච්ච ඒවයි..දිගින් දිගටම දිගින් දිගටම සේනාධිර මගෙන් ඉල්ලලා හිටියේ එයා මැරුන ගමන් එයාව පුච්චන්න කියන එක විතරයි.
සමහරවිට සේනාදීර එයා මැරෙන විදිහ දැනගෙන හිටියා වෙන්න පුළුවන්. මැරිලා පැයක් ඇතුළත එයාව පුච්චන්න කියලා එයාව පුච්චන තැනක් ලෑස්ති කරලා සේරම ඉවර කරලා තිබුණේ එයාගේ අවසන් කටයුතු ඒ විදිහටම වෙන්න ඕනෙයි කියලා සේනාදීර ට කලින් ඉඳලම තිබිච්ච ලොකු උවමනාව නිසා වෙන්න ඇති.මේ තරම් දුරු කතරක් ගෙවාගෙන මාව ඒ වැඩේට ගෙන්න ගත්තෙත් සේනාධිරයාගේ වචනය ඒ විදිහටම ක්‍රියා කරවන එකම කෙනා මම කියලා දන්න හින්දත් වෙන්න ඇති.
වෙන කෙනෙක් එහෙම මේ වෙලාවේ මෙතන හිටියනම් අනිවාර්යයෙන්ම මේ සිද්ධිය පොලිසියට කියන බව සේනාධිර හොඳාකාරවම දන්නවා.අවසන් කටයුතු සේනාදිරට ඕන විදිහටම කරගන්න පුළුවන් එකම පුද්ගලයා මම විතරයි කියන එක සමහරවිට එයා විශ්වාස කරන්න ඇති.ඒ වගේම මේ දේපළ ලියලා ඒ හැම දෙයක්ම ඉවර කරලා දාලා තමන්ගේ මරණය දැන දැන ලෑස්ති වෙච්ච මනුස්සයෙක් හැටියට මට සේනාධිර ගැන පුදුම හිතුනා.ඒ වගේම මේ මරණය බොහොම අසාමාන්‍ය එකක්.හරියට සේනාදීර ගේ තාත්තා මැරුණා විදිහටම…
ආපහු සැරයක් සේනාදීර ගේ කාමරයට යනවායි කියලා මතක් වෙනකොටත් ඔලුව කැරකෙන්න පටන් ගත්තා. මරණය සිද්ධ වෙලා පැය භාගයකට වැඩිය ගිහින් තියෙන නිසා තවත් හිත හිත ඉන්න වෙලාවක් මට තිබුණේ නැහැ.සේනාධිරගේ අන්තිම කැමති පත්‍රය සම්පූර්ණයෙන්ම මගේ අතේ තිබුණ නිසා ඒකට අනුව බැලුවහම මට වැරැද්දක් කියන්න බැරි බව මට තේරුණා.ඒ නිසා සේනාදීර ගේ ඇඳේ දාලා තිබිච්ච බෙඩ් ශීට් එකටම අප්පුත් එක්ක එකතුවෙලා බොහොම අමාරුවෙන් කෑලි කෑලි වලට ගිය සේනාධිරව බොහොම අමාරුවෙන් දා ගත්තා.. එළිවෙන්නත් කිට්ටු වෙලා තිබුණා.අපි දෙන්න බොහොම අමාරුවෙන් සේනා කියපු වල තිබුන තැනට උස්සගෙන ගියා. එතනම මඩුවේ දාලා තිබිච්ච දර දෙන්නම සේනාගේ ශරීරයට උඩින් ගොඩ ගහලා සේනා කියපු විදිහටම ශරීරයට ගිනි තිබ්බා.
මගෙ ඔලුව කැරකෙනවා වගේ මට දැනුනා.කොච්චර වෙලාවක් මම එතන ඉඳගෙන පිච්චෙන සේනා දිහා බලාගෙන හිටියද කියන්න මම දන්නේ නැහැ.වටෙන් පිටින් එළිය වැටීගෙන එනකොට සේනගේ අලු විතරක් ඉතුරු වෙලා තිබුණා. කොහෙන්දෝ තිබිලා උස්සගෙන ආපු උදැල්ලකින් අප්පු සේනාගේ වල වහන්න පටන් ගත්තා. ඊළඟට මම මොකක්ද කරන්න ඕනේ කියලා මට හිතාගන්න බැරුව ගියා. සේනා ගෙ වල ගාවට වෙලා මම පොඩි එකෙක් වගේ ඔහේ අඬ අඬ හිටියා. අප්පුට උදව් වෙන්න මට නැගිටලා යන්නවත් හිතුනේ නැහැ. මෙතන තියෙන්නෙ මහ විශාල අභිරහසක් කියලා මට හිතුණා.මං ඒ අභිරහස විසඳනවාද නැත්තං මගේ රාජකාරිය මෙතනින් ඉවර හින්දා මේ හැම දෙයක්ම වසන්තිට භාර දීලා ආපහු මම මගේ රටට යනවද කියන එක තීරණය කරගන්න බැරුව මම ඔහේ දුම් දාන වල දිහා බලාගෙන හිටියා..