“දෝණියන්දැ”
ඒ වචනය සිසිර ඇල්ලගේ ගේ මනසෙහි දෝංකාර දෙයි. යළි යළිත් යළි යළිත් එය ම ඇසෙයි. තේ බන්දේසිය ගෙනැවිත් පහත් වී ඔහු ට තේ එක පෑ යුවතියට ඒ වෙලාවේ සිසිර බයාදු සිනහවක් දුන්නේ ය. නමුත් ඇය සිනාසුණේ නැත. සිනාසෙන්නට ඇයට අමතක වී තිබිණ. ඈ තුළ පිරී තිබුණේ කඳුළු පොකුණකි.
“දොස්තර නෝන කෙනෙක් වෙන්න ඉගෙනගන්නව”
අර පුද්ගලයා නැවත ද කීයේ ය. තේ කෝප්පය සහිත සිසිර ගේ අත වෙව්ලමින් තිබිණ. කෝප්පයේ කට ගාවට ම පිරී තිබූ තේ ඉහිරී යාවියි බියෙන් ඔහු හිස පහත් කොට මුව කෝප්පයට සමීප කොට තේ උගුරක් බීවේ ය. එය ආහාර මාර්ගයේ යම් තැනෙක සිර වූවා සේ ය. ඊළඟ උගුර බොන්නට සැලකිය යුතු වෙලාවක් බලා ඉන්නට සිදු වූයේ එබැවිනි.
“උං දෙන්නා වත්තෙන් ඉගිල්ලිලා යන්න ලෑස්ති වෙලා ඉන්නෙ. අපිට දුකයි. අපේ හැම දේටම මෙහෙමයි මාමෙ කරන්නෙ අරහෙමයි මාමෙ කියල උපදෙසක් දීගෙන හිටපු දරුවො දෙන්න. ලියමනක් කියෝගන්න පෝරමයක් පුරෝගන්න අපිට හිටිය දරුවො දෙන්න. දුකයි තමයි අපිට නැති වෙන එක ගැන. ඒ වුණත් සතුටුයි උං ගැන”
පපුව තෙරපී මිරිකී ගියේ සිසිර ගේ ය. කඳුළක් දෑස් බොඳ කළේ ඇයි කියා ඔහු වුව නො දත්තේ ය.
“සිසිරයිය සින්දුවක් කියමු නේ”
සිසිර ව දන්නා බොහෝ අය පෙරැත්ත කළහ. ඔහු ට පුරුදු ලස්සන සිනහව කාලෙකට පස්සේ වත්ත පුරා නින්නාද වූයේ ය.
“බෑ බෑ අද බෑ. වෙන දවසක කියමු”
සිසිර සිනහවෙන් මගහැරියේ ය. තාත්තා ගේ සිනහවත් අයියාගේ සිනහවත් එක වාගේ කියා පාරුල් ට සිතිණ. සිසිර ඕනෑවටත් වැඩියෙන් මිත්‍රශීලී ය. චන්දුල ආඩම්බර ය. එක ම වෙනස එයයි.
රිදී ලී වැටට ඇතුළු සීමාවේ සිනහ වෙවී සිටියා ය. කාලාන්තරේකට පස්සේ අහේතුකව පවා ඈ සිනහ වූවා ය. ජීවිතයෙන් දැන් ඉතින් වෙන මොනවාවත් ම ඇයට ඕනේ නැත. ඉල්ලන්නට කියා කිසිවක් නැත. ලබන්නට කියා කිසිවක් ද නැත. ඇය සම්පූර්ණ ශාන්තියකට එළඹ තිබේ. විමුක්තිය අත්පත් කරගෙන තිබේ!
ඒ රාත්‍රියේ ගෙදර ගියාට පස්සේ එතෙක් ටික දිනක් සිසිර ගේ ඇඟේ වූ වස් දොස් දූරිංභූතව ගොස් තිබිණ. ඈලි මෑලි රෝගියෙකු සේ ගුලි වෙවී සිටි හෙතෙම සිය තරුණ කාලේ දී වාගේ ප්‍රබෝධයට පත් ව සිටියේ ය. ඔහු ගේ මුවග මිමිණුනේ එදා තරග වටයේ දී චන්දුල ගැයූ ගීතයයි.
“කොළොම්තොට නැත මහළු වී… අවන්හල නැත පැරණි වී… එදා හඬමයි අදත් යෞවනයේ… එහෙත් අප දෙන්නා… බලන් කැඩපත සොඳුරියේ…”
“මට සැකයි වෙන ගෑනියෙක්වත් පටලෝගෙනද මේ අමුතු නාඩගමක් නටන්නෙ කියල”
සිසිර ගේ නෛතික බිරිඳ මූණ පුළුටු කරගෙන ඔහු ගේ මව් ට ගතු කීවා ය.
“උඹේ සැකේ වැඩියි සැකේ. පිරිමියෙක්ව රඳෝගන්නෙක තියෙන්නෙ ගෑනියෙක් අතේ බං. උඹට දරුවොත් නැති එකේ යාප්පුවෙං ඒකාව ගියාගන්න බලනව මිසක් කටු අත්ත වගේ හැම එකටම පැටළෙන්න යන්නෙපා”
බිසෝ ලේලිට දුන් උපදෙස එයයි.
ගී තරු වැඩසටහනේ තරගකාරීත්වය තීව්‍ර වෙමින් තිබිණ. දැන් හැම සති අන්තයක ම චන්දුල ගී ගයයි. වත්තේ මිනිස්සු හැකි උපරිමයෙන් ඔහු වෙනුවෙන් එස් එම් එස් යවති. සති අන්තය වත්තට උද්වේගකර වේශයක් ගෙන එයි. ජයග්‍රාහී කුසලානය කොළඹ රඳවා ගැනීම වෙනුවෙන් කොළඹ ජනතාව චන්දුල වෙනුවෙන් කළ හැකි සියල්ල කළහ. නගරාධිපතිතුමා ඊට නො දෙවෙනි ය. ගඟුල් විජයවීර ද ගෙදර සිට තරගය නරඹනු වෙනුවට සති අන්තයේ රාත්‍රී හෝරා කිහිපයක් වත්තේ ගත කරයි. සිසිර ඇල්ලගේ ද එහි විත් රිදී ගේ නිවස ඉදිරිපිට පාරේ බිම ඇනතියාගෙන හෝ බිත්තියකට කකුලක් ගසා පිට දීගෙන හෝ හිඳී. ඔහු දරුවන් සමග හෝ රිදී සමගින් කතා බහ කිරීමේ උත්සාහයක් දරන්නේ නැත. නමුත් ඔවුන් සමගින් තරගය නරඹයි. ඉනික්බිති ත්‍රිරෝද රියෙහි නැගී නික්ම යයි.
චන්දුල වඩා හොඳින් ගැයුවේ ය. ඔහු ගේ දක්ෂතා තීව්‍ර වෙමින් තිබිණ. නමුත් දහ දෙනෙකු තෝරන වටයේ දී නව දෙනෙකු ම ඉදිරියට ගියේ ය. වත්තේ මිනිසුන් ගේ හද ගැස්ම එන්න එන්න ම වැඩි වෙන්නට විය. අවසන ඉතිරි වූයේ චන්දුල හා තවත් එක් තරගකරුවෙකි. විනිශ්චය මණ්ඩලය ද යම් නො සන්සුන්බවක් පළ කළහ.
“අපි ඉල්ලා සිටිනව ජනතාවගෙන් තමන්ගෙ එස් එම් එස් එක භාවිතා කරද්දි මේ තරගකරුවන්ගෙ දක්ෂතා ගැන ගොඩක් සැලකිලිමත් වෙන්නයි කියල”
ඒ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර විනිශ්චය මණ්ඩල සාමාජිකයෝ පවා කීහ. උමා ගේ මුහුණේ සන්සුන් මඳහසක් විය. පාරුල් දෝතින් මුහුණ වසාගත්තා ය. ජය පැරදුම යනු එක ම කාසියක දෙපැත්තක් බව ඈ නො දැන සිටියා නොවේ. එය ඕනෑ ම මොහොතක ඕනෑ ම පැත්තක් පෙරළිය හැකි බව ද නො දැන සිටියා නොවේ. නමුත් අයියා වෙනුවෙන් ඇස් වලින් කඳුළු හැලෙනා එක නවතා ගන්නට ඈ අසමත් වූවා ය.
“ඒ… යි… අඬන්න එපා ඉතිං”
අඩ අඳුරේ ගඟුල් ඇගේ හිස් මුදුන පිරිමැද්දේ ය.
“චන්දුල සිලෙක්ට් වෙයි”
නමුත් වැඩසටහන ඉදිරිපත් කරන්නා හෘද ස්ඵන්දනයන් උචච කළේ ය. ගඟුල් කාටත් හොරෙන් පාරුල් ගේ අතැඟිලි වලින් අල්වා ගත්තේ ය.
“මගෙ අයිය”
“දහ දෙනාගෙ වටය සඳහා අවසාන වශයෙන් ඉදිරියට යන තරගකරුවා වෙන්නේ… චන්දුල ඇල්ලගේ…”
පාරුල් ගඟුල් ගේ අත තද කොට අල්වා ගත්තා ය. මුළු වත්ත ම ප්‍රීති ඝෝෂා නැගුවේ ය. චන්දුල ළඟට ම වී රූපවාහිනිය දෙස බලාගෙන උන් උමා ඇස් කුඩා කරමින් සිනහ වී ඔහු දෙස බැලුවා ය. “මං කිව්වෙ ඔයා බොරු කියනෝ කියල” වැනි තරවටු බැල්මක් ඇගේ මුහුණේ වූයේ ය. චන්දුල ගේ ඇස් වල වූයේ වදන් කළ නො හැකි ප්‍රේමයේ මුද්‍රාවයි. තරග රූගත කිරීම් නිමා කොට ගෙදර විත් ඔහු ප්‍රතිඵල ගැන කටක් හෙළවූයේ නැත. උමා බලහත්කාරයෙන් විමසත්දී “අද කැපෙනව” කියා කීවේ ය.
සිසිර ඇල්ලගේ සෙනග අතරින් විත් චන්දුල බදාගත්තේ අනපේක්ෂිත ලෙසයි. එතෙක් තාත්තා ගේ මූණ දෙසවත් නො බලමින් සිටි පුත්‍රයාට කුමක් සිදු වී ද කියා ඔහු ම නො දත්තේ ය. චන්දුල සිටියේ ඉතා තදින් සිසිර ව වැළඳගෙනයි. තාත්තාත් පුතාත් දෙදෙනා ම රහසින් කඳුළක් පිසගත්හ.
චන්දුල නියමාකාරයෙන් තරගයට එළඹියේ ඉනික්බිති විය යුතු ය. මෙතෙක් ඔහු ගැයුවේ හැකියාව මතයි. ජයග්‍රහණය කරා යා යුතුය යන ධෛර්යයෙන් යුතුව ඔහු තරගය කරා පැමිණෙන්නේ මේ සිදුවීමෙන් පසුයි. “ඊළඟ පාර රාජා කැපෙයිද” යන පැනය කා තුළත් ඇති වූවා සේ ය. ඔවුහු ඒ ගැන කතා කළේ රහසිනි. බියෙනි.
ඒ සතියේ මැද දිනෙක හැන්දෑවේ උමා හා පාරුල් ඔවුන්ට පුරුදු සිනා කතාවක පැටලී බංකුව මත හිඳියදී අමාත්‍ය සුරත් විජයවීර ආරක්ෂකයන් පිරිවරාගෙන විත් ගේ ඉදිරියේ දී රියෙන් බැසගත්හ. රිදී හා ජුලී වහ වහා ගෙතුළින් පිටතට පැමිණි අතර යුවතියෝ බංකුව මතින් නැගිටගත්හ. සුරත් ගේ මුහුණ පිම්බීගෙන ය. කළු හා සුදු කෙස් හරි හරියට මුහු වූ අළු පාට රැවුල නිකට හා කම්මුල් පුරාවට තවාන් දමා තිබේ. ඔහු ගේ ඇස් උකුස්සෙකු ගේ සෙයින් තියුණු ය.
“දැං මෙහෙං ගායන තරුත් පායනවලු නේහ්…”
ඒ ස්වරය තනිකර සමච්චලයකි. පාරුල් ගේ හද ගැස්ම හොඳට ම වැඩි වී තිබිණ.
“නගරාදිපතිතුමාත් වැඩ කරන්නෙ මේ ලොන්ඩරිවත්තටමලු නේහ්…”
“අනේ ඇමතිතුමා ඒ නං රත්තරං කඳක්. මගෙ මේ වයසට එතෙක් මෙතෙක් මන්නං දැකල නෑ දේසපාලන ලොක්කෙක් ඒ වගේ. මනුස්සයෙක් නෙවෙයි දෙවියෙක්. අනේ ඒ වගේ තව දහයක් අපේ නායකයො වුණානං මේ රට කේතුමතියක් වෙයි ඇමතිතුමා. ඇමතිතුමාට පිං අයිතිවෙනව එහෙම පුතෙක් හැදුවටනං”
සුරත් ගේ අවඥාව නො දැනුණ සෙයින් ජුලී මැද්දෙන් පැන්නා ය. සුරත් නො සන්සුන් ව වට පිට බැලුවේ ය. ඔහු ගේ ඇසට පාරුල් හසු විය.
“මටත් පේනව අපේ මිනිහට ලොන්ඩරි වත්ත කේතුමතියක් කරන්න ඕන වෙලා තියනව වගේ. මේ අම්මල ඉහ නිකට පැහිච්ච උදවිය නේද… මේ වගේ තැන් වලට නගරාධිපතිතුමාව ගෙන්නගන්න එපා. කොල්ලොනෙ. අන්තිමට වැඩ වරද්දගෙන අපිට කනු කුණු ගාගෙන එන්න එපා”
එහෙම කියත්දී ඔහු නැවත ද පාරුල් දෙස බැලුවේ ය. ඇයට දැනුණේ පොළොවේ වළක් හාරාගෙන හැංගෙන්නට තරම් ලැජ්ජාවකි. ඊටත් වැඩිය එය නො දන්වා දැන්වූ අනතුරු ඇඟවීමකි. තර්ජනයකි. පේන මානයක එසැවූ රතු කොඩියකි.
“වැදගත්ම දේ… ඔය ආව ගියා කියල අපිට මේ වත්තත් එක්ක නෑකං පවත්තන්න බෑනෙ… නේද… ඒ කොයි දේත් දැනගෙන හිටියහම ඔයයිලටයි අපිටයි අමනාප වෙන්න හේතුවක් නෑනෙ. මං මේ තකහනියෙ ආවෙ ඒක මතක් කරල යන්නමයි. නැතුව මේ දිනනවට තරහකට නෙවෙයි හොඳද අම්මෙ. මොකද ඕව දිනුවයි කියල ගායකයො වෙනවයැ… නිකං සෝඩා බෝතල තමයි. කැඩුව ගමං විතරයි සැර”
රිදී ට හෝ ජුලී ට නම් ඒ පැවසූ ඇතැම් දේ තේරුණේ ද නැත. නමුත් ඇමති හා පිරිස නික්ම ගිය පසු ජුලී “ඊරිසියාව” කියා කීවා ය.
“අයියට ඕක කියන්න එපා. එයාට පාඩුවෙ ප්‍රැක්ටිස් කරගන්න දෙමු”
පාරුල් කීවේ එපමණකි. නමුත් ඇගේ හිත ඇතුළේ සුළි සුළඟක් කැරකෙන්නට විය. සුරත් ගේ පැමිණිම චන්දුල ගේ ගී ගැයීමට අදාල වූවක් නොව ඇයට ඔය දේ කියා යාමට පැමිණි ගමනක් බව ඈ දනී. ඇය ගඟුල් වෙතින් ඈත් වෙවී හිටියේ ඔය දේවල් ඔය විදිහට සිදු වෙන්නට නියමිත බැවිනි. ප්‍රේමයට ළඟ හැඟීමක් හිතේ ගෑවෙමින් නො ගෑවෙමින් තිබියදී නො දැනුණා සේ සිටියේ බිඳුණු හදවතක උරුමක්කාරිය වීමට බියෙනි. හිතේ කිසිදු පෙම් සිතිවිල්ලක් ඇති නොකළ පසන් ඉරුගල්බණ්ඩාර හා විවාහ වීමට එකඟ වූයේ ද ප්‍රේමයේ රිදුම් තුවාල වලට බියෙනි. පලා යාම් වලින් වෙහෙස දැනෙන තරම් දුරකට ඈ පලා ගියා ය. නමුත් නතර වී හැරී බලත්දීත් ගඟුල් ඈ ළඟ ඈ පසෙකින් සිටියේ ය. දැන් ඉතින් ආපසු හැරී හිස් අතින් යා හැකි වන්නේ ද? තුවාල කැළැල් සහිත හදවතක් දරාගෙන අතරමගක නතර විය හැකි වන්නේ ද?