නිලැසි -5

නිලැසි දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන මහ ගෙදරට කඩා පාත් වූවා ය.ඒ බත ඉදෙන මට්ටමේ ගැටළුවක් හන්දා විය යුතු බව සිතූ රසාදරී මහත්මිය ඈ විමසන්නට නොගියා ය.දිගැසි ද නිම්න සහ රශ්මි යුවල ද නිවසේ නැත.කොහොමටත් ඉතා සහෝදර බැම්මකින් බැඳී සිටින ඔවුන් ද මෙවැනි මොහොතක නිලැසි පාරවන්නේ නැති බව රසාදරී මහත්මිය හොඳින් දන්නී ය.

“අක්කා ඇවිල්ලනෙ..”

විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කර දේශන අවසන්ව නිවසට ආ දිගැසිට ඒ සිදුවීම ගැන දැන්වීමට රසාදරී මහත්මිය කටයුතු කළා ය.ඒ නිලැසි සහ දිගැසි අතර ඇති අඩු වයස් පරතරය නිසාම ළමා කාලයේ පටන් ඔවුන් දෙදෙනා අතර සහෝදරකම පරයා යන මිත්‍රත්වයක් වූ නිසා ය.ඒ නිසා යම් ගැටළුවක් ඇත්නම් නිලැසි එය නංගිට හෙළි නොකර සිටින්නේ නැති බව රසාදරී මහත්මිය විශ්වාස කළා ය.

“තිසරු අයියා කොහෙවත් ගිහිල්ලත් නෙවෙයි.එයා නිකම්ම ඇවිල්ලා..”

රසාදරී මහත්මිය නැවත පැවසුවේ ගැටළු සහගත බවකිනි.

“පුතේ,අක්කා මැරි කරලා අවුරුදු දෙකක් විතර වෙන්න ආවනෙ.බබාලා නෑ කියලා වසන්තා එහෙම මොනව හරි කියනවලුද..”

එවැනි ප්‍රශ්නයක් ගැන තමන් නොදන්නා බව දිගැසිගෙන් පැමිණියේ කුසීත හඬකිනි.ඇය නිලැසි ගැටළුවක බව හෝ ඒ ඇයිදැයි සිතන්නටවත් නොවෙහෙසීම ගැන රසාදරී මහත්මියට දැනෙන්නේ වේදනාවකි.දිගැසිගේ පෙම්වතා සාමාන්‍ය තරුණයෙකු පමණක් බව සිහි වී ඒ වේදනාව ඉසියුම් කෝපයකට ද නොහැරුණා නොවේ.කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ තිසරු අක්කාගේ සැමියා වීම ගැන දිගැසිට ඊර්ෂ්‍යාවක් ඇති වී ඇතැයි රසාදරීට ක්ෂණික නිගමනයක් විය.

“දැන් ඔයාගේ කටයුතු කෙරෙන්නේ මොන කාලෙද චූටි?”

තමන්ගේ පෙම්වතා වූ දුලාජ් තවම වෛද්‍ය පීඨයෙන් සමත් වූවා පමණක් නිසා විවාහය ගැන සිතන්නට තමන් අකමැති බව පැවසූ දිගැසි කාමරයට යන්නට සැරසුණා ය.

“ඩොක්ට කෙනෙක් වෙච්ච පලියට දුලාජ්ට හැමදෙයක්ම පහළ වෙන්නෙ නම් නෑ චූටි.ඔයාට අක්කා වගේ දුකක් කරදරයක් නැති ජීවිතයක් තෝරා ගන්න තිබ්බා.කොහෙද ඉස්කෝලෙ කාලේ කොල්ලව අතෑරියේ නෑනෙ ඉතින් ඔයා..”

දිගැසි හුන් තැනම නැවතී කල්පනාවට වැටුණා ය.අම්මාට අධි රුධිර පීඩනය ඇති බව අමතක කළ යුතු නොවේ.

“අම්මා, අක්කා වගේ එක්පෙරිමන්ට් ගොඩාක් කරලා කසාදෙට කොල්ලෙක් තෝරන්න මට සිද්ද වුණේ නෑ ඉතින්.මගේ මුල්ම තේරීම සාර්ථකයි කියලා මට හිතෙනවා.ඒකයි මං දුලාජ්ව මැරි කරන්නේ.හැබැයි ඉතින් ආදරෙයි කසාදෙයි වෙනස් නිසා මැරි කරාම අපි නොගැළපුණොත් දුක් විඳින්නැතුව වෙන් වෙන්න අපි දෙන්නම කැමති වෙයි.එහෙම වුණොත් මං වෙන කාව හරි හොයා ගන්නේ දුලාජ්ගෙන් අයින් වෙලා.නැතුව….”

ඒ වාක්‍ය සම්පූර්ණ නොකර දිගැසි යන්නට ගියේ අම්මාගේ හදවතේ බරපතල සැකයක් රෝපණය කරමිනි.

“අක්කා මොකක් හරි ගැටලුවක කියලා දුවට කිව්වද?”

රසාදරී මහත්මිය ඒ රාත්‍රියේ රශ්මිගෙන් ඇසුවා ය.නිම්න රූපවාහිනි සංගීත වැඩසටහනකට ගොස් පැමිණෙන තුරු මඟ බලමින් සිටි රශ්මි අඳුරු වටපිටාව හාත්පස විමසුවේ තමන්ගේ උදව්ව වෙනුවෙන් දිගැසි හිඳීදැයි සිතමිනි.

“අක්කට තිසරු අයියලගෙ ගෙදර චිත්‍ර අඳින්න කරදරයිලු අම්ම.කොහොමත් මෙහෙ ඉතින් ආට් ගැලරි එක වගේ නිසා වැඩ කරන්න ආස හිතෙනවනෙ..”

තිසරුගේ මහා මන්දිරයේ නිදහස් තැනක් නැති බව පැවසීම අමුතු කතාවක් බව රසාදරී සිතුවා ය.ආකාස පියස්සට වී චිත්‍ර අඳින්නට එකල නිලැසි හුරුව සිටි බව ඇයට මතක ය.

“ඕක තිසරු දන්නවනම් වෙන ගෙයක් හදයි එයාටයි නිලැසිටයි.”

එය තිසරුට අසීරු කාර්යයක් නොවන බව දන්නා රශ්මි හිස වැනීමෙන් නිහඬ වූවා ය.

“වසන්තා ඉතිං වැරදිලාවත් මියුරුගෙ ගෙදරට එහෙම යන් නෑනෙ.මෙහෙ ඉන්න ගමන් අපේ කෙල්ලට මොන මොනව හරි කියනවද දන් නෑ.බබාලා නැතුවට අක්කා හිතේ අමාරුවෙන්ද දූ..”

රසාදරී එසේ අසද්දී රශ්මි තම යාන්තමට නෙරූ කුසට අත තබා මොහොතක් හුන්නා ය.විවාහයෙන් මාස කිහිපයක් ඉක්මෙන තැන තමන් ගර්භනී වෙද්දී ඉක්මන් වීම ගැන නිලැසි තමන්ට දෙස් තැබූ අන්දම ද ඇයට සිහි විණ.

“නෑ අම්මේ.අක්කා දැන්ම බබාලා හදන් නැතුවනෙ ඔය..”.

රශ්මි එසේ කියා නිහඬ වූවා ය.

“අවුරුදු තිහ වෙනකන්ම කසාද බැන්දෙ නෑ.දැන් තිස් දෙකක් විතර වෙන්න ආව.දරුවෙක් ගැන ගාණක්වත් නෑ.ඊටපස්සෙ ඔය තිසරුගෙ මහන්සියෙන් ගොඩ නගපුවා ඔක්කොම මියුරුගෙ ළමයින්ට අයිති වෙයි..”

මහා ගාන්ධර්වයෙකුගේ බිරිඳ වූවාට අතිශය සාමාන්‍ය ගැමි ගැහැනියකගේ සංකල්පනා ඇති රසාදරී ගැන රශ්මිට සිනා ඉපිදේ.

“මං කවුන්සලර් කෙනෙක් වුණාට ඔයාගේ නැන්දම්මා බොහොම සාමාන්‍ය මනුස්සයෙක් පුතා.ඒ නිසා මං එක්ක වගේ අවංක කතා නොකියා හරි පරිස්සමින් එයා එක්ක ගනුදෙනු කරන්න..”

විවාහයට පෙර අම්මා දුන් උපදෙස සිහි කරමින් රශ්මි නිහඬ තත්පර ගෙවා ගත්තා ය.නිම්නගේ මෝටර් රථයට සේවකයා ගේට්ටුව හරින හඬ ඇසෙද්දී ඇයට දැනුණේ සැනසීමකි.

“අක්කා රණ්ඩු වෙලා නෙවේ අම්මා ඔය ඇවිල්ලා ඉන්නෙ.එක්සිබිෂන් එක ඉක්මනින් කර ගන්නනෙ එයාට ඕන..ලස්සනට පේන්ටින්ග්ස් ටික කරගන්න ඕන ඇති..ඒකයි ඔය .”

රශ්මි පුටුවෙන් නැගී සිටියේ එසේ කියමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles