මතක දිගහැරුම 108 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය අටවන දිගහැරුම ,

අම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමට අප සූදානම් කර තිබුණේ පිලියන්දල සුසාන භූමිය ය.ඒ වෙත යාම සඳහා විශාල රථ පෙළපාලියක් ද විය.කෙසේ හෝ අප සුසාන භූමිය වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ සේවය කරන අයෙකු ගෙන් අප හට දුරකථන ඇමතුමක් ලැබුණි .ඔහු සඳහන් කළේ සුසාන භූමිය අසල ඇති විදුලි රැහැනක් මතට ගසක අත්තක් කඩා වැටීම නිසා විදුලිය විසන්ධි වී ඇති බවත් ඒ හේතුව නිසා අම්මාගෙ දේහය ආදාහනය කිරීම සිදු කළ නොහැකි බවත් ය.පිලියන්දල සුසාන භූමියට මදක් නුදුරින් පිහිටි වෙනත් සුසාන භූමියක් වෙත අම්මාගෙ දේහය රැගෙන යන ලෙස ඔහු උපදෙස් දුන්නේය .එම ස්ථානයට යන විට මගේ සීයාගේ , එනම් මගේ අම්මාගේ පියාගේ ආදාහන කටයුතු සිදු කළේද එම සුසාන භූමියේ යන කරුණ එකවරම මා හට සිහිපත් විය.සීයා මිය යන විට මා ඉතා කුඩා අවධියේ පසු වූ බැවින් මා ඒ පිළිබඳව තාත්තාගෙන් ද නැවත විමසුවෙමි .එවිට තාත්තා පැවසුවේ සීයාගේ ආදාහන කටයුතු සුසාන භූමියේ සිදු කළ බවයි.පොලිසියේ සේවය කළ අපගේ සීයා ජීවත් ව තිබුණේ එම ප්‍රදේශයේ වන අතර වයස අවුරුදු හැට ගණනකදී ඔහුද ජීවිතයෙන් සමු ගෙන තිබුනි.කෙසේ හෝ ඔහුගේ ආදාහනය සිදු කළ සුසාන භූමියේදීම හදිසියේ සිදුවූ අහඹු සිදුවීමක් හේතුවෙන් අම්මාගේ ආදාහනය ද සිදු කිරීමට සිදු වීම දෛවෝපගත ආකාරයෙන් සිදු වූ බව මට සිතේ.

අකාලයේ ජීවිතයට සමුදුන් ආදරණීය අම්මාගේ අවසන් කටයුතු සිදු කළ අප නැවත නිවසට පැමිණියෙමු. ඉන් පසුව අප තුළ වූ විශාලම ගැටලුව වූයේ අම්මාගේ වියෝවෙන් පසුව තාත්තා ජීවිතයට කෙසේ මුහුණ දේවිද යන්නයි.සෑම මොහොතකම අම්මා සමගම ජීවත් වූ තාත්තා ජීවිතය කෙසේ දරා ගනීවි දැයි අපට සිතාගත නොහැකි විය. තාත්තාව පිළියන්දල පිහිටි අපගේ නිවස වෙත කැඳවාගෙන ඒමට ඉන් පසුව අප තීරණය කළෙමු .අම්මා සහ තාත්තා ජීවත් වූ පාදුක්කේ පිහිටි නිවසට ගොස් එහි බඩු භාණ්ඩ සියල්ලම අස්පස් කර දැමීමේ කාර්යභාර්යය මා නංගීට සහ ඇගේ සැමියාට භාර දුන්නෙමි.අම්මා ගේ වියෝවෙන් පසුව එම නිවසට යාමට මා හට සිත් වූයේ නැත.අප මැතිවරණ කටයුතුවල යෙදී සිටි කාලයේ බොහෝ අවස්ථාවන්වල අම්මා සහ තාත්තා ජීවත්වූ නිවෙස වෙත ගිය අතර එහිදී අම්මා අප වෙනුවෙන් විවිධ කෑම වර්ග සකස් කර සංග්‍රහ කළාය.එවැනි මතකයන් සිහිපත් වීම මා හට දරාගත නොහැකි නිසා එම නිවසට යාමෙන් මා වැළකී සිටියෙමි .

පාදුක්ක ප්‍රදේශයේ අම්මාට සහ තාත්තාට හිතවත්, අප නොමැති අවස්ථාවන් වලදී ඔවුන් පිළිබඳව සොයා බැලූ සුසන්ත, දිශාන් යන සහෘදයන් වෙත සහ අනෙක් හිතවත් පිරිස වෙත අම්මාගේ සහ තාත්තාගේ නිවසේ වූ බඩු බාහිරාදිය බෙදා දෙන ලෙස මා නංගිට පැවසුවෙමි.මා උපදෙස් දුන් පරිදි නංගී ඒ සෑම කටයුත්තක්ම සොයා බලා සිදු කළාය.තාත්තා ඔහුට අයත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන අප නිවසේ නතර වීමට පැමිණියේ ඉන් පසුවය.

ක්‍රම ක්‍රමයෙන් අප අපගේ සාමාන්‍ය ජීවන රටාවට අනුගත වෙමින් අපගේ කටයුතු වල නිරත වූයෙමු. අම්මා වියෝ වී තුන් මසකට ආසන්න වෙමින් තිබුනු අතර එම කාලය කෙසේ ගත වූවා දැයි අප හට දැනුනේ වත් නැත.දිනක් උදෑසන හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙන බව තාත්තා මා හට කීවේය.ඒ මොහොතේදී හෂාන් නිවසේ නොසිටි අතර මා කඩිනමින් තාත්තාව ද රැගෙන වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සේවයේ නියුතු වන රෝහල වෙත යාම සඳහා පිටත් වූයෙමි .රෝහලේ දොරෙන් ඇතුළු වන විටම තාත්තා ඔහුගේ පපුවේ වේදනාවක් දැනෙන බව පවසමින් පපුව අල්ලා ගත්තේය.එසැනින් ක්‍රියාත්මක වූ මා ඔහුව එම ස්ථානයේ තිබූ පුටුවක වාඩි කරවූයෙමි.ඉන්පසුව මා ඉක්මනින් ඒ අසල සිටි රෝහල් කාර්යය මණ්ඩලය අමතා තාත්තගේ තත්ත්වය පැවසුවෙමි. ඔවුන් හැකි ඉක්මනින් ට්‍රොලියක් රැගෙන විත් තාත්තාව දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන ගියහ .

තාත්තාගේ තත්ත්වය පරික්ෂා කල වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ඉතා යුහුසුළුව ඔහුට අවශ්‍යය ප්‍රතිකාර කිරීම ආරම්භ කළහ.මා වෙත පැමිණි වෛද්‍යවරයා පැවසුවේ තාත්තාට හෘදයාබාධ තත්ත්වයක් ඇතිවී ඇති බවයි.කෙසේ නමුත් මා නියමිත වේලාවටම තාත්තාව රෝහලට රැගෙන ඒමත් , රෝහලට ඇතුළු වූ අවස්ථාවේදීම තාත්තාට අපහසුතා ඇති වී ඒ මොහොතේ දී ම ප්‍රතිකාර වලට යොමු කිරීමත් නිසා තාත්තාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට නොවැටී බේරා ගැනීමට හැකිවූ බව වෛද්‍යවරයා පැවසුවේ ය.තාත්තා නැවත නිවසට පැමිනියේ දින දෙකක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය.

අම්මාගේ වියෝව තනිවම දරාගත් තාත්තාගේ සිතෙහි පැවති අසීමිත වේදනාව ඔහු එලෙස අසනීප වීමට හේතු වන්නට ඇතැයි අපට සිතුනි.ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කළේ අප හට දැනෙන අම්මාගේ අඩුව පිරවීමට ය.අප මොනතරම් වයසින් වැඩුනත් දෙමව්පියන් හට ජීවිත කාලය පුරාවටම අපව දැනෙන්නේ කුඩා දරුවන් ලෙසය.එම නිසා මගේ තාත්තා, අම්මා අප වෙනුවෙන් ඉටුකළ යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට වග බලා ගත්තේය. කලාතුරකින් අසනීප වන, ඉතා ශක්තිමත් පුද්ගලයෙකු වූ මගේ තාත්තා ඔහුගේ සිත තුළ තනිවම දරාගත් වේදනාව නිසා හදිසියේ අසනීප වන්නට ඇත.තාත්තාගේ වාසනාවකට මෙන් නියමිත වේලාවට ඔහුව රෝහලට රැගෙන ආ නිසා ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවූයේ නැත .නමුත් හෘදයාබාධයකදී හෘදයේ මාංශ පේශීන් හානි වන නිසා තාත්තාව ඉතා හොඳින් රැක බලා ගත යුතු බවට වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.

අප සියලු දෙනාම අපට හැකි සෑම අවස්ථාවකදීම අම්මා සිහිපත් කරමින් විවිධ පින්කම් සිදු කළෙමු.ඉන් පසුව අප විශේෂයෙන් සූදානම් වූයේ අම්මාගේ තුන් මාසයේ පිංකම වෙනුවෙන් ය.ඒ සඳහා 800ක පමණ පිරිසක් සහභාගී වූහ.එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා වූ රනිල් වික්‍රමසිංහ මහතා හට අම්මාගේ අවමංගල්‍යයට සහභාගි වීමට හැකි වූයේ නැති අතර ඔහු ශෝක පණිවිඩයක් එවා තිබුණි.නමුත් අම්මාගේ තුන් මාසයේ පින්කමක් අද හා ඔහු සහභාගි වෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.එම නිසා මා පින්කමට පෙර ඔහු මුණගැසී පිංකමට සහභාගී වන ලෙසට ඔහු හට ආරාධනා කලෙමි

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles