මතක දිගහැරුම 66 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට හයවන දිගහැරුම ,

හෂාන් ඉතා ඉක්මනින් මා රෝහලට කැටුව ආ අතර වෛද්‍ය සරත් අමරසේකර ඒ මොහොතේදීම මා පරීක්ෂාවට ලක් කළේය.දරුවන්ගේ බර හොඳ තත්වයේ පවතින බවත් , තවදුරටත් දරුවන් ලැබීම ප්‍රමාද කිරීම එතරම් සුදුසු නොවන බවත් වෛද්‍යවරයා පැවසීය.ඒ නිසා එදිනම සීසර් සැත්කමක් මගින් දරුවන් ප්‍රසූත කිරීම සුදුසු බව ඔහු වැඩිදුර පැවසීය.ඉන්පසු මා වෛද්‍ය කාමරයේ සිටියදී වෛද්‍යවරයා මගේ අම්මා වෙත ගොස් ඒ පිළිබඳව ඇයට දැනුම් දී තිබුනු අතර ඇය ඉතා බියට පත්වී කලන්තය සෑදෙන තත්ත්වයට පත්වී තිබුනි.එකල සෑම දිනකම උදෑසන දී සහ හවස් වරුවේ දී පැය භාගය බැගින් විදුලිය විසන්ධි කිරීමක් පැවතුනි.එම නිසා රාත්‍රී කාලයේදී සීසර් සැත්කම සිදු කරමු යැයි වෛද්‍යවරයා යෝජනා කළේය.ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ඔහු අදාළ අංශ වලට දැනුම් දුන්නේය.

මට අවශ්‍ය කළමනා සූදානම් කර තිබූ බෑගය රැගෙන ඒමට අමතක වූ නිසා මා රෝහලට ඇතුළත් කර හෂාන් නැවත නිවස බලා ගියේය.පසුදින ඔහුට තරඟයකට සහභාගී වීමට නියමිතව තිබූ නිසා ඔහුට අවශ්‍ය දේවල්ද සූදානම් කර ගැනීමටද ඔහුට සිදු වී තිබුණි.ඒ අතරතුර දී මා වෙනුවෙන් රෝහලේ රැඳුනේ හෂාන්ගේ සමීපතම මිතුරන් තිදෙනා සහ මගේ අම්මාය.සීසර් සැත්කම පිළිබඳව දැනුම් දුන් විට අම්මා බියට පත් වී සිටි නිසා එයට අදාළ ලියවිල්ලට අත්සන් තබා තිබුණේ සජී විසින් ය.

විදුලිය විසන්ධි වී තිබී නැවත පැමිණීමෙන් පසුව මා ශල්‍යාගාරයට රැගෙන යාමට වෛද්‍ය සරත් අමරසේකර සූදානම් වූයේය.ඔහු ඉතා කාරුණික පුද්ගලයකු වන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් මිහිපිට දෙවිවරුන් බඳු ය.

ශල්‍යාගාරයට රැගෙන යාමට පෙර මා පැළඳ සිටි ආභරණ හෙදියක් විසින් ගලවාගෙන ගිය අතර ඒවා මගේ අම්මාට බාරදෙන බව ඇය පැවසීය.එම ආභරණ අතර හෂාන් ඇතුළු ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන කිරුළ ජයග්‍රහණය කළ පසුව වෝග් ජුවලර්ස් ආයතනයෙන් තිළිණ කල පවුම් දෙකක පමණ වටිනාකමකින් යුතු රන් පෙන්ඩනයක් විය.අනෙකුත් ආභරණ සියල්ල පසුව මට ආපසු ලැබුන මුත් ඒවා අතර ඉහත කී රන් පෙන්ඩනය නොතිබුණි.මගේ ආභරණ ගලවා ගෙන ගිය හෙදිය පිළිබඳව මට එතරම් මතකයක් නොතිබුණු අතර නැතිවූ පෙන්ඩනය පිළිබඳවද පසුව අප සොයා බලන්නට ගියේ නැත.

රෝහලේ ට්‍රොලියක් මත තබාගෙන ශල්‍යාගාරයට රැගෙන යන විට මා සිටියේ ද තරමක් බියට පත් වී ය.ඒ බව දැනගත් සජී මගේ අතින් අල්ලාගෙන හෂාන් ඉක්මනින් එන බව පවසමින් ශල්‍යාගාරය දොරටුව අසලට එනතෙක්ම මා සමග පැමිණියේය.ශල්‍යාගාරයට ඇතුළුවු පසුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වන උදය කුමාරසිංහ මා සමග කතා බහ කළේය.ඔහු අපගේ ඥාතියෙක් ද වන අතර ඒ මොහොතේ දී තරමක් බියට පත්වී සිටි මා සන්සුන් කිරීමටද ඔහු උත්සාහ කළේය.පසුව ,ඔවුන් මා සාමාන්‍ය නිර්වින්දනයට ලක් කළේය.

නැවතත් මා හට සිහිය එන විට මා සිටියේ ශල්‍යාගාරයට ආසන්නව තිබූ කාමරයකය.ඒ අසල සාත්තු සේවිකාවක් එක් දරුවෙක් ව තබාගෙන සිටි අතර එංගලන්තයේ දී මා මිලදී ගත් වූල් තොප්පියක් ද ඔහුට පැළඳ තිබුණේය.සාත්තු සේවිකාව විසින් දරුවාගේ මුහුණ මට පෙන්වූ අතර එවිට මට දැනුන සතුට නිම්හිම් නැතිවිය.ඒ සමගම මා ඇසුවේ අනික් දරුවා පිළිබඳවය.අනෙක් දරුවාව ඒ වන විට නාවන බව ඇය මට පැවසුවාය.ඉන්පසුව නැවතත් මට නින්ද ගියේය.

මට දරුවන් ලැබෙන්නට රෝහල් ගත කළ බව දැනගත් විට ශ්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාම වාගේ රෝහලට පැමිණ සිටියහ.තරගයකට සහභාගි වීමට පෙර ඔවුන් අමාත්‍යං ගන්නා හෝටලයට ඇතුලත් වීමෙන් පසුව ඔවුන් එසේ පැමිණ තිබුණි. දරුවන් ලැබුණු පසුව මට ලැබුණු සුභ පැතුම් සහ මල් පොකුරු වල නිමක් නොවීය.එම රෝහලේ අනික් වාට්ටුවල සිටි අය පවා දරුවන් බැලීමට පැමිණියහ.

පසුදින දී හෂාන් ක්‍රිකට් තරගය සඳහා සහභාගි වූ අතර එහිදී ඔහු ලකුණු සියයක් ලබා ගත්තේය.තරග විචාරකයන් පවා ඒ අවස්ථාවේදී අපගේ දරුවන් පිළිබඳව පුවත ගැන කතාබහ කළ අතර විදෙස් විචාරකයන් පවා ඒ පිළිබඳව සතුටෙන් කතා කළහ.ඒ වගේම හෂාන් ලකුණු සියයක් ලබා ගැනීමට හේතුව දරුවන් ලැබුණු සතුට බවද ඔවුන් කී බව මට මතකය.පසුදින පුවත්පත් වල සිරස්තල ලෙස නිවුන් දරුවන් ලැබුණු සතුටට හෂාන් ලකුණු සියයක් ලබාගත් බව පලවිය.

දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට මව්කිරි ලබාදීම ද මා ලද වෙනස්ම ආකාරයේ අත්දැකීමක් විය.මා එක් දරුවෙකුට මව්කිරි ලබා දී ඔහුව නිදිකරවන විටම අනෙක් දරුවා අවදි වී කෑ ගසා හඬන්නට පටන් ගනියි.පැය දෙකකට වරක් ඔවුන්ට කිරි ලබා දීම සිදු කළ යුතු වූ අතර රෝහලේ සාත්තු සේවිකාවන් ,මගේ අම්මා නංගි සහ හෂාන්ගේ පවුලේ අයද මගේ සහ දරුවන්ගේ කටයුතු සඳහා විශාල සහයෝගයක් දැක්වූහ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles